“මේ දරුවව දකිද්දි මට නම් පුදුම ලෝභකමක් එන්නෙ” කියා අනෝමා කියද්දී ඒ ලෝභකම ගැන ලක්ෂිත දැනගැනීම වඩා අයහපත් දෙයක් වෙන්නට පාර කපන්නට ඉඩ ඇති බව නොහිත ඉන්න ඉස්කෝලේ නෝනාට පුලුවන් කමක් තිබුනේ නැත. එහෙත් අනෙක් අතට අනෝමා නෝනා මේ කිසිම දෙයක් නොදන්නා බව සහසුද්දෙන්ම දන්නා කල ඒ ගැන කිසිවක් කියන්න හැටියක් සද්ධානන්ද ඉස්කෝලේ නෝනාට පුලුවන්කමක් තිබූනෙත් නැත.
“අනේ ඔව් හොඳ දරුවා. අපේ ගෙදර නතර වෙලා උන්නට ඉස්සර බෝඩ් වෙච්ච දරුවො වගේ නෙවෙයි. මගෙම දරුවෙක් වගේ” කියා ඉස්කෝලේ නෝනා කියද්දි සමුධ්‍යාව මුලින්ම දැක්ක දවසේ හිතට ආව අදහස වචන කරන්න හොදම වෙලාව මේක බව අනෝමා සිතුවාය. සමුධ්‍යාව මුලින්ම දැක්ක වෙලාවෙත් අනෝමාගේ හිතට ආවේ සමුධ්‍යා ගැන ලෝභ කමකි. ඒ සමුධ්‍යාගේ සුන්දර හුරුබුහුටි වත කමලත්, ඒ වත කමලෙ නිර්මල රේඛා ඔස්සේ පෙනෙන්නට තිබුණ වැදගත් පවුලක කෙල්ලෙක් විය හැකි බව කියන කතාවත් හිතෙන් ලේසියෙන් පහ කරන්න අදහසක් හෝ උවමනාවක් අනෝමාට තිබුනේ නැත. මෙවන් ගැහැණු දරුවන්ව තමන්ගේ බිරින්දෑ කරගන්න බලාපොරොත්තුවෙන් පොරකන කොල්ලන්ද, එවන් ගැහැණු දරුවන්ව තමන්ගේ ගෙදරට කැන්දාගෙන එන බලාපොරොත්තුවෙන් ඉන්න නැන්දම්මාවරුන්ද ඉන්නා බව අනෝමාට නොරහසකි. එහෙම ඉසව්වක තමන් ඉස්සර උනේ නැත්තම් සමුධ්‍යා තමන්ට නොලැබී යාමෙ හැකියාවක් තියෙන බවට සැකයක් අනෝමා ගේ හිත සමුධ්‍යාව දකින හැම වරෙකම පෙළන්නට හේතු වුණාය.
“ඔය සමුධ්‍යා දූගේ ගෙවල් එහෙම කොහෙ කියලද කිව්වේ ඉස්කෝලේ නෝනා?” කියා අනෝමා අහද්දී අනෝමාගෙන් ඔය තොරතුරු ලක්ෂිතගේ කණට යන එක සමුධ්‍යාට විසල් ප්‍රශ්න ඇති කරන්නට හේතුවක් විය හැකිද කියා සිතුනත් බොරුවක් කියා බොරුකාරියක් වන්නට හැකියාවක් සද්ධානන්ද ඉස්කෝලේ නෝනාට තිබ්බෙ නැත. ඇත්තකුත් නොවන බොරුවකුත් නොවන උත්තරයක් දෙන්න ඇය කටයුතු කලේ ඒ හන්දාය.
“ඒ දරුවා කොළඹනෙ මං හිතන්නෙ නුගේගොඩ පැත්තෙ. හරියටම නම් දන්නෙ නෑ නෝනා”
“ඉස්කෝලේ නෝන ඒ ළමයගෙ මව් දෙමව්පියො එහෙම දැකල කතාකරලා තියෙනවද?”
“ඔව් ඇයි මේ දරුවව ඇරලවල යන්න ආවනෙ පළවෙනි දවසෙ. එවෙලෙ ඉතින් කතා බස් එහෙම කරා”
“කොහොමද වැදගත් මිනිස්සු වගේද?”
“අනේ ඔව් එහෙම කතා බහ කරද්දි නම් මට මුකුත් අඩුවක් පාඩුවක් පෙනුනෙ නෑ. වැදගත් විදියයි. ඇයි අනෝමා නෝන එහෙම ඇහුවෙ එකපාරටම?”
“නෑ මං කල්පනා කරේ අපෙ දරුවන්ට උනත් ඉස්සරහට කලදසාවක් ගැන අපිනෙ හිතන්න ඕන. මන්ත්‍රීතුමා නම් ඕව හිතන්න තියා මේ උයන කෑම ටික කන්නවත් ගෙදර ඉන්න එකක් කියලය. එහෙම එකේ මං තමයි ඉතින් අඩිය ඉස්සරහට තියල ඕව කරල දෙන්න ඕන”
“අනෙ මේ දැන් කාලෙ ඉන්න කොල්ලන්ට මොකටද නෝනා අම්මල තාත්තල එක්කහු වෙලා කටයුතු කරල දෙන්න මහන්සි වෙන්නෙ? දැන් කාලෙ ඉන්න කොල්ලොත් එකයි කෙල්ලොත් එකයි. තමන්ම හොයාගන්නෙ නැතෑ”
“සමුධ්‍යා දූ එහෙම කා එක්කහරි පලහිලව්වක් තියෙනවා කියල ඉස්කෝලෙ නෝන දන්නවද?”
“එහෙම කවුරුවත් ඇවිල්ල කරල නම් නෑ හම්බුවෙන්න කියල නම්. දන්නෙ නෑ ඉතින් කොළඹ පැත්තෙ නම් ඉන්නවද කියල. ඕව ඉතින් අපිට කියන්නෙ නෑනෙ”
“නෑ මං ඇහුවෙ ඔය වයසෙ කෙල්ලෙක්ට ඉතින් සම්බන්ධයක් තියෙනම් නිතරම ෆෝන් එක එහෙම තේ තියාගෙන නෙ ඉන්නෙ. එහෙම දෙයක්වත් ඉස්කෝලේ නෝන ඇහැට දැකලා කණට ඇහිලා නැද්ද?”
“එහෙම නිච්චියක් නම් නෑ. මමත් ඉතින් නිතරම ඒ දරුව දිහා බලාගෙන ඉන්නෙ නෑනෙ” කියා ආපහු වතාවක් සද්ධානන්ද ඉස්කෝලේ නෝනා සමුධ්‍යා දෙස බලද්දිත් ඇය උන්නේ ලක්ෂිත සමග කතා කරමින් ය. ඇත්තටම කිව්වොතින් ලක්ෂිත උන්නේ ඇය සමග මල් ආසන ළඟ කතා කරමින් විනා සමුධ්‍යා උන්නේ ඒ කිසිවකට උත්තර දෙන්න අදහසකින් නොවන බව සද්ධානන්ද නෝනා දැක්කාය.
සමුධ්‍යා ඇත්තටම උන්නේ ලක්ෂිතගේ ඉවරක් නැති කියවිල්ලෙන් ගැලවෙන හැටියක් ගැන කල්පනා කරන ගමන් ය. ලක්ෂිත දෙබරෙක් මෙන් ඇඟේ ඇලවී කණ ළඟටවී කරන මුණු මුණුව මේ ගමේ මිනිස්සු දකින එක ලක්ෂිතට කෙසේ වෙතත් තමන්ට හොඳ්අ නැති විත්තිය සමුධ්‍යා දනී. මොක උනත් තමන් මේ ගමේ පාසලේ ගුරුවරියකි. තමන් මෙයාකාරයෙන් පන්සලට වී කොල්ලෙකු සමග කතා බස් කරමින් ඉන්න එක ගම්මුන් දකින්නේ වෙනම ආකාරයකින් බවත්, එය කටකතාවක් ව පැතිර යන්නට පොඩි වෙලාවක් පවා ඇති බවත් සමුධ්‍යාට තේරුම් ගන්නට අපහසු නැත.
“ඔයාලායි අම්මා බලාගෙන ඉන්නවා අපි කතා කරන එක” කියා සමුධ්‍යා ලක්ෂිතට කිව්වේ ඔහුව එහෙම කියාවත් නිහඬ කරවන්නට බලාපොරොත්තුවෙනි. එහෙත් ලක්ෂිත උන්නේ ඒ ඉඟිය තේරුම් ගන්නට පුලුවන් කමකින් නොවේ.
“ඉතින්? අපි දෙන්නා කතා කර කර ඉන්නව අම්මා දැක්කා කියල මොකද වෙන්නේ?” කියා ලක්ෂිත හිනා වෙවී ඇහුවේ ඒ හන්දාය.
“මුකුත් වෙන්නෙ නෑ. ඒ උනාට මේක පන්සලනෙ. අනික ගමේ අනික් මිනිස්සු උනත් බලනවා ඇති අපි කතා කර කර ඉන්න එක. නිකන් හරි නෑනෙ නේද?”
“ඔයාට බයද මිනිස්සු නිකක් ඔයයි මමයි යාලුයි වගෙ කතාවක් ගමේ පතුරාවි කියලා”
“ඔව්, ලක්ෂිත ඇත්තටම ඔව් මට බයයි. මොනවා උනත් මම මේ ගමේ ඉස්කෝලේ ටීච් කරනවනෙ. හොඳ නෑ නේද මගෙ රස්සාවට උනත් එහෙම කතාවක් අහගන්න වෙන එක.ළමයින්ට උනත් මට ඉන්පස්සෙ අවවාදයක් දෙන්න විදියක් නැතිවෙනවනෙ”
“එහෙම වෙන්නෙ ඉතින් මේක කට කතාවක් උනොත් විතරනෙ?” කියා ලක්ෂිත කියද්දි ඒ කතාවෙ තේරුම කුමක්ද කියා අපහසු වීම දෙතොල් වලින් ලිස්සා වචන වී එලියට ආවෙ නැති උනත් සමුධ්‍යාගේ නෙලුම්පෙති දෙකක් වන් දෙනයන පුරාම අඩුවක් නැතුව ලියවී තිබුණාය.
“ඔයා බයවෙන්න ඕන කට කතාවක් පැතිරුණොත් විතරනෙ. කට කතාවක් නැතුව ඇත්ත කතාවක් පැතිරෙනවානම් ඔයාට බයවෙන්න හේතුවක් නෑනෙ. ඇත්ත කතාවකදි ගමේ මිනිස්සුන්ට ඔයා ගැන වැරදි විදියට බලන්න හේතුවකුත් නෑනෙ.
මං ඇත්තටම මෙහෙම නෙවෙයි මේක ඔයාගෙන් අහන්න හිටියෙ. ඒ උනාට ඉතින් ඔයා මම කතා කරන එකටත් බයෙන් ඉන්න එකේ මම ඔයාගෙන් අහන්නම්කො. මං ඇත්තටම ඔයාට කැමතියි. ඒක මේ දැන් නිකන් කටට ආව හන්ද කියන දෙයක් නෙවෙයි. ඔයාව දැක්ක මුල්ම වෙලාවෙත් මගෙ හිතට ආව දෙයක්. ඔයා මට හිතල උත්තරයක් දෙන්න. හදිසියක් නෑ. ඔයා වෙනුවෙන් මට ඕන තරම් කල් බලාගෙන ඉන්න පුලුවන්” කියා ලක්ෂිත මල් ආසනේ උඩ තිබුන නෙලුම් මලකින් ගිලිහුන නෙලුම් පෙත්තක් තමන් දිහාවට දිගුකරේ තමන් විසින් එය අරගනීවි යැයි බලාපොරොත්තුවකින් බව තේරුණ නමුත් පෙති ගිලිහුන නෙලුම් මලක පෙත්තක් පවා කෙතරම් සුන්දර වුව එය තමන්ට තේරුමක් නැති බව දන්න හන්දාම සමුධ්‍යා එය අරගන්නට අත දිගු කලේ නැත. ඒ වෙනුවට සමුධ්‍යා කලේ හිනාවෙන එකය.
ඒ වනාහී සුන්දර සිනාවකට එහා ගිය සමච්චල් සහගත හැඟීමක් තැවරුණ සිනාවකි.
“නෑ මට නම් දැන්ම උනත් ඒකට උත්තරයක් දෙන්න පුලුවන් ලක්ෂිත. මං හිතන්නෙ නෑ ඔයා හිතුවට මම තව දවස් කීපෙකින් හිතල දෙන උත්තරේ මේ දැන් දෙන්න යන උත්තරේට වෙනස් වෙයි කියලා. මං කැමති නෑ. අනික ඔයා කිව්වට මාව දැක්ක දවසෙම ඔයගෙ හිතේ මං ගැන කැමැත්තක් ඇති උනා කියල කැමැත්තක් විතරක් මදිනෙ නේද ලක්ෂිත දෙන්නෙක්ට එකතුවෙන්න? අනික අපි දෙන්නම අපි දෙන්නා ගැන කිසිම දෙයක් දන්නෙ නෑ. එහෙම එකේ හදිසිවෙලා ඔය වගේ ගන්න තීරණ වලින් වෙන්නෙ අපි දෙන්නටම නිකන් ප්‍රශ්න ඇතිවෙන එක විතරයි” කියා සමුධ්‍යා කියද්දි ලක්ෂිත උන්නේ හැඟීම් විරහිත දෙනෙතකින් ඇය දෙස බලාගෙනය.
ඒ අතරවාරයේත් අනෝමාත් සද්ධානන්ද ලොකු ඉස්කෝලෙ නෝනාත් ලක්ෂිත සහ සමුධ්‍යා අතර වෙන කතාව කුමක්ද කියා තේරුම් ගන්නට අපහසු නමුත් ඒ දෙදෙනා දෙසම බලාගෙන උන්නේ විවිධාකාර අදහස් සමග හිත සහ මොළය අතර ඝට්ටනයකය.
“අනෝමා නෝනා මොකෝ මේ එකපාර සමුධ්‍යා දූ ගැන ඇහුවෙ කියලයි මං කල්පනා කරන්නෙ?” කියා සද්ධානන්ද ඉස්කෝලේ නෝන අනෝමා වෙත පා කර හැරියේ මද සැකයක සේයාවන් තැවරුණ හිනාවකි.
“මං ඇත්තටම විස්තර ඇහුවෙ පොඩි කාරණාවක් හිතේ තියාගෙන”
“කාරණාවක් කිව්වේ?”
“අපෙ කොල්ලට කවුරුහරි හොයල දෙන්නත් ඕන කියල මං මේ කල්පනා කරේ. කොල්ලන්ව ගෙවල්වල තියාගන්න නම් ගෑණියෙක්ම ඕන” කියා අනෝමා හිනාවෙද්දී “දැන් අනෝමා නෝනා උන්න කියල මන්ත්‍රී තුමා ගෙදර ඉන්නවද?” කියා අහන්න හිත කොච්චර කිව්වත් සද්ධානන්ද ලොකු ඉස්කෝලේ නෝනා ඇහුවෙ වෙන ප්‍රශ්නයකි.
“කටයුත්තක් කරල දෙන්න ලක්ෂිත තාම තරුණ වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද?”
ඒ ප්‍රශ්නයට අනෝමා කලේ මද හිනාවක් නගන එක පමණකි.
“ඒක නම් එහෙම තමයි. ඒ වුණාට…”