ජපන් ජාතිකයන් තරබාරු නොවන්නේ ඇයි

ජපානය කියන්නේ තමන් පරිභෝජනය කරන ආහාර පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන ජන කොට්ඨාසයක් ජීවත් වන රටක්. මේ නිසාම සෞඛ්‍ය සම්පන්න බව අතින් ඔවුන් තරමක් ඉහළින් සිටිනවා.ඒ වගේම තමයි තරබාරුකම ජපන් ජාතිකයන් අතර දකින්නට ලැබෙන්නේ බොහොම අඩුවෙන්. ඔවුන් තමන්ගේ ආහාර වේල පිළියෙළ කිරීමේදී වගේම ආහාර අනුභව කිරීමේදී පවා ඉතා හොඳ විනයකින් සහ සංයමයකින් කටයුතු කරනවා. ඇත්තටම ජපන් ජාතිකයන් තරබාරු නොවීමට හේතු මොනවාද ? ඒ ගැන අපි මේ ලිපියෙන් කතා කරමු.

සාම්ප්‍රදායික ජපන් ආහාර වේල

ජපන් ජාතිකයන් බොහෝ වේලාවට තමන්ගේ ආහාර වේලට ස්වභාවික සහ නැවුම් ආහාර එකතු කර ගන්නවා. ඒ වගේම ඔවුන් සැකසූ ආහාර භාවිතා කිරීමෙන් බොහෝ විට වැළකී සිටිනවා. ඉතා හොඳ පෝෂණ ගුණයෙන් යුතු එළවලු , තන්තු බහුල එලවලු , ප්‍රෝටින් වලින් පොහොසත් මාළු වර්ග සමඟ ඔවුන් ආහාරයට ගන්නේ බත් ඉතාම කුඩා ප්‍රමාණයක්. මේ ඔවුන්ව තරබාරුවීමෙන් බොහෝ දුරට වළක්වන අතර ශක්තිය සැපයීම සඳහා ප්‍රමාණවත් වනන තරමේ බත් ප්‍රමාණයක් පමණක් ආහාරයට ගැනීමට ඔවුන් විශේෂයෙන්ම සැලකිලිමත් වනවා.ඒ වගේම සීනි අධික පාන වර්ග වෙනුවට බොහෝ වේලාවට ඔවුන් පානය කරනු ලබන්නේ ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වන සහ පරිවෘත්තිය ක්‍රියාවලිය වැඩි දියුණු කරන හරිත තේ පමණයි. 

කුඩා කොටස් ප්‍රමාණයන්

සාමාන්‍යයෙන් බොහෝ රටවල් වල මිනිසුන් ආහාර ගැනීමේදී ඕනෑවටත් වඩා කුස පිරෙනතුරු ආහාර ලබා ගැනීම සිදු කරනවා. මෙහිදී බත් විශාල ප්‍රමාණයක් සහ ව්‍යාංජන කුඩා කොටස් වශයෙන් ආහාරයට ගන්නවා. නමුත් ජපන් ජාතිකයන් සාමාන්‍යයෙන් කුඩා කොටස් ප්‍රමාණයන් වලින් පමණක් ආහාර ගැනීම සිදු කරන අතර ඔවුන් එළවළු සහ මාලු වර්ග වලට වැඩි තැනක් ලබා දෙනවා. ඔවුන්ගේ පිළිවෙත වන්නේ 80 % ක් කුස පිරෙනතුරු ආහාරර ගැනීමයි. මෙමගින් අධික ලෙස ආහාර ගැනීම වැළැක්වීම සහ ආහාර දිරවීම පහසු කරවනවා.

දෛනික ජීවිතයේ ඉහළ ශාරීරික ක්‍රියාකාරකම්

බොහෝ ජපන් ජාතිකයින් පෞද්ගලික මෝටර් රථ භාවිතා කිරීම වෙනුවට ඇවිදීම, බයිසිකල් පැදීම සහ පොදු ප්‍රවාහනය මත විශ්වාසය තබනවා. දෛනික චර්යාවන්ට බොහෝ විට ඇතුළත් වන්නේ ,

දුම්රිය ස්ථානවලට හෝ බස් නැවතුම්පොළවලට ඇවිදීම

පොදු ප්‍රවාහනය මත සිටගෙන සිටීම

සෝපාන භාවිතා කිරීම වෙනුවට පඩිපෙළවල් භාවිතා කිරීම

පාසල් දරුවන් පවා පාසලට ඇවිද යාම හෝ බයිසිකලයෙන් යාම

මෙම දෛනික ශාරීරික ක්‍රියාකාරකම් පරිවෘත්තීය ක්‍රියාවලිය ඉහළ මට්ටමක තබා ගන්නා අතර කැලරි නිරන්තරයෙන් දහනය කරනවා.බොහෝ ජපන් ජාතික ගෘහණියන් පවා පුරුදු වී සිටින්නේ නිවස ආශ්‍රිත වෙළඳ සල් සහ කෝපි හල් වලට ඇවිද යාමයි.

සිහිකල්පනා වෙන් ආහාර ගැනීමේ පුරුදු

ජපානයේ ආහාර ගැනීම සිහිකල්පනාවෙන් යුතුව සිදු කළ යුතු ගෞරවනීය ක්‍රියාවක් ලෙස සැලකෙනවා. ඔවුන් රූපවාහිනිය නැරඹීම හෝ වෙනත් කාර්යක නිරතත වන අතරතුර ආහාර ගැනීම සිදු කරන්නේ නැහැ.ඔවුන් තමන් ආහාරයට ගන්නා ආහාරය ඉතා සෙමෙන් රස විඳිමින් , එහි රසයන් අගය කරමින් ,තමන් ආහාරයට ගන්නා ආහාරයට ගෞරව දක්වමින් සහ ඒ පිළිබඳව අවධානයෙන් ආහාර ගැනීම සිදු කරනවා. මෙම සිහි කල්පනාවෙන් යුතුව ආහාර ගැනීමේ ක්‍රියාවලිය නිසා ශරීරයට පූර්ණ බව හඳුනා ගැනීමට කාලය ලබා දෙන අතර, අධික ලෙස ආහාර ගැනීමේ අවස්ථාවද අඩු කරනවා.

සංස්කෘතික බලපෑම සහ සමාජ සම්මතයන්

ජපන් සංස්කෘතිය තුළ, සිහින් වීම,  සුන්දරත්වය, විනය සහ ආත්ම ගෞරවය පිළිබඳව වැඩි වශයෙන් අවධානය යොමු කරනවා. සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම සඳහා ශක්තිමත් සමාජ අපේක්ෂාවක් ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස,

මිනිසුන් බොහෝ විට ඔවුන්ගේ බර නිරීක්ෂණය කිරීම

නිතිපතා සෞඛ්‍ය පරීක්ෂාවන් දිරිමත් කරනු ලැබීම ,

පාසල් සහ සේවා ස්ථාන සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමේ පුරුදු ප්‍රවර්ධනය කිරීම

සිදු කරනවා. මේ නිසා තම ශරීරයේ ප්‍රමාණය පිළිබඳව සහ තරබාරු වීමෙන් තොරවීම පිළිබඳව ජපන් ජාතිකයන් විශේෂ සැලකිල්ලක් දක්වනවා.

පාසල් දිවා ආහාර පද්ධතිය

ජපන් පාසල්වල දරුවන්ට එළවළු, මාළු සහ බත් ඇතුළත් පෝෂ්‍යදායී, සමබර ආහාර වේලක් පිරිනමනු ලබනවා. සැකසූ ආහාර සහ සීනි සහිත පාන වර්ග එහි කොටසක් නොවන අතර සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමේ වැදගත්කම සහ ඒවායෙන් ලැබෙන ප්‍රතිඵල පිළිබඳව දරුවන්ට කුඩා අවධියේ සිටම විධිමත් අධ්‍යාපනයක් ලබා දීම පාසල් මගින් සිදු කරනවා.

අඩු සීනි සහ සැකසූ ආහාර

ජපන් සුලු කෑම සහ අතුරුපස සාමාන්‍යයෙන් බටහිර සුළු කෑම වර්ග වලට සහ අතුරුපස වර්ග වලට සාපේක්ෂව ඉතා අඩු පැණි රසකින් යුක්ත වනවා. එම නිසා ජපන් ජාතිකයන් බොහෝ විට පරිභෝජනය කරන්නේ ,

මද වශයෙන් සීනි යෙදූ පාන වර්ග හෝ ස්වභාවික ලෙස පැණි රස ගැන්වූ පාන වර්ග ,

ස්වභාවික ලෙස පැණි රස ගැන්වූ අතුරුපස වර්ග ,

සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර 

පමණයි. මේවාට අමතරව අතුරුපස සඳහා වැඩි වශයෙන් පලතුරු අනුභව කිරීම ද ජපන් ජාතිකයන් සිදු කරනවා.

ජානමය හේතු හෝ වෙනත් සෞඛ්‍යමය හේතුවක් මත තරබාරු වීම හැරුණු කොට ජපන් ජාතිකයන් බොහෝ විට තමන්ගේ ශරීරයේ ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් වනවා.මේ සඳහා ඔවුන් හොඳ ආහාර පුරුදු වගේම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් කෙරෙහි ද අවධානය යොමු කරනවා. පිරිසිදු සහ සමබර ආහාර වේලක්, ආහාර කුඩා කොටස් වශයෙන් ලබා ගැනීම , දෛනික ශාරීරික ක්‍රියාකාරකම් සහ සිහිකල්පනාවෙන් යුත් සංස්කෘතික පුරුදු වල සංයෝජනය ජපන් ජනතාවට නිරෝගී ශරීරයක් පවත්වා ගැනීමට උපකාරී වනවා.

Related Articles

Don't Miss


Latest Articles