පිණි මුතු පලසක් – 06

0
1518

“දැන් ඔය කියන විදියට ඔය ලක්ෂිත කියන මනුස්සය මෙදා පාර ගෙදර ඇවිල්ලා ඉන්නෙ ආයෙ කාලෙකට කොහෙවත් යන්න බලාගෙන නෙවෙයිනම් ඔය කියන ගෑණූ ළමයට ඔයිටත් වඩා අනතුරක් වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා නේද?” කියා දම්මි අහද්දිත් සමුධ්‍යා හිස වැනුවේ ඔව් කියන්නට මෙනි.

“මං මේ හදිසියෙම ගෙදර ආවෙත් දම්මි ඇත්තටම ඔයාව හම්බුවෙලා මං මොකද්ද මේකට කරන්න ඕන කියල අහන්න. ගමේ ඉස්පිරිතාලෙට ඔය වගේ දේකට අරගෙන යන එක ඒ ලමයට ආයෙ ගමේ ඉන්න බැරිවෙන විදියෙ වැඩක් විත්තිය මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. අනික් අතට මට ඒ ළමයව වෙන හොස්පිටල් එකකට අරගෙන යන්න විදියක් නෑ මේ විත්තිය කා එක්කවත් කියන්නෙ නැතුව”

“ඒ දරුවා කියන විදියට මොන වගේ දෙයක්ද වෙලා තියෙන්නෙ කියල අයිඩියා එකක් ඔයාට ගන්න පුලුවන් උනාද?” කියා දම්මි අහද්දිත් සමුධ්‍යා සත්සරා විසින් කියන්නට යෙදුණ කතාව ආයෙ මතක් කරගත්තේ කරන්නට වෙන දෙයක් නැති හන්දාමය.

“ඒ දරුවා කිව්ව විදියට ඒ මනුස්සයා කරලා තියෙන්නෙ අල්ලන කරන එක විතරයි. අහන්න අහන්න ඒ ළමය අඬනවා උනාට මම ඇහුවා ඉතින් නැත්තම් කොහොමද කිසිම ඇක්ශන් එකක් ගන්නෙ. ඒ උනාට දම්මි මට තියෙන ප්‍රශ්නෙ මේ පොඩි ළමයිනෙ, මේ ළමයින්ට කියලා දීලා තියෙනවා කරදරයක් වෙන්නෙ මෙන්න මේ විදියට. අඳුරන්නෙ නැති මිනිස්සුන්ට වගෙම අඳුරන මිනිස්සුන්ටවත් තමන්ව අල්ලන්න කරන්න දෙන්න එපා කියලා. දෙයක් වෙන්න කලින් වලක්වගන්න එක කියල දෙන එක කොච්චර හොඳ දෙයක් උනත් සමහර විට සමහර ළමයි ඒ වගේ දෙයක් උනාට පස්සෙ තමයි ඔය ලෙසන් එක ගැන දැනගන්නෙ. ඒ නිසාම හරිනම් අපි කියල දෙන්න ඕන ඔහොම දෙයක් උනාට පස්සෙ අපි මොකද්ද ගන්න ඕන ඇක්ශන් එක කියලා. සත්සරාට වෙලා තියෙන්නෙත් ඒක. ලකී කියන මනුස්සය එයාව අල්ලන එක අල්ලපු එක වරදක් කියල දන්නව උනාට සත්සරා දන්නෙ නෑ තමන් දැන් මොකද්ද කරන්න ඕන කියන එක”  කියන එක සමුධ්‍යා කිව්වේ ඇත්තටම හිතේ වේදනාවෙන් ය.

“මං හිතන්නෙ නම් කරන්න තියෙන හොඳම දේ මුලින්ම අපි ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන එක. එහෙම පෙන්නල දරුවට මොකක් හරි අපි නොහිතන විදියෙ කරදරයක් වෙලාද කියන එක. අපි මේ දරුවෙක්ට වෙන්න පුලුවන් කරදරයක් ෆිසිකල් එකක්ම කියල හිතුවට සමූ, සමහර වෙලාවට ෆිසිකලි වෙන කරදර වලට වඩා ලොකු ප්‍රශ්න ඇති කරන්නෙ දරුවන්ගෙ ඔලුවට වෙන කරදර. ඒ හන්දා මං හිතන්නෙ අපි ඉස්සෙල්ලම දරුවව චෙකප් එකකට ගේන එක තමයි කරන්න ඕන. කියන තරම් වැඩේ කරන එක නම් ලේසි නෑ. ඔයා හැබැයි බලන්න දරුවගෙ ආච්චි අම්මව ශේප් කරගෙන හරි පොඩ්ඩක් දරුවව එළියට අරගන්න පුලුවන්කමක් තියෙනවද කියන එක. අනික් එක කියන විදියට ඔය ලකී කියන මනුස්සයගෙ තාත්තා පොලිටිකල් පවර් එකක් තියෙන මනුස්සයෙක් නම් අපිට ඒ පැත්ත ගැනත් හිතන්න වෙනවනෙ නේද?” කියා දම්මි අහද්දි සමුධ්‍යා හිස වනන ගමන්ම දම්මි හදා දුන්නු තේකෙන් උගුරක් බිව්වාය. 

“ඔව් ඔය ෆිල්ම් වල පෙන්නනව වගේ අපිට නිකන් වොන්ඩර් වුමන් කැරැක්ටර්ස් රඟපාන්න බෑනේ දම්මි. මං මේ ඒත් කල්පනා කරේ මොකද්ද කරන්නෙ කියල. මට අර මගෙ ළමයෙක් නෙවෙන එකේ මම මොකටද ඔලුවට කරදර දාගන්නෙ කියල හිතලා මේ දරුවව අතෑරල දාන්න බෑ දම්මි. මගෙ වර්කින් හිස්ට්‍රි එකේ මට මෙහෙම දෙයක් අහුවෙච්ච පලවෙනි වතාව බව ඇත්ත. මම ඒ උනාට මට ඒ වෙනුවෙන් කරන්න පුලුවන් දේ නොකර ඉඳියොත් මට ජීවිතේ කවදාවත් සැනසිල්ලක් දැනෙන එකක් නෑ” 

සප්තමී එදා ඉරිදා ගෙදර සිට ආපසු ආණමඩුවේ නවාතැන දක්වා ආවේ ඔය සියල්ලම කල්පනා කරන ගමන් ය. ගුරුවරයෙක් වනාහී දරුවෙක්ට අකුරු උගන්වන පුද්ගලයෙක් පමණක් නොවේ. දරුවෙකු යහමගට අරගන්නා වූද, දරුවෙක්ට කරදරයක් වෙමින් පවතින වෙලාවක දරුවෙක් බේරාගන්නටද කටයුතු කරන අයෙකි.සමුධ්‍යාට තිබුන ලොකුම ගැටලුව නම් සත්සරාව වෛද්‍යවරයෙකු වෙත ගෙන ගොස් පරීක්ෂා කරවන්නේත් කෙසේද කියන එකය. ඒ දේ කරන්නට සත්සරාගේ ආච්චි අම්මාගේ හෝ පාසලේ ගුරුවරයෙකුගේ උදව්ව අරගන්න පුලුවන් බව දන්නවා උනාත් ඒ මග යෑම සත්සරාට තවදුරටත් ගම් පලාතේ ජිවීතය නිස්කලංකව කරගන්නට අමාරු වන බව සමුධ්‍යා නොදන්නවා නොවේ. බංගදෙණිය හන්දියෙන්  බස් එකෙන් බැස්සට පස්සේ හමුවුන ට්‍රැක්ටරයක නැගී එන අතරවාරයේත් සමුධ්‍යා මග දිගට හමුවන, පසුවන හැම ගැහැණු ළමයෙකුගේ මුහුණ අස්සේම සත්සරාට වුණ අන්දමේ කරදරයක, විපතක අඳුරු සේයාවන් සැඟවී තිබේදැයි සොයන්නට මහන්සි වුණාය. බොහොමයක් ගැහැණු දරුවන් එවන් කරදර වීමෙන් පස්සේ, “ඒ ගැන කාටහරි කිව්වොත් මට මුලු ජිවීත කාලෙම කතන්දර අහන්න වෙයි?” කියන බය ඔවුන්ව නිහඬ කරවන්නට හේතුවෙන බව සමුධ්‍යා අත්දැකීම් වලින්ද, අසන්නට දකින්නට ලැබුණ කතන්දර වලින්ද ඉගෙන ගෙන තිබුණාය. බංගදෙණිය හන්දියේ සිට ට්‍රැක්ටරයේ නැගී පරමාකන්ද පන්සලත් පහු කරගෙන ගොස් සද්ධානන්ද ඉස්කෝලෙ මහත්තයාගෙ ගේ ළඟ නතර කරද්දී ගෙමිදුලේ වාහනයක් නතර කර තිබෙනවා සමුධ්‍යා දුටුවාය. “කවුරුහරි ඇවිල්ලද කොහෙද?” කියල හිත කියද්දි අමුත්තන් පිරිසක් ඉදිරියෙන් ඇවිද යන්නට පුංචි පහේ සබකෝලයක් හිතට ආවද කරන්නට දෙයක් නැති හන්දාම තමන් එන මග බලාගෙන උන්න සද්ධානන්ද මහත්තයාත් නෝනාත් වෙත මද සිනාවක් පා බිම බලාගෙන දිග ඉස්තෝප්පුවේ තමන්ගේ කාමරේ පැත්තෙ කෙළවරින් ගෙට ඇතුළුවෙන්නට සමුධ්‍යා පියවර ඉදිරියට තැබුවාය.

ඒ ගමන නතර වුණේ “සමුධ්‍යා පුතේ පොඩ්ඩක් මෙහෙට එන්න” කියා සද්ධානන්ද ඉස්කෝලේ මහත්තයා කතා කරද්දිය. සද්ධානන්ද මහත්තයාට එහා පැත්තෙන් අසුනක වාඩි වී උන්නු කාන්තාව මින් පෙර දැක නැතත් ඒ මුහුණ වඩා සීදේවී වූද මව්වත්කමෙන් පිරුණා වූද මුහුණක් බව සමුධ්‍යාට ඇයව දුටු ඇසිල්ලේම සිතුණි.

“ඕන් මිස්, මේ තමයි අපේ ඉස්කෝලෙට අලුතෙන් පත්වෙලා ආව ඉංග්‍රීසි ගුරුතුමී” කියා සද්ධානන්ද මහත්තයා මද සිනාවක් එක්කම තමන්ව අඳුන්වා දෙද්දී ඒ නොදන්නා කාන්තාව ගුරුවරියක් විය හැකි බව සමුධ්‍යා හිතුවේ “මිස් “ කියන ආමන්ත්‍රණය නිසාය.

“ඒක තමයි මාත් බැලුවෙ මේ කවුද කියලා. මිස් කෙනෙක් කිව්වට මිස් කෙනෙක්ට වඩා ඉස්කෝලෙ යන ළමයෙක් වගේ පොඩි පාටයිනෙ” කියා ඒ කාන්තාව කියද්දි සප්තමී බිම බලාගෙන හිනාවුණේ ලැජ්ජාව හන්දාය.

“පොඩි පාට මිස්ලා එනවට ළමයි කැමතියි. අපි වගේ මේ වයසක මිනිස්සු උගන්නනවට වඩා ඒ ළමයින්ට යාලුකමෙන් ආශ්‍රේ කරන්න පුලුවන් නෙ මේ පොඩි කෙල්ලො කොල්ලො මිස්ල සර්ලා වෙලා ආවම” කියා සද්ධානන්ද මහත්තයා කිව්වේ අමනාපයකින් නොවන බව සමුධ්‍යා තේරුම් ගත්තේ ඒ කතාව කියන අතරවාරයෙත් සද්ධානන්ද මහත්තයාගේ දෙතොල් අස්සේ ඇඳී තිබුණ හිනාව නිසාවෙනි.

 “මේ මිස්ගෙ පුතාත් පහේ පංතිය වෙනකම් ඉගෙන ගත්තෙ අපෙ ඉස්කෝලේ” 

“මේ පුතා විතරක් මොකෝ ලොකු සර්, අපේ පුතාලා දෙන්නම ඉගෙන ගත්තෙ මේ ඉස්කෝලෙනෙ” කියා ඇය කියා නැවත වරක් සමුධ්‍යා හා හිනාවෙද්දි සමුධ්‍යා හිනාවක් එක්කම දෙනෙත් ඇයගෙන් මෑත් කර සද්ධානන්ද මහත්තයාගේත් අනෙක් අයගෙත් දෙනෙත් එල්ල වී තිබුණ දිහාවට දෙනෙත යා කරාය.

සිනාවක් සමගම දෙනෙත් යා කරද ඒ බැල්ම එක දිගට තප්පර කිහිපයක්වත් ඒ නන්නාදුනන දෙනෙත් මත අලවාගෙන ඉන්නට බැරිවුණ තැන සමුධ්‍යා මැකී යන සිනාවක් එක්කම දෙනෙත් පහලට හරවගත්තාය.

ඒ නන්නාදුනන දෙනෙත් සැරයේ තිබුණේ දරාගන්න අපහසු, ඒ දෙනෙත් තරම්ම නන්නාඳුනන රශ්මියකි. 

හදවත පුච්චා අලු කරවන අන්දමේ රශ්මියකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here