ආදර සැලසුම් – 33

0
3169

ආදිත්‍යය උන්නේ කියා ගත නොහැකි කුමක්දෝ හිත් වේදනාවකින් පෙලෙමිනි. නුවරඑළියට යනතෙක් පිරිස ගී ගයමින් විහිලු තහලු කරමින් පසු වුවද ආදිත්‍යය අශිකාට යාබද අසුනේ වාඩි වී ජනේලයෙන් ඉවත බලා ගෙනම උන්නේය. උදෑසන ආහාරයෙන් පසුව බසයට නැග්ග මොහොතේ පටන් ආදිත්‍යය තුළ කුමක් හෝ වෙනසක් සිදු වූ බව අශිකාට වැටහුනු අතර ඇය ජනේලයෙන් ඉවත බලාගෙන කල්පනාවක සිටින ආදිත්‍යය දෙස බලා සිට ඔහු වෙත ලං වූයේය

” පුතා ” 

ආදිත්‍යය තිගැස්සුනේය. ඒ ඔහු වෙන කල්පනාවක හුන් නිසාය.

” ඇයි අම්මා ” 

” මෙහෙම ගමනක් ආවට ඔයා ඉන්නෙ හිතේ කරදරෙන් නේද ? ” 

ෂෙහාරා ද දින කිහිපයකට මහ ගෙදර නතර වන්නට ගිය නිසා ඒ පිළිබඳව සිතන්නට දෙයක් නොමැති වුවත් සිතට කරදර බව නම් ඇත්තකි. එහෙත් එය තම මවට කිව හැක්කේ කෙසේද ?

” එහෙම මුකුත් නෑ අම්මා. කාලෙකින් මෙහෙම ට්‍රැවල් කරන නිසා ටිකක් මහන්සියි වගේ ” 

ආදිත්‍යය අශිකා දෙස බලාගෙනම බොරුවක් කීවේය. ඒ හිතට එකඟව නොවේ.

” හොටෙල් එකට තව ටික දුරනේ. එහෙට ගියාම ටිකක් රෙස්ට් කරා නම් ඔය ගතිය ඇරිලා යයි ” 

අශිකා ආදිත්‍යය ගේ අත මතින් අත තබා කීවේ සෙනෙහසිනි. එය කවදාවත් කවර හේතුවක් නිසාවත් වෙනස් වන සෙනෙහසක් නොවේ. ආදිත්‍යය සුසුමක් හෙලුවේ ෂෙහාරා සිහි වීමෙනි. දික්කසාද නඩුවේ පලමු නඩු වාරය සඳහා ඇත්තේ තව දින කිහිපයකි. ජීවිතයේ තවත් එක පරිච්ඡේදයක් නිම වන්නට යන්නේය. ජීවිතයේ අවසන් හුස්ම හෙලන තෙක් එක්ව ජීවත් වන්නට පැතූ බැඳීම දික්කසාදයකින් කෙළවර කරන්නට සිදුව තිබේ.ඒ වෙන් වීම තමා සිහිනකින් වත් කිසිදා පැතූවක් නොවේ. 

නුවරඑළියේ පිහිටි Forest Hills නිවාඩු නිකේතනය වෙත ළඟා වන විට වේලාව උදෑසන එකොළහට පමණ ආසන්න වූයේ තේ පානය සඳහා ද මග නතර වූ බැවිනි. සුන්දර සහ නිස්කලංක පරිසරයක පිහිටි හෝටලයට පැමිණ බස් රථය නතර කෙරූ විට ඉන් මුලින්ම බැස ගත්තේ ආදිත්‍යය ය. ඉන් පසුව අනෙක් පිරිසද බසයෙන් බැස අවට සිරි නැරඹූයේ සීතල පරිසරයක අසිරිය විඳ ගනිමිනි. 

ආයතනයේ සියලු දෙනාම පාහේ විනෝද චාරිකාවට සහභාගී වූ නිසා නිවාඩු නිකේතනයේ කාමර ගණනාවක්ම අභිමන් විසින් මුදල් ගෙවා දින කිහිපයකට පෙර වෙන් කර තිබුණි. අශිකා සඳහා වෙනම කාමරයකුත්, අභිමන් සහ ආදිත්‍ය සඳහා තවත් කාමරයකුත් වෙන්කර තිබුණු අතර ඉතිරි කාමර අන් අයගේ කැමැත්ත පරිදි භාවිතා කරන්නට සියලු දෙනාම කතිකා කර ගත්හ. ඒ අනුව නෙහාරා සමග එකම කාමරයක හිඳින්නට මෞර්යා තීරණය කළ අතර ඔවුන් දෙදෙනා තෝරා ගත්තේ කඳු පන්ති සහිත ඉතා සුන්දර දසුනක් ජනෙල් පියන් පත් අතරින් දැක ගත හැකි කාමරයකි.

දහවල් ආහාරයෙන් පසු සැලසුම වූයේ ග්‍රෙගරි වැව ආශ්‍රිතව ඇවිදීමට යාමය. මෞර්යා උණු වතුරෙන් දිය නාගෙන සුදු පැහැ කුඩා තිත් වැටුණු ලා දම් පැහැ දිග ගවුමක් හැඳ ගත්තාය. නාන කාමරයේ සිට පැමිණි නෙහාරා මෞර්යා දැක පුදුම වූ දෑස් වලින් බලා උන්නාය.

” දෙයියනේ මෞර්යා ” 

මෞර්යා ඇඳ මත තිබූ සුදු පැහැති ජර්සිය අතට ගනිමින් තමා හැඩ සිටින ගවුමේ කුමක් හෝ අඩුපාඩුවක් ඇති දැයි බැලුවේ නෙහාරා පුදුමයෙන් ඇය දෙස බලා සිටි නිසාය.

” ඇයි ? ” 

” ඔය ගවුමට ඔයා මාරම ලස්සනයි ” 

මෞර්යා හඬ නගා සිනාසුනාය. සිංහල අලුත් අවුරුද්දට මව විසින් මිලදී ගෙන දුන් දම් පැහැ ගවුම නැවත අඳින්නට අවස්ථාවක් තමාට පැමිණියේ නැත. නුවරඑළියේ ගමනට එය සුදුසු යැයි සිතා රැගෙන ආවද මේ තරම් හොඳ ප්‍රතිචාරයක් ලැබේ යයි මෞර්යාට නිකමට වත් සිතුනේද නැත.

” thank you නෙහාරා ” 

” thank you නෙමෙයි.කොල්ලෙක් එහෙම දැක්ක නම් පිස්සු වැටෙයි ” 

නෙහාරා සූදානම් වන්නට පටන් ගත් නිසා මෞර්යා ජර්සිය ද අතැතිව පහත මාලයට පැමිණ ප්‍රධාන දොරෙන් මිදුලට බැස්සාය. නිවාඩු නිකේතනයේ සම්පූර්ණ මිදුලම විවිධාකාරයේ මල් වලින් අලංකාර කර තිබූ අතර බොහෝ ඒවා නුවර එළියේ පමණක් දැකගත හැකි මල් වර්ග නිසා මෞර්යා ඒවා ද කැමරා කාචයට හසු කර ගත්තාය.

ඉහත මාලයේ කාමරයක සිටි අභිමන් මෞර්යා මිදුලෙහි සිටිනවා දුටුයේ ජනේලය වසා පිටත් වන්නට සූදානම් වන අතරේය. එකෙනෙහිම අභිමන් පෙර නොවූ කලබලයකින් ජනේලය එසේම තිබෙන්නට හැර නාන කාමරයේ සිටි ආදිත්‍ය හට ඉක්මනින් පැමිණෙන්නයි පවසා කාමරයේ දොර වසා ගෙන ලීයෙන් නිමකළ තරප්පු පේළිය බැස මිදුලට පැමිණියේය. ඉන්පසුව මවාගත් සංසුන් බවකින් සෙමෙන් මෞර්යා දෙසට පියවර තැබුවේය.

” මල් මැද මලක් කියන්නේ මෙන්න මේවට තමයි ” 

කියමින් අභිමන් සිනාසුනේ මෞර්යා හැරී බලන අතරේය. මෞර්යා මෙවැනි සුන්දර ගවුමකින් සැරසී සිටිනවා දකින්නේ ප්‍රථම වතාවටය. එය සිත් සේ විඳගන්නට සහ ඇය දෙස බලා හිඳින්නට ආසාවක් අභිමන් තුළ වූ නමුත් ආයතනයේ සේවක සේවිකාවන් තැන තැන සිටින නිසාත් අශිකාත් කොයි මොහොතේ පැමිණෙන්නට ඉඩ ඇති නිසාත් අභිමන් යම් දුරස්ථභාවයකින් නතර වූයේය.

” මිස්ටර් අභිමන් මට විහිළු කරනවද ? ” 

අභිමන් කියූ දෙයට දැනුණු ලැජ්ජාව වසන් කර ගන්නට මෙන් මෞර්යා ඇසුවාය. තමා ඉදිරියේ මේ සිටින්නේ තම ආයතනයේ ප්‍රධානියා වුවත් මේ මොහොතේ ඔහු හැසිරෙන්නේ එසේ නොවේ. තනතුරු තානාන්තර අයත් වන්නේ ආයතනය තුළදී පමණක් වුවත් ඔහුට හිමි ගරුත්වය සෑම තැනක දීම ලබා දිය යුතු නිසා මෞර්යා ඒ මොහොතේදීත් හැසිරුනේ ආයතනය තුළදී ඔහු හට ලබා දෙන ගරුත්වයෙන්මය.

”  මං ඇත්තටම කිව්වේ.මේ යන හැටියට කම්පනි එකෙන් කරන advertisements වලට මෞර්යා ව ගන්නත් අපිට පුළුවන් ” 

අභිමන් කියා සිටියේ ඇත්තටමය.මෞර්යා යනු ඒ තරමටම සුන්දර තරුණියකි. කුමන පන්නයේ විලාසිතාවක් වුවත් ඇයට මනාවට ගැලපේ. අභිමන් උන්නේ හදවතට දැනෙන විශේෂිත වූ හැඟීමට ඉඩ දෙමිනි.

” මට නම් මේ වගේ තැනක හැමදාම වුණත් ඉන්න පුළුවන් මිස්ටර් අභිමන්. බලන්නකෝ කොච්චර ලස්සනද කියලා. කොළඹ කොහෙවත්ම නෑනේ මේ වගේ ” 

මෞර්යා ඈතින් පෙනෙන කඳු පන්තියද කැමරා කාචයට හසු කර ගත් අතර අභිමන් ඉතා ආසාවෙන් එයට හවුල් වී උන්නේය. 

නාන කාමරයෙන් පිටතට පැමිණ සූදානම් වූ ආදිත්‍ය කාමරයෙන් පිට වන්නට ගොස් නැවත හැරී වසා නොමැති ජනේලය දෙස බැලුවේය. පරිසරයේ පවතින අධික සීතල බව නිසා ජනෙල් පියන් වසා දමා යා යුතු බව සිතා ආදිත්‍ය ජනේලය අද්දරට පැමිණියේය.

නිවාඩු නිකේතනයෙහි ගෙමිදුලෙහි මල් පඳුරු අද්දර කතාබහක නිරත වී සිටින මෞර්යා වත් අභිමන් වත් ආදිත්‍ය දුටුවේ ඒ මොහොතේ දීය.ඔහු ජනේලය වසන්නට පෙර මොහොතක් ඔවුන් දෙදෙනා දෙස ඔහේ බලා උන්නේය. මෞර්යා සුන්දර ගවුමකින් සැරසී  බෝනික්කෙකු මෙන් හිඳින්නීය. ආදිත්‍ය හට දැනුනේ ලෝභ කමකි. මෙවන් ලෝභ කමක් තමාට ෂෙහාරාව දුටු මුල් දිනයේ වත් , අඩුම තරමේ විවාහය දිනයේ දී ඇය මංගල ඇඳුමෙන් සැරසී සිටිනවා දුටු මුල් අවස්ථාවේ දී වත් දැනුනේ නැත.

ආදිත්‍ය ජනේලය වසා දමා හෙමින් සීරුවේ ලී තරප්පු පේළිය බැස පහත මාලයට පැමිණියේය. ප්‍රධාන දොරෙන් පිටවූ විට කෙලින්ම වැටෙන්නේ ගෙමිදුලටය. එහි අභිමන් සහ මෞර්යා සිටින නිසා ඔවුන්ට බාධාවක් නොවී හිඳින්නට ආදිත්‍ය සිතුවේය.නිවාඩු නිකේතනයෙහි ආලින්දයෙහි ඇති සෝෆාවක් මත ආදිත්‍ය වාඩි වූයේ බරැති සුසුමක් මුදා හරින අතරේය.

ග්‍රෙගරි වැව වෙතට යාමට සූදානම්ව අශිකා පහත මාලයට පැමිණෙන අතරේ දුටුවේ සියලු දෙනා ගෙන් වෙන්ව තනිවම සෝෆාවක් මත වාඩිවී හිඳින ආදිත්‍යයවය. ඇය ගේ හදවත කඩා ගෙන වැටුණේ ඒ දසුනිනි. ආදිත්‍යය යනු අභිමන්ටත් වඩා අහිංසක ගති පැවතුම් ඇත්තෙකු වුවත් ඔහු මෙසේ හුදෙකලා වී සිටිය යුතු අයකු නොවේ. ජීවිතයේ මුහුණ දෙන්නට සිදු වූ ඛේදවාචකය හමුවේ ඔහු හුදෙකලාවට ප්‍රිය කරන්නෙකු වී ඇතැයි සිතමින් අශිකා ගොස් ආදිත්‍ය අසලින් වාඩි වූවාය.

” අම්මා. ළඟට එනකං දැක්කේ නෑ මං ඔයාව ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here