“මට සමාවෙන්න චින්තන අයියේ…අනේ ඔයාලට හැංගුවා නෙමෙයි. මගේ ජීවිතයට මොකක්ද වෙන්නේ කියලා මටත් හරියට හිතා ගන්න බැරුව කොහොමද මං මේ දේ ඔයාලට තේරුම් කරන්නේ කියලා දෙගිඩියාවෙන් හිටියේ. අයියේ මං ආදරය කරන කෙනෙක් ඉන්නවා.”
අවසන අපූර්වා එසේ පැවසූයේ බිඳීගිය හඬකින්ය. ඇගේ සිතට වරදකාරී හැඟීමක් දැනෙමින් තිබිණ. තාත්තා ජීවත්ව සිටියානම් අම්මා නිරෝගීව සිටියානම් මේ අයුරින්ම ඔවුනුත් තමාගෙන් විමසනු ඇතැයි අපූර්වාට සිතිණ.
“ලොකු කාලයක් නෑ චින්තන අයියේ…”
“උඹ අඬනවද…”
යුවතිය එසේ ඇසුවේ චින්තනගේ හඬ හැඬුම් මුසු වූ නිසාය.
“නෑ…ඒක වරදක් කියලා මට දැනුනේ නෑ. අනේ මං හිතා මතා වහං කලා නෙමෙයි.”
“පිස්සුද බං. උඹ තාම ඉස්කෝලෙ යන වයස කෙල්ලෙක් නෙමෙයි. ඒ හින්දා කෙනෙකුට ආදරේ කරන එක වරදකුත් නෙමෙයි. මට කියහන්කෝ කවුද ඔය කොල්ලා කියලා. ජීවිතේ මොන දේ උනත් ආවට ගියාට උඹලා කාගෙවත් සෙල්ලම් බඩු වෙන්න ඕන නෑ. අපි මේවා කතාබහ කරගමු. අනිත් එක නංගි හැම වෙලාවකම මතක තියා තියාගනින් උඹ තනිවෙලා නෑ කියලා. උඹට එක තාත්තා කෙනෙක් නැති වුනේ තාත්තල තුන්දෙනෙක්ම දීලා.”
“අනේ චින්තන අයියේ…..”
කියහන්කො මට විස්තර.
“එයා ලෝයර් කෙනෙක්. මගේ ත්‍රීවිලර් එකේ හයර් එකක් ගිහිල්ලා තමයි මට හම්බ වුණේ. අයියේ මට ගොඩක් උදව් කරනවා. අම්මව ඩොක්ටර්ට පෙන්නලා හොස්පිට්ල් එකේ නැවැත්තුවේ එයා. හැම සතියකම මාව අම්මා බලන්න එක්කරගෙන යන්නෙත් එයා. අපේ අඩුපාඩු මට ආදරේ නොකර ඉන්න එයාට හේතුවක් උනේ නෑ අයියේ. අයියේ මට ඕපන් යුනිවර්සිටි එකේ ඩ්‍රිග්‍රි එකකට මටත් නොකියා සල්ලි ගෙවලා. දැන් පටන් ගන්නකල් බලන් ඉන්නේ. ඒ ඔක්කොම කලේ එයා. මගේ හිතට හැම වෙලාවකම ලොකු ශක්තියක් වෙනවා. මං ආපස්සට අඩිය තියන හැම වෙලාවකම මට ධෛර්‍යය දෙන්නෙ එයා. මේ ගේ හදන වැඩේට උනත් මම පස්ස ගහද්දි හොයලා බලලා ගොඩක් දේවල් කලේ එයා.”
“සම්බන්ධකමක් ඇතුළේ ඒකනේ නංගි වෙන්න ඕනේ. අනිත් කෙනාට ශක්තියක් වෙන එක. මට කියහන්කෝ කාගේ කවුද කින්ද මන්ද කියන විස්තර.”
“ලොකු දෙයක් දන්නේ නෑ චින්තන අයියේ. එයාගේ තාත්තත් පොඩි කාලෙදි එයාව දාලා ගිහිල්ලලු. අම්මා තමයි එයා හදාගෙන තියෙන්නේ. සල්ලි තියෙන පවුලක කෙනෙක්. වතුපිටි එහෙමත් තියෙනවා. සහෝදර සහෝදරියෝ නෑ. අලුත්ගම උසාවියේ තමයි වැඩ කරන්නේ. අයියේ මට ඒ හැම දේකටම වඩා එයාගේ ආදරේ වටිනවා.”
“අපිට කෙනෙක් ගැන හිතේ ආදරයක් ඇතිවෙනකොට කළු ද සුදු ද දුප්පත් ද පොහොසත්ද උස ද මිටි ද කියලා බලන්නේ නෑ බං. ඒක තමයි ඇත්තම කතාව. ඒ උනාට උගත් කෙල්ලෙක් විදිහට උඹ දැනගන්න ඕනේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න. උඹට තේරෙනවනෙ උඹ ඔය කියන දේවල් ඇත්ත නං ඒ මහත්තයා ඉන්නේ උඹට වඩා අඩි ගාණක් උඩින්. මං කියන්නේ නෑ නංගි උඹට ඒ මහත්තයට ලංවෙන්න බෑ කියලා. සාලිය කුමාරයා අශෝකමාලට ආදරය කළේ තරාතිරම් හොයලා නෙමෙයිනේ. ඒ උනාට අයියා හැටියට මං පොඩි අවවාදයක් දෙන්නම් නංගී.”
“අනේ අයියේ කියන්න ඔයාල මට හැමදාම ඕනේ. මේ වගේ හොයල බලන එකම මට ලොකු ශක්තියක්.”
“ආදරේදී සීමා මායිම් අපි කවුරුත් දා ගන්නේ නෑ නංගි. මමත් කසාද බැන්ඳේ ආදරේ කරලා තමයි. අපේ හිත් වල තියෙන අඩුපාඩුත් එක්ක සමහර වෙලාවට අපි සීමාවක් මායිමක් නැතුව මිනිසුන්ට ළං වෙනවා. මං කියන දේ උඹට තේරුම් ගන්න පුළුවන්. අද අම්මා මේ ටික උඹට කියලා දෙන්න හොඳ සිහියෙන් නැති හින්දයි මම මේක කියන්නේ.”
“අයියා කියන දේ මට තේරෙනවා. යුගාෂ් සර් එහෙම කෙනෙක් නෙමෙයි කියලා මංහිතනවා. ඒක එහෙම නොවුනත් මං මගේ සීමාවෙ ඉන්නවා අයියේ. මං මාව පරිස්සම් කර ගන්නවා”
“අන්න එච්චරයි මට උඹට කියන්න වුවමනාව තිබ්බේ. උඹ මහත්තයත් එක්ක කතා කරලා මේ දේවල් පිළිවෙලක් කරගන්න බලපන්. අපිටත් මහත්තයා හම්බ වෙලා කතා කරන්න අවස්ථාවක් තිබුනොත් හොදයි. නන්දසේන මාමා නැතිවුනාට උඹ වෙනුවෙන් හැම යුතුකමක්ම අපි කරනවා. ඒක අපි තුන්දෙනා තීරණය කරපු දෙයක්.”
දෑස් තුළ පිරී තිබූ කදුළකට කොපුල් හරහා බේරී යන්නට ඉඩ දුන් යුවතිය යළිත් නිවස තුලට පැමිණියේ ඇමතුමට සමුදුන්නාට පසුවය. පියසීලි සිටියේ බත් බෙදමින්ය. තුවායත් සබන් පෙට්ටියත් අතටත් යුවතිය ඉදිරිපස දොරින්ම ඇවිද ගියේ ජල කරාමය අසලටය.
************
දයාල් නිවසට පැමිණියේ සේනකත්, බිරිඳත් ආලින්දයේ කතා කරමින් සිටියදීය. තෙවන නඩු වාරයට තිබුණේ තවත් සතියක කාලයකි. ඔහුගේ හැසිරීම පිළිබඳව සේනක සිටියේ කෝපයෙන්ය.
“උඹ ඔය රෑ තිස්සේ කොහේ ලැගලද එන්නේ”
මවත් පියාත් මගහැර උඩුමහලට යන්නට ගිය දයාල් එක තැන නතර වූයේ සේනකගේ උස් හඬට අවනතවය. පමණට වඩා මත්පැන් පානය කළ ගෙවී ගිය රාත්‍රියේදී ඔහුට නිවසට පැමිණීමට හැකියාවක් වූයේ නැත. එනිසාම රාත්‍රිය ගත කළේ හික්කඩුව ආසන්නයෙහි වූ මිතුරෙකුට අයත් හෝටලයකය.
“මූ හදන්න පුළුවන් එකෙක් නෙමෙයි. ශ්‍රියා මං හැමදාම ඔයාට කිව්වා මූ කවද හරි මාව නැත්තට නැති කරලා තමයි නවතින්නේ කියලා. එහෙං ලොක්ක අහන ප්‍රශ්න වලට උත්තර දීගන්න බැරුව මං හිර වෙලා ඉන්නේ. අනිත් පැත්තෙන් මීඩියාකාරයෝ. පිස්සු බල්ලො වගේ පස්සෙන් එනවා. එහෙව් එකේ මූ දැන්වත් දැනගන්න ඕනේ ශ්‍රියා ගේ ඇතුලට වෙලා ඉන්න.”
“මම හිටියේ යාළුවෙක්ගෙ හොටෙල් එකක. ඊට වඩා දෙයක් එතන උනේ නෑ.”
“මූ කිසි ගානක් නැතුව කියන හැටි. දෙන්න හිතෙනවා දත් ටික බඩට යන්න. ලබන සතියේ නඩුව. මොකක්ද උඹට කරගන්න පුළුවන් උනේ. උඹවත් කර මුලටම හිරවෙලා මාවත් හිර කලහම නින්ද යයි.”
“ඒවා ඔක්කොම හරි…මං බලා ගන්නම්”
ගිය සැරේ උඹ උසාවියට යන්න කලිනුත් කිව්වේ ඒ ටිකනේ. ෆෝන් එක මගේ අතේ කිව්වා. ඒවායේ මොකුත් නෑ කිව්වා. කෙල්ල උස්සනවා කිව්වා. මගේ වචනෙට පිටින් යන් නෑ කිව්වා. අර ලෝයර් කාරයා පට්ටන්තරේ දිගාරිද්දි මූ බල්ල වගේ එතනට වෙලා හිටියේ.”
“ඉතිං තාත්තට තිබුනනේ මොනවා හරි කරන්න. තාත්තගේ මන්ත්‍රීකමෙන් වැඩක් නෑනේ නඩුවක්වත් තමන්ට ඕනේ විදිහට දිනා ගන්න බැරිනම්. මහ ලොකුවට කිව්වේ පුෂ්පානන්ද ඒ පැත්ත මේ පැත්ත ගහලා හරි නඩුව දිනවනවා කියලා. ඒ මිනිහයි මිනිහගේ පුතා ඉස්සරහදි බලු වෙලා ඉන්නේ. මට නිදිමතයි. මං යනවා නිදාගන්න.”
දයාල් උඩුමහලට නැගුනේ කෝපයෙන්ය. ඒ කෝපයෙන්ම ඔහු කාමරයේ දොර වැසුවේ පහත මාලයටත් ශබ්දය ඇසෙන ලෙසය.
“මට පේන්නෙ මූ ආයෙ මොනවා හරි කරන්න ගිහිල්ලා නා ගනියි වගේ”
සේනකත් නැගී සිටියේ කෝපයෙන්ය. ඊයේත් පෙරේදාත් නායකතුමාගේ ඇමතුම් මගහැර සිටියාට දිගටම එසේ සිටින්නට හැකියාවක් නොවේ. දයාල් ගැන හෝ පුෂ්පානන්ද ගැන පෙර වූ විශ්වාසය දැන් ඔහුට නොවේ.
පංචාලි යුගාෂ් හමුවන්නට බලා සිටියේ නගරය ආසන්නයේම වූ අවන්හලකට වීගෙනය. ඔහු හා කතා කරන්නට ඇයට සුවිශේෂී වූ කාරණයක් විය. මේ හමුව කිසිවෙකුට නොපෙනෙන්නට සිදුවිය යුතු එකක් බව ඈ විශ්වාස කළාය. නගරාසන්නයේ වුවත් අවන්හල පිහිටියේ මදක් පාළු වූ ප්‍රදේශයකය. එයට පැමිණිය යුතු වූයේ සමුද්‍රාසන්න මාර්ගයකය.
ඔහු පැමිණෙනවායැයි පැවසූ වේලාව ඉක්මවා යද්දී පංචාලි දෙවරක් තුන්වරක්ම දුරකථන ඇමතුම් ලබාගන්නට උත්සාහ කළත් ඉන් පළක් වූයේ නැත. කලක සිටම ඔහු තමාව මගහරිමින් සිටිනා බව පංචාලි දැන උන්නාය. බොහෝවිට පවුල් පිටින් රාත්‍රී ආහාර ගැනීමට පැමිණෙන හෝටලය ඒ වන විටත් අවිවේකී වී තිබිණි. පංචාලි දුරකථනයත් වාහනයේ යතුරත් අතට ගෙන හෝටලයෙන් පිටතට පැමිණියේ එනිසාය. තමාගේ හමුව ඔහුට වැදගත් නොවේයැයි සිතූ ඈ වාහනයට නැගුනේ කෝපයත් කලකිරීමත් දරාගෙනය. සමුද්‍රාසන්න මාර්ගය ඔස්සේ වාහනය පදවා ගෙන ආ ඇයට බොහෝ දුර පැමිණීමට හැකියාවක් වූයේ නැත. කිසියම් පිරිසක් විසින් ගුටි බැට හුවමාරු කරගන්නා ආකාරයක් ඈ දුටුවේ ඈතදීමය. වාහනය මදක් පසුපසට ගෙන හරවාගෙන යාමට පංචාලි උත්සහ කලේ සමුද්‍රාසන්න මාර්ගය මගහැර යාමට තවත් පාරක් වූ නිසාය. එය කිලෝමීටර් එකහමාරකින් පමණ දිගු වන ගමනකි.
පංචාලි හදිසියේම යුගාෂ්ගේ වාහනය දුටුවේ තම කාරය පසු පසට ගන්නා අතරේය. එවන් ස්ථානයක ඔහු වාහනය නතර කරගෙන කුමක් කරනවාදැයි සිතූ යුවතිය මඳක් ඉදිරියට ගියේ නොසන්සුන්වය. ඇයට මගහැර යාමේ හැකියාවක් වූයේ නැත. අවසන පිරිස පහර දෙන්නට උත්සාහ දරමින් සිටින්නේ යුගාෂ්ට බව ඕ හඳුනා ගත්තාය. වෙලාවේ හැටියට කළ යුත්තක් සිහිපත් නොවූ ඈ තවත් මීටර් කිහිපයක් ඉදිරියට ගොස් තම වාහනේ ප්‍රධාන විදුලි ලාම්පු දැල්වූවාය. ගත වූයේ තත්පර කිහිපයකි. යුගාශ්ව වට කරගෙන උන් කිහිප දෙනා ඩිපෙන්ඩර් වර්ගයේ ජීප් රථයක නැගී පලා ගියේ ඇසිපිය හෙලනා තරම් වේගයකින්ය. දෙවරක් නොසිතූ පංචාලි තම වාහනයෙන් බැස යුගාශ් සමීපයට දිව ගියාය. ඔහු උන්නේ නැගී සිටින්නට තැත් දරමින්ය.
“යුගාෂ්ම මොකද උනේ. උන් කවුද..ඔයාට අමාරුද යුගාශ්…අනේ කියන්න ඔයාට අමාරුද..”
පංචාලි ඇසුවේ ඔහුට නැඟී සිටින්නට උදව් වෙමින්ය. ඈ වෙව්ලමින් සිටියාය.
“නැහැ අමාරුවක් නෑ. මං පුළුවන් තරම් උන් එක්ක ෆයිට් කලා. හතර දෙනෙක්නේ”
“මේ අතපය හොඳටම හීරිලා ෂර්ට් එකත් ඉරිලා..අනේ මේ ලේ පාරවලුත් තියෙනවා”
“ඔ..ඔ..යා කොයි වෙලාවෙද ආවෙ..”
“ඔයා පරක්කු නිසා මම යන්න කියලා ආවෙ. මං ඈතදිම දැක්කා මෙතන කවුරුහරි ගහගන්නවා. ටවුන් එකේ පාරෙන් යන්න කියලා වාහනේ රිවස් කරද්දි තමයි ඔයාගේ වෙහිකල් එක දැක්කේ”
“හොඳ වෙලාවට ඔයා ආවෙ. නැත්තම් සමහරවිට උන් මාව මරන්නත් ඉඩ තිබුණා.”
“ඔයා කවදාවත් මෙහෙම රණ්ඩු වලට පටලැවිච්ච කෙනෙක් නෙමෙයි නේ..කවුද ඒ..”
පංචාලි අසල වූ සිමෙන්ති, බැම්මක් මත යුගාෂ්ට වාඩි වෙන්නට සලස්වා තම වාහනය වෙත දිව ගියේ වතුර බෝතලයක් රැගෙන එන්නටය. හොඳ වෙලාවට සීරීම් තුවාල හැරෙන්නට අන් අනතුරක් ඔහුට වූයේ නැත.
“මාව නිහඬ කරවන්න ඕන වෙච්ච කවුරු හරි වෙන්න ඇති….ඉට්ස් ඕකේ පංචාලි. මම හොඳින්”
යුගාෂ් එසේ පැවසුයේ වතුර උගුරු කිහිපයක් එක හුස්මට පානය කලාට පසුවය.
“මං උන්ගේ වෙහිකල් එකේ නම්බර් එක ෆොටෝ එකක් ගහ ගත්තා. අපිට හොයා ගන්න බැරි වෙන එකක් නෑ. ඔයාගේ ඔලුව එහෙම කොහෙවත් වැදුනේ නැහැ නේද..? අපි කෝකටත් නර්සින් හෝම් එකට යමුද..”
“එපා පංචාලි. මමත් පුළුවන් තරම් උන් එක්ක ෆයිට් කළා. ෂර්ට් එක ඉරුනෙත් ඒ වෙලාවේ. එහෙම කරගන්න බැරි උනානම් සමහරවිට උන් මට හොඳටම ගහන්න තිබුණා. එච්චර අමාරුවක් නෑ.”
“අපි ගෙදරට යමුද.. මමත් එන්නම්… තීක්ෂණට කෝල් කරලා ගෙන්න ගෙන ඔයාගේ වෙහිකල් එක ගන්න කියලා කියමු. ඔයා මමත් එක්ක යමු.”
“මේ විදියට ගියොත් අම්මා බයවෙයි පංචාලි. ඔයා දන්නවනේ අම්මගේ හැටි. අපි තීක්ෂණගේ ගෙදරට යමු. මට වාහනේ ගන්න පුළුවන්. ඔයාට ගෙදර යන්න හදිසියක් නැත්නම් මගේ පස්සෙන් එන්න. ඔයාගේ වැදගත් පණිවිඩේ අහගන්නත් මට ලොකු වුවමනාවක් තියෙනවා.”
යුගාෂ් පැවසූයේ මද ස්වරයකින්ය. ඇගට යම් අපහසුවක් දැනෙමින් තිබුණත් ඔහු ඒ බවක් නොපෙන්වා සිටින්නට උත්සාහ දැරුවේය. පාර හරස් කර ඩිපෙන්ඩර් වර්ගයේ ජීප් රථය නතර කළේ ඔහු පංචාලි හමුවට පැමිණෙද්දීය. ඩිපෙන්ඩර් රථයෙන් බැස පැමිණි හතර දෙනෙකු යුගාෂ්වර කාරයෙන් එළියට ඇද ගත්තේ ඔහු යමක් අසන්නට මුව විවර කරද්දීමය.
විනාඩි කිහිපයක් පුරා යුගාශ් ඔවුන්ගේ පහරවල් වලකා ගන්නටත් ඔවුන්ට ප්‍රතිවිරුද්ධව පහර දෙන්නටත් උත්සාහ දැරුවේය. පංචාලි පැමිණියේ තමා අඩපනව යන්නට ඔන්න මෙන්න කියා තිබියදී බව විශ්වාසය. යුගාශ් වාහනය ඉදිරියට ගත්තේ සෙමින්ය. ඒ පසුපසින් පංචාලි පැමිණෙමින් සිටියාය. තීක්ෂණගේ නිවසට වූයේ කිලෝමීටර් දෙකහමාරක් පමණ වූ දුරකි.
( යළිත් හමු වෙමු ආදරයෙන්)