අරුමැති ආදරයක් – 68

0
2753

මේ ඇත්තට අද හෝ හෙට අපූර්වා මුහුණ දිය යුතුමය. සිදුවන සියල්ල හොඳටයැයි සිතූ තමාරා යුවතියගේ අත තදකර අල්ලා ගත්තාය.

“අපූර්වා… යුගාශ් කියන්නේ මගේ පුතා. සමහරවිට මේ වෙද්දිත් මේ ඇත්ත ඔයාට කියාගන්න විදිහක් නැතුව එයා ළතවෙනවා ඇති. හැබැයි මගේ පුතා ඔයාට ආදරය කළේ බොරුවට නොවන බව මට විශ්වාසයෙන්ම කියන්න පුළුවන්. ඔයා කතා කරන්න ඕනේ අපූර්වා. මං අහන දේවල් වලට උත්තර දෙන්න ඕනේ. ඔයාට තියෙන ප්‍රශ්න මගෙන් අහන්න ඕනේ. අපි මේ හැම දෙයක්ම පැහැදිලි කරගමු. ඊට පස්සේ තීරණ ගන්නේ කොහොමද කියන එක ඔයාට මං බාර දෙනවා. නන්දනී..මේ මිස්ලට කන්න මොනවා හරි එක්ක තේ ටිකක් ලෑස්ති කරන්න.”

තමාරාගේ හඬ වෙනදාටත් වඩා සන්සුන් වී තිබිණ.  මේ පිළිවෙලට ඈ කැමතිය. තවදුරටත් මේ බොරුව ඉදිරියට ගෙන යන්නට ඇයට අවැසි වූයේ නැත. 

“පුතාට ඔයාව හමුවුණු විදිහ පුතා මට කිව්වා. ඔයාට දරාගන්නම අමාරු තව ඇත්තක් මෙතන තියෙනවා අපූර්වා. මගේ පුතාගේ අප්පච්චි තමයි ලෝයර් පුෂ්පානන්ද. ඔයාට ගොඩක් දේවල් අහිමිවෙන්න අප්පච් හේතුවක් උනා කියන එක පුතාගේ හිතට තදින්ම වද දුන්නා. එයා මාත් එක්ක ඒ ගැන කතා කළේ වේදනාවෙන්. ජීවත් වෙන්න ඔයා ත්‍රීවිලර් එකක් එළවනවා කියන එක එයාගේ හිතට ලොකු වදයක් වෙලා තිබුණා. අන්න එතනදි තමයි පුතේ අපි දෙන්න තීරණය කළේ ඔයාගේ මේ ජීවිතය අඩියක් හරි උඩට උස්සලා තියන්න. එදා හිටියේ ඔයාට ආදරය කරපු යුගාශ් නොවන බව මට හොඳටම විශ්වාසයි. මොකද ඒ වෙද්දි එයාගේ හිතේ තිබුණේ ඔයා ගැන අනුකම්පාවක් විතරයි. ඒ හැමදේටම වඩා මගේ පුතා ස්වභාවයෙන්ම මිනිස්සුන්ට උදව් කරන්න කැමති කෙනෙක් නිසා මට මේක අමුතු දෙයක් වුණේ නෑ. ඔයාගේ ගෙදරට ආවට පස්සේ ඔයාගේ ආච්චි එක්ක කතා කළාට පස්සේ මට මගේ අම්මව මතක් උනා. මගේ අම්මත් නිතරම කියපු කතාවක් තමයි ‘මට මැරෙන්නවත් නිදහසක් නෑ..’ කියන එක. මොකද යුගාශ්ගේ අප්පච්චි අපිව දාල  ගියාට පස්සේ අපිට තිබුනේ හරි නරක කාලයක්. අන්න ඒ නිසාම මං දෙපාරක් හිතුවේ නෑ පුතේ මේ පින්කම කරන්න. ඔයාට ඇහෙනවා නේද මං කියන දේ?”

අපූර්වා හිස වැනුවේ ‘ඔව්’ යැයි කියන්නටය. ඒ කොපුල් දිගේ  කඳුළු බේරී යමින් තිබිණ. ඒවා පිස දා ගන්නට ඇය තුළ කිසිඳු උනන්දුවක් වූයේ නැත. වේදනාවෙහි කරවටක් ගිලී සිටි යුවතියට ඒ කඳුළු ගැන වගක් වූයේද නැත.  එක් පසෙකින් ඒ අත තමාරා අල්ලාගෙන සිටි අතර අනික් පසින් තදකර අල්ලාගෙන සිටියේ හේෂානිය. 

“යුගාශ්ට ඕන වුණේ නැහැ අපි ඔයාට අනුකම්පා කරනවා කියන එක පෙන්නන්න. ඒ හැමදේටම වඩා එයාගේ හිතේ සැකයක් තිබුණා. එයා මේ දේට ඉදිරිපත් වුනොත් ඔයා ඒක බාරගන්න එකක් නැහැ කියලා. තනිවෙච්ච ගෑණු දරුවෙක් පිරිමියෙක්ගෙන් උදව් ගන්න කැමති වෙන්නේ නැහැ.  එදා අපි දෙන්නට උවමනාව තිබුනේ ඔයා චුට්ටක් උඩට උස්සල තියල ඔයාලගේ ජීවිත වලින් අයින් වෙන්න. මේ ජීවිතේ ඉතුරු ටික යන්න ඔයාට පාරක් හදල දෙන්න. ඒත් …ඔයාල දෙන්නගේ දෛවය ඒ කතාව ලියලා තිබුණේ වෙනස් විදිහකට පුතේ. යුගාශ් ඔයාට ආදරේ කරන්න පටන් අරගෙන තිබුණා. ඒ කවදා කොහේදි කොහොමද කියන එක මං දැනගෙන හිටියේ නෑ. එය ආදර කතාව දැනගත්තේ එදා මං ඔයාගේ ගෙදරදි ඔයා ඒ දේවල් මමත් එක්ක කිව්වට පස්සේ. 

“මැඩම්…….”

“එදා යුගාශ් වැරදි නෑ. මොකද එකපාරට පිරිමියෙක් ඔයාට උදව් කරන්න ඉදිරිපත් වෙද්දී ඔයා ඒ ගැන දෙපාරක් හිතනවා. ඒ වගේම තමයි මේ ඔයාට උදව් කරන්නේ පුෂ්පානන්දගේ පුතයි, එයාගේ නෝනයි කියලා දැනගත්තට පස්සේ දෙපාරක් නොහිතා ඔයා ඒ උදව්ව ප්‍රතික්ෂේප කරනවා. මේ හේතු දෙක නිසාම තමයි අපූර්වා අපි ඇත්ත හංගල ඔයාට උදව් කරන්න තීරණය කළේ. හැබැයි අද යුගාශ් වැරදි නෑ කියලා මම පිළිගන්නේ නෑ. ඔයාගේ හිතට බලාපොරොත්තුවක් දීලා පොරොන්දුවක් දීල එයා කලේ හොඳ දෙයක් නෙමෙයි. ඔයා හරි අහිංසක දරුවෙක්”

නන්දනී දීසියක  තබාගත් ක්ෂණිකව සකසා ගත හැකි රෝල්ස් කිහිපයකුත් බටර් කේක් කැබලි කිහිපයකුත් කුඩා මේසය මතින් තැබුවේ ඔවුන් එසේ කතා කරමින් සිටියදීය. 

අවසන ‘කන්න අපූර්වා…’ යැයි පවසමින් තමාරා ඒ දීසි දෙක පිළිවෙලින් යුවතියන් දෙදෙනා වෙත දිගු කළාය. එහෙත් යුවතියන් දෙදෙනාම කළේ ඒවා ප්‍රතික්ෂේප කිරීමය.

“ඔයා බුද්ධිමත් දරුවෙක්. ඒ නිසා ඔයාට මේ තත්ත්වය තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. යුගාශ් නිවැරදියි කියලා මම මොනම මොහොතකවත් කියන්නේ නෑ. හැබැයි එයා ඔයාට බලාපොරොත්තුවක් දීල ඔයාව රවට්ටලා ඔයාට ලෝකෙට මුහුණ දෙන්න අපහසු විදිහේ කරදරයක් කරලා පැනලා ගියේ නෑ. මේ ඇත්ත මං එයාට තේරුම් කරලා දෙන්න උත්සාහ කලත් එයා ඔයාව  ඕනෙ කියලා මමත් එක්ක ආගියු කරගන්නවා.” 

බිමට හැරවී තිබූ දෑස් විසල්කර අපූර්වා තමාරා දෙස බැලුවේ  ඈ එසේ පැවසුවාට පසුවය. ඒ දෑස් වල වූයේ කෝපයක් නොවන බව විශ්වාසය. අපූර්වා දිගු සුසුමක් මුදා හැරියාය. දින කිහිපයක්ම තමාට වැදගත් යමක් කියන්නට ඇති බව ඔහු පැවසූ අයුරු ඇයට සිහි වූයේත් ඒ හදිසියේමය. 

“අපූර්වා ප්‍රශ්න දිහා අපි බලන්න ඕනේ බුද්ධිමත් විදිහට. එතකොට අපිට ප්‍රශ්න තේරුම් ගන්නත් ඒවා විසඳ  ගන්නත් හරි පහසුයි. මේ වෙද්දි ඔයා මනෝ විද්‍යාව  හදාරන දරුවෙක්. ඒ නිසා ඔයාට යුගාශ් වගේම මාව තේරුම් ගන්නත් අපහසු වෙන්න විදිහක් නැහැ. “

තමාරා  එවර පැවසූයේ යුවතියගේ හිස අත ගාමින්ය. මෙවේලෙහි ඇගේ සිතෙහි ඇති වේදනාව අම්මා කෙනෙකු ලෙස තමාරාට හොඳින් වැටහේ. එනිසාම ඕ වචන හැසිර වූයේ බොහෝ ප්‍රවේශමෙන්ය. යුගාශ් සිදු කරන්නට ගිය සත් ක්‍රියාව අබියස ඔහුව වැරදිකරුවෙකු කරන්නට තමාරාට සිතුනේ නැත. හැඟීම් උපදින්නේ කලින් සිතා මතා සැලසුම් කර නොවන බව විශ්වාසය. ඒ සියල්ලටම වඩා යුගාශ් අමුතු දරුවෙකි. එනිසාම ඔහුගේ තෝරා ගැනීම පිළිබඳව පුදුමයක් තමාරාට නොවූවාය. අම්මා කෙනෙකු ලෙස තමාට පෙනෙන දුර යුගාශ්ට මෙන්ම අපූර්වාටත් පැහැදිලි කර දිය යුතුයැයි ඈ  විශ්වාස කළාය. ඒවා තෝරා බේරා ගෙන පැහැදිලි කර ගැනීම ඔවුන්ගේ වගකීමකි. බොහෝ විට දෙමව්පියන් දරුවන්ට හතුරන් සේ පෙනෙන්නේ මෙවන් තැන්වලදීය. 

“අපූර්වා ඔයා කියන්නේ හොඳම හොඳ දරුවෙක්. මගේ දරුවගේ හිතේ ඔයා ගැන ආදරයක් ලෝබකමක් ඇතිවුණු එක පුදුමයක් විදිහට මම දකින්නේ නෑ. ආදරේදි අපි හැමෝම අන්ධයි. අම්ම කෙනෙකුට තාත්තා කෙනෙකුට පේන දුර අන්න එතනදි දරුවන්ට පේන්නෙ නෑ. ඔයාලා පිළිගත්තත් නොගත්තත් ඒක පැහැදිලි කරලා දෙන එක මගේ යුතුකම අපූර්වා”

යුවතියගේ  අසාමාන්‍ය නිහඬකමත් ඇගේ හැදියාව බව විශ්වාසය. මෙතන සිටියේ වෙනත් අයෙකු නම් ප්‍රශ්න කරමින් තමාව වෙහෙසකරවමින්  බනිමින් දෙස් දෙවොල් තබමින් කෑ ගසනවා මිසක මේ සා නිහඬ වන්නේ නැත. තමාරාගේ සිත්හි ලෝබකමක් උපදින්නේත් එනිසාය.

“ඔයා මට ඉස්සර වෙලා එක පොරොන්දුවක් දෙන්න ඕනේ?”

යුවතිය යළිත් දෑස් එසවූයේ තමාරා එසේ පැවසුවාට පසුවය. තවමත් තමාගේ අත අල්ලා ගත් ඒ දෑත් ගිලිහී නොවැටුණු බව අපූර්වාට සිහි වූයේ එවේලෙහිය. 

“මැඩම්….”

ඒ හඬ තමාරාටත් ඇසුණු නොඇසුණු තරම්ය. 

“පුතේ….ඔයා හිටියට වඩා චුට්ටක් හරි උඩ තැනක අද ඉන්නවා. මොන දේ මොන විදිහකට සිද්ධ වුණත් මේ අම්මා කැමති නෑ ඔයා ආපහු එතනින් පහළට බහිනවා දකින්න. කාලයා ගොඩක් ප්‍රශ්නවලට උත්තර දෙයි. ඒ නිසා ඔයා නොනැවතී මේ ගමන ඉදිරියට යන්න ඕනේ. ඔයා කවද හරි කසාද බඳින පිරිමියාගේ අම්මා නෑ කමට ඔයාගේ නැන්දම්මා. නැන්දම්මා කෙනෙකුට අම්මා කෙනෙක් වෙන්න බැරි කමක් නෑ. හැබැයි ඒකට නෑදෑකමක් දීලා තියෙන්නේ අම්මා ඊට වඩා චුට්ටක් හරි ඉහළ තැනක දරුවෙක්ගේ හදවතේ ඉන්න නිසා. දුව මං ඔයාගේ අම්මා. අම්මා කෙනෙක් කැමති නෑ තමන්ගේ දරුවා ඉන්න තැනින් චුට්ටක්වත් පහළට වැටෙනවා දකින්න. ඒ නිසා ඔයා හිතා ගන්න මේ පොරොන්දුව ඔයා දෙන්නේ ඔයාගේ අම්මට කියලා.”

අපූර්වා හිස වැණුවා පමණි. තවමත් මේ සිදුවන්නේ කුමක්දැයි කිසිදු හැඟීමක් ඇයට නොවූ තරම්ය. හේෂානි කිසිවක් නොඇසීම ඇගේ සිත පුදුමයට පත්කරමින් තිබිණ. තිදෙනෙකුට වාඩිවිය හැකි පුටුවේ එකිනෙකාට ළංව වාඩිවී උන් තමාරා යුවතියගේ හිස සිප ගත්තේ තමා දෙසට හරවා ගෙනය. 

“මමයි යුගාශ්ගේ අප්පච්චියි  අතර සිදුවුණු සමහර දේවල් යුගාශ් ඔයාට කියලා ඇති. අපි අතර තිබුණු එකම ගැලපීම වුණේ මම සල්ලි තියෙන පවුලක දුවෙක් වීමත් එයා මිල මුදල්වලට අසීමාන්තික විදිහට ලෝබ වීමත් විතරයි. අනිත් කිසිම තැනකදී අපි අපට ගැළපුණේ නෑ. පුෂ්පානන්දට අනුව මම හැමදාම කිසි දෙයක් නොදන්න නූගත් ගැහැණියක් වුණා. එයා දවසින් දවස ඉහළට ගියා. දවසින් දවස ජනප්‍රිය වුණා. දවසින් දවස මිනිස්සු එයා ගැන කතා කරන්න පටන් ගත්තා. එයාවත් බලාපොරොත්තු නොවුණු අසීමිත ජනප්‍රියත්වයක් එයාට ලැබුණා. ඒ නිසාම එයාට සල්ලි හැම පැත්තකින්ම ගලාගෙන එන්න පටන් ගත්තා. මිනිස්සු පුෂ්පානන්ද තමන්ගේ නඩුවේ ලෝයර් කරගන්න ඉල්ලන ඕනම ගානක් දෙන්න දෙපාරක් හිතුවේ නෑ. මෙන්න මේ තැන්වලදි අපූර්වා එයාට මාව ලෝකෙට පෙන්නන්න බැරි තරම් නූගත් ගැහැණියක් වුණා. අපි අතර ඇතිවෙච්ච හැම ප්‍රශ්නෙකදිම එයා කිව්වේ උඹ නිකම්ම නිකන් ඒ ලෙවල් විතරක් පාස් වෙච්ච ගෑනියෙක් කියලා. උඹ මොනවද දන්නේ කියලා. එදා ඉඳලා මගේ හිතේ තදින්ම තිබුණු දෙයක් තමයි අපූර්වා,  දෙන්නෙක් එකතු උනහම ඒ දෙන්නගේ ජීවිතය සාර්ථක වෙන්නනම් තමන්ගේ පැලැන්තිය මිල මුදල් වගේම උගත්කමත් බලපානවා කියල. එදා මට වෙච්ච දේ මගේ පුතා නිසා  ඔයාට වෙනවට මං කැමති නෑ. මේ හිතේ ඔයා ඉන්නේ යුගාශ් වගේම සමාන තැනක. මං ඔයාගේ අම්මා කියලා මං කිව්වේ ඒ නිසා.”

අවසන් වදන් කිහිපය පවසද්දී තමාරාගේ හඬ බිඳී යමින් තිබිණ. ඈ සිය ඇඟිලි තුඩු වලින් දෑස් මුල මිරිකා ගත්තාය. 

“පුතේ….මං මේ උස් මිටකම්  ගැන මතක් කරලා ඔයාව රිද්දවනවා නෙමෙයි. යථාර්ථය කියන දේ ඔයාට පැහැදිලි කරලා දෙනවා. ඔයාගේ අම්මා සමහරවිට පියවි සිහියකින් හිටියනම් අද ඔයාට මේ ටික මේ විදිහටම කියලා දෙයි. යුගාශ් කියන්නේ සමාජ තත්ත්වයක් තියෙන දරුවෙක්. හොඳ පැලැන්තියක් තියෙන දරුවෙක්. ඒ වගේම අපිට එක තැනක නතර කරගන්න බැරි දවසින් දවස ඉහළට යන දරුවෙක්. මේ සමාජය මිනිස්සු මනින විවිධ ක්‍රම තියෙනවා. ඒවා නිවැරදි නොවන බව දැනගත්තත් අපිට මේ සමාජෙ ගැවසෙද්දි ඒ ගැන දෙපාරක් හිතන්න වෙනවා. යුගාශ් යන තරම් දුරක් ඔයාට යන්න බෑ පුතේ. එතැනදී යුගාශ්ට ඔයාව මදිකමක් වුණොත් ආපහු හැරිල යන්න තැනක් ඔයාට නෑ. මම ජීවත් වෙලා හිටියොත් ඒ අසාධාරණය ඔයාට කරන්න ඉඩ දෙන්නත් මට බෑ. එහෙම උනොත් ඔයාගේ ජීවිතේ හැම තත්පරයක්ම ඔයාට ගත කරන්න වෙන්නේ කඳුළුත් එක්ක. හරියට මට වගේ. ඒ වේදනාව කිසිම ගෑනියෙක් විඳින්න ඕනෙ නෑ. දෙන්නෙක් ආදරෙන් එකට බැඳුනහම එයාල නොදකින දුර තමයි මේ. සමාජෙ ජීවත් වෙන එක ආදරේ කරන  තරම් ලේසි නෑ. එතනදි මං මගේ පුතා උනත් විශ්වාස කරන්නෙ නෑ අපූර්වා. බුද්ධිමත් දරුවෙක් විදිහට ඔයා තේරුම් ගන්න ඕනේ මං මේ කියන දේ.” 

අපූර්වා හිස වැඩුවේ “ඔව්” යැයි කියමින්ය. තමාරා පවසන්නේ කුමක්දැයි ඇයට හොඳින් වැටහේ. 

ඔයා දන්නව ඇති මේ වෙද්දි යුගාශ්‍ගේ අප්පච්චි අසනීපෙන්. යුගාශ්ට මට මේ  කිසි දෙයක් තේරුම් කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි දරුවෝ මේ. අපූර්වාට  පුළුවන්නම් මේ ඇත්ත තේරුම් ගන්න. පුතේ අපි නැකතක් හදලා ඉක්මනට ගෙදර පදිංචි වෙමු. මේ අම්මා ඔයාගේ ලඟ හෙවනැල්ලක් වගේ හැමදාම ඉන්නවා. සමහර විට මේක මගේ නොලැබීම අවාසනාව වෙන්න ඇති. දෙන්නෙක් සතුටින් ජීවත්  වෙන්නනම් පුතේ මිනිස්සුන්ගේ හැඟීම් වගේම එයාලගේ පවුල් පරිසරයත් එක වගේ සමාන වෙන්න ඕනේ. ඒ දෙන්නා ගමන් කරන්න ඕනේ එක පාරක. එක්කෙනෙක්වත් චුට්ටක්වත් පහු බහින්න බෑ.”

දිගු සුසුමක් මුදා හල අපූර්වා නැගී සිටියේ තමාරා එසේ පවසද්දීය. 

“මට සමාවෙන්න මැඩම්…”

මහත් ආයාසයක් ගෙන අවසන ඈ එසේ මිමිණුවාය.

“සමාව ඉල්ලන්න ඕනේ මම පුතේ.”

අපූර්වා ඉස්සර වූයේත් හේෂානි ඒ පසුපස වැටුණේත් තමාරා තවත් යමක් පවසන්නට ප්‍රථමවය. 

“පුතේ ටිකක් ඉඳලා යන්න..”

තමාරා එසේ පැවසුවත් තත්පරයක්වත් නතර වන්නට සිතක් අපූර්වාට වූයේ නැත.

(යළිත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here