හිමගිරි අරණ -29

දිනාරා මේ හදිසියේ හඳුනා ගත් ආගන්තුකයාගේ ගෙල බදා බොහෝ වෙලාවක් හුන්නා ය.ඇයට ඉනික්බිතිව කේක් කපන්නට පවා ඔහු ඕනෑ විය.

“චූටි දූ අම්මා එක්ක කපන්න”

අනවශ්‍ය ඕපාදූපයකට රවිඳු බඳුන් වේදැයි බියෙන් පාරමී හරස් වූවා ය.දියණියගේ උපන්දින ඡායාරූප වල ඇය දෙපසින් රවිඳුත් හිමාෂාත් සිටීම තරම් නොවේයැයි ඇය වහා තීරණය කළා ය.රවිඳු එවැනි ඕපාදූපයකට ලක් විය යුතු නොවේ.

“පුතූ,ඔයා අම්මියි පුංචියි එක්ක කේක් කපන්නකො.අංකල් ඔයාලාව වීඩියෝ කරනව.පුතා ලස්සනට හිනා වෙන්න ඒ හින්දා”

රවිඳු දියණියගෙන් මෑත් වූයේ පාරමීගේ ඉල්ලීමට නොවේ.එය එතරම් තරම් නොවන බව සිතුණු නිසා ය.රවිඳුගේ ඉල්ලීම කුඩා දැරිය පිළි ගත්තා ය.අම්මා ඇණවුම් කළ ඡායාරූප ශිල්පියා සමඟ හිනැහීම පසෙක තබා රවිඳුගේ ජංගම දුරකථනය සමඟ ඇය හිනැහෙන්නට පටන් ගත්තා ය.

“ඔයා මේ වතාවේ අම්මා එක්ක තනියම කේක් කපන්න පුතේ.ඊළඟ අවුරුද්දේ ඔයා එක්ක මම ඉන්නවා.ඔයාගේ තාත්තා වෙලා මම ඉන්නවා.”

බොහෝ බාධක නැඟෙන බව දැන දැනම රවිඳු තමන්ටම පිළිණ දුන්නේ ය.අඩුම තරමේ හිමාෂා තමන්ගේ ප්‍රේමය පිළි ගනීවිදැයි විශ්වාසයක්වත් ඔහුට වූයේ නැත.එහෙත් මේ මවත් දියණියත් තනි නොකිරීමේ බරපතල උවමනාව ඔහුට තදින්ම දැනෙන්නට විය.

“දූ ඔය ජාතියෙ රෙදි බෝනික්කෙකුට ආසාවෙන් හිටියා.මටත් හොයාගන්න බැරි උනා.නංගිලා ගෙනත් තියෙන්නෙත් එයා ඉල්ලපු ජාතියෙ කෙනෙක් නෙමෙයි.මං අහගෙන බබා සහන්ට කතා කරලා ඔය වගේ බෝනික්කෙක් ඉල්ලනවා.ඒත් සහන් එවල තියෙන්නෙ වෙන වෙන තෑගි වගයක්..”

රාත්‍රී ආහාර ගැනීමෙන් පසු හිමාෂා රවිඳුට පැවසුවේ කෘතඥපූර්වක ය.දියණියගෙන් සතුට වෙනුවෙන් ඔහු ඉදිරිපත් වීම ඇයට මහා මහත් සැනසීමක් විය.එය තනිකරම අහඹුවක් පමණක් වුව ද දැන් දියණිය හිඳින්නේ සතුටිනි.ඇගේ උපන් දින සාදයේ සතුට ඇයට ලැබී අවසන් ය.

“මහා ලොකු සල්ලිකාර තෑගි ගේන්න ඕනි නෑ ඉතින්.දරුවා හරියට තේරුම් ගත්තාම ඇති.”

අමායා ඒ කතාවට මැදිහත් වූවා ය.ඇයට රවිඳු අගය කරන්නට සිතුණේ සහන්ට දොස් නගන අතරේ ය.දරුවා වෙනුවෙන් ඔහු අවසන් වතාවට හෝ පැමිණෙනු ඇතැයි සිතූ මොහොත ඔහු මඟහැර ගෙන අවසන් ය.අමායාට ඔහු ගැන දැනෙන්නේ දරාගත නොහැකි තරම් කේන්තියකි.

“මට චූටි දූලට තෑගි අරගෙන පුරුදු නැහැ.අයියට ඉන්නේ පුතෙක්නෙ.එයාට තෑගි ගන්න නම් එහෙම් ලේසි නෑ.සැලරි එකෙන් බාගෙකටත් වඩා යන වාහනයක් පෙන්නලා ඒක තමයි එයා ඉල්ලන්නේ.දුවෙක්ද තෑග්ගක් ගන්න තේරෙන්නේ නැතුව මම සෑහෙන වෙලාවක් කල්පනා කළා.ඊට පස්සෙ තමයි සොෆ්ට් ටෝයිස් දැක්කේ.ඔය බෝනික්කව දැක්ක ඊටත් වඩා අහම්බෙන්.”

එසේ පැවසූ ඔහු නොකියූ සත්‍යයක් කියන්නට තීරණය කළේ ය.

“ඇත්තටම ඉතින් ඒ බෝනික්කා ලොකු ගානක් නෑ.accident එකේ වැඩ වලට වියදන් වෙලා මගේ අතේ ලොකු සල්ලියක් තිබ්බේ නෑ.දූට මම පස්සේ හොඳ තෑග්ගක් ගෙනල්ලා දෙන්නම්කො.”

අමායා ඒ කතාවට හඬ නඟා හිනැහෙද්දී හිමාෂානම් කළේ තරවටු බැල්මකින් ඔහු දෙස බැලීම ය.

“ඔයා ඉස්සරහට දුවට මොනතරම් ලොකු තෑගි ගෙනාවත් ඕක තමයි අයියේ තෑග්ග.එයා වැඩියෙන්ම ආදරේ කරන්නෙ ඔය තෑග්ගට.තෑගි වලට මිලක් නෑ අයියේ.අක්කා ජොබ් එකට ගියාට පස්සේ මට ජුවලරීස් පවා අරන් දුන්නා.ඒත් මට එයාගෙන් ලැබුණු හොඳම තෑග්ග කොණ්ඩ කට්ටක්.මං හතේ පන්තියෙදි කොන්ඩෙ වවන කාලේ අක්කා ළඟ තිබුණු කොන්ඩ කට්ටකට ආසාවෙන් හිටිය.එයා කිසිම ලෝබ කමක් නැතුව මට ඒක දුන්නා.මට අදටත් වටිනාම තෑග්ග ඒක.තෑගි වලට තියෙන්න ඕනේ එහෙම වටිනාකමක්.”

තමන්ට කියන්නට නොහැකි වූ බොහෝ දේ කියන සහෝදරිය දෙස බැලූ හිමාෂා රවිඳු දෙස බැලී ය.ඇයට ඒ කතාවේ හිස්තැන පුරවන්නට අවශ්‍ය විණ.

“දූ තාත්තා පාටි එකට ආවේ නෑ කියලා හිත හුඟක් රිද්දාගෙන හිටියෙ රවිඳු.සමහරවිට තාත්තා ආවනම් එයාට ඒ තෑගි හොඳ වෙන්න තිබුණා.ඔයා එයාට කතා කරපු විදිය එයා සන්සුන් කරපු විදිය මට හැමදාටම මතකේ තියෙයි.”

රවිඳු පසෙකට වී දුව පනින දැරිය දෙස බැලුවේ ආදරයෙනි.හිමාෂාට සමීප වන්නට තිබූ උවමනාව මේ සිඟිති දැරිය සිය ගුණයකින් පමණ වැඩි කළ බව ඔහුට දැනේ.ආදරය කිරා මැන බලන්නට හැකිනම් දැන් හදවතේ වැඩි ඉඩ අයත් වන්නේ දියණියට මිස අම්මාට නොවන බව සිහිවී ඔහුගේ තොල් මත ලා හසරැල්ලක් පිපී ආයේ ය.

“මං දූලට හරි ආදරෙයි හිමා.දිනාරා දූට ටිකක් වැඩියෙන් ආදරෙයි.”

එහෙත් ඔහු එපමණක් කියන්නට ප්‍රවේසම් වූයේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles