පැය කිහිපයක විඩාබර ගමනකින් පසු චාර්ල්ස් දි ගෝල් ගුවන් තොටුපලට යානය ගොඩ බැස්සේ පසුදා පාන්දරය.ගුවන් ගමන පුරාවටම නිර්මිතාත් ධනංජයත් යමක් කතා නොකළ තරම්ය.දෑස් පියාගෙන නින්දේ බව හැඟෙව්වත් දෙදෙනාම වූයේ කල්පනාවේය.
ජීවිතයේ බැරෑරුම් පරීක්ෂණයකට තමා මුහුණ දෙමින් සිටිනා බවක් ධනංජයට දැනෙන්නට විය.ප්‍රංශයට ඒමට සකස් කළ බොහෝ ලියකියවිලි නිවැරදිව ඒවා නොවන බව දැන සිටියේ ඔහු පමණි.එහෙත් ව්‍යාජ අයුරින් බොහෝ දෙනකු පිටරට ගමන්වල යෙදෙන නිසා ධනංජය ඒ පිළිබඳව එතරම් තැකීමක් නොකළේය.සියල්ලටම වඩා ඔහු තම ගමන සැලසුම්කල ලංකාවේ නියෝජිතයාත් ප්‍රංශයේ සිටින ඔහුගේ සගයාත් විශ්වාස කළේය.නිර්මිතා මේ ගමනෙහි වූ අවධානය ගැන එතරම්ම දැන සිටියේ නැත.ඇය සිටියේ ධනංජයව විශ්වාස කරගෙනය.
ධනංජය වටපිට බැලුවේ තමාත් නිර්මිතාත් කුලී නිවසට කැඳවාගෙන යාමට පැමිණෙනවායැයි කියූ පුද්ගලයා ගැන විපරම් කරන්නටය. මිස්ටර් ධනංජයයැයි නම සදහන් සුදු පැහැ පුවරුවක් ඔසවාගෙන උන් ප්‍රංශ ජාතික තරුණයා ඔහුගේ නෙත ගැටුණේ එවේලෙහිය.නිර්මිතාව එක තැනක නතර කරවා ඔහු අඩියක් දෙකක් පෙරට තැබුවේ ඒ පුද්ගලයා අසලට ගමන් කරන්නටය.එහෙත් ඉන් පෙර ඔහු අසලට පැමිණි ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ලියකියවිලි පරීක්ෂා කරන්නට අවශ්‍යයැයි පැවසූයේ පැහැදිලි ඉංග්‍රීසි භාෂාවෙන්ය.
ගුවන් තොටුපොළේ දී යමක් සිදු වුවහොත් ඊට මුහුණ දිය යුතු ආකාරයත් ඔවුනට පිළිතුරු දිය යුතු ආකාරයත් පිළිබඳව කලින්ම දැනුවත් වී සිටි නිසා ධනංජය බිය වූයේ නැත.අඩියට දෙකට ඉදිරියට පැමිණි නිර්මිතා ඔහුගේ දකුණතින් අල්ලා ගත්තේ බියෙන් , සැකයෙන් විසල්ව ගිය දෑස් ඇතුවය.ඈ දෙස තත්පර කිහිපයක් බලා උන් ආරක්ෂක නිලධාරියා නිර්මිතාගෙන් අදාල ලියකියවිලි ඉල්ලා සිටියේ කාරුණිකවය.
ඒවා හොඳින් පරීක්ෂා කළ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා හස්ත මුද්‍රාවෙන් යමක් ඔවුනොවුන් අතර හුවමාරු කරගන්නා ආකාරය ධනංජයත් නිර්මිතාත් බලා සිටියේ සිය බියපත් දෑස් විසල් කරගෙනය.ඉන්පසු දෙදෙනාටම කැඳවීමක් ලැබුණේ තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා කාර්යාල කාමරයකට පැමිණෙන ලෙසය.
“ මොනවද මේ වෙන්නේ ? එයාලා කිව්වා නේද ප්‍රශ්නයක් වෙන් නෑ කියලා..”
නිර්මිතා ධනංජයගෙන් ඇසුවේ වෙව්ලන ස්වරයෙන්ය.
“ ට්කක් ඉවසීමෙන් ඉන්න.සමහර විට මෙහෙම වෙයි කියලා මට චානක කිව්වා.බයවෙන්න එපා.දවස් කිහිපයක් මෙතන ඉන්න උනත් එයාලා ඇවිල්ල අපිව බේරගෙන යයි.ඒක සාමාන්‍යයිලු…”
එවර ධනංජය පැවසූයේ මඳ හඬකින්ය.ඔහුට වුවමනා වී තිබුණේ තමාත් සන්සුන් වී ඇයවත් සන්සුන් කරවන්නට වුවත් එය එසේ නොවුණේය.
ආරක්ෂක නිලධාරිනියන් දෙදෙනෙකු පැමිණ නිර්මිතාව රැගෙන ගියේ වෙනත් පෙදෙසකටය.මද දුරක් ඉදිරියට ගොස් ඇය ආපසු හැරී ධනංජය දෙස බැලුවේ දෑස් වල කඳුළු පුරවාගෙනය.එහි වූයේ ඔහු කිසිදා නොකියවූ බැල්මකි.
ධනංජය ඉක්මන් වූයේ බිම බලාගන්නටය.
පැය ගණනාවක් පුරා කරන ලද ප්‍රශ්න කිරීම් වලින් පසුව ධනංජයට සිදු වූයේ බන්ධනාගාර ගතවන්නටය.ඔහුට කිසිවෙකුට කතා කරන්නට ඉඩක් ලැබුණේ නැත.ප්‍රංශයට හොරෙන් ඇතුළු වන්නට උත්සහ කරන්නන්ට ලබා දෙන දඬුවම ඉතා තද එකක් බව ඔහු දැන ගත්තේ ඒ ප්‍රශ්න කිරීම් වලදීය.ඔහුට නඩු පැවරූයේ නීති විරෝධී සංක්‍රමනයකට උත්සාහ කල වරදටය.
නිර්මිතාට කුමක් වූයේදැයි ඔහු ප්‍රංශ පොලිස් සේවයෙන් ඇසුවේ බොහෝ යටහත් පහත්වය.ප්‍රංශයට ඒම සඳහා ලියකියවිලි සකස් කළ පුද්ගලයා පැවසූ ලෙස ආරක්ෂක නිලධාරීන් රවටන්නට හෝ ඔවුන්ගේ අනුකම්පාව දිනාගන්නට ධනංජය සමත් වූයේ නැත.එය ඒ සා ලෙහෙසි පහසු ක්‍රියාවක් නොවන බව ඔහු වටහාගෙන තිබිණ.අවසන ඔහුට සිදු වූයේ වරද පිළිගෙන නිහඬ වන්නටය.
නිර්මිතාවත් කාන්තා සිර මැදිරියකට යවන බව ඔහුට පැවසූයේ ආරක්ෂක නිලධාරියෙකි.දිගු සුසුමක් මුදා හල තරුණයා සිදුවන සියල්ලට ඉඩ දී බලා සිටීමට තීරණය කළේ කලයුතු අන් කිසිවක් නොවූ නිසාය.කිනම් මොහොතක හෝ තමා වෙනුවෙන් මෙරටෙහි නීතිඥයෙකු සමග ප්‍රංශ නියෝජිතයා පොලිස් නිලධාරීන් හමුවේ පෙනී සිටීයැයි ධනංජය විශ්වාස කළේය.ඒ විශ්වාසයට ඉඩ දුන් ඔහු ගුවන් තොටුපළෙන් බන්ධනාගාර බස් රථයට නැගුණේ පැය හැත්තෑ දෙකක කාලයක් එහි රඳවාගෙන කළ ප්‍රශ්න කිරීම් වලින් හෙම්බත්වය.තමාත් නිර්මිතාත් වෙනුවෙන් කිසිවෙකු පෙනී සිටිනවායැයි වූ බලාපොරොත්තුව බිඳි ගොස් තිබිණ.එළි මහන් සිර කඳවුරට පැමිණියේ ජීවිතය අතහැර දැමූ තරුණයෙකි.
හසාරා සිරිමාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මගී පර්යන්තයට මදක් එහාට වන්නට වූ අමුත්තන් පිළිගැනීමේ ශාලාවට පැමිණි පිරිස දෙස නොඉවසිලිමත් දෑස් වලින් බැලුවේ ධනංජයව සොයන්නටය.එහෙත් ඔහු කොතැනකවත් නොවූකල ඒ දෑස් කඳුළින් පිරී යන්නට විය.කාලයක් තිස්සේ හසාරාව දැන හඳුනාගෙන උන් රියදුරා මඳක් එහාට වන්නට සිටගෙන සිටියේ සන්සුන්වය.හසාරා දුටු හැටියේම ඔහු ඉදිරියට පැමිණ “ කොහොමද මැඩම්..” යැයි අසමින් ඇය අත වූ බෑග්මලු තම ඈත් වලට ගත්තේය.නිවසට පැමිණෙන තුරුත් හසාරා උන්නේ කල්පනාවේය.ගේට්ටු පලු එකට එක් කොට අගුළු ලා තිබිණ.දිගු කලක් තමා විදේශගතව සිට ආපසු ලංකාවට පැමිණියාක් බඳු හැඟීමක් ඇගේ සිතට දැනෙමින් තිබිණ.හසාරා ගේ්ට්ටුව අසල නැවතූ වාහනයෙන් බැස ගත්තේ නිවස දෙස බලාගෙනමය.
තමා එනතුරු නොඉවසිල්ලෙන් බලා සිටින දෑස් වෙනුවට ඈ දුටුවේ නිවස දොරගුළු ලා වසා තිබෙන ආකාරයය.දින ගණනකින් ඉදලක පහස නොලත් මිදුල හැඩි වී තිබිණ.තණකොල වැවී තිබුණේ ඕනෑවට එපාවටය.සදැල්ලෙන් හෝ ඔහු එබී බලතැයි සිතුනත් ඒ සිතුවිල්ලක් පමණක් බව හසාරාට සිහි වූයේ මඳ වේලාවක් ඒ දෙස බලා සිටියාට පසුවය.
වේගයෙන් පැමිණි වාහනයක් හසාරාගේ කාර්යාලීය වාහනය පිටුපස තිරිංග තදකර නතර කලේ ඈ පිටුපස හැරෙද්දීමය ඒ නීතිඥ සුරංජිත් ගම්හේවාගේ විසෙල් වර්ගයේ ජීප් රථය බව හඳුනාගත් හසාරා අඩියක් දෙකක් පෙරට තැබුවේ දෑස් විමතියෙන් විසල් කරගෙනය.
“ කොහොමද මිසිස් හසාරා…ගොඩක් වෙලාද ඇවිල්ලා..”
“ හොඳින් ඉන්නවා.විනාඩි…..දහයක් විතර වගේ ඇති.මම මේ ධනංජයට කෝල් එකක් ගන්න ට්‍රයි කලා එයාගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ.මේ ලඟකට ගිහින් වෙන්න ඇති..”
“ මිසිස් හසාරා අපි ඇතුලට ගිහිල්ලා කතා කරමුද..”
“ අනේ සොරි සුරංජිත් ධනංජය එනකල් අපිට ඇතුලට යන්නනම් වෙන්නේ නැහැ.මොකද මම එක්ස්ට්‍රා කී එක ගෙනිච්චේ නැහැ.”
“ නැහැ කී එකක් මගේ ළඟ තියෙනවා. ධනංජය හදිසි ගමනක් ගියා.කී එක මගේ අතට දීලයි ගියේ.ඔයාට පුළුවන්කමක් තියෙනවනම් අපි ඇතුලට ගිහිල්ලා ඩ්‍රයිවර් යවමු.මට ටිකක් කතා කරන්න ඕනේ..”
හසාරා සුරංජිත්ගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා බැල්මක් හෙළුවේ ඔහු මේ පවසන්නේ කුමක්දැයි හරිහැටි වටහා ගනු නොහැකිවය.සැකයක බියක සේයාවක් ඇගේ හදවත වසා පැතිර ගියත් ඕ ගැඹුරු හුස්මක් ගෙන සන්සුන් වන්නට උත්සාහ දැරුවාය.සිදුවන්නේ කුමක් වුවත් ඊට මුහුණ දිය යුතු බව ඈ දැන උන්නාය.හසාරා යමක් පවසන්නට පෙර සුරංජිත් විසින් ගේට්ටු පලු දෙක දෙපසට විවරකර මුලින් තිබු වාහනය ඇතුළට ගන්නයැයි පැවසූයේ හස්ත මුද්‍රාවෙන්ය.ඒ පසුපස ඔහුගේ වාහනයත් ගෙවත්තට ඇතුළු විය. සිය ගැහෙන දෙපා අපහසුවෙන් වත්තම් කරගත් තරුණිය ගේට්ටුවෙන් ඇතුළු වූයේ ඒ සියල්ලක්ම සිදු වූ පසුවය.
“ ගුණසිංහ අංකල් බෑග්ස් ටික ඇතුලෙන් තියලා යන්න.උවමනාවක් වුණොත් මම කෝල එකක් දෙන්නම්.”
“ මහත්යා එළියට ගිහිල්ලද මැඩම්..”
“ඔව්….මහත්තයාගේ යාළුවෙක් තමයි මේ ඇවිත් ඉන්නේ.මහත්තයා එන්න තව පැය දෙක තුනක් යයි..”
මැදි වයසේ රියදුරා පිටත්ව ගියේ ගමන් මළු සියල්ල නිවස තුළින් තැබුවාට පසුවය.හසාරා නීතිඥවරයාට නිවස තුළට පැමිණෙන්නයැයි ආරාධනාා කළේ ඉන අනතුරුවය.
ඔහු අත කළු පැහැ ෆයිල් කවරයක් විය.නිවස හසාරාගේ වුවත් ඇයට අසුන් ගන්නයැයි ආරාධනා කළේ ඔහුය.
“ මට හරිම කණගාටුයි හසාරා ලංකාවට ආපු ගමන් මේ වගේ දෙයක් ගැන කතා කරන්න වීම ගැන.මං දන්නව හසාරා කොහොමටවත් බලාපොරොත්තුවෙන් ඉදපු දෙයක් නෙමෙයි මේ.”
තමාට වඩා වසර කිහිපයක් වැඩිමහළු වුවද පසුගිය කාලයේ හිතවත් මිතුරෙකු සේ ධනංජයටත් තමාටත් සමීප වූ නීතිඥ වරයා දෙස හසාරා බලා සිටියේ බියමුසු දෑස් වලින්ය.
“ ප්ලීස් සුරංජිත්..මට කියන්න මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ධනංජයට මොනවා හරි කරදරයක්ද…”
“ ධනංජයට කරදරයක්ද නැද්ද කියන්න මම දන්නෙ නැහැ.සේවා දායකයෙක් විදිහට මගෙන් ඉල්ලපු ඉල්ලීමක් තමයි මම මේ ඉෂ්ඨ කරන්නේ.මිනිස්සුන්ට තමන්ගේ ජීවිතය ගැන අවබෝධයක් නැතිවෙලා ගිය තැන්වලදී මිනිස්සු අහක යන කරදරත් ඇදලා තමන්ගේ කරට දාගන්නවා කියලා මං විශ්වාස කරනවා.සමහරවිට ධනංජය කරන්න ඇත්තේ එහෙම දෙයක් වෙන්න ඇති.”
“ අනේ සුරංජිත් කියන කිසිම දෙයක් මට තේරෙන්නේ නැහැ.මට කෙටියෙන් කියන්න ධනංජයට මොනවා හරි කරදරයක්ද..”
“ නැහැ..මේ කතාව කෙටියෙන් කිව්වොත් මං හිතන්නේ මම මගේ රාජකාරිය හරියට ඉෂ්ඨ කරන්නේ නැහැ.මුලින්ම හසාරා සන්සුන් වෙලා ඉන්න.”
හසරා දිගු සුසුමක් මුදාහැර දෑස් වසා ගත්තේ ඔහු පවසන්නට යන්නේ කුමක් වුවත් එය දරා ගැනීමට තමාට ශක්තිය ලබා දෙන්නයැයි විශ්වයෙන් ඉල්ලීමක් කරමින්ය.
සුරංජිත් මුලින්ම අතට ගත්තේ යතුරු කිහිපයකි.ඒ මෙම නිවසේත් ගේට්ටුවේත් අල්මාරිවලත් යතුරුය.ගණන් නොකලත් ඒ සියලු යතුරු එතන ඇති බව හසාරා පුරුද්දෙන්ම වටහා ගත්තාය.
ඉන් පසු ඔහු අතට ගත්තේ ගුරු පැහැ ලිපි කවරයකි.
“ හසාරා….ධනංජය මේ වෙලාවේ ඉන්නේ ලංකාවෙ නෙමෙයි.හැබැයි ඒ දවස් කිහිපයකටද මාස කිහිපයකටද එහෙම නැත්නම් අවුරුදු කිහිපයකටද කියලා මම දන්නෙ නෑ.ගමන් විඩාව ඇරලා හසාරා නිවී සැනසිල්ලේ මේ ලියුම කියවන්න.ඊට පස්සේ මට කෝල් එකක් දෙන්න.මට මේ වෙලාවෙම ඔයා ළඟට එන්න සිද්ධ වුණේ මේ යතුරු ටික මගේ ළඟ තිබුණු නිසා.මේ ලියුම කියෙව්වට පස්සේ අපි ටිකක් නිදහසේ මේ ප්‍රශ්නෙ ගැන කතාකරමු.”
“ සුරංජිත් මොකක්ද ප්‍රශ්නය… එහෙම නිදහසේ අපිට කතා කරන්න තියෙන ප්‍රශ්නේ මොකද්ද..ප්ලීස් ඔයා දන්න හැම දෙයක්ම මට කියන්න..”
සන්සුන් වන්නට සිතුවත් මේ ගැහැණු සිතට එවේලෙහි එසේ කිරීමේ හැකියාවක් වූයේ නැත.මේ ජීවිතයේ කෙදිනකවත් නොවූ අයුරින් ඈ නොසන්සුන්ව උන්නාය.බිය වී උන්නාය.
( යළිත් හමු වෙමු ආදරයෙන්…)
…………………………………………………………………..
අපේ smartlady.lk වෙබ් පිටුවේ පළවන අලුත්ම රසබර ලිපි කියවන්න පහත සබැඳිය හරහා එකතු වෙන්න අපේ WhatsApp Group එකත් එක්ක…….
https://chat.whatsapp.com/FAsY24oP5R7L6KafHOwTzC
ReplyForwardAdd reaction |