අරුමැති ආදරයක් 66

0
2854

යුගාශ් කාමරයෙන් නික්ම ගිය පසුව තමාරා බොහෝ වේලා ගතව යනතුරු හඬා වැටුණාය. තමාට කුමන අයුරකින් සැලකුවත් සමහර අවස්ථාවල ජීවත් වූ ක්‍රමය නිවැරදි නොවූවත්, මේ සමාජය තුළ සිංහයෙකු සේ ජීවත් වූ මිනිසෙකු බව විශ්වාසය. පපුව රිදුම් දෙමින් තිබිණ. යුගාශ් දැනෙන තැනට කතා කරන්නට දක්ෂයෙකි. 

“මේ ඉන්නේ ඔයාගේ ජීවිතේ ඔයා ආදරය කරපු එකම පිරිමියා. එහෙම නොවුනනං ඔයා අනිවාර්යෙන්ම සකන්ඩ් මැරේජ් එකක් ගැන හිතනවා.”

විනාඩි කිහිපයකට පෙර යුගාශ් පැවසූයේ එසේය. තවමත් ඒ ආදරය එලෙසමදැයි තමාරා ඇගෙන්ම ප්‍රශ්න කළාය. අවසන ඒ මුවින් පිට වූයේ හිස් සුසුමක් පමණි. මේ සිත හදා ගැනීම ලෙහෙසි පහසු එකක් වන්නේ නැත. යුගාශ්ට අනුව නම් ඔහු සිටින්නේ අනුකම්පාව ලැබිය යුතු තැනකය. එවැන්නෙකුට සිය කාරුණික දෑත් දිගු කරන්නට තමාරා දෙවරක් සිතන්නේ නැත. එහෙත් මේ සිටින්නේ තමා දිවි හිමියෙන්ම ආදරය කළ එකම පිරිමියා සේම තම කඳුලකට දුක් ගැනවිල්ලකට සංවේදී නොවූ දරුවෙකු සමග තමා මෙලොව තනිකල පිරිමියාය. 

තම  සිතෙහි උපදින අනුකම්පාව පරදන ඒ සිතුවිලිවලට ඉඩදී තමාරා හෝරාවකටත් වඩා වැඩි කාලයක් සිටියේ කාමරයට වීගෙනය. අකාරුණික ලෙස තමාව හැරදා ගිය ඔහුට මේ ජීවිතයේ වර්තමානයේ දිය හැකි තැන පිළිබඳව අවබෝධයක් තමාරාට වූයේ නැත. ඔහු යළි මෙම නිවසේ පදිංචියට පැමිණේයැයි සිතමින් මග බලා උන් කාලයක් තිබූ බව ඇත්තය. එහෙත් අද සිට මේ වහල යට ඔහුත් ජීවත් වනවායැයි සිතද්දී තමාරාට සතුටකට වඩා දැනුනේ කලකිරීමකි. අපහසුවකි. 

අවසන ඈ නන්දනී සොයා මුළුතැන් ගෙය දෙසට පියවර තැබුවාය.

“සුදු මහත්තයා කිව්වා රෑ කෑමට ඉඳිආප්පයි, කිරි හොදියි මාළු ඇඹුල් තියලුයි  හදන්න කියලා. නෝනා කාමරයට වෙලා හිටිය හින්දා මං කතා කලේ නෑ..”

ඒ පුෂ්පානන්ද රාත්‍රියට කෑමට කැමති ආහාර වේලයි. හාල් පිටි ඉඳි ආප්පවලට ඔහුගේ වූ කැමැත්ත අදටත් එලෙසම වන්නට ඇත.

“ලොකු සර්ට ඕන විදිහට කෑම ටික හදල දෙන්න.” 

තමාරා පැවසූයේ මුළුතැන් ගෙයි කුඩා රවුම් මේසය අසල වූ පුටුවකින් අසුන් ගන්නා ගමන්ය. කිව්වහම කිසිවක්ම නොකළාට ඒ වතින් විද්‍යාමාන වූයේ වෙහෙසකර බවකි.

“ලොකු සර් දිගටම මෙහේ ඉන්නවද ලොකු නෝනා.?”

“සමහර විට ඉඳියි.”

“අනේ ලොකු නෝනා මං මෙහෙම ඇහුවට මට සමාවෙන්න. මට මේ කිසි දෙයක් තේරෙන්නෙ නෑ. එක පාරටම ගහෙන් ගෙඩි එන්න  වගේ මේ සිද්ධ වෙන දේවල්.”

“මේ ඔක්කොම ඔයාගේ සුදු මහත්තයාගේ කැමැත්ත. මට වඩා අයිතියක් අප්පච්චි ගැන එයාට තියෙනවනේ නන්දනී. මේ ගෙදර ඉන්නවද නැද්ද කියන එක එයයි එයාගේ අප්පච්චියි තීරණය කරයි. මේ වෙලාවේ ලොකු මහත්තයා අපිට ආගන්තුකයෙක්. ඒ නිසා අපි ඒ ආගන්තුක සත්කාර හරියටම කරමු. නන්දනී හෙට උදේ ඉඳලා හැමදාම කොළ කැඳ එකක් හදන්න. ලොකු මහත්තයා ආසයි කොළ කැඳ බොන්න. ලොකු මහත්තයා මොනවා හරි හදලා දෙන්න කිව්වොත් ඒක කරන්න. මං මේ මාසේ ඉඳලා නන්දනීගෙ පඩිය වැඩි කරලා දෙන්නම්.”

නන්දනී තමාරාට පිටු පා ලිප මත වූ කිරිහොද්ද හැඳි ගාන්නට පටන් ගත්තේ කිසිවක් නොකියමින්ය. උස් තාප්පවලින් වට වූ මේ සුවිසල් නිවාස වල සිදුවන්නේ අරුම පුදුම ඒවාය. තමාරාගේ නිවසට පැමිණෙන්නට පෙර ඈ නිවාස දෙකකම සේවිකාවක ලෙස සේවය කළාය. ඉන් එක නිවසකින් ඇය ඉවත් වූයේ ස්වාමියා බලහත්කාරකම් කරන්නට සූදානම් වූ නිසාය. අනිත් නිවසේ හිමිකාරිය ලෝබ තැනැත්තියකි. එහි සිටියදී බඩෙන් භාගයක් පුරවා ගන්නටවත් නන්දනීට හැකියාවක් වුයේ නැත. තමාරාගේ නිවස ඇයට තමාගේ තැනක් මිස පිට තැනක් යැයි කොහොමටවත් නොසිතුණු තරම්ය. කුස පුරවා ගන්නට, විලි වසා ගන්නට පමණක් නොව ජීවත් වන්නට මුදලක් ද යහමින් ලැබිණ. එසේම ඇයත් සුදු මහතාත් පිටස්තර ගැහැණියක ඝනයෙහි ලා තමාට  නොසැලකූ තරම්ය. 

නන්දනී ආපසු හැරී බලද්දී තමාරා මුළුතැන් ගෙයින් නික්මී තිබිණ. 

ඔවුන්ගේ පුද්ගලික ජීවිතවලින් තමන්ට පලක් නොවේයැයි නන්දනී තරයේම සිතා ගත්තාය. 

                                     *************

යුගාශ් පුෂ්පානන්ද උන් කාමරයට එබුණේ රාජකාරීමය දුරකථන ඇමතුමකට පිළිතුරු දුන්නාට පසුවය. ඔහු සිටියේ නින්දේය. ගතට වෙහෙසකර නොවූවත් අද දිනය ඔහුගේ සිතට වෙහෙසකර එකක් බව විශ්වාසය. අවසන ඔහු තමාට එකඟ වේ යැයි යුගාශ්  කොහොමටවත් නොසිතුවේය. පුෂ්පානන්ද ඇඳ උන්නේ ලිනන් වර්ගයේ සුදු පැහැ උඩු කමිසයක් සහ දුඹුරු පැහැ බතික් සරමකි. වායු සමනය කල කාමරයේ විසල් යුගල යහනක්, අල්මාරියක් සහ ලියන මේසයක්, පුටුවක් ඇඳුම් වැටක් විය. 

යුගාශ් ජංගම දුරකථනයත් රැගෙන සඳැල්ලට ගියේ අපූර්වාට කතා කරන්නට සිතාගෙනය. ඕ හඬ පණිවිඩයක් තබා තිබුණේ මින් විනාඩි කිහිපයකට ඉහතදීය. 

“මොකද උනේ? මං බයේ හිටියේ..”

“අප්පච්චි ගෙදර එක්කගෙන එනවා කියලා මං ඔයාට කිව්වනේ.”

“ඔව්… අම්මා මොකද කිව්වේ කියලා කියන්නකෝ”

“අම්ම කිසි දෙයක් දන්නේ නෑනේ අපූර්වා. මුලින් ටිකක් කේන්ති ගත්තා. මාවත් පන්නන සයිස් එකක හි⁣ටියේ. මම පස්සේ විස්තරේ තේරුම් කරලා දුන්නා. මං ඔයාට කියලා තියෙනවනේ අම්මා නපුරු නෑ කියලා.” 

“අම්මට එකපාර හිත හදාගන්න අමාරු ඇති. ගෑනු අය එහෙමයි අයියේ. මහ මෙරක් තරම් ආදරේ කරනවා. ඒ ආදරේ තරම්ම තමයි කලකිරීමත්”

“ආ…ඇත්තද..ගෑණු අය එහෙමද?”

“ඔව්… අම්මා ඔය තරමින් හරි ඉවසලා දරා ගන්න ඇති. මමනම් පපුව පැරිලා මැරෙයි.” 

“එච්චරටම ආදරෙයිද?”

“මං කිව්වනේ කවදාවත් මගෙන් ඒ ආදරේ ප්‍රමාණය ගැන අහන්න එපා කියලා. ඒක කියන්න මම දන්නෙ නෑ.”

“අප්පච්චි ගෙදරට එන්න අකමැති උනානම් මං ඔයාගෙන් අහන්න හිටියේ මගේ අප්පච්චි ලඟ නතර වෙලා එයාව බලාගන්න පුළුවන්ද කියලා.”

“ඔයා විශ්වාස කරන්න අයියේ  මම හේෂානිත් එක්ක හවස කිව්වා. අම්මා අප්පච්චිව බාරගත්තේ නැත්තං මං ගිහිල්ලා අප්පච්චිව බලා ගන්නවා කියලා. අලුත් ගෙදරට හරි එක්කරන් එනවා කියලා”

යුගාෂ්ට හෙළුනේ දිගු සුසුමකි. ඒ ඇගේ හදවතේ ඇති ඉඩය. අදටත් ඇය තමා ගැන සත්‍ය කිසිවක්ම නොදනී. ඕ ප්‍රශ්න  කරමින් ජීවිතයේ ඇතුලාන්තයට එබෙමින් කිසිවක් නොවිමසා සිටින්නේ තමා ගැන උපරිමයෙන්ම විශ්වාස කරන නිසාය. යුගාශ්ගේ ජීවිතයෙහි වූ ඊළඟ අභියෝගය එයයි. හෙට අනිද්දාම මේ සත්‍ය සියල්ලම ඈ දැනගත යුතුය.

“ඇයි මුකුත් කියන්නේ නැත්තේ. ප්‍රශ්නයක් නෑ නේද? මට පුදුමයි අප්පච්චි ගෙදර එන්න කැමති වුණා කිව්වහම.”

“මනුස්සයෙක් තමන් ජීවත් වෙන්නේ අන්තිම කාලෙ කියල දැනගත්තහම කොච්චර මානසිකව වැටෙනවද කියලා මං අවබෝධ කරගත්තේ අප්පච්චිගෙන්. මාස දෙක තුනක් ඇතුළත එයාගේ ලොකු වෙනස්කමක් මං දැක්කා. අද එයාගේ ඩ්‍රයිවර් ගොඩක් දේවල් කෙටියෙන් කිව්වා. අපූර්වා..ඔයාට පුළුවන්ද ඔයාගේ ජීවිතේට ඕනෙම වරදක් කරපු මනුස්සයෙක්ට සමාවක් දෙන්න.”

“ඕනෙම වරදක් කරපු කියන්නේ.”

“මං කිව්වේ ඔයාගේ බාප්පට වගේ.”

“මං ඔයාට කිව්වනෙ අයියේ බාප්පලයි ගෙදරත් මේ දවස්වල ගොඩක් ප්‍රශ්නලු. පුංචි අම්මා කවදාවත් නැතුව ලොකු හාමුදුරුවෝ එක්ක තමන්ගේ ගෙදර ප්‍රශ්න ගැන කතා කරලා තිබුණා. පුංචි අම්මා එහෙම කරන්න ඇත්තේ ඉවසලා බැරිම තැනක වෙන්න ඇති. මට ඒ මිනිස්සු ගැන තියෙන්නේ වෛරයක් නෙමෙයි හිස් හැඟීමක්. වෛර කරලා දුර්වල වෙන්නේ මගේ මනස. නැතිවෙන්නේ මගේ මනසේ සැනසීම. නැති වෙලා ගියපු දේවල් ආපහු ලබාගන්න පුළුවන්නම් අපි මනුස්සයෙකුට වෛර කලාට කමක් නැහැ අයියේ. 

නැති වෙච්ච කිසිම දෙයක් ආපහු ලැබෙන්නේ නැත්නම් මොකටද අපි වෛර කරලා අපිවම නැති කරගන්නේ. මං කියන්නේ නෑ මගේ හිතේ වෛරයක්, තරහක්, කේන්තියක් තිබුනෙ නෑ කියලා. ඒ මිනිස්සු දුක් විඳලා මැරිලා යන්න ඕනෙ වගේ හැඟීමක් තිබුනේ නෑ කියලා. ඒත් දැන් එහෙම නෑ. ඇත්තටම කිව්වොත් කවුන්සලින් හැම ලෙසන් එකකින්ම මම මගේ ජීවිතයටත් දෙයක් ගන්නව අයියේ..ඒකයි මම විශ්වාස කරන්නේ ඔයා මාව හැමදාම නතර කරවන්නේ හරිම තැන කියලා.”

යුගාශ් හෙළුනේ සැනසුම් සුසුමකි. 

“කාලයක් තිබුණා අප්පච්චි කියන්නේ මගේ ජීවිතේ මං අකමැතිම චරිතේ වෙච්ච. එයා තමයි මං දැකපු නරකම මිනිහා වෙච්ච. අපූර්වා මගේ අප්පච්චි ගතකලේ හොඳ ජීවිතයක් නෙමෙයි. මට මගේ අම්මට විතරක් නෙමෙයි එයා ගොඩක් මිනිස්සුන්ට වැරදි කලා. මිනිස්සුන්ව හදවත් වලින් මරලා දැම්මා. මගේ යටිහිත අප්පච්චිගේ ආදරේ හොයන්න ඇති. ඒක මං නෑ කියන්නෙ නෑ. හැබැයි දකින්නවත් අකමැති වෙච්ච චරිත අතරේ උඩින්ම හිටියේ අප්පච්චි. ඒත් මේ වෙලාවේ මට එයාව කොහොමටවත් තනි කරන්න බෑ අපූර්වා. කොහොමටවත් කවුරු නිසාවත්, පුතෙක් විදිහට නොවුනත් මනුස්සයෙක් විදිහට.”

“එහෙම කරන්න හිතන්නවත් එපා. ඔයාගේ අප්පච්චිට සමාව දෙන්න ඔයා වගේ හොඳ පුතෙක් උපද්දවපු එකම ඇති.”

“මං දෙයක් අහන්නද..”

“කියන්න අනේ”

“කවද හරි මගේ අප්පච්චිව ඔයාගේ අප්පච්චි වගේ ආදරෙන් බලා ගන්න ඔයාට පුළුවන්ද”

“ඔයා මේ මොනවද අහන්නේ. මං ඒක පොරොන්දු වෙනව අයියේ. අප්පච්ච විතරක් නෙමෙයි ඔයාගේ අම්මවත්. ඔයා මේ  වෙලාවෙ හොඳටම කඩන් වැටිලා. ඒත් එහෙම වෙන්න එපා. අප්පච්චිගේ හිතේ තමන් ගැන පසුතැවීමක් ඇති නොවෙන්න වගේම අම්මගේ හිතේ අප්පච්චි ගැන තියෙන කළකිරීම දුරු කරන්නත් ඔයා ශක්තිමත් වෙන්න ඕනේ.” 

“ඔයා මගේ ලඟ හයියට ඉන්නවනේ. කවුන්සලර් කෙනෙක්ගෙන් උපදෙස් ගත්තහම මට වරදින එකක් නෑ.”

“අනේ යුගාශ් අයියේ ඔයා නං…”

“ඉතින් මං කිව්වේ බොරුවක් නෙමෙයිනේ. හෙට අනිද්දා ඒ කවුන්සලර්ව  ගෙදරම ගෙනත් තියා ගත්තටට පස්සේ පුංචිම හිත් වේදනාවක්වත් ඇති වෙන එකක් නෑ. මමත් සුවෙන්. හිතත් සුවෙන්”

“ඔයා වගේ හොඳ මනුස්සයෙකුට කොහොමත් හිත් වේදනා ඇති වෙන්නේ නෑ. අයියේ මට ඔයාට කියන්න අමතක වුනා. හේෂානි කියනවා දැන් වැඩ ඉවර වෙච්ච එකේ ඉක්මනින් ගෙදර පදිංචි වෙන්න කියලා. ඒක හොඳයි කියලා මටත් හිතුනා. එතකොට ඔයාට වුනත් නිදහසේ ඇවිත් යන්න පුළුවන්. මං හිතන්නේ ඒ ගැන තමාරා මැඩම් එක කතා කරන එක හොඳයි. මගේ හිතෙත් ඒ ගැන තියෙන්නෙ හදිසියක්. සමහර වෙලාවට මං පැය ගානක් අලුත් ගේ ඇතුලට වෙලා ඉන්නවා. ඒක පුදුමාකාර සතුටක්. එන යන හැම කෙනෙක්ම කියනවා අලුත් ගේ හරි සිරියාවයි කියලා. වෙලාවකට මට බය හිතෙනවා ඇස් වහ කට වහ  වදියි කියලා. ඒ සිමෙන්ති පොළොවෙන්, අලුත් තීන්ත ගාපු බිත්තිවලින් එන සුවඳ ඒ හැඟීම මට වචන කරන්න බෑ”

“අපි ඉක්මනට ඒ වැඩ ටික කරගමු. මට ටික දවසක් කල් දෙන්න. මේ සතියේ අම්මව බලන්න යන්නත් ඕන නේද?” 

“අනේ ඔයා කරදර වෙන්න එපා. මම හේෂානි එක්ක යන්නම්.” 

“මට ඔයාගේ ළඟ ඉන්න ඕනේ. ටිකක් වෙලා හරි. මම හිතුවා හෙට අප්පච්චිත් එක්ක එයාගේ ඩොක්ටර් ගාවට යනවා කියලා. මොකද අප්පච්චිගේ කන්ඩිෂන් එක මට හරියටම දැනගන්න ඕනේ. ඔය අනිද්ද උදේ ලෙක්චර්ස් වලට යන්න. එදා වගේ ආච්චිට කියන්න චුට්ටක් රෑ වෙයි කියලා. මං ගෙදරට දාන්නම්. අපි අම්මව බලන්න යමු.”

“ඔයාට දැන් කාලයා අවමයි නේද. අප්පච්චිට ඔයාගේ කාලෙ වැඩි වෙලාවක් දෙන්න. අම්මට තනි වෙන්න දෙන්නත් එපා. මං ඔයා එක්ක තරහ නෑ යුගාශ් අයියේ. මට හොඳටම තේරෙනවා. ඒ නිසා ඔයා මාව බලන්න නාවත් කමක් නෑ. හැමදාම මේ වගේ චුට්ට වෙලාවක් කතා කරහම ඇති. උසාවියේ වැඩත් එක්ක මේ හැම දෙයක්ම බැලන්ස් කරගන්න එක ලේසි නෑ කියලා මම දන්නවා.” 

“මං දන්නවා මැණික ඔයාට තරම් මාව තේරුම් ගන්න කාටවත් බෑ කියලා. ඒ වගේම තමයි ඔයාට තරම් මාව නිවන්නත් කාටවත්ම බෑ. හිත හරි බරයි වගේ. මටත් නොතේරෙන ගොඩාක් දේවල් මේ හිත ඇතුලේ පිරිලා තියෙනවා වගේ. ඉතිං ඒ හින්දා මගේ කවුන්සලර් ගාවට එන්නම වෙනවා.”

යුගාශ් එසේ පැවසුයේ දයාබරවය. විශ්වාසය. මේ ජීවිතය නිවන සතුටු පෙත්ත ඇයය. 

(යළිත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here