ජීවිතය කවියක් නොවේ – 44

0
3440

එතැන් සිට හසාරාගේ දවස ගෙවී ගියේ ධනංජයව බේරා ගත හැකි මාර්ගයක් සොයන්නටය. ඇගේ සියලු හිතවත්කම් භාවිතා කරමින් අවසන ඔහු පිළිබඳව තොරතුරු සොයා ගැනීමට ඇයට හැකියාව ලැබිණ. පුදුමයට කරුණ වූයේ නිර්මිතා ඒ වන විටත් නිදහස්ව සිටීමයි. ඇය ප්‍රංශය තුළ ජීවත් වීමයි. 

“ මට පේන්නෙ මේ ගෑනි මූට කරලා තියෙන්නේ බොරුව. මෙයාගේ ඩොකියුමන්ට්ස්  මෙහෙම වුණාට එයාගේ ඩොකියුමන්ට්ස් හරියට තිබුණද දන්නෙත් නෑනේ නංගි… තමන්ගේ රටේ නොවුනත් වෙන රටකට ගිහිල්ලා හරි අන්තිමට මූට සිද්ධ වුණේ හිරේ විලංගුවේ ලගින්නනේ. මේ ලංකාවේ රජෙක් වගේ හිටිය මිනිහෙක් නේද කියලා හිතනකොට ඇත්තමයි නංගි පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ.”

කසුන් දුරකථනයෙන් කතාකර එසේ  පැවසූයේ ධනංජය පිළිබඳව නිවැරදි තොරතුරක්  දැනගත් දින රාත්‍රියේය. හසාරා ධනංජයගේ නැගණියට ද  කතාකරමින් සියලු තොරතුරු නොවළහා පැවසුවාය. 

“ අනේ අක්කේ අපි කොහොමද අයියව බේර ගන්නේ..මට බය හිතෙනවා මේවා අහද්දි..”

“ ඒක ලේසි වැඩක් නෙමෙයි නංගි.  ඒත් අපි කොහොම හරි උත්සාහ කරමු. අපි එහේ ඉන්න කෙනෙක්ගෙ මාර්ගයෙන් ලෝයර් කෙනෙක්ට කතා කළා. හෙට ඒ ලෝයර් ධනංජය ඉන්න කඳවුරට  යයි. සමහර විට අපිට කරන්න තියෙන ගෙවීමක් කරලා හරි අයියව මෙහෙට ගෙන්න ගන්න පුළුවන් වෙයි. හෙට දවස වෙනකන් ඉවසමු නංගි….”

“ මට අම්මටයි තාත්තටයි තව දුරටත් බොරු කියන්න බෑ අක්කේ. ඒ දෙන්නා සැරින් සැරේ කියනවා මගේ කොල්ලට මොනවා හරි කරදරයක් කියලා. කරදරයක් නැත්නම් ඌ මෙහෙම අපිව මග අරින්නෙ නෑ කියලත් කියනවා. අක්කට කෝල් එකක් අරන් දෙන්න කියලා වෙලාවකට අම්මා වද දෙනවා..”

“ තව චූටි දවසක් ඉවසමු නංගි..”

අවසන හසාරා පැවසූයේ දිගු සුසුමක් මුදා හරිමින්ය. 

ඒ කඳවුරුවල ජීවිතය අපහසු එකක් බව හසාරා අසා තිබුණාය. ධනංජය සුවපහසුව ප්‍රිය කළ අයෙකි. සිය ශරීර සෞඛ්‍ය,  කෑම බීම ගැන දෙවරක් සිතූ අයෙකි. දෙදෙනා එක් නිවසක වාසය කළ අවසන් කාලයේ  ඇති වූ විරසක වීම නිසා ධනංජය පිටතින් ආහාර ගැනීමට පුරුදු වුවත් වෙනදා හදිසියකට මිස ඔහු කඩ කෑම ගෙන එන්නේම නැත. බොහෝ දිනවල රාත්‍රියෙහි නිවසෙහි පිළියෙළ වන්නේ ඔහු ප්‍රිය කරන පොල් සම්බෝලය සහ කරවල බැදුමයි. නිවසෙන් පිටත වන කුඩා මුළු තැන් ගෙය තුළ වන ඇඹරුම් ගල ධනංජයගේ මවගෙන්  හසාරාට තෑගි ලැබුණු එකකි. යහමින් උම්බල කඩ,  රතුලුනු යොදා ඇඹරුම් ගලෙහි අඹරන පොල් සම්බෝලයට දෙහි බෑයක්  මිරිකා ගත්පසු දැනෙන්නේ දිව්‍යලෝක රසයකි.

ධනංජය හරි හරියට හසාරා හා මුළුතැන් ගෙයි වැඩ වලට හවුල් වූවේය. නිවස තුළ වූ වැඩ ගැහැණියම කළ යුතුයැයි ඔහු කිසිවිටකත් පැවසූයේ නැත. හසාරා මුළුතැන්ගෙය තුළ සිටියදී නිවස අතු ගෑම රෙදි නැවීම වැනි බොහෝ වැඩකටයුතු ඔහු විසින් සිදු කළේය.

“ ඔය ගෙදරදි කලෙන්  වතුර එකක් නවාගෙන බිව්වෙ නැති දරුවෙක්. ඒත් මහත්තයා නිතරම කියපු දෙයක් තමයි කැම්පස් එකට ගියහම ඔය පිළිවෙල වෙනස් වෙනවා කියලා. දුවට කියන්න ලොකු පුතා කැම්පස් ගියාට පස්සේ මං හද්ද බයේ උන්නේ මේ ළමයා කන්නෙ බොන්නෙ කොහොමද කියලා…”

දිනක් ධනංජයගේ මව පැවසූයේ ඔහු නිවස තුළ කිසියම් වැඩක යෙදී සිටියදීය.

“ අනේ අම්මා මං වැඩ ගන්නවනං  නෙමෙයි. එයා කැමැත්තෙන්ම තමයි කරන්නේ. ඒක මට ලොකු උදව්වක් ඒ වගේම පහසුවක් අම්මා..”

“ අනේ නෑ දරුවෝ මං ඒ දොසක්  කිව්වා නෙමෙයි. මට හරි ආස හිතුනා එහෙම දකිද්දී. ලොකු පුතාගේ තාත්තත් එහෙමයි. මං කුස්සියේ ඉන්නවනම් මොන වැඩේ තිබුණත් මහත්තයා එළියට වෙලා හිටියේ නෑ. හරි හරියට මාත් එක්ක වැඩ කරනවා. මම රස්සාවක් කරේ නෑනෙ දුව. ඒ උනත් ගෙදර දොරේ වැඩ කටයුතු මගේ විතරයි කියල ලොකු පුතාගේ තාත්ත කවදාවත් හිතුවේ නෑ. අපි දෙන්නම ගෙදර වැඩ කරපු නිසානේ මේ ගොල්ලෝ ඒ දේවල් පුරුදු නොවුණේ.”

“ අක්කටයි මටයි නං පොඩි කාලේ ඉඳලම ගෙදර වැඩ කරන්න වුණා. තාත්තා ගෙදර ආවෙ මාසෙට දවසයි එහෙම නැත්නම් දෙකක් වගේනෙ. කඩේට යන එකේ ඉඳලම හැම දෙයක්ම කරන්න උනේ  අම්මට. ඉස්සර අම්මා කියනවා ගෙදර දොරේ වැඩ  ඉගෙන ගත්තහම ගෑනියෙක්ට  කවදාවත් වරදින්නේ නෑ  කියලා. අපේ ගෙදර බල්බ් එකක් ගියත් ඒක මාරු කළෙත් අම්මා. ගස් වල ගෙඩි කැඩෙව්වෙත් අම්මා. දර පැලුවෙත් අම්මා..තාත්ත නිවාඩුවට ගෙදර ආවහම අම්ම තාත්තට වැඩ කරන්න දෙන්නෙ නෑ. අම්මා කියනව ඒ මනුස්සයා එහෙත් නිකං ඉඳලා එනවා නෙමෙයි නේ… කියලා..”

ධනංජයගේ මව කිසි දිනක තමාට පිටස්තර ගැහැණියකට සේ සැලකුවේ නැත. වත්තේ වැවෙන එළවලු පලතුරු සේම ගම්මිරිස් ගොරකා වැනි දෑද ඕ ලොකු පුතාගේ කොටසයැයි වෙන් කළාය. මසකට වරක් මල්ලී  අත කොළඹ එවන වත්තේ ඵලදාවට අමතරව හසාරා ප්‍රිය කරන කෑම වර්ගයක් දෙකක් සාදා එවීමට ඈ අමතක කරන්නේ නැත. කඳුලක්,  දුකක් කියා දෙයක් ඒ ජීවිතවල නොතිබුණු තරම්ය. එවන් නිවී සැනසිල්ලේ ජීවත් වූ කාලය අතහැර ධනංජය කුමන සැපතක් සොයා ගියේදැයි නොතේරේ.

ඉන්දුමාගේ  අංකය සටහන් කරමින් දුරකථනය නාද වූයේ හසරා පාන් පෙත්තක බටර් තවරමින් සිටියදීය. මේ දිනවල ඕ  ආහාරයක් ගැන නොසිතූ තරම්ය. යළිත් ඒ දෑස් වලට නින්ද අහිමිව තිබිණ. 

“ මොනවද කරන්නේ?. කල්පනා කර කර ඉන්නවා ඇති කියලා හිතලයි මං මේ කතා කලේ. මං ඔහේ එන්නද එහෙම නැත්නම් ඔයා  මෙහෙ එන්න.”

“ එහෙම කාලයක් පහු වෙලා ගියා තමයි. දැන් මට මාව දරා ගන්න පුළුවන් ඉන්දු. ඒ ශක්තිය මට දුන්නේ ඔයාලම තමයි. පහුගිය දවස් ටිකේනම් මං පුදුමාකාර පීඩනයකින් හිටියේ. ධනංජය කොතැනක හරි ජීවත් වෙනවා කියලා දැන ගතපු  එක මගේ හිතට සැනසීමක්…”

“ දැන් ඔයා මොකක්ද කරන්න හදන්නේ..”

“ මොනව කරන්නත් හෙට ලෝයර් එයා ඉන්න කඳවුරට යන්න ඕනේ. මං හිතන්නේ අපිට ලොකු මුදලක් ගෙවන්න වෙයි. ධනංජයට කවුරු හරි වැරදි උපදෙස් දීලා තියෙන්නේ…”

“ අනේ  මන්දා මං ඔයාට මුකුත්  කියන්නේ නෑ. ලෝකයක් දිනපු ඔයාට මං කොහොමද උපදෙස් දෙන්නේ?. “

“ ඔයාලා ආදරේට කියන දේවල් මං උපදෙස් කියලා හිතන්නෙ නෑ. ඒ තමන්ගේ මිනිස්සු ගැන හිතේ තියෙන ආදරේ..ඒ හින්දා ඒවා නොකියා ඉන්න එපා.”

“ එයා ඉන්න තැනක් ගැන විස්තර හොයලා දීලා,  එයාව නිදහස් කර ගන්න කටයුත්ත එයාගේ නංගිටයි මල්ලිටයි පවරන්න. එයාලා නූගත් මිනිස්සු නෙමෙයිනේ. අනික පහුගිය කාලෙ ඔයා උන්නද මළාද කියල ඒ මිනිස්සුන්ට එක කෝල් එකක් දීලා හොයලා බලන්න බැරි වුණා.  අවශ්‍ය අවස්ථාවට විතරක් ඔයාව පාවිච්චි කරන්න කාටවත් ඉඩ දෙන්න එපා. එයාගේ අයියා ඔයාව ඩිවෝස් කරපු බව ඇත්ත. ඒත් එකම එක පාරක් කෝල් එකක් දීලා අහන්න තිබුණා අක්කේ ඔයාට මොකද උනේ කියලා… ඔය අනුකම්පාවනම් එච්චර හොඳ දෙයක් විදිහට මම දකින්නේ නෑ.”

“  මට ධනංජයව බේරගන්න ඕනෙ ඉන්දු. එයාට අමතක කරන්න පුළුවන් උනාට අමතක කරන්න බැරි තරම් ලස්සන අතීතයක් මට තිබුණා. මොනවාම හරි හේතුවක් හින්දා එයා මට වෛර කරලා යන්න ගියාට මට එයාට වෛර  කරන්න බැරි වුණා. මං මහ බොළඳ ගෑනියෙක් කියලා හිතන්න එපා. ඒ මං ආදරේ කල මනුස්සයා. මගේ ජීවිතේ උන මනුස්සයා..මගේ ජීවිතේට එයා ඕනේ නැති වුණාට එයාගේ අම්මට සහෝදරයන්ට එයාව ඕනේ.”

“ එහෙනම් ඔයා මේ යුතුකම  කරන්නේ එයාගේ අම්මයි සහෝදරයොයි වෙනුවෙන් විතරක් කියලා හිතන්න. මට දැනෙන දෙයක් මං ඔයාට කිව්වොත් ඔයා මට බනිනවද..” 

“ බනින්නේ කොහොමද ඉන්දු ඔයා මට සහෝදරියක් වගේ..ඔයා අහන්න හදන්නේ ධනංජය ගැනනම් එයා ආපහු වතාවක් මගේ ජීවිතේට සම්බන්ධ කරගන්නවද නැද්ද කියන එක ගැන මම හිතලා නැහැ. මොනව උනත් දැන් එයා තව කෙනෙක්ගෙ වෙලා ඉවරයි. එයා ගියේ අයිතිවාසිකම් අතෑරල⁣නෙ..”

“ නෑ මං කතා කරන්න ගියේ ධනංජය ගැන නෙවෙයි. බූවනෙක  සර්ගැන.”

“ බුවනෙක සර් ගැන..ඇයි මොනවා හරි කරදරයක්ද..”

“ නෑ බුවනෙක සර් ඔයා ගැන අදහසක් තියාගෙන ඉන්නවා කියලා මට හිතෙනවා. ඒක කීප වතාවක්ම මට දැනුනා. සමහර විට මට නොකිව්වට ඔයාටත් දැනිලා ඇති. මනුස්සකම් අවම මිනිස්සු අතරේ උපරිමයෙන් මනුස්සකම් තියෙන කෙනෙක් තමයි බුවනෙක සර් කියලා කියන්නේ. සර් කවද හරි දවසක ඔයාගෙන් එහෙම දෙයක් ගැන අහයිද නැද්ද කියන්න මම දන්නේ නෑ. ඒත් ඒ හිතේ ඔයා ඉන්න බව විශ්වාසයි.එහෙම ඇහුවොත් ඔයා මොකක්ද දෙන උත්තරේ.”

“ මගේ ජීවිතේට ආයේ පිරිමියෙක් සම්බන්ධ කරගන්නේ නෑ කියලා මම තීරණය කරලා ඉවරයි. ඇයි ගෑනියෙක්ට තනියෙන් ඉන්න බැරි. එහෙම හිතන හින්ද තමයි හැමදාම ගැහැණු දුර්වල වෙන්නේ. බූවනෙක  සර් මං ගැන විශේෂත්වයක් දක්වනවා කියලා මට දැනිලා තියෙනවා. ඇත්තටම පහුගිය කාලේ ඔය දෙන්න නැති වුනානම් මම ආපහු නිකම්ම නිකං හසාරා කෙනෙක් විතරක් වෙන්න තිබුණා..ඒත් බුවනෙක සර් ගැන මගේ හිතේ තියෙන්නේ මිත්‍රත්වයක්, ගෞරවයක් විතරයි..”

“ තරහ වෙන්න එපා මම මෙහෙම කියනවට. ඔයා තනියෙන් ඉන්න තීරණයක් ගත්තනම් මං ඒ තීරණයට කිසි දෙයක්  කියන්නේ නෑ. හැබැයි ආපහු ධනංජයව ජීවිතයට ලං කරගන්න එපා.නූගත් මනුස්සයෙක් අතින් මේ දේවල් සිද්ධ  වුනානම් අපිට එකම එක පාරක් හරි සමාව දෙන්න තිබුණා. ගෑනියෙක්ගේ  ජීවිතේ ලස්සනම කාලේ විනාස කරලා යන මනුස්සයෙකුට ආපහු සමාව දිය යුතුයි කියලා මං හිතන්නෙ නෑ. ඒ කාලේ ආපස්සට ඇදලා ගන්න පුළුවන් එකක් නෙමෙයි නේ..”

“ වැරදි කරන්න උගත්කම නූගත්කම බලපාන්නේ නෑ ඉන්දු. මිනිස්සු වැරදි කරන්නේ එක එක හේතු මත. මෙතැනදී ධනංජය කරපු වැරැද්ද තමයි හදිසි තීරණ ගතපු හිතට අවනත වෙච්ච එක. මොනව උනත් මේ වෙලාවේ මං ධනංජයව  බේරගන්න පුළුවන් දෙයක් කරනවා.ඒක මගේ හිතට නිවනක් වෙයි.

ඒ ඇත්තටම අර අම්මයි තාත්තයි වෙනුවෙන්. මං එයාලට අම්මයි තාත්තයි කියලා කිව්වේ මගේ හදවතින්ම. ඒ දෙන්නා මාව දුවෙක් විදියට පිළිගත්තෙත් ඒ දෙන්නාගේ හදවතින්ම. ඉතින් මං ඒ යුතුකම ඉෂ්ට කරන්න ඕනේ..”

අවසන හසාරා පැවසූයේ මඳ හඬකින්ය. එතැන් පටන් දෙදෙනා අතර වූයේ සාමාන්‍ය කතා බහකි. ඉන්දුමා තවත් බොහෝ දේ පැවසුවාය. ඇයට දැන් උවමනා වී ඇත්තේ තමා යළිත් විවාහයක් තුළ ජීවත්වනු දකින්නටය.

( යළිත් හමුවෙමු ආදරයෙන්….)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here