යුතුකම් සහ ආදරය

“ලොකු හාමිනේ,ඔය මදැයි මහන්සි වුණා.ඊටපස්සෙ පුංචි නෝනලා එනකොට කොන්ද අල්ලන් ඉන්න ගත්තම මං තමා බැනුම් අහන්නෙ..”

වීරසේකර ඉස්කෝලේ හාමිනේ පොළොස් ඇඹුල ලිප තියනකොටම මල්ලිකා කිව්වේ මහ සද්දෙට.ගෙදර අත්උදව්කාරි වුණාට මොකෝ මල්ලිකා තමයි දැන් වීරසේකර ජෝඩුවගේ බාරකාරි වෙලා ඉන්නේ.එකම දූ කසාදෙන් පස්සෙ කොළඹ පදිංචියට ගිය නිසා නෙවෙයි වීරසේකර හාමිනේලට මල්ලිකාගේ පිහිට පතන්න වුණේ.

ලෝකෙටම පොදු වසංගතේ නිසා.

ලොකු හාමිනේලාගේ දූ, රවින්දිට සංචරණ සීමා හින්දායි අම්මලාට ලෙඩ බෝවෙනවට තියෙන බයටයි මහ ගෙදර පලාතක එන්න වුණේ නෑ.රවින්දිටයි කුසල්ටයි අසනීපේ කොයි මොහොතකවත් හැදෙන්න එපා කියලා ලොකු හාමිනේ බාර නොවුණු දෙවියෙක් නැති තරම්.ඒත් මේ වෙලාවේ දෙවියෝ පවා අසරණයි.

“අම්මේ, බය වෙන්න එපා හොඳේ.අපිවත් පොසිටිව් වෙලානෙ.”

සමහර ආරංචිවල බර වැඩි වුණාම ඒ පණිවිඩ ගේන්නේ කුසල්.මේ පාරත් නපුරු ආරංචිය දෙන වගකීම බෑනා වුණු කුසල්ට පැවරුණා.ඒ ආරංචිය අහපු වෙලාවේ ඉඳලා වීරසේකර ජෝඩුවගේ ඇහැ පියවුණේ නැති ගාණයි.මල්ලිකා වදෙන් පොරෙන් බෙදලා අතටම දෙන බත් පිඟාන වුණත් වැඩිපුර ගියේ කුරුළු ලෑල්ලට.

“අනේ අමාරුවක් නෑ අම්මේ..”

රවින්දි තිස්සෙම එහෙම කිව්වත් ලොකු හාමිනේ හිටියේ වේදනාවෙන්.
හිසරදයක් හැදුණත් ඇඳ බදාගෙන කෙඳිරි ගාන කෙල්ල ඔච්චර ලොකු අසනීපයක් කොහොම උහුලන්නද?

Daughter and mother love

ලෙඩ දුක් ඉවර වෙලා, ලොකු හාමිනේලාටත් වසංගතේට දෙන එන්නත් ලැබුණටත් පස්සෙ තමා රවින්දි ගමේ එන ආරංචිය කිව්වේ.අම්මා අප්පච්චි පරිස්සම් කරන්න ඕනෑ හන්දාම හැඟීම්වලට ඉඩ දීලා ගමට දුවන්න බෑ කියලා රවින්දි අමාරුවෙන් වුණත් තේරුම් අරන් තිබ්බේ.

ඒ ආරංචිය ආපු වෙලාවේ ඉඳන් ලොකු හාමිනේ ගමකට කෑම හදනවා.මල්ලිකාගෙන් අත් උදව් විතරයි.ඔච්චර කෑම ජාති හැදුවට පුංචි නෝනාගෙ කුරුළු බඩට ඕවාගෙන් බාගයක්වත් නොයන තරම් කියලා මල්ලිකාට හිතුණා.ඒත් නොකියා හිටියේ අම්මා කෙනෙකුගේ සතුටට බාධා කරන්න නරක නිසා.

රවින්දිලාගේ කාර් එක මහ ගෙදර ගේට්ටුවෙන් ඇතුළට එනකොටම ලොකු හාමිනේට හුස්ම ගන්නත් අමතක වුණා කියලයි මල්ලිකාට හිතුණේ.ලෙඩ වුණාට මොකෝ පුංචි නෝනා ඇදිලා ගිහිල්ලත් නෑ.

“ඒ ලෙඩේට දෙන්නේ විටමින් ජාතිනෙ මල්ලිකා නැන්දේ.මං ලස්සන වෙලා නේද?”

රවින්දි සිලිසිලියේ හිනා වෙවී එහෙම කියද්දී මල්ලිකාටත් හිනාවක් ඉපදුණා.

“මල්ලිකා නැන්දේ, මං ඔයාට ඇඳුමක් ගෙනාව.අම්මලා බලා ගන්නවට දෙන්න දේකුත් නෑනෙ.”

රවින්දි එහෙම කිව්වට ආපහු යනකොට මොණරෙක් දෙන්නෙක් අතමිට මොලවනව කියල මල්ලිකා දන්නවා.

“මං අම්මටයි මටයි ඇඳුම් බලන්න ගියා.අනේ හොඳ ඒවා එකක්වත් නෑනෙ අම්මේ..”

රවින්දි එහෙම කියද්දී ලොකු හාමිනේගේ මූණට මොකක්දෝ වේදනාවක් ඇවිල්ලා බව දැක්කේ මල්ලිකා විතරයි.රවින්දි පුංචි නෝනා ඔය මොකක්හරි කඩේකින් ගන්න ඇඳුම තමන්ට වටින බව ඇත්ත.ඒත් ලොකු නෝනාට ඇඳුම් ගන්නේ කොළඹ මහ සාප්පුවලින් කියල මල්ලිකානම් නොදන්නව නෙවෙයි.

Mother and daughter smiling

“මල්ලිකා, ගෙදර යනකොට මේව අරන් යන්න.මං ඔයාගෙ බබාලට ගෙනාවෙ.දැන් කොහෙවත් යැවෙන්නෙත් නැති හන්ද පොඩි උන්ට චොකලට් කෑල්ලක්වත් කන්නත් නෑනෙ.”

ගෙදර අත්උදව්වට එනවනම් එහෙමෙහෙ රවුම් ගහන්න එපා කියලා රවින්දිගේ නියෝගයක් ආව නිසාම මල්ලිකාත් කොහෙවත් යන්නේ නෑ.පොඩි උන්ට ඉස්කෝලේ වැඩ කරන්න කියලා ටැබ් එකක්ද මොකක්දත් ගෙනල්ලා දුන්නේ පුංචි නෝනාමයි.

“අප්පේ ඒ අතින්නම් මහ දෙන්නගෙම පලුවක්..”

මල්ලිකා හිතන්නේ සන්තෝසෙට.

“සුදු දූ ඕනෑකරන බෙහෙත් සේරම ගෙනල්ලා නේද මැණිකේ?”

ලොකු මහත්තයා මේසය උඩ තියන පාර්සල් පෙරළන ගමන් අහනකොට මල්ලිකා හිටියේ කුස්සිය අස් කරන ගමන්.දරුවන්ට උගන්නලා හොඳ තැනකට යැව්වම මෙහෙම සැනසිල්ලක් තියෙනව කියල මල්ලිකා හිතුවේ පිඟන් හෝදන අතරේ.රවින්දි කාමරේට වෙලා නිදි.කුසල්නම් කැමරාවකුත් උස්සාගෙන එළියේ එහෙමෙහෙ ඇවිදිනවා.

“බෙහෙත්නම් සේරෝම ගෙනල්ලා.දරුවන්ට වැඩියෙන් ලැබෙන්න ඕන..”

අම්මා තාත්තට මුදලින් හදලින් අඩුවක් නැතත් දරුවෝ ඒව හොයලා බලනකොට වැඩියෙන් දැනෙනවා ඇති කියල මල්ලිකා හිතුවා.කුඹුරුවල කුලියට ගොයම් කපලා මහන්සි වෙලා ගෙදර ගියාම අම්මගේ කකුලේ සිද්ධාලේප ගාන්නද කියලා පොඩි පුතා අහනකොට උගුරට එන දැවිල්ල මල්ලිකාට මතකයි.

“මහත්තයට මතකද අපි ඉස්සර කොහෙහරි ගිහින් එනකොට සුදු දූ ඉස්සරහට දුවගෙන එනව.මට මොනවද ගෙනාවේ අහගෙන..”

ලොකු හාමිනේ එහෙම කියනකොට මල්ලිකාට යමක් තේරුම් ගියා.බෙහෙත්ජාති ටික මාස ගාණකට අරන් ආවට පුංචි නෝනාට බිස්කට් පැකට් එකක් ඇපල් ගෙඩියක්වත් ගේන්න තිබ්බා.

“අපිත් එහෙම බලාගෙන ඉන්නවද හිතෙනව මහත්තයා..”

ලොකු නෝනාගේ කටහඬේ තියෙන්නේ වේදනාවක්.ලොකු නෝනා උයා පිහාගෙන බලාගෙන හිටියේ ආදරේ පුරවාගෙන කියල ඇසින් දුටු සාක්කිකාරි මල්ලිකා.පුංචි නෝනාටත් යුතුකම එක්ක ආදරෙත් පොඩ්ඩක් තවරන්න තිබ්බා.
බෙහෙත්වලට මොණරු විසි කළාට කන්න බොන්න දෙයක් ගන්න මහ ගාණක් යනවයැ.

“මල්ලිකා නැන්දේ..”

රවින්දිගේ කටහඬට මල්ලිකා උඩ ගිහින් බිම වැටුණා.ඇත්තටම රවින්දිගෙ ඇස් රතු වෙලා තියෙන්නේ නින්දේ සැරටම වෙන්න බෑ කියලා මල්ලිකාට නොහිතුණා නෙවෙයි.

“කෝ අර අපේ අම්මගෙ අවන් එක..”

රවින්දි එහෙම අහනකොට උත්තර දුන්නේ කුස්සියට ආව ලොකු හාමිනේ.

“ඒකෙන් එහෙමකට වැඩක් ගන්නේ නෑනෙ පුතේ.මං කබඩ් එකට දැම්මා.ඇයි?”

රවින්දි අම්මා දිහා බැලුවේ ආදරෙන්.

“අම්මලට කන්න කඩවල්වලින් මොනවත්ම ගත්තේ නෑ අම්මේ.බයටම.මං අම්මලට කන්න අඩු සීනි දාලා කේක් එකක් හදන්නං..”

පාට අඩුවෙලා තිබ්බ ලොකු හාමිනේගේ මුහුණ ආයේම සිරියාවන්ත වෙන හැටි මල්ලිකා බලන් හිටියේ පුදුම සන්තෝසෙකින්.

More Stories

Don't Miss




Latest Articles

සැරිසරන්නී -16

මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ...

අතීත සුළඟ.

බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න...

මතක දිගහැරුම 103 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය තුන්වන දිගහැරුම ,කොළඹ ප්‍රදේශය පුරාම හෂාන් නොගිය තැනක් නැති තරම් විය.විශාල වශයෙන් ඡන්ද රැස්වීම් පැවැත්වුණු අතර ඇතැම්...

ගැබ් ගැනීමෙන් තොරව ලිංගිකව එක් වීමට සුදුසු දින යෝනි ශ්‍රාව ඇසුරෙන් හඳුනා ගනිමු.

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දින ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර...

නිලැසි -24

" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.."තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ...