ඔබෙ ආදරෙන් මා දැවේ – 40

0
1796

“ඔයාට මං සලකපු විදිය වැරදියි කියලා මම නොදන්නවා නෙවෙයි ජාන්වි. මටත් ඇත්තටම ඒක තේරුණේ ඔයායි මායි මේ වෙන් වෙලා ගෙවිච්ච කාලෙ ඇතුලෙ. මං ඔයා ගෙදරින් ගියපු එක හරි සරලව හිතන්න ගත්තට ඒක එහෙම නෑ කියලා මට තේරෙන්න ගත්තෙ ඔයා ගියාට පස්සෙ” කියා මලිත් කියාගෙන කියාගෙන යද්දීත් ජාන්වි උන්නේ කිසිවක් කියාගන්න පුලුවන් මානසිකත්වයක නොවේ. අම්මාත් තාත්තත් විටෙන් විට පැමිණ දොරවල් ජනෙල් අස්සෙන් එබිකම් කර බලද්දී ඒ නොදැක්කා සේ ඉන්න පුලුවන් උනද ගේ ඇතුලට ගිය විගස අම්මාගේ ප්‍රශ්නවලින් බේරෙන්න ක්‍රමයක් තමන්ට නැති බව ජාන්වි නොදන්නවා නොවේ. එහෙත් හිත උන්නේ තමන්ගෙන්ම ප්‍රශ්න කරමිනි. මලිත් කියන දේවල්වල අගමුල ලෙහාගන්නට බැරුවය.

“දැන් ඒව ගැන කතාකරලා තේරුමක් නෑනෙ මලිත්. අපි දැන් කතාකරන්න ඕන හැමදේම කතාකරලා ඉවරයි. ගන්න ඕන ඩිසිශන් එක මොකද්ද කියල ඩිසයිඩ් කරලත් ඉවරයි. එහෙම එකේ ආයෙ කතාව මුල ඉඳලම කරන එක කිසිම තේරුමක් නැති දෙයක්. ඔයාට තියෙන්නෙ ඔයාගෙ ලෝයර්ට මගේ ලෝයර්ට කතාකරන්න කියන එකනෙ” කියා කිව්වද හිත උන්නේ තව බොහෝ දේ කියන්නට යෙදෙමිනි.

“ඔව් ඇත්ත, ඒ උනාට ඔයාට හිතෙන්නෙ නැද්ද අපිට ඒ හැමදේම වෙනස් කරගන්න, ආයෙ වතාවක් මේ හැමදෙයක්ම දිහා බලන්න මේක චාන්ස් එකක් කරගන්න පුලුවන් කියලා” මලිත් අහද්දී ජාන්විගේ දෙතොල් මතට හිනාවක් ආවේ නිරායාසයෙනි. ඒ වනාහී සමච්චල් සහගත සිනාවකි. 

“චාන්ස් එකක්? ඔයා හිතනවද මලිත්  මේ එක එක චාන්ස් දිදී ඉන්න අපිට තියෙන්නෙ අවුරුදු දහස් ගාණක් ජීවත්වෙන්න පුලුවන් ජීවිතයක් කියලා? චාන්ස් දිදී බලන්න පුලුවන් ලෙවල් එක අපි පහුකරලා ඇවිල්ලා සෑහෙන කල් මලිත්. මං හිතන්නෙ නෑ එහෙම එකේ අපිට මේකට තව චාන්ස් එකක් දෙන්න පුලුවන් කියලා. අනික මං ඔයාට චාන්ස් දීලා නැතුව නෙවෙයි නේද? ඔයා අද වෙනස් වෙයි හෙට වෙනස් වෙයි කියලා මම කොච්චර නම් බලාගෙන හිටියද? ඒත් ඒ කිසිම දෙයක් එහෙම උනේ නෑ. ඔයා ඒ කිසිම චාන්ස් එකකින් ගන්න පුලුවන් කිසිම දෙයක් ගත්තෙත් නෑ. එහෙම එකේ මේ වතාවෙත් ඔයා එහෙම නොකරාවි කියලා හිතන්න තරම් මට තියෙන විශ්වාසෙ මොකද්ද? 

ආයෙ පාරක් මට දුක්විඳින්න වෙයි කියලා නොහිත ඉන්න තරම් තියෙන විශ්වාසෙ මොකද්ද?” කියා ජාන්වි අහද්දී ඇත්තටම මලිත්ට කියන්න දෙයක් තිබ්බේ නැත.

විශ්වාසෙ කියන්නේ එහෙම දේකි. එකවතාවක් විශ්වාසය බිඳිච්ච තැන ආයෙ වතාවක් එහෙම දෙයක් නොවේයැයි හිතන්නට අපහසු බව මලිත් නොදන්නවා නොවේ. එහෙත් තමන්ට දැන් රැඳෙන්න වෙන තැනක් නොමැත. එහෙම එකේ අල්ලගන්නට ගිය කිරිල්ලිය පියඹා ගිය තැනක අතේ රැඳී ඉන්න කිරිල්ලියට ඉවත පියඹා නොයන්නට ඉඩ දෙනු මිස වෙන කරන්න දෙයක් මලිත් දැනගෙන උන්නේ නැත.

ජාන්වි උන්නේ එදා මේ සියල්ල ගැන කල්පනා කරමින් ය. අම්මාත් තාත්තාත් කොහොමත් තමන් ආයෙම වතාවක් මලිත් එක්ක එකතුවෙන එක ගැන යටි සිතෙන් හෝ සතුටු වන බව දැන උන්නද ඒ තමන් සිතු දෙය හැබෑවක් බව ජාන්විට පවා තේරුනේ අද අම්මාත් තාත්තත් කල කතා බහෙනි.

“ඒ ළමයාටම ඒ ළමයගෙ වරද තේරිලා ඇවිල්ලා කියනවනම් තව චාන්ස් එකක් දෙන්න කියලා නොදෙන්නෙ ඇයි කියලා මට ඇත්තටම හිතාගන්න බෑ” කියා අම්මා කියද්දී ජාන්වි උන්නේ ඒ කතාවට දිය යුතු පිළිතුර හිතෙන් ගැටගසමිනි.

“ඇවිත් කතා කරේ වරද තේරිලාද එහෙම නැත්තම් වෙන කේස් එකක් නිසාද කියන්න මම දන්නෙ නෑනෙ අම්මේ. අපි දන්නවද මොනවා හිතාගෙනද ඔහොම ආවෙ කියලා. අනික මං දැනගෙන උන්න මලිත් කියන්නේ මේ ඔහොම ඇවිත් තමන්ගෙ ගෑනි ඉස්සරහවත් පීචං වෙන එකෙක් නෙවෙයි” තමන් එහෙම කියද්දී අම්මාත් තාත්තාත් අතර හුවමාරු උන බැල්ම තේරුම් ගන්න ජාන්විට නොහැක. අනෙක් අතට ඒ බැල්ම කුමක්දැයි තේරුම්ගන්නට හිත වෙහෙසකරවන්නට හයියක් ඒ මොහොතේ ජාන්විට තිබ්බේ නැත. තමන්ගේ ජීවිතය ලියවෙන්නේ තමන් කිසිදාක නොසිතූ අන්දමකින් බව තේරෙන තැනක අනිත් දේවල් ගැන අවධානය යොමු කරන හිතට තවත් බරකි.

“ඔව් ඉතින් අපි කොහොමත් ඒ මනුස්සයව දන්නෙ නෑනෙ. ඔයානෙ එයාව දන්නෙ. එහෙම එකේ ඒ මනුස්සය ඔය කියන විදියට දෙපතුල ලඟට ඇවිල්ලා අඬා වැලපෙන්නෙ ඒ මනුස්සයා වෙනස් වෙච්ච හන්දා කියලා තේරුම්ගන්න පුලුවන්කමක් තියෙන්න ඕන නේද? 

ඔච්චර සැකෙන් හැමදාම දිහා බලන්න එපා ළමයො. සමහරවිට ඒ ළමයට තමන් කරගත්ත වරද තේරිච්ච හන්දා වෙන්නැති නේද? මං කියන්නෙ එහෙම එකේ පොඩ්ඩක් ඔය දරදඬු හිත මෙලෙක් කරගත්තා නම් මොකද වෙන්නේ?”

“එහෙම මෙලෙක් කරගෙන ආයෙ හිත පුච්ච ගන්න උනොත් එදාටත් අම්මල බණින්නෙයි වැරදි කියන්නෙයි මට නේද?

ඔයාලට ප්‍රශ්නෙ මං මේ ගෙදර ඉන්න එක නම් කෙලින්ම කියන්න. නංගිගෙ නමට ලියලා තියන හන්දා මං මෙහෙ ඉන්න එක ප්‍රශ්නයක් කියලා. නිකන් මෙතන මේ මම මහ ලොකු වරදක් කරපු ගානට කතාකරන්නෙ නැතුව. සමහරවිට ඔයාලටත් ප්‍රශ්න ඇතිනෙ මම මේ නංගිට ලිව්ව ගේක හිඟන්නෙක් වගේ වැටිලා ඉන්න එක නේද? මං දන්නෙ නෑනෙ නංගිත් මොනවා කියනවද කියලා මෙහෙට යන එන වතාවල්වල” කියා අහද්දිත් කඳුලු තිබ්බේ ඇස් අග්ගිස්සටම ඇවිත් ය.

“මොනවද ළමයො මේ කියන ඕන්නැති කතන්දර? අර මේ දරුවෙක් හම්බෙන්න ඉන්න අහිංසක දරුවට මේ වගේ අමනුස්ස කතන්දර කියන්න හැබෑවටම කටේ ගෙඩි දාන්න ඕනනෙ. ඔයාම නේද ඔය ප්‍රශ්නෙ පැටලුනෙයි අන්තිමේ ඔය ප්‍රශ්නෙන් එලියට ආවෙයි? නිකන් මේ අපිට දොස් කියන්නෙ අපි හරියට කරලා දුන්නා වගේනෙ.

අපි මේ මෙච්චර කියන්නේ අපි නැති කාලෙක තමුන්ට ඉන්න හිටින්න තැනක් තියා තමන්ගෙ කියලා කෙනෙක් නැති හන්දා. නැතුව මෙතන මේ අපිට කිසි කැක්කුමක් නැතුව නෙවෙයි”

“අම්මලට කොහොමත් ඉතින් ඉස්සර ඉඳලම වැරදියට පෙනුනෙ මාවනෙ. මං තමයි හැමදේටම වැරදි. කාටවත් තේරෙන්නෙ නෑ මගෙ හිතේ තියෙන වේදනාව කොච්චරද කියලා?” මහ හඬින් අසා අඬාගෙන මෙන් ජාන්වි උඩට දුවගෙන යද්දී මනෝරමාත් ධර්මවර්ධනත් කරේ ගැඹුරු හුස්මක් හෙලා කල්පනාවක් අස්සේ ගිලෙන එකය.

දරුවෝ තමන්ගේ ජීවිතවලට එකතු කරගන්න ප්‍රශ්නවලින් දුක් විඳින්නේ දරුවන් විතරක් නොවේ. දෙමව්පියන්ද ඒ ප්‍රශ්නවලින් දුක් විඳිති. මනෝරමාත් අනිල් ධර්මවර්ධනත් උන්නේ එයාකාර වේදනාවකින් පීඩා විඳිමිනි. තමන් කුළුඳුලේ අතට ගත්, තමන්ව කුළුදුලේ අම්මෙකුත් තාත්තෙකුත් කල දරුවාට තමන්ගේ විවාහය නිසාවෙන් මෙයාකාර වේදනාවක ගිලී ඉන්නට වීම ගැන සරලව, සැහැල්ලුවෙන් බලන්න පුලුවන්කමක් ඔවුන් දෙදෙනාටම තිබ්බේ නැත.

එහෙත් ජාන්වි උන්නේ එය තේරුම්ගෙන නොවේ. තුරුණුට ඇමතුමක් ගියේ ඒ අනුවය.

“අපේ අම්මලා එක්ක මට මේ ගෙදර ඉන්න බෑ තුරුණු, ප්ලීස් මට ඉන්න තැනක් හොයලා දෙන්න. අඩුම මේ ඩිවෝස් එක ඉවර වෙනකම් හරි ඉන්න තැනක් මට හොයලා දෙන්න” කියා ජාන්වි වැලපෙද්දී දුරකතනයෙන් එහා පැත්තේ තුරුණු උන්නේ හිත කීරිගස්සගෙනය.

“මොකද්ද උනේ?”

“මං වැඩ ඉවරවෙලා ගෙදර එද්දි මලිත් ඇවිත් උන්නා”

“ඇයි ඒ?”  

“එයා කියනවා අපි ආයෙ පාරක් සෙට්ල්මන්ට් එකකට යන් කියලා”

“ඉතින්?”

“අම්මලා කියන්නෙත් එහෙම කරලා බලන්නලු. මනුස්සයෙක් එක වතාවක් වරදක් කරාට ආයෙ ආයෙ ඒ වරදම කරන්නෙ නෑලු. හිත මෙලෙක් කරගන්නලු. හිත මෙලෙක් කරගෙන මම ආයෙ වතාවක් කරදරේක වැටෙන්නද? ඇයි අපේ අම්මලට තේරෙන්නෙ නැත්තෙ ඒක? 

අනික මට උවමනා නම් මලිත් එක්ක ආය සෙට්ල් වෙන්න මට ඒ තීරණේ ගන්න බැරිකමක් නෑ. ඒක මේ අපේ අම්මල මට ඇඟිල්ලෙන් ඇණ ඇණ කියන්න ඕන නෑ. අනික මලිත් වෙනස් උනත් එහෙම ඒ වගේ ඩිසිශන් එකක් මට හදිස්සියේ ගන්න බෑ නේද?

අනික අපේ අම්මලා ඒකට ඇඟිලි ගහන්න ඕන නෑනෙ. මට පුලුවන් ඒ ඩිසිශන් එක ගන්න”

“ඔයා හිතන් ඉන්නෙ ඒ ඩිසිශන් එක ගන්නද?”

“මොන එකද?”

“ආය මලිත් එක්ක සෙට්ල් වෙන එක?” කියා තුරුණු අහද්දී එක තප්පරේකට “තුරුණු මං ගැන හිතාගෙන ඉන්නෙ කොහොමද?” කියා බලන්නට පොඩි සෙල්ලමක් දාන්න ජාන්විට හිතුණාය.

“මට වෙලාවකට හිතෙනවා තුරුණු ඒක තමයි මට ඉතුරුවෙලා තියෙන එකම ඔප්ශන් එක කියලා” ජාන්වි කියද්දී තුරුණු හයියෙන් හුස්මක් ගෙන ඉතිරිය කියන්නට හිත හයිය කරගත්තේය.

“වෙන ඔප්ශන් එකක් තියෙනම් ඔයා ඔය ඔප්ශන් එක නොගෙන ඉන්නවද?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here