මලිත්ට ලෝයර් කෙනෙක් හොයාගන්න සිද්ද වුනේ ජාන්වි කිසිසේත්ම තමන් විසින් කියන්නට යෙදුන කතාව ගැන පොඩ්ඩක්වත් හිතා බලා නැති බව තේරුම් යද්දීය. “ආයෙ අපි සෙට්ල් වෙමු” කියා තමන් කියද්දී ජාන්වි එක පයින් එයට එකඟ වේයැයි තමා සිතුවද අන්තිමේ සියල්ල නොසිතුව අතට හැරි ඇති බව දැනෙද්දි මලිත් කෝප වුණේය.
ඒ කෝපය පිටාර ගියේ ජාන්වි මතිනි.
“තමුසෙ, තමුසෙ මෙතන මේ මට පාට් දාන්න හිතාගෙන වෙන්නැති නේද?” කියා මලිත්ගේ දුරකතන ඇමතුම තර්ජනයක් එක්ක තමන් වෙත ඇදි එද්දිත් ජාන්වි උන්නේ තුරුණු ළඟය. තුරුණුගේ බෝඩිම අස්කරන්නට උදව් කරමින් ය.
“මලිත් කතාකරන්නෙ” කියා ජාන්වි දෙතොල් ඇත් මෑත් කර කියද්දි තුරුණු “ලවුඩ්ස්පීකර් දාන්න” කියා කිව්වේ මලිත් කරන තර්ජනය අහගන්නට බලාපොරොත්තුවෙනි.
“ඔයා නේද මලිත් මට දාපු හැම පාට් එකක්ම දැම්මෙ? මං ඔයාට කිසිම පාට් එකක් දැම්මෙ නෑනෙ. ඔයාම මට ඉන්නවා නම් ඉන්න යනවා නම් යන්න කියලා දැන් මං ගියාට පස්සෙ ඇයි මේ මං වරදක් කරා වගේ කතාකරන්නේ?” කියා කියද්දිත් ජාන්විගේ ඔලුව තිබුනේ ඇදුම්කන්නට අරගෙනය. මේ වනාහී කවදාවත් අවසන් වෙන ප්‍රශ්නයක් වන්නට නොහැකි බව සිතෙද්දී ජාන්වි අසරණ දෙනෙතින් තුරුණු දෙස බලද්දී තුරුණු උන්නේ මුහුණෙන්ද, ඉරියව් වලින්ද “කලබල වෙන්නෙපා මං ඉන්නවනෙ” කියා ආදරයේ මුදු පවන් රැල් එවනින් දැවෙන හිත නිවන්නට කටයුතු කරමිනි.
“තමුසෙ හිතාගෙන ඉන්නෙ මේ අලුතෙන් රස්සාවකට එහෙම ගියා කියලා තමුසෙට මේ හඳ අල්ලන්න පුලුවන් වෙයි කියලා. තමුසෙට ඕන හන්දනෙ ඩිවෝස් එක දැම්මෙ. හරි බලමු. තමුසෙ මොනවා ඔප්පු කරලද ඩිවෝස් එක ගන්න යන්නේ? මම දෙන්නෙ නෑ ඩිවෝස් එක. පුලුවන් දෙයක් කරනවකො බලන්න” කියා මලිත් කියද්දී මලිත් ඉන්නෙ හරි සිහිකල්පනාවකින් නොවේද කියා හිතන්නට තරම් ඔහුගේ ස්වරය වෙනස් වී ඇති බව ජාන්විට නොතේරුනා නොවේ.
“මලිත්ට මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වෙලා මං හිතන්නෙ, එයා කවදාවත් ඔහොම හැසිරිලා නෑ” කියා එහා පැත්තෙන් ඇමතුම විසන්ධි වූ බවට අඟවන බීප් බීප් නාදහ ඇහෙද්දි දුරකතනය මේසය උඩට විසිකල ජාන්වි තුරුණු දෙස බලා කිව්වේ ඇඳ උඩ වාඩිවෙන ගමන් ය. ගැඹුරු හුස්මක් පිට කරන ගමන් ය. තමන් ආදරය කරන කෙල්ලගේ හුස්මක රැඳිච්ච වේදනාව තමන්ගේ පපුවෙ විත් වැදෙන්නෙ කුණාටුවක වේගයෙන් බව තුරුණුට තේරුණෙ ඒ මොහොතේය.
“ඔයාට මං ඉන්නවනෙ. ඔයා මලිත් කියන දේවල් ගැන ලොකුවට හිතන්න යන්න එපා” කියා තුරුණු කිව්වට ජාන්වි උන්නේ එලෙස හිත පහසුවෙන් අස්වසාගන්න තැනක නොවේ.
“ලොකුවට හිතන්නෙ නැතුව ඉන්නෙ කොහොමද තුරුණු? ලොකුවට හිතුවෙ නැති හන්දා නේද මේ හැම කරදරේකම මට පැටලෙන්න උනේ. දැන් මේ යන්තම් බේරීගෙන යන්න පුලුවන් වෙද්දි, ඔයා මොක උනත් ගැලවිල්ලට ඉන්නවානෙ කියල දන්නවා වෙද්දිත් මේ මනුස්සයා මොන එහෙකට මෙහෙම මගෙන් පලීගන්න එනවද කියලා මට හිතාගන්න බෑ” කියා ජාන්වි කඳුලු බිංදුවක් දෙකක් හලද්දී තුරුණු කරේ ජාන්වි ඉදිරියේ හිටගෙන ඇගේ හිස තමන්ගේ කුසට තද කරගෙන ඇයව අස්වසන එකය.
“එයා ඩිවෝස් එක දෙන්නෙ නෑ කිව්වට අපි ඔප්පු කරලා පෙන්නුවොත් එයාට ඩිවෝස් එක දෙන්න වෙනවනෙ. ඔයා බය නැතුව ඉන්න මම ඒක බලාගන්නම්”
එදා ඒ ඇමතුම ජාන්විට දෙද්දීත් ඉන් පෙරත් පසුවත් මලිත් උන්නේ ඇත්තටම හරි සිහිකල්පනාවකින් නොවේ. මෙතෙක් දිනක් පුරාවට “ජාන්වි ආයෙ එයි, ජාන්වි ආයෙ එයි” කියා සිතූ සිතුවිල්ල වැරදි බව තේරිච්ච එක පමණක් ඒ සිහිය විකල් කරන්නට හේතු උනා නොවේ. මෙතෙක් දිනක් පුරාවට එෆ් එම් චැනල් සහ ටීවි චැනල් කීපයකම වාදනය වන්නට සූදානම් කර තිබූ තමන් ගේ ගීත රැසක් “රේටින් අඩුයි” කියා ඉවත් කරගන්න බව දැනුම් දෙන්නට ආ ඇමතුම පිටිපස්සෙ මේධාංගනීගේ හස්තය තිබෙන බව මලිත්ට නොතේරුනා නොවේ.
“මේ සින්දුව නම් මේ පාර මියුසික් අවෝඩ්ස් වල බෙස්ට්ම වෙනවා” කියා කියූ බොහෝ අය උන්නද මියුසික් අවෝඩ්ස් සඳහා තමන්ගේ ගීතය නොමිනේට් වී තිබුණේවත්, තමන්ට ආරාධනා පත්‍රයක් ලැබී තිබුණේත් නැති බව දැනගැනීම ඒ සිහිය විකල් කරන්නට ආරම්භයක් වුණ බව මලිත්ගේ යටි හිත දැනගෙන උන්නේය.
“ඔයාට මෙතනට එන්න පාර කැපුවෙ මං බව නොදන්නවා නෙවෙයිනෙ. මං මට ඕන ඉත්ත එක්ක සෙල්ලම් කරන්නෙ මට ඕන තරම් කල් විතරයි. මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක අස්සෙ මම ප්ලේ කරන්නෙ රැජිණගෙ චරිතෙ විත්තිය ආය මම අමුතුවෙන් මලිත්ට තේරුම් කරලා දෙන්න ඕන නෑනෙ. ඉත්තට චොයිස් එකක් මෙතන නෑනෙ. මොන ඉත්තද කියන එක මගේ චොයිස් එක මිසක්.
මට ඕන නම් මේක මෙච්චර හොඳට නොකිය කටයි පුකයි දෙකම වහගන්න වෙන ලෙවල් එකකින් කියන්නත් පුළුවන්. හැබැයි එහෙම කරන එකෙන් තව කෙලවෙන්නෙ තමුන්ටම තමයි කියන එක නම් අමතක කරන්න එපා” හොඳේ කියා මේධාංගනි තමන් ඉදිරියේ හිටගෙන තමන්ගේ පපුවට ඇඟිල්ලෙන් තට්ටු කරමින් කියද්දී තම නිරුත්තර වුනේ ඒ කතාව ඇත්තක් නිසා බව මලිත් දනී. මේධාංගනී තමන්ගෙ ජීවිතයෙන් ඈත්වීම, විශේෂයෙන්ම මෙයාකාර තරහක් හිතේ තියාගෙන ඈත්වීම වනාහී තමන්ව මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකෙන් සදහටම අතුගා දමන්නට හේතු වන බව අමුතුවෙන් තේරුම්කරන්න මලිත්ට උවමනා උනේ නැත.
“මේධාංගනී හැපින්න වගේ හොඳේ. හොඳින් ඉන්නකම් හොඳයි. කේස් උනොත් පන්න පන්න දස්ට කරන්නෙ ඕකි” කියා මිතුරන් එදවස කියූ වදන් මලිත්ට අමතක නැත.
තුරුණු වෙනදාටත් වඩා වැඩි වේගයකින් ජාන්විගේ දික්කසාදයේ වැඩ කටයුතු උදෙසා වෙහෙස උනේ අතීතයේ නැති වී ගිය ආදරයක් දෛවයෝගයකින් මෙන් ආය වතාවක් වර්තමානයේදි හමුවීම නිසාවෙන් ය.
“උඹ ඔය මහ පුදුම මෝඩ වැඩක් කරගන්න යන්නෙ පුතේ. ඒකි සමහරවිට මේ ප්‍රශ්නෙ අහන්නෙ නැතුව ඇති. මොකෝ ඒක අහලා උඹ ආයෙ ඕක ගැන හිතලා මේ අයිඩියා එක වෙනස් කරගනීවි කියලා බයක් සමහරවිට ඒකිගෙ හිතේ ඇති. ඒ උනාට උඹ මගෙ යාලුවා හන්දයි, උඹේ තියෙන මරි මෝඩකම හන්දයි මේක මට අහන්නෙ නැතුව ඉන්න බෑ.
ඇත්තටම උඹට පිස්සුද බං? එක පාරක් උඹේ පස්ස බිම අන්නවපු, ගෙවල් වල දාහක් ප්‍රශ්න ඇතිකරපු එකියක්ව ආයෙ ජීවිතේට වද්දගන්නේ?” කියා මධුර අහද්දිත් තුරුණු කරේ සිනාවෙන එකය.
“ඒ කාලේ ප්‍රශ්න ඇතිකරපු එක ඇත්ත බං. ජාන්වි මට රිද්දන්න ඕන හොඳම විදියට රිද්දුව එකත් ඇත්ත බං. අපෙ අම්මලා තාත්තලා පවා ඒවයින් ඒ මිනිස්සු ඒ වයසට විඳින්න ඕන නැති තරම් විඳෙව්ව බවත් ඇත්ත බං.ඒ උනාට ඕන මනුස්සයෙක්ට වරදක් හදාගන්න, එහෙම නැත්තම් තමන් කරපු වැරදි වලට පාඩමක් ඉගෙන ගන්න අවස්තාවක් හම්බෙන්න ඕන නේද?” කියා තුරුණු අහද්දී මධුර උන්නේ තුරුණු විසින් කියන්නට යෙදෙන මේ අප්‍රභංසය තේරුම්ගන්න බැරුවය.
“ඒකිට පාඩම් උගන්නන්න ගිහින් අන්තිමේ ආයෙ වතාවක් උඹේ පස්ස බිම ඇණේවිද කියන්න මම දන්නෙ නෑ මචං. හැබැයි මෙන්න මේක හොඳට මතක තියාගනිං උඹ ආයෙ වතාවක් ඕකි හන්දා ජීවිතේ අවුල් කරගත්තොත් උඹ විතරක් නෙවෙයි මේ පාරනම් පුතේ උඹේ හත් මුතු පරම්පරාවටම දුක් විඳින්න තමා වෙන්නෙ කියලා”
“මේ පාර එහෙම වෙන්නෙ නෑ” කියා තුරුණු ආයෙ හිනාවෙද්දි මධුර උන්නේ ඇස් අස්සේ ප්‍රශ්නාර්තයක් ඇඳගෙනය.
“ඇයි ඒ?”
“මොකද මේ පාර මේ කතාව ඉවරවෙන විදිය තීරණේ කරන්නෙ මං හන්දා”