හද සාගරේ – 29

0
5388

දෙව්රම් උදයෙන් ම කාර්යාලයට ගියේ ඒ තරමට හදවත නො සන්සුන්ව තිබි බැවිනි. නමුත් ඒ වන විට ගෝල්ඩන් ලීව්ස් හි කිසිදු සේවකයෙකු රාජකාරියට වාර්තාකොට තිබුණේ නැත. සිය වීදුරු කුටිය තුළට වී ඔහු තත්පර වෙමින් සිටියේ ය. එක යායට පාළු වී ගිය සුසානයක් වාගේ අත්‍යන්ත වූ පාළුවක් ඔහු ට දැනේ. හදවත කුමක් හෝ දෙයක්     ඉල්ලා කෑගසන හඬ ඔහු ට ඇසේ. සමහර ඍතු වල දී ජීවිතය එහෙම ය. එතෙකින් ප්‍රමාණවත් යයි අප සිතා සිටිය ද ජීවිතය හදිසියේ ඇස් හැර බලා නවමු වූ යමක් ඉල්ලා සිටින්නට පටන් ගනී. අලුත් ඍතුවක අවශ්‍යතාව මතක් කරමින් අප අසහනයට පත් කරයි. හිස් බඳුනක් ලෙස සැමදා පැවතිය හැකි නොවේ. ආත්මයට ඕනා පිරෙන්නට යි. පිරීතිරී යන්නට යි.

“අර මොකද… අරය ඊයෙ රෑ නිදාගෙන තියෙන්නෙ මෙහෙද…”

උදෙන් ම කාර්යාලයට පැමිණි කෙල්ලන් කිහිප දෙනෙකු කුටු කුටු ගාමින් සිනහ වෙන්නේ ඔහු ට බව දෙව්රම් ට දැනිණ. නමුත් ඔහු ඒ කතා ගැන ලැජ්ජා වූයේ නැත. හදවත යමක් දැඩිව අපේක්ෂා කරත්දී අපට අනිත් සියල්ල නො පෙනී නො දැනී යයි. අනුන් අප ගැන කුමක් සිතනවා ද යන්න අදාල නැති වී යයි. එක අතකට සපූ ට වෙන්නට ඇත්තේත් එයයි. ඇය ජනප්‍රියත්වය නමැති ඔටුන්න වෙනුවෙන් අසීමිත ලෙස ලොබ බඳින්නට පටන් ගත්තා ය. ඒ ගමන යත්දී අනිත් සියල්ල නො සලකා හැරියා ය. නො දැක්කා ය. දැක්කත් නො දුටවා සේ සිටියා ය. සිය ඉලක්කයට සමීප වීම වෙනුවෙන් ආත්මීය වූ දේවල් පාවා දීම ගැන වුව දෙවරක් නො සිතුවා ය. සිය සැමියා වන දෙව්රම් ට ද වඩා ජනප්‍රියත්වය යනු අගනා දෙයක් සේ ඇය ට දැනිණ. ඒ ලබා ගැනීම වෙනුවෙන් ඇයට සදාකාලිකව රඟන්නට ටෙලි නාට්‍ය ලබා දෙනු ඇතැයි සිතූ දර්ශන ගේ පදයට නැටුවා ය. පුහුදුන් මිනිසුන් එහෙම යයි සිතන්නට දෙව්රම් උත්සාහ කරමින් සිටියේ ය.

තත්පර කටුව කෙතරම් වාර ගණනක් ඔරලෝසුවේ කක්ශය වටා කැරකුණා ද කියා ගණන් කරගත නො හැකි තරමි. ඔහු ගේ හදවත මැද වූ අපේක්ෂාව අයිස් කුට්ටියක් සේ මිදෙමින් තිබිණ. ආදියා කාර්යාලයට පැමිණියේ නැත. ඇයට දුරකතන ඇමතුමක් දී ඒ ගැන විමසන්නට හිතුණත් ඔහු ඒ ගැන දෙගිඩියාවට පත් වූයේ ය. කාලය ගෙවාගැනීම ඒ තරම් අසීරු වග මතක ඇති කාලයක ඔහු ට දැනී තිබුණේ නැත.

සංකේත් දුරකතන ඇමතුමක් දී අලුත් ම ආරංචිය කීවේ ඒ අතරේ යි.

“සපූ නිවුස් එකක් දීල පේජ් එකකට. ඩිවෝස් වෙලා මාස තුනක් යනකොට උඹ බැඳල කියල. උඹගෙ ගෙදර උයපු චෙෆ්ගෙ වැඩ තාවකාලිකව නවත්තලයි කියලත් මේකි කියලනෙ”

දෙව්රම් මඳහසක් නගා ගත්තේ ය. ආරංචි වලට තටු තිබෙන බව ඔහු දනී. එය නිවැරදි ආරංචියක් වුණත් බොරු ඕපාදූපයක් වුණත් එහෙම ය. සමහර කාරණා අප නො සිතන තැන් වලින් පිටස්තර ලෝකයට කාන්දු විය හැක. මෙතැනදී ඔහු වෙනුවෙන් ආහාර පිසින තරුණයාට ඒ විදිහේ කතාවක් ප්‍රචාරය කරන්නට කිසි සේත් උවමනා නොවුණා විය හැක. සපූ හමු වූ අහඹු වෙලාවක, මේ දින වල කිසිවෙකු ගෙදර සිටිනා බැවින් ඔහු ගේ සේවය තාවකාලිකව නතර වූ බව ඔහු අතින් කියවෙන්නට ඇත. දෙව්රම් ගේ වැරදි ලෝකයට ඔප්පු කරන්නට පුන පුනා බලා සිටි සපූ ඒ අවස්ථාව කරගත්තා ය.

සංකේත් කතා කොට නිම වන විට ම යළිදු දුරකතනය හැඬවුණේ මහ ගෙදර අංකයෙනි.

“මොකද්ද පුතා මේ කතාව… පුතා ආයෙ බැඳලයි කියන එක…”

තාත්තා අවිනිශ්චිත හඬකින් එසේ විමසත්දී දෙව්රම් ට යම් අපහසුවක් නො දැනුණා ම නොවේ. දුර ඈතක සිටිනා ඔවුන්ට තමන් නිවැරදි වග ඔප්පු කරනා එක පහසු නො විය හැක. ඊටත් වැඩිය මේ ගෑනු ළමයෙකු සම්බන්ධ කළ කාරණයක් වෙත්දී ඔහු දෙමව්පියන්ට මූණ දෙන්නේ කෙසේ ද?

“අයියෝ ඒක සපූගෙ බොරු කතාවක් තාත්තෙ. මං දන්න අංකල් කෙනෙක්ගෙ ගෙදර ප්‍රශ්න වගයක් ඇවිත් මට එයාලව දවස් කීපෙකට ගෙදර නවත්තගන්න වුණා. ඒ දවස් ටිකේ ඒ ආන්ටි උයපු නිසා මං චෙෆ්ට නිවාඩු ගන්න කිව්ව. ඊයෙ ඒගොල්ලො ආපහු ගියා. මං ඊයෙම චෙෆ්ට කතා කරල අද ඉඳං එන්න කියලත් කිව්ව”

ඒ අන්තිම ටික නම් ඇත්ත ම ඇත්ත නොවේ. ඔහු ට එන්නට කිව යුතු බව සිහි වූවත් දෙව්රම් ට එසැනෙන් ඒ අමතක වී ගියේ  හිත තරමක් අවුල් වී තිබි නිසාවෙනි. ඔහු ඒ පණිවිඩය දුන්නේ සාලිය ගේ ඇමතුමෙන් පස්සේයි.

“අනේ මන්ද පුතා. අම්මත් හිත නරක් කරං ඉන්නෙ. පුතා අම්මට කතා කරන්නකො එහෙනං”

කියමින් සාලිය නාලිනී ට රිසීවරය දුන්නේ ය. දෙව්රම් යම් යම් දේ කීව ද ඇගේ හිත හැදීම පහසු නැති බවක් දැනිණ.

“එක පාරක් වෙච්ච වැරැද්ද ආයෙ වෙන්න දෙන්නනං  බෑ පුතේ. කසාදයක් බැන්දට කමක් නෑ… හැබැයි පිළිවෙලකට… කව්ද කින්ද මන්ද කියල හොයල බලල”

“අයියෝ අම්මෙ එහෙම දෙයක් නෑ. සපූට ඕනෙ මට මඩ ගහන්න. එයාගෙ තීරණේ හරියි කියල ලෝකෙට පෙන්නන්න”

“මේ දේවල් පිළිවෙලක් වෙනකල් අපි පුතා ළඟට ගිහින් ඉමු කියලයි මං තාත්තට කිව්වෙ. ජරා කතාවක් හැදුණට පස්සේ වැඩක් නෑ පුතා”

දෙව්රම් අම්මා සමගින් තර්ක කරන්නට නො ගියේ ය. නමුත් යමක් සිදු වෙමින් පවතී. සිය සිත තුළ ද යම් පෙරලියක් සිදු වෙමින් පවතින බව ඔහු පිලිගන්නට කැමති වූයේ ය. ඕනෑ ම වෙලාවක කාර්යාලයෙන් නික්ම යන්නට හැකි වී ද දෙව්රම් හැන්දෑ වන තුරු ම එහි රැඳුණේ නිශ්ශංක ගෙදර එන වෙලාව බලා එහි යන්නටයි.

ආදියා කාර්යාලයට නො ගියේ එහෙම කරන්නට ඇයට හිත එකඟ කරගත නො හැකි වූ නිසාවෙනි. සාරධා ගේ විලාශය ඇය තුළ අමුතු භීතියක් ජනිත කරවනා ලදී. අක්කා ගෙදරින් යන්නට හෝ ජීවිතයට කරදරයක් කරගන්නට වුව බැරි නැතැයි ඇගේ හිත කියමින් තිබිණ. ඒ බැව් කියා අම්මා කලබල කරන්නට හෝ තාත්තා ව ගෙදර නවතා ඔහු ගේ රැකියාව අනතුරෙහි හෙළන්නට නොයා ඇය තමන් විසින් ගෙදර නතර වූවා ය. නිවාඩු ඉතිරි වී ඇති බැවින් එකක් දෙකක් ගත්තාට කමක් නැති බව ගෙදර අයට හැඟවූවා ය. වෙනදාට වැඩිය අක්කා ගැන ඇස ගසාගෙන සිටින්නටත්, වෙනදාටත් වැඩියෙන් ඇය වෙත කරුණාව පාන්නටත් උත්සාහ කළා ය. ඉස්සර කාලේ සිදු වූ දේවල් ගැන මතක් කරමින් සාරධාව කතාවට අල්ලා ගත්තා ය. දවල් ත්‍රීරෝද රියක් ගෙන්වාගෙන සාරධා සමගින් නගරයට ගොස් ඇය කැමති දේවල් මිල දී ගෙන දුන්නා ය. කන්නට ආසා දේවල් රැගෙන දුන්නා ය.

“අම්ම අක්ක එක්ක ළඟ පන්සලට හැමදාම ගිහින් බෝධි පූජාවක් කරන්න. කොච්චර වුණත් බබෙකුත් බඩේ තියාගෙන එයා හිතෙන් ප්‍රශ්න ගොඩකනෙ ඉන්නව ඇත්තෙ. දිනේශ් කොහොම මිනිහෙක් වුණත් අපි අක්කව බලාගමු”

ඇය ජිනාදරී ට උපදෙස් ද දුන්නා ය. අලුත් බබා වෙනුවෙන් අවශ්‍ය කරන සියලු ම උපාංග අලුතෙන් ම ගෙන දෙන ලෙස සාරධා ට පොරොන්දු වූවා ය. ඒ හැන්දෑවේ සාරධා ද පෙර පැවති දැඩිකම් අකා මකා දමා සිටියා ය.

සියල්ල අතරේ කණාමැදිරි එළියක් වාගේ හදවතේ ගැඹුරු තැනක දෙවරම් ගේ මුහුණුවර ඇඳෙමින් මැකෙමින් තිබිණ. නිශ්ශංක ආවාට පස්සේ, බොහෝ කලකට පසු ඔවුන් හතර දෙනා ම ආලින්දයේ පුටු කට්ටලයේ හිඳ තේ බීවෝ ය. ආදියා බොරුවටත් යම් යම් දේ කියවමින් සිනහ වූවා ය. දෙවරම් ගේ මෝටර් රථය දොරකඩ නතර වූයේ ඒ වෙලාවේ ය. නිශ්ශංක හා ජිනාදරී සිනහ පිරි මුහුණු වලින් අසුන් වලින් නැගිට ප්‍රධාන ද්වාරය අසලට ගියේ රාජ කුමාරයෙකු පිළිගන්නට මෙනි.

ඔහු රියෙන් බසිනා තැන සිට ම ආදියා සිය දෑස් සාක්ෂි කොටගනිමින් සිටියා ය. රත්තරන් පාට හිරු එළියක් වාගේ ඔහු සිය මිදුලෙහි පායා ආවේ ය. උදේ කාර්යාලයට ගිය ගමන් බව, ඒ ඇඳුම් සාක්ෂි දරයි. මළානික වී තිබි ඔහු ගේ හිත, හදිසියේ වැසි පතනයක් ලද මලක් සේ දීප්තිමත් විණි.

“ගෙදර යන ගමං අංකල්ලව මතක් වුණා. මේ ටිකේම ගෙදර යද්දි ඉතිං අංකල්ල හිටියනෙ”

කියන්නට නිදහසට කාරණාවක් හොයාගත්තේ ඒ මොහොතේ ම සේ ය. පොඩි කොලු ගැටයෙකු වාගේ ඔහු ලැජ්ජාශීලී වූවාවත් ද? කලිසම් සාක්කු වල දෑත් ඔබනා ගමන් ඒ තරු ඇස් ගෙතුළට පාව ආවේ ය. ආදියා ඇස් පිය නො සලා බලා සිටියා ය.

“අනේ කොච්චර හොඳද පුතා ආපු එක… තේ හදද්දි මට ඒත් පුතා මතක් වුණා. මේ දවස් ටිකේම පුතාලගෙ ගෙදරදි පුතා එක්කනෙ තේ බිව්වෙ”

ජිනාදරී ඇයට පුරුදු ළෙංගතු ම අම්මා ගේ චරිතයෙන් මඳක් හෝ බැහැර වූයේ නැත. ඒ ආදරයෙන් දෙව්රම් දිරි ලැබුවේ ය.

“එමු එමු පුතා ඇතුළට. ජිනා පුතාටත් තේ එකක් හදමුකො එහෙනං”

“නෑ නෑ හදිස්සියක් නෑ ආන්ටි. ඔය තේ එක නිවෙන්න කලින් බීල පස්සෙ හෙමිහිට හදමුකො”

ඔහු අසුන්ගත වූයේ ආදියා ගේ පපු කුහරය තුළ හැඟුමන් සමුදායක් හිර කරමිනි. ඇය දිළිසෙන දෑස් වලින් සිනහ වූවා ය. සිත්මි ඇයට ලංව පුටු කොනක හිඳ සිටි අතර දෙව්රම් දැරියට හිසින් කතා කළේ ය. ඇය කෝළ සිනහවකින් ඇඹරෙන්නට වූවා ය. දෙව්රම් අත වූ චොක්ලට් එකක් පෑවේ ය.

“යන්න ඉතිං… ගිහිං ගන්න”

හදවතේ වන මහා මිහිර වෙනසක් ව නො දැනෙනු වස් ආදියා හෙමිහිට දෙඩුවා ය. සාරධා අසුනෙන් නැගිටගත්තේ ඒ  වෙලාවේ යි. පෙර දා දෙව්රම් ඉදිරිපිට දී ම දිනේශ් නැටූ නාඩගම ඇගේ හිතේ හොල්මන් කරමින් තිබිණ. ඒ වෙලාවේ ඇය ද මොනවා කියවූවා දැයි මතක නැත. දෙව්රම් ට මුහුණ දීමේ දී සාරධා ට අපහසුවක් දැනෙන්නට විය. ඔහු පෑ සුහද සිනහව පවා ඇයට දැනුණේ සමච්චලයක් සේ ය.

“චූටි දුවටත් දෙන්න හොඳේ”

චොක්ලට් එක සිත්මි අතට දෙත්දී දෙව්රම් කළ විහිළුවට නිශ්ශංක හඬ නගා සිනහ වූයේ ය.

“මේ දවස් ටිකේම ඉතිං අංකල්ල හිටපු නිසා ගේ පිරිල වගේනෙ තිබුණෙ. අද ගෙදර යන්න හිතෙන්නෑ කම්මැළියි… කවුරුත් නෑ කියල මතක්  වෙනකොට පිස්සු වගේ. කටහඬක්වත් ඇහෙන්නෙ නෑනෙ අංකල්”

ආදියා හෙමිහිට අසුනෙන් නැගිටගත්තේ ඒ වෙලාවේ යි. ඇය අම්මා වෙතට, මුළුතැන්ගෙට ගොස් පැන්ට්‍රි මේසයට බර වූවා ය. සිත සීතලෙන් සීත වී තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here