තාදී – 8

0
2299

වසන්ත ගජනායක හෝටලයේ ලොබිය අසල කෝපයෙන් එහා මෙහා ගියේ දුරකථනය අතැතිවය. ඔහු බලාපොරොත්තු වූ දුරකථන ඇමතුම ආවේ ඒ අතරය.

” කොහෙද කොස්තා උඹ ඉන්නේ? ” 

ගජනායක කෝපයෙන් වෙව්ලමින් ඇසුවේය.

” එන ගමන් ඉන්නේ බොස් ” 

” තමුසෙ මෙච්චර වෙලා ෆෝන් එක ආන්සර් කරේ නැත්තේ මොකද ? “

” මට පොඩ්ඩක් නින්ද ගියා බොස්. ” 

කොස්තා කීවේ රියදුරු අසුනේ හුන් පොඩ්ඩා දෙස බලමිනි.

” උඹල නිදාගත්තම වැඩ කරන්න ඕන මමද ? බැරි වෙලාවත් ලොරිය පොලිසියෙන් ඇල්ලුවනං උඹ ඔය වගේ බුදියගෙන ඉන්නවද ? “

ගජනායක කෑගැසුවේය. ලොබියේ හුන් පිළිගැනීමේ නිලධාරිනියද හිස ඔසවා බැලුවේ ගජනායකගේ කෑගැසීමටය. තමාව පාලනය කරගත යුතු බව ගජනායකට සිහි වුණේ තරුණිය බැලූ බැල්මටය. 

” අයියෝ කලබල වෙන්න එපා බොස්. මෙව්වා අපි පුරුදු වෙන්න කරන වැඩ නෙමෙයි නේ ඉතින් ” 

ධීරගේ රථය හෝටලේ ඉදිරිපිටට පැමිණ නවත්වනු ගජනායක දුටුවේ ඒ මොහොතේ ය.

” අ.. හරි හරි ඉක්මනට වරෙල්ලා ” 

ගජනායක ඇමතුම අවසන් කලේ ධීර දෙස බලමිනි. මේවා තම පුත්‍රයා දැනගත යුතු නැතැයි සිතමින් ගජනායක සන්සුන් වීමට වෙර දැරුවේය.

” ඇයි තාත්තා? මොකක් හරි අවුලක්ද ? ” 

ගජනායකගේ මුහුණේ වූ නොසන්සුන් බව ධීර දුටුවේ දුර තියාමය.

” නෑ නෑ මේ flower decorations වගයක් ගේන්න කියලා මං කොස්තව යැව්වා . තාම නෑ මං මේ ඒකයි බැලුවේ ” 

” ඉන්න මම චෙක් කරලා බලන්නම් තාත්තා ” 

ධීර කීවේ දුරකතනය අතට ගෙනය. එහෙත් ගජනායක එසැනින් එය වැළැක්වූයේ ය.

” උන් එන ගමන්. මම දැන් කෝල් කරා. පුතා ගිහින් හෙට අනිද්දා තියෙන ෆන්ෂන්ස් වල වැඩ ටික ඇරේන්ජ් කරන්න බලලා. මම මේක බලා ගන්නම් ” 

ගජනායකගේ කීමට අවනත වූ ධීර හෝටලය තුළට පිය මැන්නේය. තමා මේ තරම් මුදල් උපයන්නේ මේ හෝටලයෙන් බව තම පවුල ඇතුළු සියල්ලෝම විශ්වාස කළ නමුත් කිසිවෙක් නොදත් ව්‍යාපාර කිහිපයක් ද ගජනායක සතු වූයේය. ගජනායක ගේ ඒ  වැඩ පිළිවෙල දැන සිටියේ කොස්තා ඇතුළු තවත් ගෝලයන් කිහිප දෙනෙකු පමණි.

කොස්තා රැගත් ලොරි රථය හෝටලය වෙත පැමිණියේ තවත් විනාඩි පහළොවකට පමණ පසුව ය. ගජනායක ඒ වෙත ගියේ නොසන්සිඳුනු කෝපයෙනි.

” මොකක්ද මිනිහෝ මෙච්චර වෙලා කලේ ? මේවා සෙල්ලං වැඩ කියලා හිතුවද ? ” 

කොස්තා ලොරි රථයෙන් බසිද්දීම ගජනායක ගෝරනාඩුව පටන් ගත්තේ ය.

” පොලිසිය නැති පාරවල් වලින් දාලා එන්න ගියාම වෙලාව යනවා බොස්. පොඩි අවුලකට කියලා උනේ මට නින්ද ගිය එකයි බොස්ගේ කෝල් එක ආන්සර් කරන්න බැරි වෙච්ච එකයි විතරනේ ” 

කොස්තා කීවේ ලොරියේ වූ මල් වලට අදාල බිල්පත් ගජනායක අතට දෙමිනි.

” හෙට අනිද්දට ඕන කරන මල් ටික මෙතන ලස්සනට තියෙනවා. ඊට පිටිපස්සෙන් අනිත් බඩු ටික තියෙනවා ” 

කොස්තා කීවේ ජයග්‍රාහී ලීලාවෙනි.

” ලොරිය ඔහොම්ම දාපන් පිටිපස්සේ stores වලට ” 

ගජනායක අණ කලේය. මේවා අවදානම් සහගත වැඩය. ධීර මේ පිළිබඳව දැන ගතහොත් තමා සියල්ලන් ඉදිරියේ රැක ගෙන ආ නම්බුව දියවී යනවා නොඅනුමානය. 

හෝටලයේ පිටුපස පිහිටි පැරැණි ගබඩාව වෙත ගජනායක පැමිණියේ කොස්තා ලොරිය රැගෙන ඒ වෙත ආ පසුය. හෝටලයේ උත්සව අවස්ථාවන් සඳහා අවශ්‍ය මල් සැරසිලි අතර වූයේ කල් ඉකුත් වූ බෙහෙත් තොගයකි. ගජනායක කාලයක් තිස්සේ මේ ව්‍යාපාරය කාටත් හොර රහසේ කරගෙන පැමිණියේ හිටපු මන්ත්‍රී වරයෙකුගේ සහයෝගයෙනි.

” අපිට මේවට දැන් වෙන තැනක් හොයා ගන්න වෙනවා. මොකද ධීර මේවා ගැන දැනගත්තොත් මම මේ හෝටලේ කරලත් ඉවරයි ” 

” බොස් බයයි නේද පුතාට ? ” 

කොස්තා අනෙක් අතට ඇසුවේ සමච්චල්  සහගතවය.කොස්තා වැනි පුද්ගලයන්ව තරහ කරගෙන බැරිය. මේ ව්‍යාපාරය මේ ආකාරයට ගෙන යන්නේ ඔවුන් නිසාය. ගජනායක ඔහුගේ වදන් ඉවසුවේ ඒ නිසාවෙනි.

ධීර ගබඩාව වෙත පැමිණියේ ඒ අතරය.

” තාත්තා , හෙට වෙඩින් එකේ flowers ටිකත් මෙතනද ? ” 

ධීර ලඟටම එනතුරු ගජනායක දුටුවේ නැත.ඔහු ඉතා කලබල වූයේ එහෙයිනි.

” අ.. ඔව් ඔව්ව් ධීර. මේ මං ඒ ටික බලන ගමන් හිටියේ ” 

” දෙන්න තාත්තේ මං ඒක කරන්නම් ” 

ගජනායක අත තිබූ ෆයිල් කවරය ධීර වෙත පෑවේ හිත තුළ වූ තිගැස්ම සඟවා ගනිමිනි.

” මොනාද කොස්තා මේ අනිත් පෙට්ටි ? “

ධීර බැලුවේ මල් අතර තිබූ අනෙක් පෙට්ටි දෙසය. ගජනායකට හීන් දාඩිය දැම්මේය.

” ආ.. පුංචි මහත්තයා , ඒව මේ වෙන හයර් එකක ඒවා වගයක්. හෝටලේ ඒවා නෙමෙයි ” 

කොස්තා අඩමානයට මෙන් කියා දැම්මේය.

” ඇයි පුතා ඔයා දන්නැද්ද? මෙහෙට හයර් එන ගමන් කොස්තා වෙන වෙන ඒවත් කරනවනේ ” 

ගජනායක ඇඟ බේරා ගත්තේ කොස්තා දුන් පිළිතුරට හිතින් ස්තුතිවන්ත වෙමිනි. ධීර ෆයිල් එකේ සටහන් කර තිබූ ලැයිස්තුව පරීක්ෂා කරමින් උන්නේය.

” පුතා යන්න මං මේක බලා ගන්නම් ” 

ගජනායකට අවැසි වූයේ ධීරව එතනින් යවා ගැනීමටය. 

” මං ආවට පස්සේ පිටින් ආපු පළවෙනි ෆ්ලවර් ඕඩර් එක මේක තාත්තේ. ඉතින් මං බැලුවේ පුරුදු වෙන්නත් එක්ක මේක චෙක් කරලා උඩට යවන්න ” 

” මම දැන් මේ පටන් ගත්ත වැඩේ කරලා එන්නම්. පුතා යන්න office එකට ” 

පියාගේ මුහුණේ කුමක්දෝ අමුතු කලබලකාරී බවක් ධීර දුටුවේ ය. ඔහුට දැනුනේ අමුත්තකි.

” තාත්තා ඔයා හොඳින් නේද ? ” 

ධීර කවදාවත් තමාගෙන් මෙවැන්නක් අසා නැත. වෙනදාට මේ වැඩ නිදහසේ කරගන්නට හැකියාව ඕනෑ තරම් තිබුණත් දැන් එලෙස කළ නොහැකිය.ධීර ට හෝටලයේ වැඩ භාරදී තමා කරගත්තේ අනුවණකමකැයි ගජනායක ට පළමු වතාවට සිතෙමින් තිබුණේය.

” ඔ. ඔව් ඔව්. ඇයි ? ” 

ගජනායක පිළිතුරු දුන්නේ ධීර ගේ දෑස් මඟ හරින අතරේය.

” මං ඔෆිස් එකට යන්නම් තාත්තා ” 

ධීර යන්නට ගියේය. එහෙත් සිතට දැනෙන අමුත්ත පහව ගියේ නැත.

කාර්යාල කාමරයට පැමිණි ධීර නැවත බැල්කනියට පැමිණියේය. එතනට ගබඩාව හොඳින්ම පෙනෙන නිසා ගජනායක කොස්තා සමග මොන මොනවදෝ කතාබහ කරන ආකාරය ධීර සුපරික්ෂාකාරීව බොහෝ වේලා බලා උන්නේය. එය සාමාන්‍ය කතා බහක් නොවන වග ධීර ට හොඳින්ම දැනුනේ ය.

ධීර ජයමිණිට ඇමතුමක් ගත්තේ සිතට දැනුණු ඒ අවුල නිසාමය.

” අම්මා ” 

” පුතා. හොටෙල් එකට ආවද ? ” 

” ඔව් අම්මා. මං ගත්තේ පොඩි දෙයක් දැන ගන්න ” 

” මොකක්ද පුතා? තාත්තා හොටෙල් එකේ නැද්ද ? ” 

” තාත්තා පල්ලෙහා. මං office එකේ. මං ඒකයි අම්මට ගත්තේ ” 

” මොකක්ද පුතා අහන්න තියෙනවා කිව්වේ? ” 

ජයමිණි ඇසුවේ කුතුහලයෙනි.

” අම්මා දන්නවද මෙහෙ වැඩ කරන අර කොස්තා කියන මනුස්සයව ? ” 

ධීර හදිසියේම තමාව අමතා කොස්තා පිළිබඳව විමසන්නේ කුමක් හෝ සිදුවී ඇති නිසා බව ජයමිණි ට සිතුනි. ඒ සමගම ඇයට දැනුනේ බියකි. 

” කොස්තා දැන් අවුරුදු ගානක් අපි ගාව වැඩ කරන්නේ. ඉඳලා හිටලා ඔය ගෙදර මොකක් හරි වැඩක් තිබුනත් තාත්තා කොස්තාව තමයි ගෙන්නන්නේ . ඇයි පුතා ? ” 

” මං නිකමට ඇහුවේ ” 

” මොකක් හරි ප්‍රශ්නයක් වුනාද හොටෙල් එකේ? ” 

” එහෙම මුකුත් නෑ අම්මා. මං මේ ගැන ඇහුවා කියලා තාත්තාට එහෙම කියන්න එපා ” 

ධීර දුරකථන ඇමතුම අවසන් කළත් හිතට දැනුන අමුත්ත එලෙසමය. ඔහු නැවතත් බැල්කනියට ගොස් ගබඩාව දෙස බැලුවේය. ගජනායක පෙනෙන්නට නොසිටි අතර කොස්තා තවත් දෙදෙනෙකු සමගින් ලොරියේ තිබූ මල් සැරසිලි බිමට බාමින් සිටියේය. 

ධීර කාර්යාල කාමරයෙන් එළියට විත් තරප්පු පේළිය බැස්සේ සිතුවිල්ලේ ය.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here