ආන්‍යා ප්‍රෙග්නන්ට් උනේ ජාන්විගෙත් මලිත්ගේත් දික්කසාදය ගැන කතා කරගෙන යන මුල් කාලයේම. නිසල්ට නිතරම පාහේ තම ව්‍යාපාරික වැඩ කටයුතු වෙනුවෙන් පිටතට යන්නට සිදුවෙන නිසාම ආන්‍යා නිතරම වාගේ එවන් දවස්වලට මහගෙදරට ආවේ “අනේ මට මෙයාව තනියම තියල යන්න බයයි අම්මේ” කියා නිසල් ගෙදරටම ඇවිත් කීවායින් පසුවය.
නංගී ගෙදර උන්න එක ජාන්වි භාරගත්තේ හොඳක් ලෙසටය. නොඑසේනම් අම්මාත් තාත්තාත් තමන්ගේ වැඩ රාජකාරි අස්සේ හිර වුනයින් පස්සේ තමන් කරන්නේ අතීතය ගැන කල්පනා කරමින් ඉන්න එක හන්දා නංගි ආ එකෙන් තමන්ට කතා කරන්න හෝ කවුරු හෝ ඉන්න එක ගැන ජාන්වි සන්තෝස වුනාය.
“එපා වෙන්නෙ නැද්ද අක්කේ ගෙටම වෙලා ඉන්න ගියාම?” කියා ආන්‍යා ඇසුවේ උදේ තමන් වැඩට යද්දිත් ඇඳ උඩටම වෙලා උන්න අක්කා තමන් හවස වැඩ ඇරී ගෙදර එද්දිත් ඇඳ උඩටම වෙලා ඉන්නවා දුටුවයින් ය.
“මොනා කරන්නද නංගි කම්මැලි කියලා. කාමරෙන් එලියට ගිහින් අම්මගෙ ඉස්සරහට සෙට් උනාම එයාගෙ මූඩ් එකත් අවුට් යන හන්දා මට කාමරේටම වෙලා ඉන්න එක හොඳයි” කියා කියද්දී අක්කාගේ ඒ කටහඬ අස්සේ මීට ඉස්සර තිබුන ලොකුකම් සියල්ල මැකී ගොස් තැවරුණ අසරණකමක, අහිංසක කමක් සේයාවන් දකින්නට ආන්‍යාට බැරි උනේ නැත.
“අක්කා ඔච්චර ඉගෙන ගත්ත එකේ ගෙදරට වෙලා ඉන්නෙ නැතිව ජොබ් එකක් හොයාගන්නකො අක්කේ, අපරාදෙනෙ නිකන් ඉගෙන ගත්තා ඒවත් අතෑරලා දාලා ඉන්නෙ” කියා නංගි අහද්දි කියවමින් උන්නු පොත පසෙක තබා ජාන්වි ඇඳෙන් නැගිට ඇඳ මත වාඩි වී ඈලි මෑලි කැඩුවාය.
“කැම්පස් ඉද්දිම මලිත් එක්ක යාලුවෙලා එයාව මැරිකරලා සෙට්ල් වෙන්න උන්න හන්දා මං කවදාවත් ජොබ් එකක් කරේ නෑනෙ. මට පුරුදුත් නෑ ජොබ් එකක් කරලා. එහෙම එකේ කවුද අනේ මේ තිස් ගණන් කිට්ටු කරලා ජොබ් එකක් දෙන්නෙ?” කියා අක්කා කියද්දිත් ආන්‍යා කරේ හිනාවෙච්ච එකය.
අන්‍යා ඇඳ අද්දර වාඩි වී, සිය අතින් සිය සහෝදරියගේ දණහිස මෘදුව ස්පර්ශ කළාය. “ කිසිම දෙයක් ඉවර වෙලා නැහැ, අක්කෙ. එක දෙයක් ඉවර උනා කියලවත් වයස තිහක් උනා කියන්නේත් කිසිම දේක අවසානය නෙවෙයිනෙ. අඩුම හරි මැදවත් නෙවෙයි. මිනිස්සු පනහේදී, හැටේදී ආයෙත් ජීවිතේ පටන් ගන්නවා. ඔයා ඇයි දැනටමත් ජීවිතේ ඉවරයි වගේ හැසිරෙන්නේ? මලිත් අයියගෙ ප්‍රශ්නෙ අක්කගෙ ඔලුවට ලොකු බරක් වෙන්න ඇති. ඒ උනාට අක්කා ඒක මුලු ජිවීතේම ඉවරයි කියල හිතන්න හේතුවක් කරගන්නෙ අපරාදෙ”
ජාන්වි ඇයට කුඩා, වෙහෙසකර සිනහවක් පෑවාය. එය එකඟ වන නිසා පෑ සිනහවක් නොව, පපුව තුළ ඇති බර වචනයෙන් පැහැදිලි කරනවාට වඩා පහසු නිසා පෑ සිනහවක් විය.
“ඔයා හරි ඇති නංගි” ඇය සෙමින් කීවාය. “ඒත් ඔයා දන්නවද, අවුරුදු කීපයක් යාලුවෙලා ඉඳලා, ඉන්පස්සෙ කසාද බඳලා වෙන කෙනෙක් වෙනුවෙන් ජීවිතයක් ගොඩනඟනකොට මොකද වෙන්නේ කියලා? ඔයා ඔයාගේම කතාවෙන් අතුරුදන් වෙන්න පටන් ගන්නවා කියන එක ඔයාට දැනෙන්නේ නැහැ.නිසල් හොඳ කොල්ලෙක් හන්දා ඔයාට එහෙම කවදාවත් වෙන්නෙ නෑ. වෙන්නත් එපා කියල මං ප්‍රාර්තනා කරනවා. රස්සාවක් හොයාගන්න කලින් මං මාව හොයාගන්න ඕන නංගි. මලිත් ට තනි හිතෙන් ආදරේ කරන්න ගිහිල්ල මං මාවම නැති කරගෙන කියන එක මට තේරෙන්න පටන් ගත්තෙත් මේ හැමදේම වෙන්න පටන් ගත්තයින් පස්සෙ”
අන්‍යා කිසිවක් කීවේ නැත. අක්කා වනාහී කොපමන ලොකුකම් කියන්නට තැනුවද හැමදෙයක්ම වැඩියෙන් දැනෙන, එහෙත් ගොඩක් දේවල් හිත අස්සේම සඟවා තබන්නට උත්සහ කරන කෙනෙක් බව ආන්‍යා එදා ඉඳලාම දැන සිටියාය.
“මම මලිත්ට ආදරය කළා විතරක් නෙවෙයි, නංගි,” ජාන්වි ඇගේ හඬ යන්තම් ඇසෙන සේ කීවාය. “මම එයා මත තමයි හැමදේම බිල්ඩ් කරලා තියෙන්නෙ. හරියටම කිව්වොත් මම නැවක් නම් මම යන්න ඕන පාර හොයාගන්න මාලිමාව කරගෙන තියෙන්නෙත් මලිත් ව. අන්තිමේ එයා එයාගෙ පාරෙ යද්දි, මමත් ඒ පාරෙ අමාරුවෙන් උනත් බාගයක් දුර ගියයින් පස්සෙ තමයි මට තේරෙන්න ගත්තෙ මම යන්න ඕන, මට යන්න සුදුසු පාර ඒක නෙවෙයි කියල. දැන් මං මේ කරන්නෙ ආපස්සට ඒ වැරදිච්ච පාරෙ ආයෙ එන ගමන්. ඒක කොච්චර හිත රිද්දනවද කියල කියන්න මට තේරෙන්නෙ නෑ. එයාගේ හීන මම මගේ හීන කරගත්තා. මං හිතුවා ඒක තමා ආදරේ කියල. දැන් තමයි මට තේරෙන්නෙ ඇත්තටම මට මාවයි නැතිවෙලා තියෙන්නෙ කියලා. මලිත්ගෙ ඉතින් වරදක් නෑ නංගි. මගෙනෙ සහමුලින්ම වරද. මලිත් කියන කතාව හරි. මම එයා කවුද කියලා දැන දැනමනෙ එයාව කසාද බැඳගත්තෙ. ඉතින් අන්තිමේ විඳවන්න ඕනත් මම ම තමයි”
ඒ වචන පවසා අවසන් කොට ජාන්වි හිස ඔසවා බැල්කනියෙන් පෙනෙන සැන්දෑ ඉර බැස ගෙන යන රන්වන් පාට අහසෙහි ඈත බලා සිටියාය.
“එහෙනම් සමහරවිට මේක තමයි ඔයා කවුද කියලා ආයෙත් හොයාගන්න තියෙන හොඳම වෙලාව,” අන්‍යා සෙමින් කීවාය. “අක්කට හිතෙන්නෙ නැද්ද අක්කා ගේ අස්සෙම හිරවෙලා ඉන්න එකෙන් ඒක ටිකක් අමාරු කරනවා කියල. සමහරවිට අක්කා ජොබ් එකක් හොයාගෙන වගේ එලියට ගියොත් අක්කගෙ ඔලුව ඔයිට වඩා නිරවුල් වෙලා ඔයිට වඩා හොඳට දෙයක් දිහා බලන්න පුලුවන් තැනකට අරගෙන එයි කියලා මට හිතෙනවා”
“කියන්න ලේසියි නංගි, කරන්නනෙ අමාරු” ඇය මිමිණුවාය.
“රස්සාවක් හොයාගන්න ඕන නංගි. ඔලුව නිරවුල් කරගන්න නෙවෙයි. මට කියල යමක් කමක් මම හදාගන්න ඕනනෙ නංගි නේද? මලිත්ගෙ ගෙදරින් එලියට ආව එකේ මම මට කියලා ඉන්න තැනක් ගන්න ඕන. මට කන්න බොන්න ජීවත්වෙන්න ආදායමක් තියෙන්න ඕන. අම්මල තාත්තලා නැති දවසක මට යන කලක් තියෙන්න ඕනනෙ නංගි. මට හැමදාම මෙහෙට වෙලා ඉන්න බෑනෙ”
“අනේ අක්කේ ඔයාමනෙ අම්මල මහ ගෙදර අපි දෙන්නටා ලියන්නද අහද්දි එපා කිව්වෙ. අක්කා හිතන්නෙ මම කවදාවත් අක්කට මෙහෙන් යන්න කියාවි කියලද? පිස්සුද අක්කෙ? අක්ක මුලු ජීවිත කාලෙම උනත් මෙහෙ හිටියත් මම මුකුත් කියන්නෙ නෑ. අනික මම කොහොමද මුකුත් කියන්නෙ, මේක අපි දෙන්නගෙම මහ ගෙදරනෙ අක්කෙ.
නිසලුත් හරි වොරීඩ් අක්කට වෙච්ච දේ ගැන. නිසල් ඒත් අහනවා එයා ගිහිල්ලවත් මලිත් එක්ක කතා කරන්නද කියලා. මං කිව්වා එපා අක්කා දැන් ඩිසිශන් එකක් අරගෙන නෙ තියෙන්නෙ ඩිවෝස් වෙන්න කියල. අනික ඉතින් අපි කතා කරා කියල ඔය මනුස්සයා වෙනස් වෙනවා කියලද?”
ජාන්විත් ආන්‍යාත් තමන්ගෙ ගෙදර කාමරයට වී මෙවන් සිතුවිලි දාමයක හිර වී ඉද්දී මලිත් උන්නේ මේධාංගනී තුරුලේ හිත දවන තවත් ප්‍රශ්නයකට පිළිතුරක් සොයාගන්නට වෙහෙසෙමිනි. දික්කසාදය ලැබිම වනාහී ගැහැනියකට මෙන්ම පිරිමියෙකුටද ජීවිතය අපහසු කරවන කතාවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. දික්කසාද වෙච්ච ගැහැනිය දෙස වපර ඇහින් බලන බහුතරයකගෙන් සුලුතරයක් දික්කසාද වූ පිරිමියා දෙස බලන්නේද සැකයෙනි.
ඒ සැකය තමන්ට ගැටලුවක් වන්නේ තමන් පිරිමියෙක් වීමට වඩා, තමන් මේ ලාංකේය සංගීත ක්ශේත්‍රය අස්සේ ජනප්‍රිය පිරිමියෙක් වීමය.
“ඔච්චර කල්පනා කරන්නෙ ඩිවෝස් එක ගැනද ජාන්වි ගැනද?” කියා මේධාංගනී ඇසුවේ සෙමෙන් ඇගේ දිගු නියපොතු මලිත්ගේ කැරලි කෙස් අස්සේ යවමිනි.
තමන් මේ වයසෙදිත් තරුණ බඹරුන් ඇදගන්නා රොන් පිරුණු මලක් වීම ගැන මේධාංගනීගේ සිතේ වූයේ ඉමහත් ආඩම්බරයකි. ඒ නිසාම තමන් කරා එන බඹරුන්ට මේධාංගනී හොඳින් සැලකුවාය. තමන්ගේ තුරුණු බවේ රොන් සැඟවී තිබෙන්නේ ඒ බඹරුන්ගේ තුඩු අග බව මේධාංගනී විශ්වාස කරාය.
“මට තියෙන ප්‍රශ්නෙ මාගෙ ඩිවෝස් එක මගෙ කරියර් එකටයි, මිනිස්සු මං ගැන හිතාගෙන ඉන්න විදියෙ ඉමේජ් එකටයි කොච්චර ලොකුවට බලපාවිද කියන එක? මතකනෙ අර අරුණලුට වෙච්ච දේ. නැගගෙන ආව නැගිල්ල එක පැයෙන් බැස්සෙ කෝමද ඌ උගෙ ළමයට නඩත්තු ගෙවන්නෙ නෑ කියල.
අනික ජාන්විගෙ පැත්තෙන් ඩිවෝස් එකට හේතුව මට වෙන ගෑනු ඉන්න එක කියල එලියට ආවොත් අනාතයි”
“ඉතින් ඒකට අපි උත්තරය දෙමු”
“මොකද්ද?”
“ඔයා ඉන්නකො මම කියන්නම් කරන්න ඕන දේ. ජාන්විට ඇඬෙන්න”