ඔබෙ ආදරෙන් මා දැවේ – 1

0
1959

කොළඹ නගරයම දෙවනත් කරමින් වැස්ස ඇද හැලෙමින් තිබුණි.

එවන් මහ වැස්සක කොළඹ නගරයේ මහ මාවතක කිසිවෙකු ගමන් කරනු දැකීම පුදුමයට කාරණයක් වන බව සැබෑය. එහෙත්, ඒ කිසිවක් ගණනකට නොගෙන, ජාන්වි කුඩයක් හෝ නොමැතිව, නුගේගොඩ දෙසින් තෙමී, පෙඟී යන අයුරින් ඇවිදගෙන ආවාය.

කිසිවෙකුට නොපෙනෙන පරිද්දෙන් හෝ ගා හඬන්න හැකියාවක් වැස්සක තෙමෙද්දී තිබෙන බව ඇත්තකි.

එහෙත් ජාන්වි උන්නේ ඒ විත්තියක් කල්පනා කරමින් නොවේ. ජාන්විගේ හිත තිබුනේ මෙයට පැයකට පෙර තමන්ගේත් මලිත්ගේ කුඩා අපාට්මන්ට් එක ඇතුලේ ඇද හැළුණු මහ වැස්ස ගැන කල්පනා කරමින් ය.

“ෂෝස් තියෙනවා කියලා ඔයා හැමදාම යන්නෙ කොහෙද කියන මම නොදන්නවා කියලද මලිත් ඔයා හිතාගෙන ඉන්නේ? ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ? ඇයි මෙහෙම බොරු කරන්නෙ? දෙයියනේ මං ඔයා වෙනුවෙන් මොනවද කියන්න නොකරෙ? මොකද්ද මේ ජීවිතේ තේරුම?” කියාගෙන ජාන්වි ඇවිත් තමන්ගෙ සුදු පාට කමිසෙ කර හරියෙන් අල්ලලා තමන්ව හොල්ලලා අහද්දිත් මලිත් කරේ කිසි ගාණක් නැතුව හිනාවෙලා කටේ තිබිච්ච සිගරට් එක ඇඟිලි දෙකක් අතරෙ හිරකරගෙන දුම් වළල්ලක් ජාන්විගෙ මූණ හරහා යවපු එකය.

“කවුද ඉතින් තමුසෙට එහෙම කරන්න කිව්වේ? මං මුල ඉඳලම කිව්වනෙ මම හරිම ඕපන් මයින්ඩඩ් මනුස්සයෙක්. මම මුල ඉඳලම කිව්ව මට ඕන තරම් මිනිස්සු ඉන්නවා සෙට් වෙන්න කියලා. අනික යාලුවෙච්ච මුල් කාලෙත් තමුසෙ හෙන ආදරෙන් එහෙම මට කිව්වේ නේද “පාටි වලට ගියාට කමක් නෑ, චුට්ටක් බිව්වට කමක් නෑ, යාලුවො එක්ක එලියට ගියාට මුකුත් කියන්නෙ නෑ, මං එහෙම කන්ට්‍රෝල් කරන ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෙවෙයි” කියලා. දැන් මොනවද මේ කියවන්නේ? පිස්සු නැතුව එහාට වෙනවා ජාන්වි. මට යන්න තියෙනවා අර මිනිස්සු මං එනකම් බලාගෙන ඇති” කියලා මලිත් තමන්ව එහාට තල්ලු කරලා දමන්න හැදුවාට ජාන්වි එයට ඉඩක් දෙන්න හිතුවේ නැත. මලිතුත් තමනුත් අතර තියෙන සම්බන්ධය දැන් අල්ලාගෙන ඉන්නේ තමන් තමන්ගෙ පැත්තෙන් විතරක් බව දන්න හන්දාම මේ මොහොතේ තමන් මලිත්ව අත හැරියහොත් ඔහු සදහටම තමන්ව අතාරින්න ඒක හේතුවන් වෙන්න පුලුවන් බව ජාන්වි දැනගෙන හිටියාය.

“ඕපන් මයින්ඩඩ් මනුස්සයෙක් කියලා ඔයා රෑ තිස්සෙ තැන් තැන්වල ගිහින් ඉඳලා හරියනවද මලිත්? ඔයා කසාද බැන්ද මනුස්සයෙක්. මං ඔයාගෙ ගෑනි. ඔයාට යුතුකමක් කියලා දෙයක් තියෙනවා නේද මාත් එක්ක මේ ගෙදර පොඩ්ඩක් කාලෙ ගෙවන්න? ඔයා රට වටේ රෝන්දෙ ගහද්දි එක එකා එක්ක මම මේ ගෙයක් අස්සෙ මහ රෑ එලි වෙනකම් ඉන්න ඕනද?” කියා අහද්දිත් ජාන්විගෙ කටහඬ වෙවුලන්න ගත්තා‍ය. ඇස් තිබුණෙ කඳුලු වලින් පිරිලා උනත් හිත අස්සෙ තිබිච්ච මොකක් හරිම හයියක් ඒ කඳුලු ඇස් අස්සෙම හිරකරගෙන උන්නා මිසක් ඒ කඳුලු වලට කම්මුල් දිගේ ඇද වැටෙන්න ජාන්වි ඉඩ දුන්නේ නැත.

ජාන්විගේ දෙනෙත් කඳුලින් පිරිලා දිලිසෙනවා දැක දැකත් ඒ නොදැක්කා සේ මලිත් කරන්නට වූයේ මෙපමණ වෙලා තමන්ගෙ කමිසෙ කර හරියෙන් තදට අල්ලගෙන උන්න ජාන්විගේ අත් දෙක හයියෙන් අල්ලා ගසා ඉවත් කර දැමීමයි.  තමන්ගෙන් අඩි කීපයක් එහාට වීසි වුණ ජාන්වි දිහා බලමින්, පොඩිවෙච්ච කමිස කර අතින් හරිගස්සගන්න ගමන් මලිත් ලුවෙ ඇස් අස්සෙ වචනයෙන් කියන්න බැරි තරම් තරහක් හිරකරගෙන ජාන්වි දිහා බැලුවේය.

“ජාන්වී ජාන්වී ජාන්වී මේ. ඔයා මාව මුල ඉඳලම දැනගෙන උන්නනෙ. ඔයාටම තමයි කසාදයක් කරගන්න ඕන උනේ නේද? මං ඔයාව ෆෝර්ස් කරේ නෑනේ බඳින්න කියලා. මං කිව්වා අපි දෙන්නා ගැලපෙනවද කියලා බලන්න ලිවින් ටුගෙදර් ඉමු කියලා. ඔයාම නේද ඔයාගෙ මහ ලොකු පවුලෙ මිනිස්සුන්ගෙ නම්බුවට ඒක ලැජ්ජාවක් කියලා කසාදයක් කරගන්න ඕන කියලා නැටුවෙ?

ඔයා මුල ඉඳලම දැනගෙන ඉඳියා නේද ජාන්වි මම මේ ඔයාලා හොයන විදියෙ කසාද බැඳගෙන ගෙයක් අස්සෙ ගෑනුන්ට පොල් ගගා දිදි ඉන්න මනුස්සයෙක් නෙවි කියලා. අනික ඔයා හොඳටම දන්නවා මගේ මියුසික් කරියර් එකෙන් මට ඉස්සරහට යන්න නම් මට මේ මිනිස්සු එක්ක තියෙන කනෙක්ශන්ස් කොච්චර ඉම්පෝර්ටන්ට් ද කියලා? ඒ සල්ලිවලින් නේද කාලා බීලා ඉන්නේ? ම්ම් නේද?

ඔයා සල්ලි අරගෙන එන්නෙ නෑනෙ ගෙදෙට්ට නේද?

ගෙදෙට්ට වෙලා නිකන් ඉන්න ගෑනු දන්නවද රස්සාවක් කරන එක කොච්චර අමාරුද?සල්ලි හොයන එක කොච්චර අමාරුද කියලා? ඔයා හිතුවට මේ ගෙදරට වෙලා පැය ගණන් කතා කර කර හිටියොත් හරි කියලා ඒ සුරංගනා සීන් නෑ ජාන්වි ඇත්ත ලෝකේ.අනික දැන් මේ මොකද්ද ඔයා කියන්නෙ ඔයා තනියෙන් මේ ගෙදරට වෙලා ඉන්න ඕන කියලා?

මං එපා කියලා තියෙද ඔයාට එලියට යන්න? මං එපා කියලා තියෙනවද කට්ටිය එක්ක සෙට් වෙන්න? නෑනෙ. ඔයත් එලියට යන්න. කැමති කෙනෙක් එක්ක ලයිෆ් එක එන්ජෝයි කරන්න. අනේ මට කිසිම ප්‍රශ්නයක් නෑ. මාත් කියන්නෙ මේ ගෙවල් අස්සට වෙලා ඉන්න ඕන නෑ.” කියා මලින් ආයෙ පාරක් තමන් දිහාවට සමච්චල් හිනාවක් දාද්දි මෙච්චර වෙලා වැටෙන්න නොදී ඇස් අස්සෙ හිරකරගෙන උන්න කඳුලක් ජාන්විගේ කම්මුල් කපාගෙන බිමට වැටුණාය.

මලිත්ගේ වචනත් සමච්චල් සහගත හිනාවත් පපුවට පිහියකින් අනිනවා මෙන් දැනෙද්දිත් ජාන්වි කරේ දිගටම කතා කරන එකය. මලිත්ගේ පැත්තෙන් උත්තර බලාපොරොත්තු වෙන දාහක් ප්‍රශ්න තමන්ගේ හිත අස්සේ තිබෙන බව දන්නේ තමන් විතරක් හන්දා ජාන්වි උන්නේ ඒ ප්‍රශ්න සියල්ලටම මේ වෙලාවේ උත්තර හොයාගන්න බලාපොරොත්තුවෙන් ය.

“ලයිෆ් එක එන්ජෝයි කරන්න? අනේ ඔව් මාත් ආසයි ලයිෆ් එක එන්ජෝයි කරන්න? ඔයාට ලයිෆ් එක එන්ජෝයි කරන්න වෙන ගෑනු එක්ක එක එක තැන්වල කකා බිබී ඉන්න පුලුවන් උනාට මට එහෙම කරන්න බෑ මලිත්.

මං ඔයාට ආදරෙයි. ඔයාට ආදරේ කර කර මට මේ වෙන කොල්ලො එක්ක ලයිෆ් එක එන්ජෝයි කරන්න යන්න බෑ.” 

තමන්ගේ කටහඬ කෑගැහිල්ලක් බවට පරිවර්තනය වෙලා තියෙනවාය යන්න තේරුණද ජාන්වි උන්නේ ඒ පිළිබඳව කිසි අයුරකින් සිතමින් නොවේ.ඇස්වලින් ගලා යන්නට උනු කඳුලු අස්සේ මෙතෙක් දිනක් ආදරයේ නාමයෙන් තමන් හිත අස්සේ හිරකරගෙන උන් සියලු වේදනාවන්ද පිටවෙමින් තිබෙන බව ජාන්විට තේරුණාය.

“ආදරේ? ඔයා ආදරේ කියලා හිතන් ඉන්න දේයි මම ආදරේ කියලා හිතන් ඉන්න දේයි වෙනස් ජාන්වි. ඒක ඔයාට මම මුල ඉඳලම කිව්වනෙ. ඔයාගෙ ඔය ආදරේ කියන දෙයින් කරන්න හදන්නෙ කුරුල්ලෙක් වගේ නිදහසේ පියඹ පියඹ ඉන්න මගෙ අත්තටු කපන්න උනාට මං ආදරේ දිහා  බලන්නෙ එහෙම නෙවෙයි.

මං කෙනෙක්ට ආදරේ නම් මං කරන්නෙ දෙන්න පුලුවන් උපරිම නිදහස දෙන එක ජාන්වි. You know me right? ඒ හන්දා ප්ලීස් මගේ වැඩවලටයි මගෙ ෆ්‍රීඩම් එකටයි තහංචි දාන්න එන්න එපා. මං ඒකට කැමති නෑ. මං මේ අන්තිම පාරට කියන්නෙ, ඔයාට ඒ විදියට මෙහෙ ඉන්න අමාරු නම් දොර ඇරලා තියෙන්නෙ ඕන වෙලාවක යන්න පුලුවන්.

හැබැයි ගියාට පස්සෙ ආයෙ එන්න බෑ කියන එකත් හොඳට මතක තියාගන්නව” කියා මලිත් සමච්චල් සහගත සිනාවක් එක්කම සිගරට් දුම් රැලි යවමින් කියද්දී ජාන්වි කරේ හඬා වැළපුන එකය.

කොච්චර බැණ අඬා ගත්තද තමන්ට මලිත් නැති ජීවිතයක් නැති බව ජාන්වි හොඳාකාරවම දනී. මේ තමන් මෙසේ රණ්ඩු වුන පළවෙනි අවස්තාව නොවේ. ඒ හැම අවස්තාවකම තමන් හඬා වැළපී අවසානයේ “මලිත් වැරදි නෑ, මං දැනගන්න ඕන එයාව තේරුම්ගන්න. එයාගෙ කරියර් එකේ හැටියට එයාව ගේ අස්සෙ තියාගන්න බෑ” කියා සිතා හිත හදාගත් අයුරු ජාන්විට මතකය.

 තමන් ආදරය කියා වැලඳගත් දේ සැබෑවටම තමන් බලාපොරොත්තු වුණ අන්දමේ ආදරයක් නොවන බව වැටහෙද්දී තමන් බොහෝ දුර පැමිණ ඇති බවත්, ආපහු හැරෙන්නට අපහසු බවත් තේරෙද්දී ජාන්වී උන්නේ වැස්සේ තෙමී තෙතබරිත වී ගොසින් ය.

එහෙත් ඒ වැහි බිඳුවලට වඩා වේගයෙන්ද, වේදනාවෙන්ද හිත අස්සේ කඳුලු වැස්සක් ඇද වැටෙමින් තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here