උදය වන විට ආර්ය ට සහලවා උණ ගැනී තිබිණ. කැස්සක් ද සෙම් ගතියක් ද ඇති වී තිබුණෙන් එය වෛරස උණක් බව අනුමාන කළ හැකි විය. දරුණු හිසරදය නිසා ඇස් ඇරගන්නට බැරිව ඔහු ඇඳට ම වැටී සිටියේ ය. රාත්‍රියේ අමාගී ගෙන ගොස් තැබූ බත් පිඟාන වැසූ පරිදි ම තිබිණි.
“ඉතිං මේ කිරි එකවත් බීල ඉන්නකො. හිස්බඩ පේන් කිලර්ස්වත් ගන්න බෑනෙ… බඩ දැවිල්ල එයි”
අමාගී ආර්ය ගේ තේ මග් එක ගෙන ගොස් බලයෙන් ම ඔහු නැගිටුවා එය අතට ම දුන්නා ය.
“බත් කටක්වත් කාල නෑනෙ. කෑවෙ නැතිවුණාම කොහොමත් ඇඟට පණ නැති වෙනව”
“කන්න බෑ සුදූ. ඔළුව උස්සං ඉන්නත් බෑ වගේ හරි අමාරුයි”
“සමහර වෛරස් වලට එහෙමයි. අපේ අයියත් සැරෙන් සැරේට ඔය කුණු ගොඩවල් ඔෆිස් එකෙං අරං එනව. හදාගත්ත වගේ නෑ විඳවන්න ගියාම අමාරුව”
“ඉතිං මං බලෙං හදාගත්තෙ නෑනෙ”
“පරිස්සමෙං ඉන්න ඕනෙ ඉතිං. ආයුට එහෙම හැදුණොත්… හැම දේම කරල දෙන්න පුළුවන්… ඒත් එයාගෙ අමාරුව අපිට ගන්න බෑනෙ”
“ඔයත් ආයෙ උඩට එන්නෙපා. මේක ස්ප්‍රෙඩ් වෙනව ඇති”
“ඒ පණ්ඩිතකංනං තියනව. මං කොත්මල්ලි ටිකක් හදං එන්නං. පැය හයෙං හයට පේන් කිලර්ස් ගත්තහම අමාරුව අඩු කරගන්න පුළුවන් වෙයි”
ඇය කාමරයෙන් නික්ම ගියේ නැවත ද වරක් ආර්ය ගේ නළලත පිටි අත්ල තබා බලා ය.
“හෙට ඔෆිස් යන්නනං හදන්නෙපා”
ඒ යන අතරේ ඇය අණ කළා ය. ආර්ය ගේ මුහුණට ඒ අමාරුකම් අතරේත් සිනහවක් ආවේ ය.
මහානාම ගෙදර කොත්තමල්ලි නො තිබුණෙන් අමාගී රුසිරු ව කඩේට යවා ගෙන්වාගත්තා ය. කොත්මල්ලි සෝදා කබලේ බැද වතුර හා තලාගත් ඉඟුරු එක් කොට තැම්බෙන්නට තැබුවා ය.
“චූටියියෙ දෙහි කොළ ටිකක් කඩං එන්න. තම්බල ස්ටීම් කළාම ඔළුවෙ බරයි සෙම හිරවෙච්ච ගතියයි අඩු වෙනව. පොඩීයිය ශොප් එකට යනවනං එන ගමං වික්ස් එකක් අරං එන්න හොඳේ. ආ තව ෆාමසියෙන් පිරිටන් කාඩ් එකකුයි ඩෙරිෆිලින් කාඩ් එකකුයි ගේන්න. ලොකයියට පොඩ්ඩක් කැස්සත් වගේ තියනව. විටමින් සී ටිකකුත් ගේන්නකො කෝකටත්. දැං කන්නැතුව ඉඳල ඊළඟට බඩදැවිල්ල එන්න පුළුවන් නිසා ඔමෙප්‍රසෝල් කාඩ් එකකුත් ගේන්න”
අමාගී හැම කෙනෙකුට ම වැඩ පැවරුවා ය. සියලු ආවතේවයන් කොට ආර්ය ගේ අසනීපය මඳක් සුව අතට හරවා දීම ඇගේ එක ම අරමුණ විය.
“මේකි බලාංකො. ඩොක්ටර් කෙනෙක් කියලද දන්නෑ හිතං ඉන්නෙ…”
“යකූ ඔච්චර දඟලන්න ලොකයියට කොරෝනා හැදිල නෑ”
“මේකුංගෙ කටවල් බලන්නකො මණී ආන්ටි. මටනං බය ආයුට බෝ වෙයි කියලයි. නැතුව තමුසෙලට හැදුණටනං මං ඇහැක් ඇරල බලන්නෑ”
ශාක්‍ය ගේත් පූජන ගේත් උකුසු ඇස් අමාගී කෙරේ විපරමින් දැල්වී තිබිණ. නමුත් තවමත් ඔවුන්ට කොනක් පාදාගත නො හැකි වූයේ ය. ඇය මුලින් ම දෙහි කොළ තැම්බූ වතුර මුට්ටිය මතු මහළට ගෙන ගියා ය.
“අනේ මාගි පරිස්සමෙන් කෙල්ලෙ. පුච්චගත්තොත් එහෙම ආශ්ගෙන් මටත් විසුමක් වෙන්නෑ. ලොකයියට පහළට එන්න කිව්වනං ඉවරයි අප්ප”
මණී තරමක දෙගිඩියාවකට පත්ව සිටියා ය. නමුත් අමාගී ඒ ගැන වද වෙන්නට ගියේ නැත. වතුර මුට්ටිය ඇඳ පාමුලින් තබා පොරෝනාවෙන් ආර්ය ගේ හිස සිට වසා වතුර මුට්ටිය විවෘත කළ විට ඔහු පොඩි දරුවෙක් වෙන්නට හැදුවේ ය. පිච්චෙනවා කියමින් පොරෝනාවෙන් ඉවත් වෙන්නට ගියේ ය.
“අනේ මේ ලොකයියෙ බබෙක් වෙන්නැතුව ස්ටීම් කරගන්න. හොඳට හුස්ම ගන්න. ටිකක් දාඩිය දැම්මට කමක් නෑ එතකොට උණ බහිනව”
අමාගී සැර දැම්මා ය. එබැවින් ඇයට අවනත වන්නට ඔහු ට සිදු විය. වාශ්ප ඇල්ලීමෙන් පසු මඳ සහනයක් අත්විඳි ආර්ය පහළ මහළට ආවේ ය.
“පහළට ආවට ආයුගෙන් ඈත් වෙලා ඉන්න හරිද…කාල ඉන්න දැන්. ඊට පස්සෙ කොත්මල්ලි බොන්න ඕනෙ”
අමාගී ආර්ය වෙතට බත් පත බෙදාගෙන පැමිණියා ය. ආර්ය බැගෑපත් ලෙස ආහාර ප්‍රතික්ශේප කළේ ය.
“අනේ කන්න බෑ සුදූ. මං ටිකක් දවල් වෙලා කන්නං”
“මේ බලන්න මණී ආන්ටි. කන්න පරක්කු වෙනව කියන්නෙ බෙහෙත් ටික ඇඟට වැටෙන්නත් පරක්කු වෙනව කියන එකනෙ. කන්න කන්න ටිකක් හරි”
කියමින් බත් කටක් ඇනූ ඕ එය බලයෙන් වාගේ ආර්ය ගේ මුවෙහි ලූවා ය.
“කොහේ ෆැකල්ටි එකේද එම්බීබීඑස් කළේ…”
පූජන විහිළුවක් කළේ ය.
“ඔන්න මටත් කවන්න ඕනෙ අද හරිද…”
රුසිරු ද ආඩපාලියක් කීවේ ය.
“ඇයි ඔයාටත් උණද…”
“උණ හැදෙන්නම ඕන නෑනෙ කවෝගන්න”
“මටත් නිකං උණ ගැනීගෙන එනව වගේ”
ශාක්‍ය ද කට දැම්මේ ය. ඔවුන් ගේ සියලු වචන ප්‍රහාර සියුම් ලෙස මගහරිමින් අමාගී ආර්ය ට බත් කැව්වා ය. මේ එහෙම දෙයක් සිදු වූ මුල් ම වතාවයි. ළමා වියෙහි දීවත් ආර්ය අමාගී ට කියා බත් කටක් කවාගෙන නැත. ගෙදර සියලු දෙනා ඉදිරියේ ඇගේ මේ බලහත්කාරකම ඔහු ට අපහසුවක් නො දැනවූවා නොවේ. නමුත් කිසිදු විරෝධයක් පෙන්වීමට තරම් සවියක් ද ඔහු ට වූයේ නැත. මහානාම ගෙදර අනිත් ළමයින්ට නම් අමාගී ට කියා බත් කවාගන්නවා කියන එක අරුමයක් නොවේ. කන්නට කම්මැළි හිතෙනා බොහෝ අවස්ථා වල ඔවුහු ඇය ලවා කවෝගනිති. අයිය මලෝ තිදෙනාට ම එක ම පිඟානකට බෙදාගෙන ඇය කවා ඇති අවස්ථා ද අපමණ ය. එබැවින් අමාගී පැකිළීමකින් තොරව ආර්ය ට බත් කවන්නට වූවා ය. කිසිවෙකුට ඒ ගැන කිසිත් කිව නො හැකි බැව් ඇය දනී. නමුත් ආර්ය ට මේ ආගන්තුක සිදුවීමකි. ඔහු බත් කෑවේ බිම බලාගෙනයි. අමාගී ඔහු ට ඇල් වතුර බොන්නට නොදී උණුසුම් වතුර සැපයූවා ය.
“ඇත්තමයි මාගි ඉන්න නිසා මට ලේසියි. ඒ කෙල්ල නැත්තං මගෙ අත කැඩුණ වගේ තියෙයි”
මණී අනිත් පුතුන් ට බත් බෙදුවේ එහෙම කියමිනි. කෑමෙන් පසු ආර්ය වහා ම මතු මහළට ගියේ ය. අමාගී කොත්මල්ලි ගෙන එන විට ඔහු ආලින්දයෙහි හිටියේ නැත.
“බලන්න මණී ආන්ටි. කොත්මල්ලි ටික ගේන්නං කියද්දිත් ඒ ගමන උඩට ගිහින්නෙ”
යනුවෙන් ගතු කියමින් අමාගී මතු මහළට ගියා ය.
“අනේ ඒ කෙල්ලගෙ කකුල් දෙකත් රිදෙනව ඇති උඩ පහළ ගිහින්..චූටි පුතා ඔය කොත්මල්ලි එක ලොකයියට ගිහින් දෙන්නකො”
කියා මණී පවසන විටත් අමාගී ආර්ය ගේ කාමරයේ ය. ඔහු කොත්මල්ලි බීම ප්‍රතික්ශේප කළේ තිත්ත බව කියමිනි. අමාගී අම්මා කෙනෙකු වාගේ සිනහ වූවා ය.
“ඒ වෙනිවැල්ගැට දැම්මහම අනේ. මේකට ඉඟුරු විතරයි දැම්මෙ. ආ මේ හකුරු කෑල්ලත් එක්ක බොන්න. මේ පෙති ටිකත් බීල ටිකක් නිදියන්න. එතකොට අඩුවෙයි”
“ඔතනිං තියන්න”
“බෑ බෑ එතකොට බත් එක වගේ ඔතනම තියෙයි. ම්… බීල ඉන්න. බිවවොත් බඩ්ඩක් දෙනව”
ඇගේ වදයෙන් බේරෙන හැටියක් ඔහු දැන සිටියේ නැත. අන්තිමට ඈ නික්ම ගියේ සියල් ආවතේව කොට හිසෙහි ඕඩිකොලෝන් ගල්වා දෙනවා කී බඩ්ඩ, ආර්ය ගේ කොපුලක් මත ඉක්මන් හාදුවක් ද තබා ය.
ආර්ය ගේ කොපුල් සිප ගන්නට අමාගී ට තිබූ ආශාව ඉපැරණි එකකි. ඔහු දැලි රැවුලවත් නොවැවුණු ගැටයෙකු කාලයේ දී, සිය ළමා ආශාව ඉෂ්ට කරගන්නට අමාගී කොතෙකුත් උත්සාහ දරා තිබේ. ඇය සිනහ වෙවී ඔහු ගේ මුහුණ සිඹින්නට ලං වෙත්දී ආර්ය කිසි සේත් ඊට ඉඩ දුන්නේ නැත. මේ මොහොතේ, ඈ තුළ නො වෙනස්ව සිටි දැරිය ඉස්මතු වී කෙසේ හෝ සිය ආශාව සපුරා ගත්තා ය. නමුත් පොඩි දැරියක සේ උඩ පැන සිනහ වෙමින් ඒ ජයග්‍රහණයේ ප්‍රීතිය භුක්ති විඳින්නට නම් ඇයට හැකි වූයේ නැත. කම්මුල මත තවමත් ඉතිරි වී ඇති අමාගී ගේ රතදර සිසිල මත අතැඟිලි තබාගෙන ආර්ය සිහි කළේ ඒ වෙනුවෙන් ඇය උත්සාහ කළ ළමා වියෙහි දවස් ගැන ය. ඔහු ගේ දෙතොල් මත්තෙහි හිතුවක්කාර සිනහවක් ඇඳී තිබිණ.
ආර්ය ගේත් ආයු ගේත් ආවතේව අවසන් කොට අමාගී ගෙදර යන විට අශ්විනීත් සාන්වීත් දුරේශ් සමග මුළුන්ගෙයි කතා බහක සිටියහ. ඒ කතාබහ වැදගත් එකක් බව ඔවුන් ගේ මුහුණු වලින් ම දකිත හැකි වූ අතර, අමාගී දකිත්දී ම ඒ කතාබහ නතර වීම ද විශේෂිතව ඇයට දැනිණ.
“මණී ආන්ටිගෙ සර්වන්ට් ඇවිත්”
සිනහවකින් වුව අශ්විනී එසේ පිට කළේ හිතේ තියෙනා කේන්තියයි. අමාගී ඒ නෑසුණා සේ වසා තිබූ ඇගේ කොළ කැඳ කෝප්පය අතට ගත්තා ය. මීට මොහොතකට පෙර අශ්විනී දුරේශ් ට කීවේ තව මාස තුනකින් කසුන් ලංකාවට විත් ඔවුන් ගේ විවාහ උත්සවය පැවැත්වීමට තීරණය කොට ඇති බවයි. ඒ වෙනුවෙන් සිය යුතුකම් ඉටු කිරීමට මුදලක් වෙන් කරගෙන සිටින නිසා දුරේශ් ගේ හිතට ලොකු බරක් නැත. විටින් විට ඔහු ගෑනු ළමයින් වෙනුවෙන් අත්‍යවශ්‍ය රන් අබරණ ටිකක් ද තනවා දී තිබේ.
“කසුන්ගෙ යාළුවෙක් සුදූව ෆොටෝ එකක දැකල කසුන්ගෙන් අහල ඔයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියල. නැත්තං එයා ඔයාව මැරි කරන්න කැමතියි කිව්වලු”
අශ්විනී අමාගී ඉදිරියේ අලුත් ආරංචිය හෙළිදරව් කළා ය.
“අනේ මේ… කසුන් අයියට කියන්න ලොකූ කපුකංනං ඕන නෑ කියල”
අමාගී ගත් කටට ම යෝජනාව ප්‍රතික්ශේප කළා ය.
“ඇයි… කොල්ල හොඳයිලු..එහෙ යුනි එකක තමයි ඉගෙනගෙන තියෙන්නෙත්. ඒ ළමය මැරි කරන්න කැමති ලංකාවෙ ගෑනු ළමයෙක්වලු”
“හරි ඉතිං ඒකට මට කමක් නෑ. යකඩො කවුද කින්ද මන්ද කොහොම කෙනෙක්ද කියල දන්නෙත් නැති කෙල්ලෙක්ව එහෙම බඳින මිනිස්සුත් ඉන්නවද… ඊටත් වඩා එයා මාව බඳින්න කැමතියි කියන්නෙ… එහෙම පුළුවන්ද මගෙ කැමැත් නැතුව… අනේ මේ ලොකූ… ඔයා කියන්න මට අහේනියක් නෑ කියල. අනිත් එක ඉංග්ලන්ඩ් වල පීආර් එක ගන්න එහෙ ඉන්න නාකි මිනිහෙක්ව හරි බඳින්න කැමති කෙල්ලො ඕනතරං ඉන්නවනෙ. එහෙම කෙනෙක් හොයාගන්න කියන්න..මොකද මට ඉංග්ලන්ඩ් යන්නවත් එහෙ ජීවත් වෙන්නවත් පදිංචි වෙන්නවත් කිසිම ඕනකමක් නෑ”
කියාගෙන අමාගී කොළකැඳ කෝප්පයත් සමගින් ම මුළුතැන්ගෙයින් නික්ම ගියා ය. අශ්විනී සාන්වී ගේ මූණ බැලුවා ය.
“හරියට මං මේ නරකක් කරන්න හැදුව වගේනෙ. එයාගෙ හිතේ කවුරුත් නැත්තං ඒ ප්‍රපෝසල් එක ගැන ඔච්චර ඩෝං යන්න ඕන නෑනෙ. අඳුරගන්න ඕනනං කතාබහ කරල අඳුරගන්න පුළුවන්නෙ”
අශ්විනී එසේ කීවේ හිත රිදීමක් අතරිනි. හිස ඔසවන්නට අවසර හොයන නො රිස්සුමක් ද ඒ අතරේ විය.