තාදී – 35

0
3374

 

වසන්ත ගජනායක සහ ජයමිණි ගජනායක රැගත් රිය Clothez ඉදිරිපිට නවත්වන විට උදෑසන 11 පමණ විය.ජයමිණි උන්නෙ  ගැහෙන හදිනි. වසන්ත ස්වභාවයෙන්ම ඉක්මන් කේන්ති කාරයෙකු නිසා තාදී ට අපහාස වන අයුරින් හැසිරේ යැයි ජයමිණි බියෙන් උන්නා ය. Clothez වෙත පැමිණෙන්නට වසන්ත පාර ඇසුවේ නුගේගොඩ දෙසට ආසන්නට වන්නට ඔන්න මෙන්න තිබියදී ය. Clothez වෙත යන්නට පාර කියනවා හැර වෙන මගක් හෝ ධීර ට මේ ගැන දැනුම් දෙන්නට මගක් හෝ ජයමිණි හට ඒ මොහොතේ තිබුණේ නැත.

වසන්ත රියෙන් බසින විටම අනෙක් පසින් දොර ඇර ගත් ජයමිණි ද රියෙන් බැස්සා ය. Clothez යනුවෙන් විශාල අකුරෙන් සටහන් කළ තාදී ගේ රුව සහිත නාම පුවරුව දෙස වසන්ත මොහොතක් බලා උන්නේය. තමා බලාපොරොත්තු වූයේ කුඩා කඩ කාමරයක අටවා ගත් ඇඳුම් මසන තැනකි. එහෙත් බැලූ බැල්මට මෙය එයට වඩා විශාල ව්‍යාපාරයකි. නාම පුවරුවේ පෙනෙන පරිදි තාදී ද සිතුවාට වඩා රූමතියකි. වසන්ත සිතුවිල්ලේම දෙපා එසවූයේ ය. ජයමිණි ද ඔහු පසුපස ගොස් වසන්ත ප්‍රධාන දොරෙන් ඇතුළු වන විට Clothez වෙත ඇතුළු වූවාය.

තාදී උන්නේ ගයාත්‍රී සමග අලුතින්ම ආනයනය කරන ලද මංගල ඇඳුම් කිහිපයක හැඩ බලමිනි. ප්‍රධාන දොරෙන් ඇතුළු වූ අමුත්තන් දෙදෙනා දෙස තාදී මෙන්ම ගයාත්‍රී ද හැරී බැලුවේ එකවරමය. ජයමිණි සමඟ මේ පැමිණෙන්නේ වසන්ත ගජනායක බව අමුතුවෙන් හඳුන්වා දෙන්නට තාදීට අවැසි වූයේ නැත. 

තද නිල් පැහැ දිග ගවුමට අඩි උස සපත්තු පැළඳ රත්තරන් පැහැ අත් ඔරලෝසුවක් සහ සරල කරාබු යුවලක් පැළඳ සිටි තාදී උන්නේ දිගු වරලස මුදා හැරය. වසන්ත විනාඩි දෙක තුනක් නතරව සිටියේ ඒ සරල ,නමුත් දුටුවන්ගේ නෙත් පැහැර ගන්නා රූමත් බව අබියසය. රූමත් බවටත් වඩා ඇගෙන් විදහා දැක්වෙන්නේ අමුතුම තාලයේ පෞරුෂයකි.ඇගේ දෙනෙත් දීප්තිමත් ය. එහෙත් අහිංසකය. මේ කිසිදු ගුණයක් මිෂෙල් සතුව නැති බව තර්කයකින් තොරවම වසන්ත ඒ මොහොතේ පිළිගත්තේය. 

තමා පැමිණි කාරණය හදිස්සියේ සිහි වූවාක් මෙන් වසන්ත පියවි සිහියට පැමිණියේ ය. තාදී මදහසක් සහිතව ඉදිරියට පැමිණ දෙදෙනාවම පිළිගත්තාය.

” Good morning මිසිස් ගජනායක ” 

තාදී කීවේ ජයමිණි දෙස බලාය. එතැනින් නොනැවතුණු තාදී වසන්ත දෙසද බලා සිනාසුනාය.

” Good morning පුතේ. මේ මගෙ හස්බන්ඩ්. ධීර ගේ තාත්තා ” 

ජයමිණි අපහසුවෙන් කියා ගත්තාය. වසන්ත ගජනායක මෙහි පැමිණ සිටින්නේ අනිවාර්යයෙන්ම හේතුවක් සහිත බව අනුමාන කළ තාදී හොඳම දෙය ඔවුන් දෙදෙනාවම කාර්යාල කාමරයට කැටුව යාම බව සිතුවාය.

” මං හිතුවා. යන් මිසිස් ගජනායක අපි ඔෆිස් එකට. ගයාත්‍රි. අපිට කොෆි ගේනවද ? ” 

තාදී පෙරමුණ ගත්තා ය. ඉතාම ආචාරශීලී ගති ඇති මේ තරුණිය ධීර ගේ හිත සොරා ගැනීම ගැන පුදුමයක් නැතැයි සිතමින් වසන්ත තාදී පසුපස කාර්‍යාලය කාමරයට පිවිසියේ ය.

” වාඩි වෙන්න ” 

තාදී අත දිගු කර ආසන පෙන්වා ඇගේ ආසනයට ගොස් අසුන් ගත්තා ය. ජයමිණි අසුන් ගත්තේ ද බියෙන් ගැහෙමිනි. ඊළඟ මොහොතේ කුමක් සිදුවේදැයි බියකින් ඇය පෙළුනාය.

” මං ආවෙ ඔය ළමයා එක්ක ටිකක් කතා කරන්න ” 

වසන්ත කතාව පටන් ගත්තේ ජයමිණි බලාපොරොත්තු වූ පරිදිමය. 

” කියන්න මිස්ටර් ගජනායක ” 

තාදී වසන්තව ඇමතුවේ ද ගරු සරු ඇතිවය. කුමන ආකාරයේ ගති පැවැතුම් තිබුණත් මේ තමා ආදරය කරන සුන්දර මිනිසාගේ පියා ය.ඔහු තමාට කෙසේ සැලකුවත් මේ මොහොතට කෙසේ හෝ මුහුණ දෙන්නට සහ එය කෙසේ හෝ පසු කරන්නට තාදී සිතා ගත්තාය. 

” ධීර ට මම ප්‍රොපෝසල් එකක් ගෙනල්ල තියනව කියල දැනගෙනද ඔයා එයත් එක්ක යාළු වුණේ ? ” 

වසන්ත ඇසුවේ හොඳිනි.නමුත් මදක් සැරෙනි.

” ඊට කලින් ” 

තාදී ගේ පිළිතුරු සෘජු ය.ඇගේ ඒ පෞරුෂය ඇය තුළ දකින්නටම තිබුනා ය. වසන්ත ගේ ස්වරය පවා වඩා රළු නොවූයේ මුල සිටම ඇගෙන් දුටු ඒ පෞර්ශත්වය නිසාය.

” මං අපේ පවුලට ගැලපෙන , උගත් වැදගත් ළමයෙක්ව ධීර ට ප්‍රපෝස් කරලා තියෙන්නේ. ඒ ළමයා මගේ හොඳම යාලුවෙකුගේ දුවෙක්” 

වසන්ත සුපුරුදු කතාව තාදී ඉදිරියේද දිග හැරියේය. තාදී නොසෙල්වී බලා උන්නාය.ජයමිණි ඇසිපිය නොහෙලා බලා සිටියේද කිසිදු හැඟීමකින් තොර ඇගේ ඒ දෑස් දෙස ය.

” මොකක්ද ඔය ළමය ගේ නම ? “

වසන්ත කතාව නවතා ඇසුවේ ය. 

” තාදී ” 

” ඔයාගේ පසුබිම ගත්තම අපේ පවුලට , අපේ තත්වෙට කොහෙත්ම ගැලපෙන්නේ නෑ කියලා ඔයාටම තේරෙනවා ඇති නේ. මගේ පුතා උනත් මං ඉස්සරහ කවදාවත් මේ තරම් හිතුවක්කාර වෙලා නැහැ. ඒක එහෙම වෙලා තියෙන්නේ ඔයත් එක්ක සම්බන්ධයක් පටන් ගත්ත නිසා.දැන් එයාට ඕනේ , එයාට ඕන දේ කර ගන්න මිසක් වෙන දෙයක් නෙමෙයි. හැබැයි එයාට ඕන දේවල් කරන්න මම ඉඩ තියන්නේ නැහැ “

වසන්ත ගේ ස්වරය බලා හිදිද්දී රළු විය. ඔහු තවත් යමක් කියන්නට සූදානම් වෙද්දීම දොරට තට්ටු කරමින් ගයාත්‍රී ඇතුළු වූයේ කෝපි කෝප්ප දෙකක් රැගෙන ය. ඇය ඉතා සුහදශීලී සිනහවකින් යුතුව කෝපි කෝප්ප දෙක ජයමිණි සහ වසන්ත ඉදිරියේ තබා පිටව ගිය අතර ඇය පිටව යනතුරු තාදි නොවෙනස් සිනහවකින් ඇය දෙස බලා සිටින ආකාරය වසන්ත දුටුවේ ය. තාදී වසන්ත දෙසට මුහුණ හැරවූයේ ගයාත්‍රී දොරෙන් පිටව ගිය පසුවය.

” මේ සම්බන්ධේ අපේ පවුලට නොගැළපෙන එකක් කියලා දැන දැන මේකට අනුබල දෙන්න මට බැහැ. අපේ එක්කෙනාට උනත් හිතන්න තිබුන නොගැලපෙන තැන් වල පැටලෙනකොට. ඒ නිසා ඔය ළමයා මේ ගැන තීරණයක් ගන්න ඕනේ. තීරණයක් ගන්න කියන්නේ මේ සම්බන්ධෙ වහාම නතර කරලා දාන්න ඕනේ ” 

වසන්ත වචන මුදා හැරියේ රළුවය. ඔහු අන් අයගේ ජීවිත පවා තීරණය කරමින් තීරණ දෙමින් උන්නේ ය. ජයමිණි කිසිවක් කර කියා ගත නොහැකි අසරණකමකින් තාදී දෙස බලාහුන් අතර ඇය ගැන අප්‍රමාණ සෙනෙහසක් ජයමිණි ඒ මොහොතේදීත් හදවතේ දරා උන්නාය.

” මිෂෙල් ධීර ගැන හුඟක් බලාපොරොත්තු තියා ගෙන ඉන්නේ. අනිත් එක මං ඒ පවුලට දීපු පොරොන්දුව මං කොහොම හරි ඉෂ්ට කරන්න ඕනේ. ඒකට බාධාවක් වෙන ඕනෙම දෙයක් නැති කරලා දාන්න මම දෙපාරක් හිතන්නේ නැහැ ” 

වසන්ත නොකියා කලේ තර්ජනයකි. මේ කතා බහේ කොතැනකදී හෝ එවැන්නක් තාදී බලාපොරොත්තු වූවාය. 

” ඒ නිසා ඔය ළමයා අපේ පුතාට කතා කරලා අදම මේක ඉවරයක් කරලා දාන්න. මට ආපහු මෙතනට එන්න තියන්නවත් මේ කතාව ආපහු කියන්න වත් ඉඩ තියන්න එපා ” 

වයසින් මොනතරම් පරිනත වුවත් , වසර ගණනාවක විවාහ ජීවිතයක් ගෙවා ඇතත් ආදරය සහ සෙනෙහස යන බැඳීම් පිළිබඳව අල්පමාත්‍රයකවත් තැකීමක් නොකරන, ඒවාට මිලක් නියම කරන මේ දුර්වල මිනිසා ගැන තාදී ට උපන්නේ අනුකම්පාවකි.

” මේකයි මිස්ටර් ගජනායක ” 

සියල්ල අසා හිඳ අවසානයේ තාදී මුව විවර කරමින් මෙතෙක් වේලා රැකගෙන හුන් නිහඬතාවය බින්දාය.

” මං ධීර එක්ක මේ සම්බන්ධේ පටන් ගත්තේ මට කවද හරි දවසක මේ වගේ දේකට මූණ දෙන්න වෙනවා කියලා දැනගෙනමයි. මං පිළිගන්නවා තාත්තා කෙනෙක් විදිහට මිස්ටර් ගජනායක කියන දේ ගොඩක් දුරට හරි වෙන්න පුළුවන්. ඒත් මට මේ සම්බන්ධේ නවත්තන්න වෙන්නේ නම් ධීර ඒකට කැමති වුනොත් විතරයි ” 

තාදී ගේ පිළිතුර සෘජුය. එහෙත් වසන්ත බලාපොරොත්තු වූයේ එවැනි පිළිතුරක් නොවේ. තමාගේ වචන හමුවේ තමා ඉදිරියේ තාදී දිය වී හඬා වැටීමක් හෝ බැගෑපත් වීමක් බලාපොරොත්තු වූ වසන්ත ඇගේ වචන වලින් පුදුමයට පත් වූයේ ය. ජයමිණි කට කොණකට නැගුණු සිනහව ආයාසයෙන් මැඩ පවත්වා ගෙන බලා උන්නාය.

” හොඳයි අපි බලාගමු ” 

වසන්ත එකවරම අසුනෙන් නැගී සිටි අතර ජයමිණි ද ඒ අනුව නැගී සිටියාය. වසන්ත දොරෙන් පිට වූයේ කෝපයෙනි. ජයමිණි දොරෙන් පිට වන්නට ඔන්න මෙන්න තිබියදී හැරී බලා තාදී ට ආදරණීය සිනාවක් පා පිටවී ගියේ තාදී ගේ පෞර්ෂය හමුවේ වසන්ත පරාජය වූ සතුටිනි.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here