තාදී – 40

0
2417

තාදී උන්නේ කම්පනයෙනි. තම ජීවිතයේ අර්ධයක් බිමට කඩා වැටුණා වැනි හැඟීමක් ඇයට දැනෙමින් තිබුණි. සැනසීමකට තිබුණේ ධීර ඒ මොහොතේ ළඟ සිටීම පමණි. ධීර විසින් ගයාත්‍රීට ලබා දුන් දුරකථන ඇමතුමකට අනුව එළිවන මොහොතේම ගයාත්‍රී පැමිණියාය. වසර ගණනාවක් පුරා සේවය කළ ආයතනයට වී ඇති මහා විනාශය දුටු ගයාත්‍රී ද හඬා වැටෙන්නට පටන් ගත්තාය.

” අපි තාදීව ගෙදර එක්ක ගෙන යමු.එළි වෙනකන් නින්දක් නැතුව එයාට මහන්සියි ගයාත්‍රී ” 

” එතකොට සර් මෙතන ? ” 

” මං මගේ යාළුවා ආයුෂ් ට එන්න කියන්නම්. මෙතන වැඩ ටික එයා බලයි. පොලිසියෙනුත් ඉන්නවනේ  ” 

පොලිස් විමර්ශන දිගින් දිගටම සිදු කෙරුණු අතර ධීර දන්නා හඳුනන කිහිප දෙනෙකුගේ මාර්ගයෙන් විමර්ශන කටයුතු පුළුල්ව සිදු කෙරෙමින් පැවතුණි. මෙය තම පියාගේ ක්‍රියාවකැයි ධීර සැක කල නිසා ඔහු ඉවසා ගෙන උන්නේ තාදී ව එකලාසයක් කර ගොස් නිවසට පය ගසන මොහොත උදා වන තුරුය.

තාදී ගේ වාහනය එසේම තිබෙන්නට හැර ධීර ඔහු ගේ වාහනයෙන් තාදී වත් ගයාත්‍රි වත් තාදී ගේ නිවසට කැටුව ආවේය. නිවසට එනතුරුවත් තාදී වචනයක් හෝ කතා කළේ නැත. ඇය කඳුළු පිරි දෑසින් බලා ගත් අත බලාගෙන ඔහේ සිටියා මිස සුසුමක්වත් පිට නොකර සිටියාය. වසර ගණනාවක් පුරාවට තමා දුක් මහන්සියෙන් ගොඩනැගූ ව්‍යාපාරය හිත් පිත් නැති කාගේ හෝ වුවමනාවට එක මොහොතකින් විනාශ වී ගිය ආකාරය තාදී යළි යළිත් සිහිපත් කළාය. ඇගේ දෑස් ඉදිරිපිට ඒ බිහිසුණු සිදුවීම නැවත නැවත මැවී පෙනුණු අතර ඒ සෑම මොහොතක් පාසාම ඇගේ දෑස් වල වූ කඳුළු අලුත් විය.

කුඩාවට පටන් ගත් ව්‍යාපාරයේ පළමු අවුරුද්දක පමණ කාලය සේවකයන් නොමැතිව තමා දිවා රෑ නොබලා තනිව වෙහෙසුණු ආකාරය තාදී සිහි කලේ ශෝකයෙනි. තමාගේ ඇඳුම් නිර්මාණ කෙරෙහි පැහැදුණු ඒවාට ඇලුම් කළ බොහෝ දෙනාගෙන් වැඩි වැඩියෙන් ඇණවුම් ලැබෙන විට ව්‍යාපාරය පුළුල් කළ ආකාරයත් , ගයාත්‍රි ඇතුළු තවත් කිහිප දෙනෙකු සේවයට බඳවාගත් ආකාරයත් තාදී ට සිහි විය. 

ධීර වාහනය නතර කළේ තාදී ගේ නිවස පිහිටි ගොඩනැගිල්ල ආසන්නය වන්නටය. ගයාත්‍රී තාදී ගේ අත් බෑගයද ගෙන වාහනයෙන් බැස ගත් අතර තාදී පුරුදු නිහඬතාවයෙන් යුතුව ඔහේ ඉදිරිය බලාගෙන උන්නාය. මෙවැනි ඉරියව්වකින් තාදීව කෙදිනකවත් දැක නැති නිසා ධීර ට ඇය පිළිබඳව දැනුනේ මහත් වූ වේදනාවකි.

” තාදී. බහිමු ” 

තාදීගේ උකුල මත වූ ඇගේ දෑත් මතින් ධීර අත තැබූ විට තාදී තිගැස්සී ගියාය.ඇය ධීර දෙස බැලුවේ කඳුළු පිරුණු දෑසිණි.

” යන් ” 

තාදී නිහඬවම වාහනයේ දොර ඇර ඉන් බැස්සාය. ධීර තාදී ව කැටුව ගයාත්‍රී ද සමග තාදීගේ නිවස වෙත ආවේය. තාදීගේ අත් බෑගයේ වූ නිවසේ යතුර ගෙන ගයාත්‍රි දොර විවර කළ අතර තාදී නිවසට ඇතුළු වී සෝෆාව මත වාඩි වූයේද කිසිවක් නොකියාමය.

දොර අසල සිටගෙන හුන් ධීර අවට සිසාරා බැල්මක් හෙළුවේය. ඔහු මේ තාදීගේ නිවසට පැමිණියේ පළමු වතාවටය. එයද Clothez තරම්ම පිළිවෙලය. පිරිසිදුය. එයටත් වඩා නිවස පුරාම තිබුනේ නිස්කලංක බවකි. එය තාදී ගේ ගතිගුණ තරම්ම පැහැදිලිය.

” මං මිස්ට තේ එකක් හදන්නම් ” 

ගයාත්‍රි එසේ කියා මුළුතැන්ගෙය දෙසට ගිය අතර ධීර දොර වසා දමා පැමිණ තාදී අසලින් වාඩි වූයේය.

” තාදී මේ අහන්න ” 

තාදී ධීර දෙස බැලුවේය. කඳුළු පේලි දෙකක් ඇගේ දෙකොපුල් මතින් අලුතින් ගලා ගිය අතර  ධීර ගේ හදවත ද නැවත ශෝකයෙන් බර වූයේය.

” මේක කළේ කවුරු වුණත් , මං හොයා ගන්නවා. මට කරන්න පුළුවන් හැම දේම කරනවා. අපි හැමදේම අලුතින් පටන් ගමු තාදී. හැමදේටම මං ඔයත් එක්ක ඉන්නවා. හරිද ? ” 

තාදී ඇසිපිය නොහෙලා තප්පර කිහිපයක් ධීර දෙස බලා උන්නාය. අනතුරුව මුව විවර කලාය.

” හැමදේම මගේ ඇස් ඉස්සරහ විනාස වෙලා ගියා ධීර. මට දුක මට කිසි දෙයක් කරගන්න බැරි වෙච්ච එක. මං මහන්සියෙන් ගොඩ නගාගත්ත දේවල් මට පරිස්සම් කර ගන්න බැරි වෙච්ච එකට. ඔයා දන්නවද ධීර , මං ෂොප් එක පටන් ගන්න කොට මට උදව්වට කවුරුත් හිටියේ නැහැ. හැමදේම මං තනියෙන් කර ගත්තේ. මං ආවෙ ගියේ බස් එකේ. වැඩ වැඩි දවසට මං නැවතුනේ ෂොප් එකේ. මං ටික ටික සල්ලි හම්බ වෙනකොට ඒවා ඉතුරු කරලා අද ඔය තියෙන තැනට වෙනකන් ෂොප් එක ගෙනාවේ. එහෙම තැනක් ඔය වගේ හිතක් පපුවක් නැති විදිහට කුඩු කරලා දාන්න , විනාස කරලා දාන්න තරම් ඒ මිනිස්සු කොච්චර නපුරු වෙන්න ඕනෙද ධීර ” 

තාදී දෑතින්ම මුහුණ වසා ගෙන හඬන්නට පටන් ගත්තාය.මේ සිදුවීමට තම පියාව සෘජුවම සැක කිරීමට හේතු තිබියදීත් ඇය වචනයකින් වත් ඔහුට චෝදනා කළේ නැත. අඩුම තරමේ සැක කටයුතු පුද්ගලයන් පිළිබඳව පොලිසිය විමසද්දීත් ඇය වචනයක් වත් ඒ පිළිබඳව පිට කළේ හෝ නැත. 

ධීර ඇය වටා අත දමා ඇයව තුරුළු කර ගත්තේ මේ ලෝකයේ ඇයට සිටින එකම පුද්ගලයා තමා යන හැඟීම සහ වගකීම සිතට ගනිමිනි. තාදී ඉකි ගසමින් බොහෝ වේලා හැඬුවාය. අනතුරුව හිස ඔසවා දෑතින්ම මුහුණ පිස දා ගත්තාය. 

” මං ඇඬුවා කියලා කිසි දෙයක් වෙනස් වෙන්නෙ නෑ කියල මං දන්නවා ධීර. මං , මේ හැමදේම අලුතෙන් පටන් ගන්නවා. කොච්චර කාලයක් ගියත් මං ඒක කරනවා ” 

එවර ඇගේ මුහුණේ දකින්නට වූයේ වෙනදා ඇගේ මුහුණේ දකින්නට තිබූ ශක්තියමය. ඇය හඬා වැටී හෝ හිත හදා ගන්නවා නම් එය අස්වැසිල්ලක් බව ධීර ඒ මොහොතේ සිතුවේය.

ගයාත්‍රී තේ දෙකක් රැගෙන පැමිණි තාදීටත් ධීර ටත් පිළිගැන්වූවාය. අනතුරුව ඇය තාදී ගේ අනෙක් පසින් වාඩි වූවාය.

” අපි හැමදේම ඉක්මනට හදාගමු මිස්. බයවෙන්න එපා මාත් ඕනෙම දේකට මිස් එක්ක ඉන්නවා ” 

ධීර නිවසට යාමට පිටත් වූයේ තවත් විනාඩි පහළවකට පමණ පසුවය. ඒ වන විට උදෑසන හතයි තිහ පසු උනා පමණි. ධීර නිවසට යන අතරතුර ආයුෂ් ට දුරකථන ඇමතුමක් ගත්තේය.

” මං දැන් මෙතනට ඇවිල්ල ටිකක් වෙලා බන්. උඹ බය වෙන්න එපා. මං පොලිසියේ දන්න යාළුවෙක් ඉන්නවා. මං පොරටත් කෝල් එකක් දාලා විස්තරේ කිව්වා ” 

ආයුශ් කීවේ සිත සැනසෙන ආකාරයේ ආරංචියකි. එහෙත් ධීර ගේ සිතේ වූ බරැති හැඟීම පහව ගියේ නැත.

” මේක අපේ තාත්තා ගේ වැඩක් වෙන්න ඕන මචං.තාත්තා ඊයේ උදේ තමයි තාදි ව හම්බවෙන්න ශොප් එකට ගිහිල්ලා තිබුණේ අම්මත් එක්ක. අනික තාත්තා ඉන්නේත් මාත් එක්ක පුදුමාකාර තරහකින්. ” 

” කවුරු කළා උනත් මේක කරල තියෙන්නේ නම් කිසිම හිතක් පපුවක් නැති එකෙක් ධීර .කාටද බන් පුළුවන් මනුස්සයෙක් තමන්ගේ මහන්සියෙන් මෙච්චර හොඳට බිල්ඩප් කරපු බිස්නස් එකක් මෙහෙම විනාස කරලා දාන්න ” 

” තාදී ඉන්නෙ ශොක් වෙලා බං. පවු ” 

” shock වෙන්නෙ නැද්ද බං. මං CCTV බැලුවා. උන් තාදී ට මුකුත් නොකර ගිය එකම ලොකු දෙයක් ” 

” උන් හිතන්නේ නැතුව ඇති තාදී ශොප් එක ඇතුලේ ඉන්නවා කියලා. මොනා උනත් තාදීට ත්‍රෙට් කරලා නැවතුනා ඇති ජීවිතේට අනතුරක් නොකර. එහෙම උනානම් මම මොනවා කරන්නද බං ” 

” හරි හරි උඹ ගෙදර ගිහිල්ලා ආන්ටිටත් විස්තරේ කියලා මේ පැත්තට වරෙන්කෝ. අපි බලමු ඊළඟට කරන්නේ මොනාද කියලා. කොහොමත් මගේ යාළුවා කිව්වා bike දෙකේ නම්බර්ස් වලින් මේක කරපු එකාව ඉක්මනට හොයාගන්න පුළුවන් කියලා. මොකද ඒක පැහැදිලිවම CCTV වල තිබ්බනෙ ” 

ධීර ආයුශ් සමග වූ දුරකථන ඇමතුම අවසන් කළේ නිවසට ආසන්නයේදීය. මෙතෙක් වේලා සිත තුළ පාලනය කරගෙන සිටි කෝපය අලුතෙන් දළුලන බව ධීර ට දැනුනේ නිවසේ ගේට්ටුවෙන් වාහනය ඇතුළු කරන විටය.

ධීර ප්‍රධාන දොරෙන් ඇතුළු වන විට ජයමිණි ඉදිරියට දිව ආවාය.

” කොහෙද පුතා ඔයා ගියේ ? වාහනෙත් නැති නිසා මං බය වුණා. කෝල් කලාට ඔය ආන්සර් කළෙත් නැහැනේ ” 

” කෝ තාත්තා ? ” 

ධීර ජයමිණිව පසෙකට කර නිවස තුළට ඇවිද ආවේ කෝපයෙනි.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here