මල්සර හී සර – 5

0
4376

“මම නම් කියන්නෙ සමුද්‍ර ඔච්චර මේ ලොකු සීන් දාන කෙල්ලෙක්ව අපි මේ ටෙලි ඩ්‍රාමා එක වෙනුවෙන් අරගන්න ඕන නෑ කියල. ඔන්න කලින් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් උනා නම් තව කමකුත් නෑ. ටෙලි ඩ්‍රාමා එකක තියා පොඩි ඇඩ් එකකවත් හිටියෙ නැති උනාට ලොකුකම නම් තියෙනවා ඉහ මුදුනටම” කියලා වසන්ත කියද්දි උනත් සමුද්‍ර නම් ඒ වසන්තයා කියන ඒව එච්චර ලොකුවටම ගණන් ගත්තෙ නෑ. වසන්තට කොහොමත් මුල ඉඳලා උවමනා උනේ තමන් තෝරපු ගෑණු ළමයගෙ යාලුවව ගන්න වෙච්ච එකේ දැන් කොහොමත් මිනිහා කතාකරන්නෙ රෝන් ටර්න් විත්තිය තේරුම්ගන්න බැරි තරම් සමුද්‍ර මෝඩයෙක් නෙවෙයි.

“මං අහන්නෙ මෙච්චර හොඳ චාන්ස් එකක් ලැබුණට පස්සෙත් ඒකට පයින් ගහන්න තරම් ලොකුකමක් තියෙනවා කියන්නෙ. මොකෝ මාවයි සමුද්‍රවයි නොදන්නවද? සමුද්‍රව නම් දන්නෙ නෑ කියමුකො. මගේ නම දන්නෙ නෑ කියන්නෙ ලොකු කේස් එකක්නෙ. දැනටම මම හදපු ෆිල්ම් එකක් තියටර්ස්වල රන් වෙන එකේ, මං හදපු ටෙලි ඩ්‍රාමා ආයෙ ආයෙම රිපීට් ටෙලිකාස්ට් වෙන එකේ මාව දන්නෙ නෑ කියන්නෙ. අනික අනික සමුද්‍ර මං හදන ටෙලි ඩ්‍රාමා වල රඟපාන්නා කෙල්ලො කී දෙනෙක් නම් බලාගෙන ඉන්නවද? එහෙම එකේ මේ තමන්ගෙ අතට ආව චාන්ස් එක කටට දාගන්න පින නැති එකියක් පස්සෙ මං කියන්නෙ අපි නම් යන්න උවමනා නෑ කියලමයි.

අපිට එදා ඔඩිශන් එකට ආව වෙන ළමයෙක්ව අරගන්න බැරිකමක් නෑනෙ” කියල වසන්ත කියද්දි තමයි සමුද්‍ර කට ඇරලා කතා කරන්න හිතුවෙ.

“අපි ඒ ළමයගෙ ලොකුකම කියල හිතුවට සමහරවිට ඒ ළමයට නොඑන්න වෙන රීසන් එකක් තියෙනව වෙන්නත් පුලුවන් නෙ”

“මොකද්ද මොකද්ද කියන්න බලන්න සමුද්‍ර තියෙන වෙන රීසන් එක? මේ රටේ කෙල්ලෝ කී දෙනෙක් නම් බලාගෙනද ඉන්නෙ තමන්ට නිළියක් වෙන්න ලැබෙන්නෙ කවදද කියල? සමුද්‍ර එදා ඇස් දෙකටම දැක්කනෙ කෙල්ලො කී දෙනෙක් නම් ඇවිල්ල උන්නද කියල ඔඩිශන් එකට නිළියෙක් වෙන්න බලාගෙන. එහෙම එකේ එච්චර කෙල්ලො ගොඩකින් තමන්ට ලැබිච්ච චාන්ස් එක නිකන් මේ ගූ ගොඩේ තියෙන මැණිකට පයින් ගැහුව වගේ පයින් ගහන කෙල්ලෙක්ව ඔච්චර උඩකින් තියන්න ඕනද?

අනේ මන්ද මට නම් හිතාගන්න බෑ මොකද්ද ඔය කියන තරම් තියෙන ප්‍රශ්නෙ කියලා” වසන්ත කියද්දි නම් සමුද්‍ර ඒත් හිතෙන් හිතුවා “කවුද දන්නෙ තමුසෙද ප්‍රශ්නෙ කියල? රටේම ප්‍රසිද්ධයිනෙ ඔහෙගෙ කෙරුවාව” කියලා. ඒ උනාට මුලු ලංකාවෙම තමන්ගෙ ස්ක්‍රිප්ට් එකක් කොලිටියටම කරල දෙන්න පුලුවන් ඩිරෙක්ටර් කෙනෙක්ට ඉන්නෙ වසන්ත කලුආරච්චි විතරක් වෙච්ච එකෙ ඕකට මුකුත් කියන්න ගිහිල්ලා නිකන් චොර වෙන්න උවමනාවක් සමුද්‍රට තිබුණේ නැ.

“එහෙම නිලියො වෙන්නෙ කවද්ද කියල බලාගෙන ඉන්න ළමයි ඇති. මේ ළමයත් සමහරවිට එහෙම හිතපු කෙනෙක් වෙන්නැති” කියල ඉතුරු ටික කියන්න සමුද්‍රට කට අරින්න උනේ නෑ ආයෙ මැද්දෙන් වසන්ත පැන්නා.

“ඉතින් එහෙනම් අහවල් එහෙකටද දැන් මේ ඇග්‍රිමන්ට් එක සයින් කරන්න එන්න කිව්වම බෑ කියන්නෙ?”

“පොඩ්ඩක් ඉන්නකො වසන්ත මහත්තය මම කියලා ඉවරවෙනකම්. මම කියන්න ගියේ ඒ ළමයත් සමහරවිට ඉස්සර ඉඳලම නිළියක් වෙන්න ආසාවෙන් උන්නා වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. අපි දන්නෙ නෑනෙ ඒ ළමයා ඔඩිශන් එකට ඇවිල්ලා තේරිලා ෆෝන් අංක එහෙම දීලා ගියාටත් පස්සෙ අපි කතාකරාම එන්න බෑ කියන්න සාධාරණ හේතුවක් තියෙනවද කියලා. ඒ නිසා මම කියන්නෙ අපි තව පාරක් උත්සහ කරල බලමු කියල, මොකක් හරි බයක් සැකක් හිතේ තියෙන නිසානම් එන්නෙ නැත්තෙ අපිට පුලුවන් නෙ ඒවට උත්තර හොයලා දෙන්න” කියල සමුද්‍ර කිව්වට වසන්ත නම් හිටියෙ ඒකට ඔලුව නවන අදහසක නෙවෙයි.

“සමුද්‍රලා මේ වැඩවලට අලුත් උනාට මම එහෙම නෑනෙ සමුද්‍ර. මම මේ ෆීල්ඩ් එකේ දැන් අවුරුදු දහයකට වැඩි ඇවිල්ලා. මම මේ ඉන්දියන් නිලියො එක්ක පවා වැඩකරලා තියෙන විත්තිය සමුද්‍ර දන්නවනෙ. අර මම්මුට්ටි කියන මලයාලම් නලුවා ලංකාවෙ ශූට් කරපු ෆිල්ම් එකකටත් මම ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් විදියට සම්බන්ධ වෙච්ච බව සමුද්‍ර දන්නවනෙ. එහෙම එකේ මට ඔය මේ අලුතෙන් ආව ඊයෙ පෙරේදා ඉපදිච්ච කෙල්ලො ලඟ සෙකන්ඩ් වෙන්න යන්න බෑ. සොරි සමුද්‍ර මම නම් ආයෙ කතාකරන්නෙ නෑ ඒ ගෑණු ළමයට.

මං කියන්නෙ එයාගෙ එච්චර ගෙම්බර් අපි බලන්න ඕන නෑ. අපි වෙන ගෑණු ළමේක්ව හොයාගමු. ඕනනම් අපිට බැරිය ආය ඔඩිශන් එකක් තියන්න. ඒ වියදම මේ පාර මම දරන්නම්කො”

“ඕකනෙ ඉතින් වසන්ත මහත්තයගෙ කලබලේනේ. මම කියන්නෙ අපි එච්චර කරන්න ඕන නෑ. වසන්ත මහත්තය ආයෙ ඔච්චර අකමැත්තෙන් ඒ ගෑණු ළමයට කතාකරන්න යන්න උවමනාවක් නෑ. මම කතාකරන්නකො. මම ඒ ළමයට කතාකරලා මොකද්ද මේ එන්න බැ කියන කතාව කියල අහල බලන්නම්. නිකන් මේ කවුරුහරි කිව්ව වැරදි කතාවක් හන්දා නම් අපිට පුලුවන් නෙ ඒවයි ඇත්ත නැත්ත තේරුම් කරවල දෙන්නා. ඒ ළමය එන්න බෑ කියන්නෙ ඇත්තටම සාධාරණ හේතුවකට නම් මම ආයෙ වතාවක් ඒ ළමයට කතාකරන්න යන්නෙ නෑ අපි වසන්ත මහත්තය කියනවා වගේ වෙන ගෑණු ළමේක් එක්ක ප්‍රොසීඩ් කරමු. හැබැයි දැනට අපි මේ ළමයට තව එකපාරක් කතා කරලා බලමු මොකද්ද ප්‍රශ්නෙ කියලා”

“මට තේරෙන්නෙ නැත්තෙ මෙච්චර මේ කෙල්ලො ඉන්න රටේ, ලස්සන කෙල්ලො ඕන තරම් ඉන්න රටේ සමුද්‍රට මේ ටෙලි ඩ්‍රාම එකට ඔය කෙල්ලවම ඕන කියල කියන්නෙ ඇයි කියලා” වසන්තයා දාපු නෝණ්ඩි හිනාව හිතට ඇල්ලුවෙ නැති උනාට කඩාගන්න බැරි උනාම නරියත් මිදි ඇඹුළයි කිව්ව කතාව සමුද්‍රට මතක් උනා. “තමුන්ගෙ මිම්මෙන් මාව මනින්න එපා” කියලා වසන්තයගෙ මූණට කියන්න බැරිකම හන්ද කට වහන් උන්නට “වසන්ත මහත්තය දන්නවනෙ මං ගාව ඒ වගේ වැඩ නෑ” කියල සමුද්‍ර කිව්වෙ දෙපැත්ත කැපෙන කතාවක් බව තේරුම්ගන්න බැරිකමක් වසන්තට තිබ්බෙ නෑ.

“මං ඒ ළමයවම ඕන කියල කිව්වෙ මට ඒ ළමයා ගැන කිසිම විශේෂත්වයක් පෙනිච්ච හන්දා නෙවෙයි. මම ලිව්ව ස්ක්‍රිප්ට් එකේ අරුන්දතී වාසලතන්ත්‍රිගෙ චරිතෙ තියෙන්න ඕන හැම ගෑණූකමක්මයි, හිත හයිය කමක්මයි මං ඒ ළමයා එදා කරපු ඇක්ට් එකෙන් දැක්ක හන්දා. මම කලිනුත් කිව්වෙ වසන්ත මහත්තයට නිළියො ඕන තරම් හොයාගන්න අපිට පුලුවන් වෙයි. හැම චරිතෙම එකම විදියට කරන අයයි චරිතෙ තමන්ගෙ කරගෙනයි රඟපාන නිළියො ඕන තරම් ඉන්නවනෙ. ගොඩක් නිළියො නිළිකම කියල කිව්වට කරන්නෙ තමන්ගෙ ඇත්ත ජීවිතේ රඟපාන චරිතෙම කැමරාවක් ඉස්සරහත් කරන එකනෙ. ඒ නිසා මට ඔය චරිතෙ තමන්ගෙ කරගෙන රඟපාන අය නම් ඕන නෑ. මට ඕන තමන්ට ඕන චරිතයක් වෙන්න පුලුවන් කෙල්ලෙක්.

මං මේ ළමයගෙන් දැක්කෙ ආන් ඒ වෙනස. ඒකයි මම ලේසියෙන් ඒ ළමයව අත ඇරගන්න කැමති නැත්තෙ”

“එතකොට දැන් සමුද්‍ර මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නෙ?” කියල වසන්ත ඉඳගෙන උන්නු පුටුවෙන් නැගිටල අහද්දි සමුද්‍ර කලේ ආයෙම වතාවක් තමන්ගෙ සුපුරුදු හීනි හිනාව ඉස්සරහට දාන එක.

“මම ඒ ළමයට කතාකරල බලන්නම් හෝ ගිහින් මුණගැහෙන්න හරි මාව මීට්වෙන්න හරි එන්න කියන්න පුලුවන් නෙ, මම කතාකරලා බලන්නම් ඉස්සෙල්ලා මොකද්ද එයාට තියෙන ප්‍රශ්නෙ කියලා” සමුද්‍ර අවසන් වචනෙ දෙද්දි වසන්ත හොඳ හුස්මක් අරගෙන ඔලුව වැනුවා.

“මං ඉතින් සමුද්‍රට තව දේවල් කියන්න යන්නෙ නෑ. මම දෙන්න ඕන ඇඩ්වයිස් ටිකයි කියන්න ඕන දේවල් ටිකයි කිව්වනෙ. සමුද්‍ර හිතනවනම් මට බෑ කිව්ව කෙල්ල සමුද්‍රට හා කියාවි කියලා, ඕකේ අපි ඉස්සරහට ගිහින් බලමුකො”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here