“ඇයි අම්මා පුදුමෙන් වගේ මගේ දිහා බලන්නේ.”
යුගාෂ් එසේ ඇසුවේ තම කාර්යාල පුටුවෙන් නැගිටවිත් තමාරාට යාබදව වූ සුවපහසු පුටුවෙන් අසුන් ගන්නා ගමන්ය.
“එදා ආච්චි මාව කාමරේට දාලා දොර වහලා මට මැරෙන්නවත් නිදහසක් නෑ දෙයියනේ කියාගෙන අම්මල ඉඳපු පැත්තට ආවා. දොර වහල තිබුණට ලොක් කරලා තිබුණෙ නෑ. මමත් ආච්චි පස්සෙන්ම දුවගෙන ආවා. මං ඒ වෙලාවේ හැංගිලා හැම දෙයක්ම බලාගෙන හිටිය අම්මේ. අම්මා කෑ ගැහුවා, ඇඬුවා, අප්පච්චිට වැන්දා ඒත් අම්මගේ ඇස් වල කඳුළු දිහා බලන්න අප්පච්චිට වුවමනාවක් තිබුනේ නෑ.”
“පුතා කවදාවත් මමත් එක්ක ඒ ගැන කතා කරලා තිබුනේ නෑනේ.”
“නෑ…අම්මට ඒක දැනුනද නොදැනුනාද කියන්න දන්නේ නෑ. එදා ඉදලා මං අම්මා ගැන හිටියේ හරිම සැලකිල්ලෙන්. මං හැම තිස්සේම බැලුවේ අම්මගේ ඇස් දෙක දිහා. මං හරි බයයි ඒ ඇස් දෙකේ කඳුළු පිරෙනවට. අම්මා දුකින්ද සතුටෙන්ද කියලා මම මැනපු මිම්ම තමයි ඒ.”
“අනේ පුතේ…..”
“මම හැමතිස්සෙම දැක්කේ අම්මගේ ඇස් වල කඳුළු විතරයි. ඒකෙන් මං තීරණය කළා අප්පච්චි මේ ගෙදරින් ගියපු දවසේ ඉඳලා අම්මා කවදාවත් සතුටින් හිටියෙ නෑ කියල. පස්සේ ලොකු වෙද්දී මට හිතුනා අම්මට තිබුණෙ හරි පරාජිත ඇස් දෙකක් කියලා. ඒ හැඟීම හැමදාම මගේ හිතේ තිබුණ අම්මේ. අම්මා අසරණ වුණේ පිරිමියෙක් නිසා කියන හැඟීම හැමදාම මට වද දුන්නා. මං කැමති නෑ අම්මේ අදටත් කිසිම ගෑනු කෙනෙක්ගේ ඇස් වල කඳුළු දකින්න. විශේෂයෙන් පිරිමියෙක් නිසා ගෑනු කෙනෙක් අසරණ වෙනව දකින්න. ඒක මගේ දුර්වලකමක්ද කියන්න මම දන්නේ නැහැ.”
“නෑ පුතා. ඔයා මෙහෙම කියද්දි සතුටු වෙන්නද එහෙම නැත්නම් දුක් වෙන්නද කියලා මට තේරෙන්නේ නෑ. ඒත්…..”
“අම්මා ඊලඟට අහන්න හදන්නේ මම අප්පච්චිට වෛර කරනවද කියලා නේද. ඔව් එහෙම වෛර කරපු අතීතයක් මට තිබුණ අම්මේ. අම්ම ඒ විදිහට දාලා ගියාට පස්සේ මං අප්පච්චිට වෛර කළා. මට මතකයි එදා තිබුණු නොතේරුම් කමට මම ප්‍රාර්ථනා කරලා තියෙනවා අප්පච්චි කාරෙකේ යද්දි හැප්පෙන්න කියලා. හැබැයි මං කාලයත් එක්ක තේරුම් ගත්තා අම්ම අප්පච්චිට වෛර කරන්නේ නෑ කියලා. සමහරවිට අම්මා එහෙම කරන්න ඇත්තේ මං අප්පච්චිට වෛර කරයි කියලා හිතලම වෙන්න ඇති. ඒ වගේම නොගැළපෙන විවාහයක් ඇතුලේ හදවතින් අඬ අඬා ජීවත් වෙනවට වඩා වෙන්වීම හොඳයි කියලත් මම ඒ සිදුවීම සාධාරණීකරනය කලා. මට මතකයි අම්මා කාලයක් බලා ගෙන හිටියා අප්පච්චි ගෙදර එයි කියලා. ඊට පස්සේ අම්ම ටික ටික හිත හදාගන්න හැටි මම දැක්කා. ඊට පස්සෙ අම්මගෙ ඇස්වල කඳුළු තිබුණත් බලාපොරොත්තුවක් තිබුණේ නෑ. එදා වගේ අසරණකමක් තිබුණේ නෑ.”
“ඔයා හරි පුතා…අප්පච්චී මාව දාල යද්දී මට එදා තිබුණේ කොහොමද මම හස්බන්ඩ් කෙනෙක් නැතුව ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නේ, කොහොමද මම හස්බන්ඩ් දාල ගියපු ගෑනියෙක් විදිහට මේ ගෙදරින් එළියට බහින්නේ කියන ප්‍රශ්නේ, බිස්නස් ගැන ආර්ථිකය ගැන කිසිම දෙයක් නොදැන හිටිය මම කොහොමද ඒ දේවල් හැන්ඩ්ල් කරන්නේ කියන ප්‍රශ්නයක්. ඔයාගේ ආච්චි සීයයි නැතිවුණු කාලෙක මං කොහොමද ජීවත් වෙන්නේ කියලා ප්‍රශ්නයක්. මොකද එතකොට ඔයා හරි පොඩි දරුවෙක්. හැම ප්‍රශ්නෙකටම කාලය විසඳුම් දෙනවා. ඊට පස්සේ ඔයා චුට්ට චුට්ට ලොකු වෙද්දි මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් ඇතිවුණා. ආසාවක් ඇති උනා. එතකොට මට අරමුණක් තිබුණා. ඔයා වෙනුවෙන් මං ජීවත් වෙන්න ඕනෙ කියල මං දැනගෙන හිටියා. ඔයාගේ අප්පච්චි ලඟට ගිහිල්ලා ඔයා ගැන කතා කරන්න තරම් ශක්තියක් මට තිබුණා. ඔයා වෙනුවෙන් එයාගෙන් ඉල්ලීම් කරන්නේ කොන්දේසි දාන්න මට ශක්තියක් තිබුණා. ගෑනු හිතක් ශක්තිමත් වෙන්න අරමුණක් තියෙන්න ඕන පුතා. වැටෙන්න, පැරදෙන්න ඕනේ.
අද මට මං ගැන හරි ආඩම්බරයක් දැනෙනවා. ආපහු හැරිලා බලද්දි මං දිනලා. ඔයා සංවේදී දරුවෙක් විදිහට උස් මහත් කරන්න ලැබුන එකම මගේ ජයග්‍රහනයක් පුතා.”
තමාරා නැගී සිටියේ එසේ පවසමින්ය. අවසන තමා කතා කරන්නට පැමිණියේ කුමක් ගැනදැයි ඇයට මතකයක් වුයේ නැත. දරුවන් තමාගේ ළමා කාලය තුළින් ජීවත් වන්නට කොතරම් දේ එකතු කරගන්නවාදැයි තමාරා සිතුවේ පුදුමයෙන්ය. දරුවෙකු යහපත් ලෙස සමාජගත වන්නට නම් ඔහුගේ පවුල් පරිසරයත් යහපත් විය යුතු බව තමාරා දැන උන්නාය. යුගාෂ්ගේ රැකියාවට, හැසිරීමට තීන්දු තීරණ වලට ඔහුගේ ළමා කාලය කොතරම් බලපා ඇත්දැයි තමාරා සිතුවේ මවිතයෙන්ය. වාසනාවකට මෙන් ඔහු අයහපත් මාර්ගයක ගමන් නොකළේය. දැන හෝ නොදැන තමා සාමකාමීවීම, ඉවසීම, දරාගැනීම තුලින් උපද්දවා ඇත්තේ ගැහැණියකගේ ගෞරවය ආරක්ෂා කරන්නට දන්නා පිරිමියෙකි.”
අමායාගේ නඩුව ගැන විස්තර ඇසූ තමාරාගේ සිතෙහි වූයේත් කුතුහලයකි. වරෙක ඔහු අප්පචිව රිදවීමේ වුවමනාවෙන්ම මේ නඩුව බාරගත්තාදැයි සැකය ඒ සිත්හි විය. ඒත් එය එසේ නොවනබව දැන් පැහැදිලිය.
කිසිම ගෑනියෙක් මේ ජීවිතය ඇතුළේ අසරණ වෙන්න ඕනෙ නෑ අම්මා. ඒ වේදනාව මං අම්මගෙන් දැකපු කෙනෙක්.
යුගාෂ්ගේ ඒ වදන් සමාරාගේ දෙසවන් තුළ දෝංකාර නංවන්නට විය. තමා සියල්ල දරාගෙන යහපත් දරුවෙකු නිර්මාණය කිරීමේ සතුට ඕ එවේලෙහි අත්වින්දේ ආඩම්බරයෙන්ය.
******************
පසු දෑ උදෑසන අට වෙද්දී අලුත්ගමට පැමිණ සිටින්නයැයි යුගාෂ් රාත්‍රියේ දුරකථනය විසන්ධි කරන්නට පෙර අපූර්වාට පැවසීය. කොතරම් කාර්‍යබහුල වුවත් ඔහු දුන් පොරොන්දු රකින්නට වෙහෙසීම පුදුමයට කාරණයකි. අම්මා බලන්නට හේෂානි සමග හෝ ඇගේ මව සමග යාමට හැකියැයි පැවසුවත් යුගාෂ් පැවසූයේ තමාට පැමිණිය හැකි බවය. හෝරාවකටත් එහා ගිය ඒ දුරකථන සංවාදය දැන් දෙදෙනාටම පුරුද්දක් වී ඇත. පැය ගණනක් කතා කළත් ඔහු හා බෙදා ගන්නට ඇති ජීවිතයේ තතු බොහෝය.
යුගාෂ් හමුවට යන සෑම අවස්ථාවකම අපූර්වා ඇඳුම් තෝරා ගත්තේ සැලකිල්ලෙන්ය. රැකියාවට යද්දී දවස පුරා අඳින ඇඳුම් ඕ අල්මාරියේ වෙනමම තට්ටුවක අසුරා තැබුවාය. ගමන් අඳින ඇඳුම් දෙක තුනක් වූයේ ඊට පහළ තට්ටුවේය. ආච්චි අම්මාගේ ඇඳුම් සේම අම්මාගේ ඇඳුම් වූයේත් අල්මාරිය අනෙක් පසය. සොල්දර ගෙදර කාමර හයකි. එනිසා ඔවුනට පරිහරණය සඳහා වෙන වෙනමම කාමර විය. එහෙත් මේ එකම කාමරයේ සියල්ල බෙදා ගන්නට සිදු වූයේ අඩු පහසුකම් සමගය. සොල්දර ගෙදර වූයේ වටිනාකමින් වැඩි කළුවර ලීයෙන් සකස් කළ ලී බඩුය. වියන් ඇඳන්ය. කවිච්ච් පුටු සැටියකි. මේ තනි කාමරයට ඒ සියල්ල ගෙන ඒමේ හැකියාවක් වූයේ නැත. ගෙවී ගියේ මුදල් අතින් අසීරුම කාලයකි. අවසන සොල්දර ගෙදරින් එළියට බසින්නට පෙර තාත්තාත්, අම්මාත් තීරණය කළේ ඒ වටිනාකමෙන් වැඩි කළුවර ලීයෙන් නිමවුණු ගෘහ භාණ්ඩ විකුණා දමන්නටය. කළුතර ප්‍රදේශයේ පරණ බඩු විකුණන ආයතනයක පුද්ගලයෙකු කැඳවාගෙන පැමිණියේ සමන් මාමාය. ඔහු ඒ සඳහා මිල කළ මුදල දෙලක්ෂයකට ආසන්නය. මෙම කුඩා කාමරයේ වහල ගැසුවේත්, පසුපස වූ වැසිකිළිය සෑදුවේත් ඒ මුදලින්ය.
“නන්දසේන අයියේ අර උඹ විකුණපු එක කළුවර අල්මාරියකට ඌ විකුණන්න මිල දාල තිබ්බේ ලක්ෂ තුනක්. ඔය බඩු ටිකෙන් ඌ හොයාගන්න ඇති ලක්ෂ විස්සකට තිහකට වඩා. ටක් ගාලා හොටෙල් වලට එහෙම ගන්නවා.”
දිනක් කළුතරට හයර් එකක් ගොස් පැමිණි සමන් මාමා පැවසුවේ ඉදිරිපස තබා තිබූ ප්ලාස්ටික් පුටුවකින් වාඩි වීගෙනය. සමන් මාමා හොර රහසේ රැගෙන එන කාලේ බෝතලයක් හිස් වන්නේ ඒ කතාබහ අතරතුරය. බීමත්ව බාප්පාගේ නිවසට ගොස් ඔහු තාත්තාව පොලිසියට අල්ලා දුන් පසුව අම්මා නිරතුරුවම තාත්තාගේ බීමත්කම ගැන විමසිල්ලෙන් පසු වූවා අපූර්වාට මතකය.
ඒ සිත රිදවන අතීතය දිය යට එබ්බවූ රබර් බෝලයක් වැනියැයි යුවතියට සිතුනේ කුඩා කණ්නාඩියට එබෙද්දීය.
නිල් පැහැ ඩෙනිම් කලිසමට යුවතිය ඇඳ ගත්තේ ලා දම් පැහැ ටී ෂර්ට් එකකි. එය හේෂානි විසින් රැගෙන දුන්නකි. සාත්තුවක් නොලද කොණ්ඩය ඔහේ වැවී යමින් තිබිණ. කොණ්ඩය කපා ගත් දිනයක් හෝ ඇහි බැමි සාදාගත් දිනයක් ඒ මතකයේ නොවේ. හෙට අනිද්දාම කොණ්ඩයේ අගිස් පැලී ඇති කොටස කපා ඉවත් කළ යුතු යැයි අපූර්වා සිතුවාය. ඒ ගමනේදීම ඇහි බැමත් සාදාගත යුතුය. යුගාෂ් සමග එකමග ඇවිද යද්දී සමහරෙකු ඔහු දෙස බලා ඉන්පසු තමා දෙසත් බලන අයුරු අපූර්වාගේ දෑස්වලට හසුව තිබේ. එනිසාම තමාගේ සරළකම ඔහුට නොගැලපෙතැයි ඈ වරෙක සිතුවාය.
ඈ අලුත්ගමට යනවිටත් යුගාෂ් පැමිණ සිටියේය. දහසක් වැඩ කටයුතු තිබියදීත් තමා වෙනුවෙන් ඔහුගේ කාලය ලබාදෙන මේ තරුණයා ආත්ම ගණනාවක සිට තමා සමඟ සිටින්නට ඇතැයි අපූර්වාට සිතුණේ ඔහු දෙස බලා සිටියදීය. ආදරනීය බැඳීමක පදනම වන්නේද එකිනෙකා වෙනුවෙන් ලබා දෙන කාලයයි. උගත් කමින්, තරාතිරමෙන් පමණක් නොව වත් පොහොසත් කම් වලින් සේම රූපයෙනුත් ඔහු සිටින්නේ තමාට වඩා ගව් ගණනක් උඩින්යැයි අපූර්වාට සිතිණ. විටෙක ඔහුව අහිමි වේයැයි සිතෙන්නේත්, මහා ලෝබකමක් සිත පුරා ඇවිල යන්නේත් එනිසාය.
“ගුඩ් මෝර්නින් මැඩම්…..මොනවද මගේ දිහා බලාගෙන කල්පනා කරන්නේ. උදේට කාලා නැත්තං කාලා ඉමු. මාව අනුභව කරලා හරියන්නේ නෑ.”
ඔහු සිනහමුසුව එසේ පවසන තුරුත් අපූර්වා උන්නේ යුගාෂ් දෙස බලාගෙනය. අවසන ඒ දෑස් බිමට හැරවෙද්දී ඕ විලියෙන් රතුව උන්නාය. ඔහුව හමුවී ගෙවී යන මේ දවසම ඇයට සුන්දර එකකි.
“ඇයි අපූරුවා…..”
ඔහු ඇගේ දකුණතින් අල්ලා ගත්තේ රිය පදවන ගමන්මය.
“ලෝභ හිතුණා….”
“මොකටද”
“ඔයාට…මේ ආදරේට, ඔයා මගේ කියන හැඟීමට”
“මහ ලොකු දහම් පාසල් ටීචර් නේද.? දහම් පාසලේ කියල දීල නැද්ද සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය ඒ නිසා ඒවාට ඇලුම් නොකරන්න කියලා”
අපූර්වා හිනැහුනේ උස් හඩින්ය. ඔහු ලඟදී මේ හදවත සැහැල්ලුය. ගෙවීයන මොහොත ඇරෙන්නට කිසිවක් මතකයට නො ඒ.
( යළිත් හමුවෙමු ආදරයෙන්…)