අරුමැති ආදරයක් – 57

0
3114

“ලොකු නෝනා.. ලොකු නෝනා…අපේ සුදු  මහත්තයා නඩුව දිනලා..”

නන්දනී සිය ජංගම දුරකථනයත් රැගෙන දිව ගෙන එද්දී තමාරා උන්නේ සඳැල්ලට වී කාන්තා පත්තරයක් කියවමින්ය. යුගාශ් එවා තිබූ කෙටි පණිවිඩය ඈ දුටුවේ මින් විනාඩි කිහිපයකට ඉහතදීය. තමාරා එයට සුබ පැතුම් පණිවිඩයක් තැබුවා පමණි.

“කවුද නන්දනීට  කිව්වේ..”

“මට අල්ලපු ගෙදර වැඩ කරන රානි මේ දැන් කෝල් කරලා කිව්වේ, ටීවී එකේ පෙන්නුවා කියලා. මං ටී වී එක දාන්නද ලොකු නෝනා..?”

“ඕන නෑ නන්දනී  සුදු මහත්තයා තව ටිකකින් ගෙදර එයිනේ.”

තමාරා එසේ පැවසූයේ කාන්තා පුවත්පතෙන් දෑස් මුදවා නොගෙනමය. යුගාශ්  ජයග්‍රහණය කරන බැව්  ඕ දැන සිටියාය. මේ ජයග්‍රහණය තමාගේත් ජයග්‍රහණයක්යැයි සිතා සතුටු විය යුතු බවද ඕ දැන සිටියාය. එහෙත් පරාජිත හැඟුමක් මිස මෙවේලෙහි තමා ගැන ඇයට  ජයග්‍රාහී හැඟීමක් දැනුනේ නැත. 

“නෝනා අද රෑට විශේෂ යමක් කෑමට හදන්න වෙයි නේද?”

“එහෙම අවශ්‍ය නෑ නන්දනී. සුදු මහත්තයා කෑමට ගෙදර එයිද නැද්ද කියලා අපි කොහොමද දන්නේ?”

“නෝනා මොනවා හරි දුකකින් නේද මේ කතා කරන්නේ. මං දැන් නෝන ළඟට ඇවිල්ලා අවුරුදු විස්සකට වැඩියි. එහෙම දුකක් නොවුනනම් නෝනා කතා කරන්නේ මෙහෙම නෙමෙයි. මට දැනිච්ච දෙයක් ගැන මම ඇහුවොත් නෝන තරහා ගන්නවද?”

“ඒ මොකක්ද නන්දනී….”

“මේක කේලමක් කියලා හිතන්න එපා. මේ ගැන නෝනට කියලා නෝනයි සුදු මහත්තයයි අතර විරසකයක් ඇති වෙයි කියලා බයේ මං හංග ගෙන හිටියේ. මේ සිද්ධිය වෙලා කීප දවසක් වෙනවා.”

“වහෙන් ඔරෝ නැතුව කියන දෙයක් කෙලින් කියන්න නන්දනී. මමත් නන්දනීව  අවුරුදු විස්සක් තිස්සේ දන්නවනේ. හැමදාමත් අපිට හයියක් උනා මිසක්කා නන්දනීගෙන් අපිට වරදක් උනේ නෑ.”

“අපේ සුදු මහත්තයා..මං මේ කිව්වේ අර අපූර්වා මිස් එක්ක..”

“නන්දනී කොතනදිද මොනවද දැක්කේ මොනවද ඇහුනේ?..”

අත වූ පත්තරය පසෙක තබා සිය උපැස් යුවළ  නළලතෙහි රඳවාගෙන තමාරා නන්දනී දෙසට හැරුනේ උවමනාවෙන්ය. 

“දවසක් රෑ සුදු මහත්තයාගේ කෝෆි එක ගෙනියනකොට සුදු මහත්තයා ෆෝන් එකෙන් කතා කර කර හිටියා. මම චුට්ටක් පැත්තකට වෙලා හිටියා සුදු මහත්තයාගේ අතටම කෝෆි එක දීල යන්නන හිතාගෙන. එතකොට සුදු මහත්තයා කිව්වා ‘අපූර්වා  ඔයාගේ ළඟ හැමදාම මම ඉන්නවා ඒක වෙනස් වෙන්නෙ නෑ අපි හෙමිහිට මේ හැම පටලැවීමක්ම ලිහාගෙන අලුත් ජීවිතයකට යමු’ කියලා. මට තේරුණා ලොකු නෝනා මම තවදුරටත් එතන ඉන්න එක හරි නෑ කියල. මම චුට්ටක් පිටිපස්සට ඇවිල්ලා ‘සුදු මහත්තයා කෝෆි එක ගෙනාවා..’ කියලා එතන මේසේ උඩින් තියලා ආපහු හැරිලා ආවා. අනේ මේක කේලමක් කියල නං හිතන්න එපා ලොකු නෝනා. එදා අපූර්වා  මිස්ලගේ ගෙදර ගිහිල්ලා ආවට පස්සේ ලොකු නෝනගෙත්  වෙනසක් දැකපු නිසයි මම මෙහෙම කිව්වේ.”

“ප්‍රශ්නයක් තියෙනවා තමයි නන්දනී. අපි ඒක හෙමින් කතා කරලා විසඳ ගමුකෝ. සුදු මහත්තයා කියන්නෙත් තමන්ගේ වෘත්තියෙන් මොන තරම් ඉස්සරහට ගියත් මේ සමාජයේ ඒ තරම් තැලිලා පොඩි වෙච්ච දරුවෙක් නෙමෙයි. අනිත් එක අපේ තැන ඉඳලා බලනකොට එයාලා තාම දරුවෝ. හිතේ ආවේගෙට හදිසි තීරණ ගන්නවා මිසක්කා ජීවිතේ ගන්න තීරණවල බරපතළකම ගැන හිතන්නෙ නෑ. අනාගතයට මුහුණ දෙද්දී ඒ තීරණවල වැදගත්කම ගැන හිතන්නෙත් නෑ. අපි බලමු නන්දනී.”

“අපූර්වා  මිස් නං හරි හොඳ කෙනෙක් නේද ලොකු නෝනා. හරිගුණ යහපත්කම් එක්ක හැදිච්ච දරුවෙක්. ඒ දරුවා දැක්කහම හරි ආස හිතෙනවා.”

“දෙන්නෙක් එකතු වෙලා ජීවත් වෙන්න ඒවා විතරක්ම ගැලපෙන්නෙ නෑ කියලා තේරුම් ගන්න බැරි තරම් නන්දනී බබෙක් නෙමෙයි නේද. යන්න නන්දනී… තියෙන වැඩක් බලාගන්න. මොනවද රෑට හදන්නේ?”

“හාල්පිටි ඉඳිආප්ප හදලා පරිප්පුයි, සම්බෝලයි දවල් කුකුල් මස් තියෙනවා නෝනා.”

“ඒ ඇති….”

තමාරා යළිත් කාන්තා පත්තරයට එබුණේ නන්දනී  පිටව ගියාට පසුවය. පුවත්පත් පිටුවෙහි වූ අකුරු මත දෑස් දිව ගියාට ඒ කිසිවක් සිත්හි ධාරණය කර ගැනීමේ හැකියාවක් ඇයට වූයේ නැත. අවසන ඕ දිගු සුසුමක් මුදා  හැර පුවත්පත පසෙක තැබුවාය. පසුගිය දින කිහිපයේදී තමාරා නඩුව පිළිබඳව විස්තර අසා දැනගත්තේ තීක්ෂණගෙන්ය. යුගාශ්ව පරිස්සම් කරන්නට උපදෙස් දුන්නේත් ඔහුටය. පුෂ්පානන්ද කිසිත් නොකරම පරාජය භාර ගැනීම ඇදහිය නොහැක්කක් යැයි තමාරාට මෙවේලෙහිත් සිතේ.

“අංකල් දන්නවා ආන්ටි යුගාශ් මේ කතා කරන්නේ සාක්ෂි ඕනෑවටත් වඩා තමන් ළඟ තියාගෙන කියලා. ඒ වගේම මේ නඩුව එළියේ  ගොඩක් අයගෙ අවධානය දිනා ගතපු  නඩුවක්  හින්දා අංකල් බයයි තමන්ගේ නම කැත වෙයි කියලා. ඒ නිසාම ඒ ගොල්ලෝ සමහරවිට වරද පිළි අරගෙන ඒකම නිර්දෝෂී කමක් කරගන්න බලනවා ඇති.”

පෙර දිනක කතා කල තීක්ෂණ පැවසූයේ ඒ අයුරින්ය. හැකිතාක් සාමාන්‍ය අයුරින් නිවස තුළ හැසිරුනත් යුගාශ් දකිද්දී තමාරාගේ සිත්හි ඇති වන්නේ කෝපයකි. ඔහු මේ කර ඇත්තේ සුළු පටු වරදක් නොවේ. අපූර්වා සිහිවද්දී පපුව ඇවිලී යන තරමේ දුකක් දැනෙන්නේ මන්දැයි තමාරාට නොතේරේ. ඇයට ආදරේ බව ඇත්තය. එහෙත් මේ නිවසේ ලේලිය වන්නට ඇයට ඇති සුදුසුකම් අල්පය. බලාපොරොත්තු දී ඇයව මග නවතා දමන්නට සිදුවේයැයි යුගාෂ්ට නොසිතුනේ මන්දැයි තමාරා සිතුවේ වේදනාවෙන්ය. උගත් බුද්ධිමත් තරුණයෙකු ලෙස තීරණ ගැනීමේ දී දෙවරක් සිතිය යුතුය. 

                                *************

කාර්‍යාලයේ උන් අමායාත් ඇගේ පවුලේ අයත් සමඟ අඩ හෝරාවක් පමණ කතා කරමින් උන් යුගාශ් නිවසට පැමිණියේ වෙනදාට වඩා වේලාසනින්ය. පසුගිය දින කිහිපයේදී අම්මාත් තමාත් අතර යම් දුරස්ථ බවක් ඇතිවී ඇතැයි යුගාශ්ට සිතුනේ අද පාන්දරය. ඇය කතා කළේ කතා නොකරම බැරි තැන් වලදී පමණි. අපූර්වා ගැන කිසිවක් නොඇසුවත් ඒ සිතෙහි වන අපැහැදීම ඇගේ හැසිරීමෙන් පෙන්වනවායැයි  ඔහුට සිතුනේය. උදේ අමායාගේ නඩුව ගැන පවසද්දිත් ඇය ජයග්‍රහණයට සුභ පැතුවා පමණි. ඉන් එහා එකඳු වදනක්වත් නෑසුවාය. 

යුගාශ්ගේ ජංගම දුරකථනය නාද  වූයේ කාර්යාලයේ සිට මද දුරක් පැමිණෙද්දීය. ඔහු සවනතක රඳවා ගෙන උන් ශ්‍රව්‍ය උපකරණයක් මාර්ගයෙන්ම ඇමතුම හා සම්බන්ධ වූයේ දුරකථනය එහා ඉම සිටින්නේ පංචාලී බව දැනගෙනය. 

සර් අද ඔෆිස් එකේදී මහා පුදුම කතාවක් කිව්වා යුගාශ්. මම සර්ගේ ඔෆිස් රූම් එකේ දයාල්ගේ නඩුවේ ඩොකියුමන්ට්ස් ටික ෆයිල් කරන ගමන් හිටියේ. සර් මගෙන් ඇහුවා අපේ ඉලන්දාරියව දැන් ඔය ළමයට වැඩිය හම්බ වෙන්නේ නැද්ද කියලා.”

“ඉතින්”

“මම කිව්වා ඉඳලා හිටලා අපි තුන්දෙනාම හම්බවෙනවා කියලා.”

“අපේ ඉලංදාරියා උසාවියේදී ඒ පිට කළේ එයාගේ හිතේ තියෙන වේදනාව කියලා කිව්වා. එයා එයාගේ අම්මට හරි ආදරෙයි කියලා කිව්වා. ඒ නිසාම කිසිම ගැහැණියකට වචනෙකින්වත්  වරදක් වෙනවට එයා කැමති නෑ කියලා කිව්වා. එයා ඔය නොකියා කිව්වේ තාත්තල නැති දරුවෝ හැමදාම තාත්තලාගේ උණුසුම හොය හොය හිතින් විඳවනවා කියන එක කිව්වා. ඒ වචන වලින් ගැහුවේ මගේ පපුවට කියලා කිව්වා.

“නෑ…..”

“නෑ නෙමෙයි යුගාෂ් ඔව්.. මේ කියන වචනයක් වචනයක් ගානෙම ඇත්ත. මගේ ජීවිතේ  පළවෙනි වතාවට තමයි ඇහුනේ සර් තමන්ගේ පෞද්ගලික ජීවිතය ගැන මේ විදිහට හරි කෙනෙක් එක්ක කතා කරනවා. සමහර දවසට සර් මගෙන් අහලා තියෙනවා අපේ ඉලන්දාරියාව හම්බ වුණේ නැද්ද කියලා. මම ‘නෑ’ හරි ‘ඔව්’ හරි කියලා කිව්වහම ඒ කතාව එතනින් ඉවර වෙනවා යුගාශ්..

“මං ඒ තරම් සැරට ඒ දේවල් කිව්වද පංචාලි…මට හිතුනා අප්පච්චි අමායාගේ ජීවිතේ හරි හෑල්ලුවට ගත්තා කියලා.”

“ඒ වෙලාවේ සර් ගතපු මුදලට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනනේ යුගාශ්. ඕනෙම නඩුවකදී පැමිණිලි පාර්ශ්වය වගේම විත්තිය වෙනුවෙනුත් කතා කතා කරන්න නීතීඥයෝ ඉන්න ඕනේ. මෙතනදි සර් කලේ සර්ගේ රස්සාව. අන්න ඒ සාධාරණය තමයි සර් අන්තිමට ඉෂ්ඨ කළේ. ඇත්තටම කිව්වොත් සර් සේනකලගේ හිත හැදුවා. සර්ගේ හිත දන්නවා දයාල් කියන්නේ වැරදිකාරයෙක් කියලා. හැබැයි ඉතින් තමන්ගේ සේවා දායකයාට සුදු හුණු ගාන එක තමයි නීතිඥයාගේ සේවය වෙන්නේ. සමහර විට සර්ගේ පෞද්ගලික ජීවිතෙත්  සර්ගේ අතින් ඒ වරද වෙච්ච හින්දා ඒ වචන ටිකක් තදින් සර්ට වදින්න ඇති. කිව්වෙත් සර්ගෙම පුතා මිසක් වෙන කෙනෙක් නෙමෙයිනේ.”

“ඔයාට පිස්සුද පංචාලි. මම හිතන්නෙ නැහැ අදටත් අප්පච්චි පිළිගන්නවා කියලා එයාගේ අතින් උනේ වරදක් කියලා. ඒ වරදට මමයි මගේ අම්මයි අදටත් විඳවනවා කියලා…ඒ තරම් සංවේදී හිතක් මගේ අප්පච්චිට නැහැ.”

“මම දන්නෙ නැහැ යුගාශ් ඒ  ගැන කියන්න. සර්ගේ මට දැනිච්ච ඒ වෙනස ඔයා එක්ක කියන්න ඕන නිසයි මම මේ ගැන කිව්වේ. ඔයා තවම ඔෆිස් එකේද…”

“මං ගෙදර යන ගමන්. අම්මා අපූර්වා  ගැන දැනගෙන. ටිකක් අවුලෙන් ඉන්නේ…

“ඇයි යුගාශ් ඒ…”

“හැම අම්මා කෙනෙක්ම තමන්ගෙ දරුවෝ ළඟදි ආත්මාර්ථකාමී ඇති. තීක්ෂණ ඉන්නවා ඔෆිස් එකේ. දෙන්නත් එක්ක කයියක් ගහලා හවසට තේ එකක් එහෙම බීලා යන්න.”

“ඔයාගේ ප්‍රශ්නෙට අපෙන් මොනවා හරි දෙයක් වෙන්න ඕන නම් කියන්න. ආන්ටි එක්ක  ඇවිල්ලා කතා කරන්න උනත්.”

“අපෙන් කිව්වේ….”

මගෙනුයි….තීක්ෂණගෙනුයි…”

“ආ…දෙන්න දැන් උදව් කරන්නේ ඩබල් දාලද….%

“මං තියෙනවා.  තව ටිකක් කතා කර කර හිටියොත් මං දන්නවා මට ලෝකෙ නැති ඒවා අහගන්න වෙනවා කියලා. අන්න එහෙම දුකත්  සතුටකට හරවගෙන හිනාවෙන්න ඉස්සර වගේ. පහුගිය කාලේ ඔයා ඉඳපු විදිහ ඔයාට ගැලපෙන්නෙ නෑ. තේරුණා නේද…?”

එහා පසින් දුරකථනය විසන්ධි වී ගියේ යුගාශ්  සිය මුව මත සිනහවක් තවරා ගනිද්දීය. ඔහු නිවසට යද්දී තමාරා සිටියේ මල් කඩමින්ය. මේ ඈ බුද්ධ වන්දනාවට සූදානම් වන වේලාවයි. එනිසාම කිසිවක් කතා නොකර තමාරාව සිපගෙන නිවස තුළට ගිය තරුණයා අපූර්වාට  දුරකථන ඇමතුමක් ලබාගත්තේ ඇඳෙහි පෙරළීගෙනමය. 

“ඉතින් කියන්න දවසේ තොරතුරු….”

ඔහු පැවසූයේ සිනහමසුවය

“ඔයා දිනලා කියලා මං දැක්කා. ෆෝන් එකෙන්. මං ඔයාට විශ් කරලා මැසේජ් එකකුත් තිබ්බා ඒකට රිප්ලයි කරලා තිබුනෙත් නෑ. මට සතුටුයි. ඔයාගේ දිනුම ගැන නෙමෙයි. ඒක ගෑනු වෙච්ච අපි හැමෝගෙම දිනුමක් කියලා හිතෙනවා.” 

“හ්ම්.. යුතුකමක් ඉෂ්ඨ කළා වගේ සතුටක් මගේ හිතෙත් තියෙනවා. අද මහන්සි ඇති නේද..”

“අද අපි බාසුන්නැහේලට දවල් කෑමත් දුන්නා. අද විශේෂ දවසක්නේ.”

“ෂා…මොනවද හැදුවේ..මට එදා කාපු බත් එකේ රස දැනුත් මතක් වෙනවා.”

“අනේ මං ආයෙත් දවසක හදල ගෙනත් දෙන්නම්. අද නම් බත් උයලි හේෂානිගේ අම්මා කොස් ගෙනාවා. ඒකෙන් කිරි කොස් හදලා. හුරුල්ලො මාළු මිරිසට උයලා, කංකුං තෙල් දාලා, පපඩම් මිරිස් බැද්දා..”

“ෂා ඒක රජ කෑමක්නේ…

“අද දවල්ට කන්නත් නැතුව ඇති සමහරවිට.”

“ඇත්තටම කෑම ගැන මතක් උනේ ඔයා දැන් කතා කරද්දි…”

“සර්ගේ අම්මා මොනවද කිව්වෙ නඩුව ගැන. අම්මටත් සතුටු ඇති. එහෙනම් සර් ගිහිල්ලා කෑම කාලා එන්න. බඩගින්නේ ඉදිද්දි මට දුකයි”

“දැන් බඩගිනි නෑ අපූර්වා. ඔයත් එක්ක කතා කරනකොට බඩගින්නක් දැනෙන්නෙ නෑ. තිබුණත් ඒක අමතක වෙලා යනවා.” 

“එහෙනම් හොඳයි. එතකොට මම උයන්න ඕන නෑනේ. සර්ට බඩගින්නක් දැනෙන්නෙ නෑනේ. දවසෙම කතා කර කර විතරක් ඉන්නවා.”

“එතකොට කතා කරන්නේ ඔයා උයන ගමන් කිචන් එකට වෙලානේ. මම පුටුවක් තියන් වාඩි වෙලා බලන් ඉන්නවා”

අපූර්වා සමග කතා කරමින් උන් යුගාශ්  තමාරා  කාමරයට පැමිණ ගිය බවක් දැන උන්නේ නැත. නන්දනී යුගාශ්ගේ තේ කෝප්පයත් චොක්ලට් කේක් කැබැල්ලකුත් රැගෙන පඩි පෙළ නැගුනේ තමාරා පඩි කිහිපයක් පහතට බසිද්දීය. 

“තේ එක මෙහෙන් තියන්න නන්දනී. එයා මේ වෙලාවේ වැඩක. තේ බොන එකක් නෑ. කැමති වෙලාවක පහළට බැහැලා බොයි.”

එසේ පැවසූ ඕ ආලින්දය තෙක් ඇවිද ගියේ නන්දනී දෑස් විසල් කරගෙන බලා සිටියදීය. 

(යළිත් හමු වෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here