අරුමැති ආදරයක් – 9

0
1820

අපූර්වා ත්‍රී රෝද රථයට නගින්නේ මල් පහන් පුදා බුදුන් වැන්දාට පසුවය. හඳුන්කූරු දෙකක්  පත්තුකර ත්‍රී රෝද රථය පුරා දුම් ඇල්ලීම ඕ පුරුදු වූයේ තාත්තාගෙන්ය. අපූර්වා  සුක්කානම අල්ලන්නේත් තෙවරක් ඊට වැඳ නමස්කාර කළාට පසුවය.

ඇගේ නිවස වූයේ කුඩා කඳු ගැටයක පල්ලමේය. ඒ කඳු ගැටය නගින සෑම වතාවකම අපූර්වාට  තාත්තාව සිහිවන්නේ  පුරුද්දට සේය. අපූර්වා  ත්‍රී රෝද රථය පදවන්නට පුරුදු වූයේ සිතෙහි වූ ආසාවටය. නන්දසිරි ඇගේ අතින් සුක්කානම  ගන්නේ ඒ කඳු ගැටය නැගුනාට පසුවය. තාත්තා හා ත්‍රී රෝද රථයෙන් පිටව යන සෑම මොහොතකම කෙටි දුරක් හෝ ඇය රියදුරු අසුනට පැමිණේ. 

අපූර්වාට  මුලින්ම මුණගැසුනේ හන්දිය  ආසන්නයේ සිනහ කටක් මුවෙහි  තබාගෙන බලා සිටිනා ඒශානිය.

“අම්මෝ දැක්ක කල්….කෙල්ල තවත් ලස්සන වෙලාද මන්දා…”

අපූර්වා නැවැත් වූ  ත්‍රී රෝද රථයට ඕ නැගුණේ එසේ පවසා ගෙනය. ඈ සිනහසුනේ  ඉදිරිය බලාගෙනය.

“වැඩි වර්ණනා ඕනේ නෑ..යන්න ඕනේ කොහෙටද කියල කිව්වනං ගිහින් දාන්න පුළුවන්.”

“මාව ඔය හන්දියෙන්  දාපංකෝ මට බස් එකේ යන්න පුළුවන්. උඹ එනකල් හිටියේ…දැන් උඹ දිගටම ත්‍රීවිලර් එළවන්නද කල්පනාව..”

“මං වෙන මොනවා කරන්නද. මම හිතුවේ මීට පස්සේ දුර හයර් බාරගන්නෙත් නෑ කියලා. ගෙදර හදිස්සියක් වෙච්ච වෙලාවකට ගෙදරට දුවගෙන යන්න බලාගෙන ඉන්න ඕනේ. ඊයේ ඩොක්ටර් කිව්වා මෙහෙම ගියොත් අම්මව හොස්පිටල් ඇඩ්මිට් කරන්න වෙනවා කියලා..”

“මං නං  උඹට කියන්නේ ආපහු මොන්ටිසෝරි එකේ මැඩම් එක්ක කතා කරන්න කියලා. කොච්චර උනත් බං වරුවේ ජොබ් එකනේ..”

“හිත එක තැනක නැතුව ඒවයේ වැඩ කරන්න බෑ බං..අනිත් එක ඒ මනුස්සයා දෙතුන් පාරක්ම මට අවවාද කරලා තමයි නවතින්න කියලා කිව්වේ..”

“ඒ ඉතිං මළගේ වෙච්චච අලුතනේ. අම්මත් අසනීප වෙච්ච අලුත. ඒ කාලේ කොහොමත් ප්‍රශ්නනේ..”

“ඒ කාලේ මේ කාලේ කියලා ප්‍රශ්නවල අඩුවක් නෑ…මැඩම් මට එන්න එපා කියලම කිව්වනේ. ඉතින් මං කොහොමද ආයෙත් අහන්නේ. ඇත්තටම ඒ  කාලේ මට තිබුණු ප්‍රශ්න හින්දා මොන්ටිසෝරි එකේ වැඩ ගොඩක් මගහැරුණා. සමහර විට පේරන්ට්ස්ලා උනත් කම්ප්ලේන් කරන්න ඇති.”

“අනේ මන්ද බං….”

“රස්සාවක් විදිහට හිතුවොත් මේකෙ වරදක් නැහැ. මොන දේ කලත්  තමන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරගන්න වගකීම තියෙන්නේ තමන්ගේ අතේ. පිරිමි කරන දේවල්ය ගෑනු කරන දේවල්ය කියල ලේබල් ගහලා වෙන් කරන්න බැහැ.”

“ඒකනං එහෙම තමයිි බං. ඒ උනාට ඉතින් කෙල්ලෙක් විදිහට උඹ හැමදාම එක තැනනේ. අනිත් එක අපි කොහොම ජීවත් වුණත් අපේ රස්සාව අනුව අපිට ලැබෙන්නේ අඩු වටිනාකමක්. ඕක කසාදෙකදි උනත් බලපානවනේ. ගමේ මිනිස්සු අනුකම්පාවෙන් උඹ ගැන කතා කරන එක මට උනත් ඉවසන්න බෑ..”

“කවුද බං මාව කසාද බඳින්න කැමති වෙන්නේ. මට කැමති වුණත් මගේ ආච්චිවයි, අම්මවයි බාරගන්න කවුද කැමති වෙන්නේ?..අද දවස ජීවත් වෙනවා  ඇරෙන්න මගේ හිතේ හීන නෑ..මට පේන්නේ උඹට කසාඳයක් ඕන වෙලා වගේ.”

“උඹ කවදාවත් නැතුව ජීවිතේ ගැන ආපස්සට හිතන්න පටන් අරගෙන. අරක කරපන් මේක කරපන් අරම වෙයං  මෙහෙම වෙයං කියලා අපිටත් අවවාද දීපු කෙල්ලද මේ….”

“ප්‍රශ්නය තමන්ගේ නොවෙන තාක්කල් පිළිතුර දාර්ශනිකයි කියනවනේ …මේ උඹ මතුගමටනේ යන්නේ මම දාන්නද..”

“එපා එපා…හයර් එකක් ගිහිල්ලා කීයක් හරි හොයාගන්න තියෙන වෙලාව නාස්ති කරගන්න එපා.අපේ  අම්මා හැමදාම දවල්ට ගිහිල්ලා ආච්චිත් එක්ක  ටික වෙලාවක් කතා කර කර ඉඳලා එනවා.”

“අනේ ඔව්.. ආච්චි මට කියනවා..”

“උඹට පුළුවන් වෙලාවක හවස යන ගමන්  ගෙවල් පැත්තෙ වරෙන් කෙල්ලේ. කතාබහ කරලා ඉන්නකොටවත් හිත ටිකක් සැහැල්ලු වෙනවනේ..උඹ පව්”

“එහෙම නේන්නේ උඹලත් එක්ක තරහකට නෙමෙයි.ආච්චි උදේ ඉඳලා පාර බලන් ඉන්නවා  මං එනකල්. ඒ මනුස්සයටත් තනියෙන් දේවල් කරගන්න අමාරුයි. මෙහෙම හරි අපේ තනි නොතනියට ඉන්න එක කොච්චර ලොකු දෙයක්ද..ඊට පස්සේ ඉතින් ගෙවල් අස් කරලා රෙදි හෝදලා එයත් එක්ක  ටිකක් කතා බහකරලා කෑව බිව්වට පස්සේ නිදිමතේ ඉන්න බෑ.”

ඒෂාණී ත්‍රීරෝද රථයෙන් බැස ගත්තේ අපූර්වාව සිප ගත්තාට පසුවය.ඕ රුපියල් පන්සීයේ නෝට්ටුවක් ඈ වෙත දිගු කළාය.

“පිස්සු හැදිලද උදේ පාන්දර…”

“උදේ පාන්දර හින්ද තමයි මේක ගන්න කියන්නේ..පිනට දේවල් දෙන්න පුළුවන් කාලේ නන්දසිරි මාමා ඕන ඕන තරම් මාව ත්‍රීවීල් එකේ දාගෙන ගිහිල්ලා තියෙනවා. මෙන්න මේක ගනින් කෙල්ලේ.”

එවර ඒෂානි රුපියල් පන්සියයේ නෝට්ටුව දෙකට නවා  ඇගේ උකුලට දැමුවාය.

“හරි රුපියල් පනහක් දෙන්න මෙච්චර ඕනේ නෑ..”

“තියෙන දවසක මාව බලාගන්නකෝ. ඒ ඇති..”

එසේ පැවසූ යෙහෙළිය  බස් නැවතුම දෙසට ඇවිද ගියේ කඩිනම් ගමනේය. ඇය මේ යන්නේ බාහිර උපාධි පංතිය සඳහා සහභාගී වීමටය. තමා ගැනම උපන් ආත්මානුකම්පාවට  පිටවූ සුසුමකට පසුව ඕ ත්‍රී රෝද රථය හරවා ගත්තාය.

ගමේ බොහෝ දෙනෙකුගේ අනුකම්පා සහගත දෑස් තමා වෙත යොමුවන බව අපූර්වා දනී. මුලදී ඒ අනුකම්පාව ඇයට ඉවසුම් නොදෙන තරම් විය. යෙහෙළිය පැවසූ පරිදි තමා දැන් සිටින්නේ අඩි ගණනාවක් පසුපසය. තාත්තා නැති වද්දී අපූර්වා බාහිර උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වූවා පමණි. පිටරට ආයතනයක් මගින් පවත්වාගෙන ගිය ළදරු පාසලක් නිසා ඇය හොඳ වැටුපක් ලැබුවාය. ඒ සියල්ලටම වඩා ඉංග්‍රීසි මාධ්‍යයේ ගුරුවරියක ලෙස ඇයට සමාජයේ ඉහළ තැනක් හිමිවී තිබිණ. තාත්තාගේ මරණයෙන් පසු දින කිහිපයක් නිවාඩු ගන්නට අපූර්වාට සිදුවිය. මුල් කාලයේ වරින් වර කාන්තිව රෝහල්ගත කළාය. එනිසාවෙන් ඇයට ළදරු පාසැලට යාමට හැකි වූයේ  කඩින් කඩය. අහිමි වූයේ එකක් දෙකක් පමණක් නොව ජීවිතයේ වූ පැතුම් සියල්ලමය. 

කළු පැහැති ඇල්ටෝ වර්ගයේ කාරය ඇයට හමුවූයේ මද දුරක් ඉදිරියට යද්දීය. එය වාහන දෙකක් එකවර මාරුවිය නොහැකි පටු පාරකි. එනිසාම කාරයට ඉඩදී අපූර්වා ත්‍රීරෝද රථය මදක් අයිනට කර නවතා ගත්තාය. එහෙත් ඕ එහි රියදුරු අසුනුන දෙස දෑස් කොනකින්වත් නොබලන්නට තරම් ප්‍රවේසම් වූවාය. මේ ඇල්ටෝ වර්ගයේ කාරය බාප්පාගේය. ගමෙහි වාසය කළ යමක් කමක් ඇති කිහිපදෙනා අතරින් ඔහු උන්නේ මුල්තැනේය.

ජංගම දුරකථනය නාද වූයේ අපූර්වා ත්‍රී රෝද රථ නැවතුමෙහි සිටියදීය. හුරු පුරුදු අංකයක් වූ නිසා ඇය දෙවරක් නොසිතාම දුරකථනය කන තබා ගත්තාය.

“මිස් අපූර්වා…මම යුගාෂ්…”

යුගාෂ්…..ඒ නම අපූර්වාට හොඳින් මතකය. එහෙත් ඔහු මෙවේලෙහි තමා අමතන්නේ ඇයි දැයි  ඒ සිතෙහි වූයේ මවිතයකි.

“ඔව් සර්..”

“අපූර්වට  මාව මතකයි එහෙනම්.”

“සර් මමත් එක්ක හයර් එක ගිහිල්ලා ලොකු කාලයක් වුනේ නැහැනෙ.”

යුවතිය පැවසූයේ ඇඟට පතට නොදැනෙන්නටය.

“අද නම් මං කතා කලේ  අපූර්වට වැදගත් දෙයක් කියන්න..”

“මොකක්ද සර්..”

“මගේ යාළුවෙක්ගේ කම්පැනි  එකක වේකන්සි එකක් තියෙනවා. අපූර්වා කැමතිනම් මට පුළුවන් ඔයාව එතනට යොමු කරන්න. අලුත් ගමට එන්න ඕනේ. සාමාන්‍යයෙන් හොඳ සැලරි එකක් තියෙනවා. ඊයේ තමයි මට මේ පණිවිඩය කිව්වේ. මට ඔයාව මතක් වුනා. මට හිතුනා ජොබ් එකක් හොයාගන්න තියෙන අපහසුතාවය හින්ද වෙන්න ඇති  ඔයා ත්‍රීවීලර් එකක් හයර් කරන්නේ කියලා..”

“අනේ නෑ සර්..මම ඇත්තටම ජොබ් එකක් කලා..මගේ අම්ම ටිකක් අසනීපෙන් ඉන්නේ. ඒක නිසා හදිසියක් වෙන ඕන වෙලාවක මම ගෙදර දුවන්න බලාගෙන ඉන්න ඕනේ. අම්මා  හොස්පිට්ල් ඇඩ්මිඩ් කලොත්  මම එයා ළඟ නතර වෙන්න ඕනේ..ඒ හේතු නිසා මට ජොබ් එකක් කරන්න අපහසුයි…”

ඇය මේ පවසන්නේ යුගාෂ් දැන සිටි කතාවකි. රැකියාවේ කතාවත් සත්‍යයක් නොවේ. උදෑසන සිටම ඔහු උත්සාහ දැරුවේ අපූර්වාට කතා කිරීමට හේතුවක් සොයා ගැනීමටය. අවසන ඔහුට සිහි වූයේ මේ පිළිවෙලයි. .

“අනේ සොරි මම ඒ ගැන දැනගෙන හිටියේ නැහැ..”

ඔහු එවර පැවසූයේ හැකි තාක් සන්සුන් ලීලාවකින්ය. 

“කමක් නැහැ සර් බොහොම ස්තුතියි මාව ඒ විදිහට මතක් වුණාට.”

“අපූර්වගේ තාත්තා නැති වුනේ මොනවා වෙලාද..”

“තාත්ත සුවිසයිඩ් කරගත්ත සර්…”

“ ඕ මයි ගෝඩ් ….ඒ ඇයි..”

“ඒක දිග කතාවක් සර්..තාත්තා  අවුරුදු ගානක් ඉඩමකට නඩු කිව්වා..ඉඩමකට කියන්නේ, අපේ ගෙදරට. අන්තිමට ඒක තාත්තට නැති උනා. ඒ හිතේ අමාරුවට තමයි..”

“මට තේරෙනවා. නීතියෙන් වුණත් හැම වෙලාවකම සාධාරණය ඉෂ්ඨ වෙන්නේ නැහැ. මොකද නීතිය තීන්දු තීරණ දෙන්නේ සාක්ෂි මත..”

“වැරදි කාරයා නිවැරදි කාරයා වෙනවානම්  නිවැරදි කාරයා වැරදි කාරයා වෙනවනම් මොකටද අපේ රටට නීතියක්..”

“ඔයා ඔය කියන දේ ගැන මමත් සමහර වෙලාවට තර්ක කරනවා. අපි මේ ගැන ටිකක් ඉස්සරහට කතා කරමු. ඔයාට පුළුවන් නම් ඔය නඩුවේ විස්තර ටික මට කියන්න..”

“මං එහෙම ලොකු දෙයක් දන්නෙ නෑ සර්. උසාවියට ගියේ ආවේ තාත්තා විතරයි. මං තියන්නම් සර්..”

අපූර්වාට  වූයේ දුරකථනය විසන්ධි කරන්නට හදිසියකි. ඈ මේ නාඳුනන පිරිමියෙකු සමග තම ජීවිතයේ තතු බෙදා ගත්තාමය. තමාට ඔහු අනුකම්පා කරන්නට ඇතැයි ඇයට සිතිණ. අපූර්වා දැන් කිසිවෙකු විශ්වාස කරන්නට බියය. 

( හෙටත් හමු වෙමු ආදරයෙන්..)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here