“ඔය කෙල්ල විඳපු දුක්වල හැටියට හරි යන්නම ඕනේ. හිත හයිය කරගෙන ඔය ත්‍රීවිලර් එක එලවපු එකම මැදෑ. අර පිස්සු ගෑණිත් බලාගෙන පියසීලි අක්කවත් බලාගෙන මොන සුමයක්ද කළේ…කවුරු හරි ඉදිරිපත් වෙලා ගෙයක් දොරක් හදල දෙන එක කොච්චර වටිනවද..දැන් ඉතින් ගෙදර නවත්ත ගන්න හරි පිරිමියෙක් හොයා ගන්න බැරියෑ…”
හන්දියේ තොග කඩය තුළ පොල් තෝරමින් උන් මැදිවියේ ගැහැණියක පැවසූයේ හොඳින් සොලවා කලටි පොල් නොවන බව තහවුරු කරගත් පොල් ගෙඩිය මුදලාලි අතට ලබා දෙමින්ය.
“අනේ කොතනකදී දැක්කත් බං නැන්දේ මාමෙ කියලා හිනා වෙලා යන කෙල්ල. ඇත්තමයි මං අපේ ගෙවල් වල උන්ටත් කියන්නෙ අන්න ඒ මනුස්සකම තියාගනින් කියලා.”
“නන්දසේනත් හරි ආදරේ බන් ඔය කෙල්ලට. කරුමෙට ඉතින් ඒ පාපකර්මෙ කරගන්න ඌට හිත් දුන්නා. කොච්චර හිඟ අඩුපාඩුකම් තිබුනත් මාමේ අපේ පොතේ හිඟ කීයක්ද කියලා අහලා අතට ගානක් හම්බ වෙච්ච ගමන් මට ගෙනත් දීලා යනවා බං. මං හිතන්නේ නන්දසේන නඩු කියන්න පොලියට ගතපු සල්ලිත් ගෙවලා ඉවරයි. එහෙව් දරුවන්ට හරියන්න ඕනේ…”
ග්‍රාම සේවක තොග කඩයට පැමිණියේ කිහිප දෙනෙකු අපූර්වා ගැන කතා කරමින් සිටියදීය. කිසිවක් නොකියූ ඔහු බිරිඳ ලියා දුන් කළමනා වට්ටෝරුව බඩු කිරමින් ඉන්නා කොල්ලා දෙසට දිගු කළේය.
“දරු පවුලක් විනාස කරපු උන් දැන් ජීවත් වෙන්නේ ලක්ෂෙට කොඩිය දැම්මා කියලා හිතාගෙන. මේ ගමේ මිනිස්සු හොඳ වැඩියි. අම්මපා මුන්ට දෙන්න ඕනේ රජ කාලෙ දඬුවම්..”
මැදිවියත් ඉක්මවා උන් ජේමිස් පැවසූයේ ග්‍රාම නිලධාරීතුමාත් නිශ්ශංකලා සමඟ ඇයි හොඳයිකම් පවත්වන බව දැන උන් නිසාය. මේ මිනිසුන්ගේ කරුමයට පත්ව ආ ග්‍රාම නිලධාරී වරයෙකි. රජයෙන් දෙන සහනාධාර ලබාගන්නට පවා ඔහු හමුවට යා යුතු වන්නේ පඬුරු පාක්කුඩම් ඇතුවය.
“අනේ මන්දා ඉතින් මේවා කියලත් බෑ නොකියත් බෑ. එක අතකින් බලනකොට මට වැඩක්ම නැති කාරණයක්. මේ කතා වෙච්ච හින්දා කියන්නේ.”
ග්‍රාම නිලධාරී පැවසූයේ කට්ට කරවල කෑල්ලක් තෝරා තරුණ කොලුවා අතට ලබා දෙමින්ය.
“ග්‍රෑම් සීයට චුට්ටක් වැඩි උනාට කමක් නෑ සීයටම දාහන්..”
ඒ අතරේ ඔහු පැවසූයේ ගණනක් හදමින් උන් මුදලාලිට නෑසෙන්නටය.
“ඔය අපූර්වා ඉන්නව නේද…… දවස් දෙක තුනක්ම ටවුමෙදි එක එක මිනිස්සුන්ගේ කාර් වල නැගලා යනවා කීප දෙනෙක්ම දැකලා මට ඇවිල්ලා කිව්වා. අපේ නෝනත් මට කිව්වා තාත්තත් නෑ අම්මා හිටියත් නෑ වගේ කෙල්ලනේ ගිහිල්ලා අවවාදයක් දීලා වැරැද්දක් තියෙනවනම් නිවැරදි කරලා ආවොත් හොඳ නැද්ද කියලා. අනේ ඒ උනාට මං ඕවට කතා කරන්න ගියේ නෑ. අපේ උපදෙස් ඔය ළමයි මොන විදිහට බාර ගනීද කියලා කවුද දන්නේ. වෙලාවකට හිතෙනවා ඒ යන්නෙ එන්නේ කාත් එක්කද කියලා හොයලා බලලා පිළිවෙලක් කරන්න. ඇහැට කණට පේන කෙල්ලනේ. ඒ උනාට අනුන්ගේ ජීවිත වලට අපට එබෙන්න බෑනේ කියලා හිතලා නිකං ඉන්නවා”
“ග්‍රාම සේවක මහත්තයෝ ඔය කතා කරන්නේ හරියටම දෙයක් දැනගෙනද..”
“කිව්වෙ කවුද කින්ද මන්ද කියල මට මෙතන පාවල දෙන්න බෑ බං. මං ඒක කරන්නෙත් නෑ. එක්කෙනෙක්ගෙන් ඔය ආරංචිය මට ආවානම් ඒක කෙල්ලත් එක්ක තියෙන ඉරිසියාවට හදපු පදයක් කියලා හිතල හරි මං අර කනෙන් අහලා මේ කනෙන් පිට කරලා. එහෙම නෙමෙයි බං ඕක කීප දෙනෙක් මට ඇවිල්ල කිව්වා. මිනිස්සු ඇස්කන් පියාගෙන ජීවත් වෙනවා නෙමෙයිනේ. බොරු කියන්න ඕන නෑ මගේ ඇස් දෙකටනම් ඔය කිසි දෙයක් දැක්කේ නෑ. ඒ උනාට ඉතින් හතර පස් දෙනෙක් එකම දේ කියද්දි ඒකේ මොකක් හරි ඇත්තකුත් තියනවා කියල හිතන්න ඕනේ.. ගින්නක් නැතුව දුමක් නඟින්නෙ නෑනෙ.”
“කෙල්ල මොකෙකුට හරි අහු වෙලාවත්ද..”
“ඒක තමයි මමත් කියන්නේ. ඇහැට කනට පේන කෙල්ලන්ට ඕන තරම් රස්සාවල් තියෙනවා. ඒකි අම්මවත් අංගොඩ ගිහින් දාලා මොන නැටුමක් නටන්න සැරසෙනවද කියලා අපි ඇහැ ගහගෙන ඉන්න වෙයි. අද එක මිනිහයි හෙට එක මිනිහයි එක්ක හෝටල් ගානේ ළඟින්න ගියොත් ඒක මේ ගමටත් අවනම්බුවක්. මතකනෙ ඊයේ පෙරේදා කළුතර ඉස්කෝලේ කෙල්ලෙක් හෝටලයකින් පහළට පැනලා මැරුනා.”
“හනේ අප්පේ……කෙල්ල මොකක් හරි ලෙඩක්වත් දාගෙනද.”
“ඒවා ඉතින් හරියකට කියන්න බෑ දෙයක් ආරංචි වෙනකල්. මං කෝකටත් හෙට අනිද්දා ඒ පැත්තෙෙ ගිහිල්ලා පියසීලිව දැනුවත් කරන්න කියලා හිතාගෙන ඉන්නේ. මටත් ඒ වයස කෙල්ලෙක් ඉඳිද්දි ඇස් කන් පියන් බලන් ඉන්නේ කොහොමද. මට පරක්කු වෙනවා බං. කොල්ලෝ… බඩු ටික දාලා ඉවරනම් මෙහෙට ගනින් බලන්න. මුදලාලි පඩි අරගෙන බේරනකල් මේ ගාණත් පොතට එකතු කරගන්න. උඹලා කවුරුවත් අපි මේක මෙතන කතාවුනා කියල ගමේ කා එක්කවත් කිය කිය යන්න ඕන නෑ. අපි හතර පස් දෙනාගෙ කන් වලින් මේවා පිටට ගිහිල්ලා තිබුනොත් මම දන්නවනේ කවුද මෙතන හිටියේ කියලා. වරදක් වෙනවනං කෙල්ල බේරගන්න එක වෙනම කතාවක්. නිකන් ගම ගිනි තියලා කෙල්ලට අවනම්බුවක් වෙන විදිහට කිසි කෙනෙක් හැසිරෙන්න එපා.”
ග්‍රාම නිලධාරී ඒ වදන් පැවසූයේ මදක් උස් වූ හඩින්ය. ඒ අණක් පරිද්දෙන්ය. කොලුවා අතට දුන් ඉටි බෑගයත් රැගෙන ඔහු තැපැල් නයින්ටි වර්ගයේ යතුරු පැදියට නැගුනේ ජයග්‍රාහී ලීලාවෙන්ය. කඩේ උන් හතර පස් දෙනාම උන් හිටි තැන්වල නැවතුනු ගමන්ය. ගමක්ම ගිනි තබන්නට මේ හතර පස්දෙනාට හැකියාව වන බව ඔහුට සක්සුදක් සේ විශ්වාසය.
***************
අම්මාගේ මුහුණ වෙනදාට වඩා එළිය වැටී ඇතැයි අපූර්වාට සිතිණ. ඕ කාන්තිගේ දෑත් අල්ලාගෙන ඈ ඉද උන් ලෑලි බංකුවේම එක් පසෙක වාඩි වූවාය. බලාගත් අත බලා උන්නා විනා වෙනදා සේ කුමක් හෝ මුමුණන්නට හෝ කියවන්නට ඈ ඉක්මන් වූයේ නැත.
අපූර්වාගේ දෑස් වල කඳුළු පිරී තිබිණ. ඒ නිහඬකමත් පාළුවකි. මේ අයුරින් ඇයව තනි කිරීම වරදක්යැයි තවමත් පවසන යටි සිත සන්සුන් කර ගැනීමට ඕ දැන උන්නේ නැත. ඇය වෙනුවෙන් ගෙන ආ සැහැල්ලු ඇඳුම් කිහිපයත්, ඕඩික්ලෝන් බෝතලයත්, සබන් කැට දෙකත් හෙදියක් වෙත බාර දුන්නේ අපූර්වාමය. පසෙක ප්‍රසිද්ධ වෙළඳ සන්නාමයක් සටහන් වූ බෑගයෙහි වූයේ පලතුරුය. බරට බරේ එය ඔසවාගෙන පැමිණියේ යුගාෂ්ය.
“මෙච්චර පලතුරු ගොඩක්…”
හෙදිය අපූර්වා දෙස බැලුවේ සිනහසෙමින්ය.
“වෝඩ් එකේ ඔක්කොමලටම මිස්..”
අපූර්වා පැවසූයේ යුගාශ් දෙස බලමින්ය. ඒ ඔහුගේ හැටිය. ගිය වර ඔහු සබන්, දත් බෙහෙත් හා දත් බුරුසු මිලදී ගත්තේ අම්මාට පමණක් නොව වාට්ටුවේ ප්‍රතිකාර ලබන සියල්ලෝම සඳහාය.
“මේ පොතේ අත්සන් කරන්න එහෙනම්. හැමදාම එහෙම ගේන්න ඕනේ නෑ. යන්න කලින් ඩොක්ටර්ව හම්බ වෙලා යන්න.”
හෙදිය පැවසූයේ ‘ඩොනේෂන්’ ලෙස සටහන්ව තිබූ පොතක් ඔවුන් දෙසට හරවමින්ය.
අපූර්වා හිස වැනුවේ ඇයට එකඟ වෙමින්ය. ඔහු යළිත් අම්මා අසලට වී හෝරාවක් පමණ කාලය ගත කළාය. ඇයට ඇසුණත්, නෑසුනත්, තේරුම් ගියත්, නොගියත් පසුගිය කාලයේ සිදු වූ සියල්ලම අපූර්වා කාන්ති හා පැවසුවාය. මවටත් දුවටත් ඕනෑ හැටියකට අදහස් හුවමාරු කරගන්නට ඉඩ දුන් යුගාශ් මදක් එහාට වන්නට වූ ලී බංකුවක අසුන් ගෙන සිටියේ දුරකථන තිරය මත ඇඟිලි තුඩු එහෙටත් මෙහෙටත් යවමින්ය.
“ඇත්තටම අම්මා මෙහෙට බාර දුන්නට වඩා ප්‍රොගෙස් එකක් දැන් තියෙනවා. ඒක ඇත්තටම අපිට සතුටක්. අපි ඊයේ ඉඳලා ඉන්ජක්ෂන් කෝස් එක පටන් ගත්තා. දවස් හතක් එක දිගටම අපි පේෂන්ට ඒ ඉන්ජෙක්ෂන් එක දෙනවා. අපි හිතනවා ඉක්මනින්ම අපිට පේෂන්ට්ගේ වෙනසක් බලාගන්න පුළුවන් වෙයි කියලා.”
තරුණ වෛද්‍යවරයා පැවසූයේ කාරුණික ස්වරයෙන්ය. අපූර්වා යුගාශ් දෙස බැලුවේ මුව මත ඇඳී ගිය මදහසකින් යුතුවය. ඒ දෑස් පිරී තිබුණේ බලාපොරොත්තු වලින්ය.
“ප්‍රොපෙසර් නිතරම ඇවිල්ලා ඔයාගේ අම්මව බලනවා. හැම දෙයක්ම හොඳම විදිහට විසදෙයි.”
අපූර්වා මේ රෝහල තුළ දුටු අපූර්වත්වයද එයය. ඔවුන් සියල්ලෝම තවකෙකුට සවන් දීමට තරම් සංයමයක් ඇත්තන් විය. රජයේ රෝහලක් යැයි පවසද්දී සිතෙහි මැවෙන පරිසරය මේ රෝහල තුළ කොහොමටවත් වූයේ නැත. ප්‍රවීණත්වයෙන්, මනා උපදේශනයකින් සහ පුහුණුවකින් ඒ සංයමයත් ඉවසීමත් ඔවුනට ලැබී ඇතැයි අපූර්වා සිතුවාය.
නික්ම එන්නට පෙර වෙනදා සේ යුවතිය කාන්තිට දණ ගසා වැන්දාය. යුගාශ් ඒ අයුරින්ම ඇය ඉදිරිපිට දණ ගැසුවේ අපූර්වාව අනුකරණය කරමින්ය. කාන්ති ඇයට හුරු පුරුදු වූ හිස් බැල්මෙන්ම ඔහේ බලා සිටියාය.
“අම්මව අපි ආදරෙන් බලා ගන්නවා. ඔයා බයවෙන්න එපා.”
අපූර්වාට එසේ පැවසූයේ එවේලෙහි රාජකාරියේ නියුතුව උන් හෙදියකි. අඩි කිහිපයක් ඉදිරියට පැමිණ ඕ ආපසු හැරී බලද්දී දුටුවේ ඒ හෙදිය අම්මාගේ දෙවුරහිස් වලින් අල්ලාගෙන ඇයව ඇතුළට කැඳවාගෙන යන ආකාරයයි. අපූර්වා යුගාශ්ගේ දෑත් වලින් අල්ලා ගත්තේ රිය අංගනයට පැමිණියාට පසුවය.
“හැමදේකටම පින්…ගෙවිල ගිය අවුරුද්ද පුරාවටම නොදැනුණු වෙනසක් මට අම්මගෙන් අද දැනුනා සර්. ඒ අවුරුද්ද පුරාවටම නොතිබුණු බලාපොරොත්තුවක් අද මගේ හිතේ ඇතිවුණා. මං දන් නෑ මං මොනවද කියන්න ඕනේ කියලා. හිතේ තියෙන හැම හැඟීමක්ම වචන වලට පෙරලන්න පුළුවන් උනානම්…හැමදේකටම ඔයාට පින් සිද්ධ වෙනවා…”
“සාදු..සාදු…සාදු….”
අනේ හැමදේම විහිළුවට ගන්න එපා..
“ඉතිං පුන්‍යානුමෝදනාවක් කළහම ඒක සාදු සිතින් බාරගන්න කියලනෙ කියල තියෙන්නේ”
“එහෙම නෙමෙයි අනේ. හරි නරකයි..”
“ඔයා තමයි නරක. හැම තිස්සෙම එහෙම එක එක ඒවා කියනකොට මට හිතෙනවා ඔයා මාව පිට කෙනෙක්ගෙ ගානට දාලද කතා කරන්නෙ කියලා. තමන්ගේ මිනිස්සු දේවල් කරන්නේ ස්තුති බලාපොරොත්තුවෙන්වත් පින් බලාපොරොත්තුවෙන්වත් නෙමෙයි. තමන්ගේ අය සතුටින් ඉන්නවා දකින්න තියෙන ආසාවට. තේරුණා නේද…”
අපූර්වා හිස වැනුවේ ‘ඔව්..’ යැයි කියමින්ය. ඒ ආදරයේ පරිමාණය මනින්නට ඕ දැන සිටියේ නැත.
“ඉස්සර වෙලාම අපි දවල්ට කාලා ඉමු. ඊට පස්සේ නිදහස් තැනකට ගිහිල්ලා කියව කියව ඉන්න ඕනේ. දැන් මං දන්නවනේ ලෝඩ් කරගෙන ඇත්තේ සතියක ඒවා”
ජීවිතයේ මේ ලැබූ සතුට ගිලිහී නොයේවායි පතනු මිස අන් පැතුමක් අපූර්වාට වූයේ නැත. කලකට පසුව තමා ජීවත් වන බවක් දැනුනේත් ඔහුගේ ඒ ආදරය නිසාය.
තීක්ෂණගේ අංකය සටහන් කරමින් දුරකථනය නාද වූයේ යුගාශ් කෑමට සුදුසු තැනක් සොයමින් විමසිල්ලේ වාහනය පදවාගෙන එද්දීය. පළමුවර ඇමතුම ගැන සැලකිලිමත් නොවූවත් ඔහු දෙවන වරත් ඇමතුම ලබා ගනිද්දී යුගාශ් වාහනය මදක් පාර අයිනට කර නතර කළේ අපූර්වාගේ අවසර පතමින්ය.
“මචං අංකල් ඔෆිස් එකට ඇවිල්ලා යකා නටල ගිහිල්ලා. මේ කෙල්ලෝ දෙන්න මං එද්දි හොඳටම බය වෙලා..”
එහා පසින් ඇසුණේ මිතුරාගේ කලබල හඬය.
“මොනවද කියලා තියෙන්නේ…..”
“අමායගේ නඩුවට අදාල ෆයිල්ස් ඉල්ලලා.”
“එයාට තේරෙන්නෙ නැද්ද එයා මේ කරන්නේ නීති විරෝධී වැඩ කියලා.”
එවර යුගාශ් ඇසුවේ මදක් උස් හඬින්ය.
( යළිත් හමුවෙමු ආදරයෙන්)