ඔබෙ ආදරෙන් මා දැවේ – 47

0
1645

“තමන්ට රිද්දපු මනුස්සයෙක් වෙනුවෙනුත් කෙනෙක් අඬන්නේ එයාට තියෙන ආදරේට නෙවෙයිද කියලා අහන්න මට අයිතියක් නැත්තෙ නෑ ජාන්වි. මොකෝ මාත් මට රිද්දපු කෙනෙක් වෙනුවෙන් ජීවිත කාලෙ අවුරුදු ගාණක්ම නාස්ති කරගෙන අඬපු හන්දා. මං දැන් ඔයාගෙන් මේ කතාව ආයෙ ආයෙ අහන්නෙ අපි දෙන්නා මේ හැම ප්‍රශ්නයක්ම මැද්දෙ ආය යාලුවෙච්ච හන්දා නෙවෙයි. මං මේ සම්බන්ධෙ පටන් ගනිද්දිම ඔයාට කිව්වම මං ආයෙ කලින් වතාවෙ වගේ වැටෙන්න බලාගෙන නෙවෙයි මේක පටන් ගන්නෙ කියලා.

ඔයා එවෙලේ මගෙන් ඇහුවෙ නැති උනාට ඇයි මං එහෙම කිව්වෙ කියලා ඒකට ඇත්තටම හේතුවක් තියෙනවා. මොකෝ මං වැටෙන්නෙ නැත්තෙ, මං මීට අවුරුදු ගාණකට කලින් වැටිච්ච තැනින් මම තාම ගොඩ ආවෙ නැති හන්දා ජාන්වි. මං තාම ඉන්නෙ ඒ වලේ. ඒකමයි මම මේ ආය ආය මට රිද්දපු මනුස්සයට ආදරේ කරන්නේ. කෙනෙක්ට ඒක මෝඩකමක් විදියට පේන්න පුලුවන්. තව කෙනෙක්ට ඒක කොන්ද පණ නැතිකමක් විදියට පේන්න පුලුවන්. හැබැයි මං විශ්වාස කරනවා ජාන්වි තමන්ට මාරාන්තික විදියට රිද්දපු මනුස්සයෙක් වෙනුවෙන් අඬන්න, දුක්වෙන්න පුලුවන් එයාට ඇත්තටම ආදරේ කරන කෙනෙක්ට විතරයි කියලා.

මං ඒ හිතන දේ ඇත්තක් නම්, මලිත් ඔයාට රිද්දන්න මෙච්චර දේවල් කරලා තියෙද්දිත් ඔයා මේ අඬන්නෙ එයා ගැන තාම ඔයාගෙ හිතේ ආදරයක් තියෙන හන්දා නෙවෙයිද?” කියා තුරුණු අහද්දී එය එහෙම දෙයක් නොවන බව පවසන්නට, අඟවන්නට ජාන්වි සෑහෙන වචන නාස්ති කරාය.

“ප්ලීස් තුරුණු මං අතීතෙ එක වතාවක් ඔයාව රැවැට්ටුවා කියලා මං ආයෙ ආයෙ එහෙම කරාවි කියලා හිතන්න එපා. මං ගැන ඔහොම හිතන්න එපා. මම එහෙම කරන්න බලාගෙන නෙවෙයි මම ආයෙ ඔයත් එක්ක යාලු උනේ. ඇත්ත මලිත් මේධාංගනී එක්ක එකට ඉඳලා කියලා ඒ වීඩියෝ එක දැක්කම මට ඇඬුන එක ඇත්ත.

ඒ මට ඇඬුණෙ මම තාම මලිත්ට ආදරේ හන්දා නෙවෙයි තුරුණූ. මලිත් මාව මෙච්චර කාලයක් රවට්ටලනෙ කියලා තේරිච්ච හන්දා. මට ඒ රැවටිච්ච එක දරාගන්න බැරි වෙච්ච හන්දා. මගේ හිතේ මලිත් ගැන තාම ආදරයක් තියෙනම් මම කොහොමද තුරුණු ඒ හිතෙන්ම ඔයාට ආදරේ කරන්නේ? ඇයි ඔයා ඒ ගැන හිතලා බලන්නෙ නැතුව ඔහොම දෙයක් මගෙන් ඇහුවේ? මගෙ හිතේ කොතනකවත් මලිත් නෑ තුරුණු. මගෙ හිතේ තියෙන්නෙ මලිත් ඇති කරපු ලොකුම ලොකු තුවාලයක් විතරයි. ඒ තුවාලෙ වේදනාව දැනෙන දැනෙන සැරේට මගෙ හිතේ ඇතිවෙන්නෙ මලිත් ගැන තරහක් විතරයි”

“තරහක් තියෙනවා කියන්නෙත් එක්තරා විදියක බැඳීමක් නේද? Hatred also is a feeling”  කියා කියන්නට කොච්චර උවමනා උනත් තුරුණු ඒ වචන එලියට දැම්මේ නැත.අනෙක් අතට හිතේ සැකයක් තියාගෙන කිසිම ආකාරයක සම්බන්ධයක් ගොඩ නගා ගන්න බැරි බව තුරුණු දැනගෙන උන්නේය.

“මට දැන් ඕන මලිත්ගෙන් සහමුලින්ම මිදෙන්න තුරුණු. මං ඔයාගෙන් ඉල්ලන එකම දේ ඒක.මට එයාගෙන් වෙන් වෙන්න ඉඩ හදලා දෙන්න පුලුවන් ඉක්මනට. මම බලාගෙන ඉන්නෙ මලිත්ගෙන් අයින් වෙලා ඉක්මනට අපි දෙන්න එකතුවෙන්න තුරුණු. මට බයයි මම තනිවෙයි කියලා. ඇත්තටම මේ ප්‍රශ්නෙ වෙලාවෙ මගෙ හිත හදන්න ඔයා මං ළඟට ආවෙ නැත්තම් මට කියලා කෙනෙක් කවදහරි නැති වෙනවා නේද කියල කල්පනා කරන හැම වෙලාවකම මට හිතෙන්නෙ මම හරිනම් ඔයාට මල් තියලා වඳින්න ඕන කියලා.

ඔයා මේ කරගත්තෙ ලොකු පිනක් තුරුණු. ජාති ජාතිත් අවංක ආදරයක්ම ලැබෙන්න ඕන විදියෙ පිනක්” කියා ජාන්වි කියද්දිත් තුරුණු කරේ මද මුදු සිනාවක් නගන එක පරමණකි.

සමහර කතන්දර වලට පෙරළා කියන්න දෙයක් නොමැති තැනක කරන්නට හැකි හොඳම දේ එවන් මද සිනාවකින් ඒ කතන්දරය මග හරින එක බව තුරුණු ඉගෙන ගත්තේද ජීවිතෙන් ය. තුරුණුත් ජාන්විත් මලිත් ගැන කතා බහක නිරත වෙමින් උන් ඒ මොහොතේ ද මලිත් උන්නේ මහා මානසික අවුලක පැටලී ගොසිනි. මේධාංගනී විසින් උසි ගන්වන ලද නීතියෙ දඩයම් කරන්නන් මෙන්ම මේධාංගනීගේ හිතවතුන්ද උන්නේ මලිත්ව අල්ලාගන්නට කටයුතු කරමින් ය. තමන් විසින් මේධාංගනී එක්ක යහන් ගත වූ මොහොතක ඇයට රහසේ, තමන්ගේ ගෙදර මෙන් නිදහසේ ඇවිද යන්නට ඉඩ කඩ තිබූ ඇගේ නිවසේ තැනක අටවා තිබූ මේ කුඩා කැමරාව භාවිතා කර ඒ සියලු රති කෙළීන් රෙකෝඩ් කරගන්නට උත්සහ කරේ කවදාක හෝ මෙවන් මොහොතක් එතැයි කියා සිතා ද කියන ප්‍රශ්නය මලිත් උන්නේ මලිත්ගෙන්ම අසමින් ය.

සංගීත ක්ශේත්‍රය අස්සේ තමන් විසින් තමන්ගේ ජනප්‍රියත්වය උපයෝගී කරගෙන සබඳතා ගොඩනගා ගන්නා ලද තරුණියන් උන්නේ එකෙක් දෙන්නෙක් පමණක් නොවේ. ඉන් එක බැඳීමක් ලෙස ඇරඹි ජාන්වි හා කතා බහ විවාහය තෙක් දුර දිග ගියද ජාන්වි හමුවන්නට පෙරත් ඉන් පසුවත් සබඳතා ගොඩ නගා ගත් බොහෝ දෙනාව තම ප්‍රේම තොටිල්ලේ නලවන්නට මලිත් දෙතුන් වතාවක් තියා එක වතාවක්වත් සිතුවේ නැත.

“ජනප්‍රිය කොල්ලෙක් එක්ක නිදාගන්න දැන් ඉන්න පොඩි කෙල්ලො මාර කැමතියි බං. මොකෝ ඔය ගෑනු සමහර උන් හිතාගෙන ඉන්නවා උන්ට පුලුවන් කියලා ඕනම පිරිමියෙක්ව ඇඳේදි නම්ම ගන්න. සමහර ගෑනු හිතාගෙන ඉන්නෙ මේ සෙක්ස් කියන්නෙ ඇඳුම් නැතුව ඇඳට වැටිලා හැමෝම කරන විදියට කරන එක කියලා උනාට මචං සෙක්ස් නොකර උනත් පිරිමින්ව තමන් ළඟම තියාගන්න පුලුවන් ගෑනු පට්ටම රෙයාර්.

මං මේ කියන්නෙ මං ඔය වන් නයිට් ස්ටෑන්ඩ් වලට වගේ යන කෙල්ලො ගැන නෙවෙයි. උන් මචං හරියට අර කානිවල් වලදි පත්තු කරන මල් වෙඩි වගේ. තප්පරෙන් දෙකෙන් අර මෙච්චර කල් පෙනිච්ච ආතල් එකයි ලස්සනයි ඉවර වෙනවා. ගොඩක් මාත් එක්ක එහෙම උන්නු කෙල්ලො එක්ක සෙක්ස් කරාට පස්සෙ මට ඇත්තටම උන්ව එපා උනා. කතා බස් කරද්දි උන් නිකන් බඛ පණ්ඩිත කතා කියලා, උන් මාර මැචුවර්ඩ් කියලා පෙන්නුවට උනුත් අනිත් ගෑනු වගේමයි වෙනස තියෙන්නෙ මූණෙ විතරයි කියලා තේරෙන්නෙ උන්ව එක පාරක් ඇඳට ගෙන්න ගත්තට පස්සෙ.

එහෙම බලද්දි බං මේධාංගනී කියන්නෙ සුපිරි බඩුවක්. ඒකි දන්නවා ඒකිගෙ වැඩෙත් කරගෙන අපිව ඒකි ළඟට ගෙන්න ගන්න ඕන වෙලාවක. අර ප්‍රසිද්ධ කොල්ලෙක් එක්ක එක දවසක් ඉඳියට පස්සෙ සමහර කෙල්ලොන්ට ඒක හුක් අප් එකක් කියලා අමතක වෙලා දිගටම මැසේජ් දාගෙන වාත වෙනවනෙ ඇටෙන්ශන් එක ඉල්ල ඉල්ලා. මේධාංගනී ළඟදි පිරිමින්ට වෙන්නෙත් ඒක මචං.

නාකි හුටං කෙනෙක් උනාට මේධා දන්නවා පිරිමින්ව අද්ද ගන්නයි අල්ලගන්නයි. ඒකි පට්ට පවර්ෆුල්” කියා අවුරුදු කීපෙකට පෙර මේ ක්ශේත්‍රයට ආ මුල්ම කාලයේත්, මේධාංගනීගේ ප්‍රේම පාශයේ පැටළුණ මුල් කාලයේත් තමන් ඒ සියල්ල ලොකු කර කර කිව් හැටි මලිත් ය මතකය.

අද මේ පාරා වලල්ලක් වී ආපසු පැමිණ තමන්ට රිදවන්නේත් පහරදෙන්නෙත් ඒ අතීතයය. ඒ අතීතය මග හැර දමා තමන්ට අනාගතයක් තියා වර්තමානයක්වත් නැති බවද, මේධාංගනී විසින් තමන්ව පිටුවහල් කර තැනක මලිත් මංචනායක වනාහී තවදුරටත් ගායකයෙකු නොවන බවටත්, සාමාන්‍ය කොල්ලෙකු සේ ජීවත් වෙන්න තමන්ට කවදාවත් උවමනාවක් තිබ්බේ නැති බවත් මතක් වෙද්දී මලිත් උන්නේ ඊලඟට කර යුත්තේ කුමක්ද කියා හිතාගන්න බැරුවය.

මේධාංගනී මේ වෙච්ච දේ එක්ක තමන්ට නිදහසක් දෙයි කියා බලාපොරොත්තු වෙන්නට බැරි තැන හොඳම දේ තමන් තමන්ව නිදහස් කරගන්න එක බව මලිත් තීරණය කරේ ඒ අනුවය.

“ජීවිතේ සමහර තැන්වල අමාරුයි.

අපි කොච්චර මිනිස්සුන්ට කිව්වත් “ජීවිතේ අමාරු නැති අය නෑ, ජීවිතේ ප්‍රශ්න එන තරමට තමයි ජීවිතේ ලස්සන” කියලා සමහර ප්‍රශ්න ඇත්තටම ලස්සන නෑ.

එහෙම තැන්වල ප්‍රශ්නෙ විසඳන්න මහන්සි වෙනවට වඩා ලේසියි රැඩිකල් වෙලා තමන්ගෙ ජීවිතෙන් නිදහස් වෙන එක” 

ඒ මලිත් තමන්ගේ මුහුණු පොතේ රැඩිකල් ප්‍රේමය හැශ් ටැග් එකත් එක්ක අප්ලෝඩ් කරන ලද අවසාන පෝස්ට් එකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here