“සර්….පුෂ්පානන්ද සර් එනවා”
නඩු වාර්තාවක් පරීක්ෂා කරමින් උන් යුගාෂ් හිස එසවූයේ තමා එහා පස උන් පුහුණු නීතිඥවරියගේ හඬටය. අඳුරු පැහැගත් වීදුරු දොරට එහා පසින් වූ රිය අංගනයේ ඔහුට අයත් බීඑම්ඩබ්ලිව් වාහනය නතරව තිබිණ. වාහනයෙන් බැස සිටි පුෂ්පානන්ද දෑස් කලිසම් සාක්කු තුළ රුවාගෙන වටපිට බලමින් ඉදිරියට එමින් සිටියේය. වීදුරු දොර ඇරුනේත් යුගාෂ් සිය අසුනෙන් නැගී සිටියේත් එකම වරකය. යුගාෂ් අලුත්ගම උසාවියේ වැඩ බාරගෙන වසර තුනකට ආසන්න කාලයක් ගෙවී තිබුණත් පුෂ්පානන්ද මේ ඔහුගේ කාර්යාලයට පැමිණි ප්‍රථම වතාවය.
“මම හිතුවා ඉලංදාරියා ඔෆිස් එකේ නෑ කියලා.”
ඔහු යුගාෂ් ඉදිරිපස වූ පුටුවෙන් අසුන් ගත්තේ එසේ පවසමින්ය. ඒ දෑස් කුඩා කාර්යාල කාමරය පුරා දුවමින් තිබිණ.
“කීයද දැන් මේ රෙන්ට් එක….”
අවසන පුෂ්පානන්ද ඇසුවේ යුගාෂ්ගේ මුහුණ දෙස කෙළින් බලාගෙනය.
“විසි පහයි”
“නිකං බොරුවට සල්ලි නාස්ති කරනවා. සාගරයක් වගේ ඔෆිස් එකක් මට තියෙනවා. ඒකෙ එක තට්ටුවක්ම තමන්ට වෙන් කරගන්න පුළුවන්. කතා කරගන්න බැරි තරම් නඩු එනවා. මං ඒවට වෙන උන්ට සල්ලි ගෙවනවා.”
“අප්පච්චි ආවේ……”
යුගාෂ් එසේ ඇසුවේ පුෂ්පානන්ද දිගින් දිගටම කියවමින් සිටියදීය. ඔහුගේ මේ ලොකුකම් අසන්නට තරුණයා කිසිවිටෙකත් කැමති වූයේ නැත.
“මට යුගාශ් එක්ක ටිකක් කතා කරන්න ඕනේ. තනියම….”
එහා පස යතුරු ලියනය කරමින් උන් සේවිකාවත්, තරුණ නීතිඥවරියත් යුගාෂ් දෙස බැලුවේ ඔහු එසේ පවසද්දීය. යුගාෂ් සිය දෑස් වලින් කළ සන්කිරීම හඳුනාගත් දෙදෙනාම කාර්යාල කාමරයෙන් පිට වූයේ එකම වරකය.
“යුගාෂ් අර සේනක මන්ත්‍රීතුමාගේ වැඩේ අල්ලල දාන්න ඕනේ. ඔය ගෑනි ඔය නඩුව අරගෙන මේකෙ ලෝයර්ස්ලා කීප දෙනෙක් ළඟටම ගියා. ඒ එක්කෙනෙක්වත් ඔය වැඩේ බාරගත්තේ නෑ. යුගාෂ් මොන එකකටද ඒක බාරගත්තේ.”
“ඒ ගෑණු ළමයට අසාධාරණයක් වෙලා කියලා පැහැදිලිවම පේන්න තියෙනවා. මං ඉල්ලපු ගානක් ඒ මිනිස්සු මට ගෙවන්න කැමතියි. සාක්ෂි තියෙන්නෙත් පැමිණිල්ලට පක්ෂව. එහෙම එකේ නඩුව බාර නොගෙන ඉන්න තරම් හේතුවක් මට තිබුණෙ නැහැ.”
“උන් ගෙවල් දොරවල් විකුණලා ඔය නඩු කියන්නේ. ගණන් කිව්වා වගේ උන්ගෙන් සල්ලි ගන්න ලේසි නෑ. ඒක මං දන්නෙ අවුරුදු ගානක අත්දැකීමෙන්.”
“අප්පච්චි දැන් ඇයි විශේෂයෙන් ඇවිල්ලා මමත් එක්ක මේ කාරණය ගැන කතා කරන්නෙ. එහෙම කරන්නේ කාගේ බලපෑමකටද. අනිත් එක අප්පච්චි වගේ කෙනෙක්.”
“සේනක මන්ත්‍රීතුමා කියන්නේ මම අද ඊයේ දන්න කෙනෙක් නෙමෙයි. පාසල් කාලෙ ඉඳලම මගේ මිත්‍රයෙක්. අද එදා ඒ තිබුණු මිත්‍රත්වයට වඩා දහස් ගුණයකින් වැඩි මිත්‍රත්වයක් අපි අතර තියෙනවා. සේනකගේ පැත්තෙන් මේ නඩුව බාරගත්තෙ මම. මට එහෙම නොකර ඉන්න බැහැ. මගේ වැඩවලට සේනක සෑහෙන්න උදව් කරපු මනුස්සයෙක්”
“ඒක අප්පච්චිගේ කැමැත්ත. මේක මගේ කැමැත්ත. අයෑම් වෙරි සොරි අප්පච්චි. මං හිතන්නේ මේ ගැන තවදුරටත් අපි කතා කරන එකේ තේරුමක් නැහැ. අප්පච්චි මොනවා හරි බොනවාද..”
එවර යුගාෂ් ඇසුවේ පසෙක වූ නෙස් කැෆේ මැෂිම දෙස බලමින්ය.
“මං උඹෙන් තේ බිබී ඉන්න ආවෙ නෑ යුගාෂ්. මේ නඩුවෙදි උඹට හැප්පෙන්න වෙන්නේ උඹේ අප්පච්චි එක්ක. මම කවුද කියන එක උඹ හරි හැටි දන්නේ නැත්නම් උඹේ අම්මගෙන් අහලා දැන ගනින්. මම පරදින්න නඩුවක් බාරගන්න මිනිහෙක් නෙමෙයි.”
පුෂ්පානන්ද කෝප ගෙන තිබිණ. මේ කෝපය යුගාෂ්ට අමුත්තක් වූයේ නැත.
“ඒක මම දන්නවා අප්පච්චි…ඒක හින්දම මං හිතනවා මේක මට හොඳ අවස්ථාවක් කියලා. අප්පච්චිගෙන් යමක් ඉගෙන ගන්න.”
යුගාෂ් කතා කලේ ඉවසිල්ලේය.
“ඉගෙන ගන්න උඹ මමත් එක්ක හැප්පෙන්න වුවමනාවක් නෑ යුගාෂ්. මං කියන විදිහට වැඩ කළොත් කවද හරි මං අද මේ ඉන්න තැනට එන්න උඹට පුළුවන්. මතක තියා ගනින් යුගාෂ් මේ උසාවියේ උඹට තැනක් තියෙන්නේ මං නිසා. මම උඹට හෙට උදේට කෝල් එකක් දෙන්නම්. මට උඹේ තීරණය ගැන දෙකෙන් එකක් දැනගන්න ඕනේ.”
පුෂ්පානන්ද එසේ පවසමින් නැගී සිටියේය.
“අම්මට කොහොමද…..”
ඔහු යළිත් ආපස්සට හැරී ඇසුවේ කාර්යාල කාමරයෙන් පිටවන්නට ප්‍රථමය.
“හොඳින් ඉන්නවා…’
“අපි ඔක්කොටම හොඳින් ඉන්න තිබුණා එයාගේ උද්දච්චකම නැති වුණා නම්..”
එසේ පැවසූ පුෂ්පානන්ද කාර්යාල කාමරයෙන් පිට වූයේය. යුගාෂ් දිගු සුසුමක් මුදා හැරියේ අප්පච්චි තම වාහනයට නගින අයුරු අඳුරු වීදුරු දොරෙන් බලා සිටියාට පසුවය.
කාර්යාල කාමරයෙන් පිටව ගිය යුවතියන් දෙදෙනා යළි කාර්යාල කාමරයට පැමිණියේ අප්පච්චි පිටව ගොස් විනාඩි කිහිපයක් ගතව යද්දීය.
එක් යුවතියක අත වූ අච්චාරු බඳුනක් යුගාෂ්ගේ මේසය මතින් තැබුවේ ප්ලාස්ටික් හැන්දක්ද සමගින්ය.
“දෙන්නත් එක්ක කඩචෝරු කන්න ගියාද”
“හම්බවෙච්ච විවේකයෙන් ප්‍රයෝජනයක් ගත්තා. කන්න සර්. අද තිබුනේ නෙල්ලි අච්චාරු විතරයි.”
“දැන් දෙන්නත් එක්ක එකතු වෙලා මට මේක කවලා ගෑස්ට්‍රික් ආවහම බෙහෙතුත් ගෙනත් දෙන්න වෙයි.”
යුවතියන් දෙදෙනා මුහුණෙන් මුහුණ බලා ගත්තේ සිනහසෙමින්ය. යුගාෂ් යටතේ වැඩ කරනා තවත් නීතිඥවරයන් දෙදෙනෙකු වේ. ඔවුන් මෙවේලෙහි කාර්යාලයේ සිටියේ නැත. ප්‍රධානියෙකු ලෙස ඔවුන් අතරේ සිය ගෞරවය උපරිමයෙන් රැක ගත්තද තම සේවකයන්ව දුරස්ථ සීමාවක සිට ඇසුරු කිරීමේ පුරුද්දක් යුගාෂ්ට වූයේ නැත. එනිසාම ඔවුන් තම ප්‍රධානියාට හිතවත්ය.
“නීලියා…..මට අර හංසිකා පතිරාජ නඩුවේ ෆයිල් එක දෙන්නකෝ..”
තරුණයා එසේ පැවසූයේ ප්ලාස්ටික් හැන්දෙන් ගත් නෙල්ලි ගෙඩියක් මුව තුළ රුවා ගත්තාට පසුවය. නඩුව කැඳවීමට තිබුණේ තවත් දෙසතියකි. වයස විසි එකක්වූ හන්සිකා පතිරාජ දයාල් සේනක අබේගුණවර්ධන ළඟ සේවයට ගොස් තිබුණේ ලිපි කාරිණියක ලෙසය. වසර තුනක් තිස්සේම හංසිකාව විවාහ කර ගන්නවායැයි පොරොන්දු වී දයාල් ඔහුගේ සියලු ලිංගික ඕනෑ එපාකම් ඇයගෙන් සපුරාගෙන තිබිණ. එහෙත් පසුව ඇයව අතහැර දමා වෙනත් අයෙකු විවාහ කරගන්නට උත්සාහ දරනා අතරේම ඇයත් සමඟ ගත කළ පෞද්ගලික ජීවිතයේ සමහර සේයා රූ පෙන්වමින් ඇයට මරණ තර්ජනය කරන්නට විය. ඔහුට විරුද්ධව සියලු සාක්ෂි පැහැදිලිව තිබියදී මේ නඩුව අත් හරින්නට හේතුවක් යුගාෂ්ට වූයේ නැත. කොහොමටත් ඔහු වැඩි අවධානයක් දෙන්නේ අසාධාරණයට ලක්වූ පාර්ශවයටය. පොලිසි උසාවි ඇත්තේත් අසාධාරණයන්ට ලක් වූ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින්නයැයි ඔහු විශ්වාස කළේය.
යළි යළිත් ගොනු කර තිබූ සියලු කාරණා හොඳින් කියවූ යුගාෂ් එහා පස උන් තරුණ නීතිඥවරිය දෙසට හැරුණේ ෆයිල් කවරය වසා දැමුවාට පසුවය.
“නීලියා…..මේ හංසිනී පතිරාජට හෙට උදේට කතා කරලා කියන්න අනිද්ද උදේ නවයට මාව මුණගැහෙන්න ඔෆිස් එකට එන්න කියලා.”
ඇය හිස වැනුවේ ඔහුට එකඟවය.
**************
හෝරාවකටත් වඩා වැඩි කාලයක් ගෙවී ගියේ විනාඩියක් දෙකක් ගෙවී යනවා සේ වේගයෙන්ය. පියසීලී විසින් ගෙන ආ ඉඟුරු රසැති තේ කෝප්පය බී නිම වූවාට පසුවත් තමාරා උත්සාහ දැරුවේ ඔවුන්ගේ අතීත තතු දැන ගන්නටය. පියසීලීත් කලකට පසු ලෙන්ගතු යෙහෙළියක හමුවූවා සේ උවමනාවෙන් සියල්ල ඔවුන් හා පැවසුවාය. අවසන තමාරා නැගී සිටියේ දෑස් තුළ වූ කඳුලක් සඟවා ගන්නට කිහිප වතාවක්ම ඇසිපිය සැලුවාට පසුවය.
“මගේ කාලේ දැන් ගෙවිල ගිහිල්ලා ඉවරයි නෝනා. මොනවා කරන්නද ඉතින් මේ ළමයත් මගේ පුතාට තිබුණු ආදරේ හින්ද වෙන්න ඇති මේවා දරා ගන්න බැරි වුණේ. මට තව ජීවත් වෙන්න වැඩි කාලයක් නැතිවෙයි. ඊට පස්සේ අර අහිංසක කෙල්ල මේ ලෙඩෙක් එක්ක තනිවෙනවා. මට දැන් දෙයියෝ බුදුන් ගැනවත් විශ්වාසයක් නෑ නෝනා.”
“එහෙම කියන්න එපා අම්මේ. හැමදාමත් බොරුවට, වරදට ඉඩක් නැහැ.”
“දැන් අපිට නැති වෙන්න දෙයක් නැහැ නෝනා. මේ කෙල්ලගේ අනාගතය ගැන බයක් විතරයි මගේ හිතේ තියෙන්නේ. වැඩි කාලයක් ගතවෙන්න කලින් කෙල්ල කසාද බන්ඳලා දෙන්නයි මගේ කල්පනාව. එතකොටවත් උන්ට ආරක්ෂාවක් තියේවි.”
“මට කියන්න බෑ අම්මට ඒ බය හිතෙන් අහක් කරගන්න කියලා. ඒත් මං පුළුවන් දෙයක් අම්මල වෙනුවෙන් කරනවා. මේ තියෙන්නේ මගේ නම්බර් එක. මට අම්මා මේ දුවගේ නම්බර් එකත් දෙන්න. දරුවා කසාද බන්ඳන්න හදිසි වෙන්න එපා. ඒක ටිකක් හොයලා බලලා හොඳ ඉවසීමකින් කරන්න ඕන වැඩක්”
නන්දනී විසින් දිගු කළ කාඩ් පත අතට ගත් පියසීලි යළි නිවස තුළට ගොස් අපූර්වාගේ දුරකථන අංකය ලියූ කොළ කැබැල්ලක් රැගෙන ආවාය.
“අපි ආයෙත් එනවා අම්මේ. ඇත්තටම මේ දේවල් ඇහුවට පස්සේ මට පුද්ගලිකවත් ඔයාලව අමතක කරලා දාන්න පුලුවන්කමක් නැහැ. මට හිතාගන්න බැහැ මං ඔයාලා වෙනුවෙන් මොනවද කරන්න ඕනේ කියලා. ඒ මොනවා උනත් මං අම්මව බලලා යන්න එනවා..”
“ඒක කොච්චර දෙයක්ද නෝනා..අපිට මේ ගමේ මිනිස්සුත් හරියට උදව් කරනවා. මගේ ලොකු පුතා ගමේ හිටියේ එහෙම. ඔය ත්‍රීවිල් රස්සාවෙදිත් ඌ හම්බ කළේ සල්ලි නෙමෙයි මිනිස්සු. මොන රෑක මනුස්සයෙක් ඇවිල්ල කතා කලත් නොගිහිල්ලා හිටියේ නෑ. ලෙඩක් දුකක් හැදුනු මනුස්සයෙක් ඉස්පිරිතාලෙකට එක් කරගෙන ගිහිල්ලා කවදාවත් සල්ලි ගත්තෙ නෑ. එහෙම කරපු දරුවට වැරදුනේ කොහොමද කියලා මට අදටත් හිතාගන්න බෑ නෝනා.”
“හරියන්නෙත් වරදින්නෙත් මිනිස්සුන්ටනෙ අම්මේ..අපි බලාගෙන ඉමු. අම්මගේ ලේලි තවම නිදිද..”
“සමහර දවස් තියෙනවා නෝනා නින්ද යන්නෙම නැහැ. රැයක් දවාලක් කියල වෙනසක් නැහැ. එතකොට ඉතින් අපි ඇහැ තියාගෙන බලාගෙන ඉන්න ඕනේ. සමහර දවස් තියෙනවා පැය විසිහතරම නිදි.”
“හොඳයි අම්මේ….මෙතන පුංචි දෙයක් තියෙනවා. ඇත්තටම මං ආවේ මේක දීලා යන්න නෙමෙයි. මෙතනට ආවට පස්සේ තමයි හිතුනේ මට පුළුවන් විදිහකට උදව්වක් කරන්න ඕනේ කියලා.”
තමාරා එසේ පැවසූයේ නන්දනී ඈ අත තැබූ ලියුම්කවරය පියසීලී වෙත දිගු කරමින්ය.
“අනේ සල්ලි එපා නෝනා. අපි කොහොම හරි අපේ වියදම පිරිමහගන්නවා. අනිත් එක මෙහෙම ආපු නෝනලාගෙන් සල්ලි ගන්න මට බෑ.”
“අනේ අම්මේ, එහෙම වැරදි වැටහීමක් ඇතිකර ගන්න එපා. අඩුපාඩු අපි කාටත් තියෙනවා. මේ ලෙඩාට බෙහෙත් ටිකක් ගන්න හරි මේ මුදල තියාගන්න. මේ පුංචි මුදලකින් පිරිමහගන්න පුළුවන් අඩුපාඩු නෙමෙයි අම්මලට තියෙන්නේ. මං පුළුවන් තරම් ඉක්මනින් ආපහු එනවා.”
තමාරා දිගු කළ ලියුම් කවරය පියසීලි දෝතින් අල්ලා ගත්තේ
ඇය කිහිප වතාවක්ම ඇවටිලි කලාට පසුවය. ලියුම් කවරය අල්ලා ගන්නට දිගු කළ ඒ අතැඟිලි වෙව්ලමින් තිබෙන අයුරු තමාරා පැහැදිලිව දුටුවාය. ඇගේ පපුව රිදෙමින් තිබිණ. මිනිසුන් මේසා අසරණ කරන්නට නීතියක් කුමකට බිහිවූවාදැයි තමාරා සිතුවේ දිගු සුසුමක් මුදා හරිමින්ය.
පළමුව ඇයත් දෙවනුව ඒ හා යමින් නන්දනීත් පියසීලීත් ඒ දෙපා මුල පහත් වූවාය.
“අනේ නෝනේ රත්නත්තරේ පිහිටයි. කිසිම ලෙඩක් දුකක් කරදරයක් නොවී නිදුක් නිරෝගී භාවයම ලැබෙන්න ඕන.”
පිය සීලී එසේ පවසද්දීත් ඒ හඬ බිඳී තිබිණ.
( යළිත් හමුවෙමු ආදරයෙන්)