මලිත් ගේ මරණයෙන් මාස හයක් විතර යනතුරුම ජාන්වි උන්නේ සමාජ මාධ්‍ය අස්සේ මිනිස්සු තමන්ට කියන්නේ මොනවද කියා බලන ගමන් ය. බලාපොරොත්තු වූ අයුරින්ම සති කිහිපයක් යද්දී මලිත් – ජාන්වි කතන්දර මිනිසුන්ට අමතක වී ගිය බව ඇත්තකි. එහෙත් තමන් පෙරුම් පුරා, බොහෝ දේ කොට හිමිකරගත් ජනප්‍රිය ගායක සැමියා මිය යාම පිටිපස්සේ තමන් විසින් ඇතිකරන්නට යෙදුන දික්කසාදය සම්බන්ධය මානසික බලපෑම තිබුණේ නැතැයි කියා හිතන්න පුළුවන්කමක් ජාන්විට තිබ්බේ නැත.
හිත නිරත්තරයෙන් තිබුණේ “මලිත් මැරිච්ච එක පිටිපස්සෙ මගේ ඩිවෝස් එක සම්බන්ධ ප්‍රශ්නෙ තිබ්බද?” කියා නිරත්තරයෙන් අසමින් ජාන්විගෙ හිතට වද දෙන ගමන් ය. ජාන්වි උන්නේ ඒ ප්‍රශ්නයෙන් පැන යන්න විදියක් හිතන ගමන් බව අනිල් ධර්මවර්ධන තේරුම් ගත්තේ ගෙදරින් ඔෆිස් එකේ වැඩකට යනවාය කියා පිටත්වෙච්ච ලොකු දුව නාඳුනන තරුණයෙකුගේ බයිසිකලයෙන් බහිනවා දැක්ක දවසකය.
එහෙත් ජාන්වි තමන්ට කිසිම දෙයක් කෙලින් කියන්නේ නැති තැන ඒ ගැන අනිල් ධර්මවර්ධන කෙලින්ම අහන්න නොගියේ “දරුවො උනත් වැඩිහිටියො උනාට පස්සෙ අපි උන්ගෙ ජීවිත වලට ඕනවට වඩා ඇඟිලි ගහන්න ඕන නෑ” කියා හිතූ සිතුවිල්ලය.
“සමහර වෙලාවට ප්‍රශ්න ආවම ජීවිතේට අපි බලන්නෙ ඒ ප්‍රශ්නෙන් එවෙලෙට මග ඇරලා යන්නෙ කොහොමද කියන එකනෙ. හරියට අර ලෝන් එකක් අරන් වාරිකේ ගෙවන්න බැරි උනාම තව කෙනෙක්ගෙන් එවෙලෙට ලෝන් එකක් අරන් අර ලෝන් එකේ වාරිකේ ගෙවන්න හදනවා වගේ වැඩක් ඒක. ඔය ප්‍රශ්නෙ අර ප්‍රධාන ලෝන් එක ගෙවලා ඉවර වෙනකම් හැමදාම, හැම මාසෙම එනවා කියන එක අපිට එවෙලට අමතකයි. මොකෝ අපි බලන්නෙ ඒ වෙලාවට කොහොමද අපි මේ ප්‍රශ්නෙන් ගැලවෙන්නෙ කියන එක.
ජිවීතේත් එහෙම තමයි ඉතින්. අපි හරි ආසයි එක තප්පරේකට හරි ඔලුව ඇතුලෙ තියෙන ප්‍රශ්නෙකින් ගැලවෙන්න පුලුවන් නම්. හැබැයි ඒක අර පැලැස්තරයක් අලවනවා වගේ වැඩක්. ආය ඒ ප්‍රශ්නෙ එද්දි ආය ආය පිච්චෙන එකනෙ වෙන්නෙ. ඒකයි මම නිතරම ඔයාලට කියන්නෙ ප්‍රශ්නයක් ආවම ඒකට එවෙලෙම උත්තර දෙන්න ඕන කියලා හිතන්න එපා කියලා. සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්න, විසඳුම් හොයාගන්න ඔයාලට පොඩි කාලයක් හරි ගන්න වෙනවා. ඒ කාලෙ ගන්න තරමට අර දෙන උත්තරෙත් හයිය බුත්තිය වැඩියි. මං මේ කාටවත් ඇඟිල්ල දික්කරලා මේක මේ ඔයාට කියනවා කියලා නෙවෙයි කියන්නෙ. කාට උනත් ප්‍රශ්නයක් ආවම හැසිරෙන්න ඕන විදිය මේ කියන්නෙ. අපිට දැන් පසුගිය කාලෙ සෑහෙන ප්‍රශ්නවලට මූණ දෙන්න උනානෙ. ඒ ගොඩක් ප්‍රශ්න තමන් කලබල වෙලා ගත්ත තීරණ හන්දා ඇතිවෙච්ච ඒව කියලා කාට වුණත් තේරෙන එකේ දැන් ගන්න තීරණ ගන්නෝන ඉදිරියට එහෙම නොවෙන්න” කියා තාත්තා කියද්දී ඒ කියන්නෙ තමන්ට බව දැනගෙන උන්නද ඒකට හේතුව තමන් තුරුණු එක්ක එහෙ මෙහෙ රවුම් ගහන එක බව ජාන්විට පොඩ්ඩක්වත් හිතුනේ නැත.
මක්නිසාද යත් තුරුණු එක්ක කොහේ ගියද තමන්ගේ දෙනෙතට හසුවන වපසරිය අස්සේ තමන් දන්නා කිසිවෙකුත් නොදැක්ක නිසා ජාන්වි හිතාගෙන උන්නේ “කවුරුවත් මාවයි තුරුණුවයි දැක්කෙ නෑ” කියන එක වීමය.
තාත්තා විසින් කුමක් කීවද ජාන්වි උන්නේ මේ වෙලාවෙ හිත පෙලන පාලුවද, අම්මාගේත් තාත්තාගේත් නංගිගෙත් අවවාද මැද්දෙ ගෙවන නීරස ජීවිතයෙන් මිදෙන ඉක්මනකය. හදිස්සියකය. ඒ හදිස්සිය වචන වී වැටුණේ තුරුණුගේ දෙසවන් අස්සටය.
“අපි දෙන්නා කොහේ හරි යද්දි තාත්තා දැකලද මන්දා එයා නිකන් නිතරම මට එක එක ඒවා කියනවා” කියාගෙන ජාන්වි තුරුණු ඉදිරියේ ඒ හදිස්සිය වචන කරන්නට යෙදුණේ හදිස්සියක් බව නොපෙන්වා “අනේ මට මෙහෙම තවත් ජීවත් වෙන්න බෑ තුරුණූ. මේක ජීවිතයක් නෙවෙයි. මට ලොකු ස්ට්‍රෙස් එකක් මේක” කියා අනුකම්පාව උපදවන, තමන් වින්දිතයා වී ඇතැයි අඟවන හඬකිනි. මවාගත් වේදනාවකිනි.
එහෙත් තුරුණු සියල්ල දෙස බලමින් උන්නේ පාසල් වයසේ උන් බොළඳ පෙම්වතාට එහා ගිය පරිණත පිරිමිකමකිනි. සියල්ල දුටුවද, ඇසුවද, හැඟුනද ඒ සියල්ල මනසින් කිරා බලා, හොඳින් හිතා බලා තීරණ ගත යුතුය කියන අන්දමේ තැනකය.
“අපි ඕන නම් ටික දවසක් මෙහෙම මීට් වෙන්නෙ නැතුව ඉමු. තාත්තා දකිනවට වඩා මෙතන තියන අවුල ඔය මලිත්ගෙ පැත්තෙ කවුරුහරි ඕක දැක්කොත් අන්තිමේ ආය වතාවක් උන් ඔයාට සෝශල් මීඩියාවල බණින්න පටන් ගනීවි ඔයාට වෙන අෆෙයාර් එකක් තිබ්බ හන්දා ඒක කරගන්න මලිත්ව මරාගත්තා කියලා. දන්නවනෙ අපේ මිනිස්සු ගිනි පත්තු කරන්න හරිම දක්ශයිනෙ” කියා තුරුණු තමන්ගේ සුපුරුදු පහන් වුණ හඬින් කියද්දී ඒ තමන් බලාපොරොත්තු උන පිළිතුර නොවන බව තේරුණ නිසාවෙන්ම ජාන්වි උන්නේ නොරිස්සුමෙනි.
“ඔයාට තේරෙන්නෙ නෑ මං කියන දේ අනේ” කියා ජාන්වි තොදොල් වෙද්දී “හරි එහෙනම් මට කියන්නකො තේරෙන්න” කියා කියනවා ඇරෙන්න තුරුණුට වෙන කියන්න දෙයක් තිබුණේ නැත.
“ඔයාට බැරිද අපේ ගෙදර ඇවිත් කතා කරන්න?” ජාන්වි ඇසුවේ ඇණය තියෙන තැන බලා පහර දෙන්නට මිටිය ඔසවමිනි.
“මොනවා ගැනද?”
“මොනවා ගැනද කියන්නෙ අනේ ඉතින් ඔයයි මමයි ගැනනෙ. අපි දෙන්නා අතරෙ අෆෙයාර් එකක් තියෙනව කියලා අපේ අම්මලට කිව්ව නම් මට ඔය දෙන අවවාද උපදෙස් ටිකක් හරි අඩුවෙන්න පුළුවන්”
“අවවාද අහන්න ඉන්න එක ඔයාට නිකන් ඔලුවට වදයක් වගේ උනාට අම්මලා තාත්තලා කියන දේ වරදක් නෑ නේද ජාන්වි? එයාලා බය ඇති ඔයා එක පාරක් කරගත්තා වගේ ජීවිතේ ආය වතාවක් වරද්දගන්න යන්නෙ කියලා. අනික අපි දෙන්න ඉස්කෝලෙ යන කාලෙ අඳුරනවා උනාට කාලෙ එක්ක, වයස එක්ක, අත් දැකීම් එක්ක අපි දෙන්නම වෙනස් වෙලා කියන එක අපිට පිළිගන්න වෙනවනෙ.
එහෙම එකේ ඔයාට හිතෙන්නෙ නැද්ද අපි ටක්ගාලා මේ අෆෙයාර් එක අම්මලා තාත්තලට කියලා ප්‍රසිද්ධ කරන්න යනවට වඩා හොඳයි තව ටිකක් අපි දෙන්නවම තේරුම් ගන්න උත්සහ කරනවනම් කියලා? එතකොට අපි දෙන්නට තීරණේ කරන්න පුලුවන් නේද අපිට ගැලපෙන හරිම කෙනා අපිමද කියන එක”
“මම නම් දන්නවා තුරුණු මට ගැලපෙන හරිම කෙනා ඔයා කියලා. මං හරියට රිග්‍රෙට් කරනවා මට අතීතෙ ඒක තේරුම්ගන්න බැරිවෙච්ච එක ගැන.එදා මම ඒක තේරුම්ගත්ත නම් මට සමහර විට අද මෙහෙම නොවෙන්න තිබ්බා”
“සමහර විට වෙන දෙයක් වෙන්නත් තිබ්බා නේද? එක්කෙනෙක් නිසා හිත රිදිච්ච එක දෙවනියෙක් හන්දා සැනසිච්ච එකෙන් අපිට කියන්න බෑ ජාන්වි ඒ දෙවනියා හන්දා අපිට කිසි ප්‍රශ්නයක් නැතුව ලයිෆ් එක ඉස්සරහට ගෙනියන්න පුලුවන් කියලා. පලවෙනියගෙන් එක්සිපීරියන්ස් කරාට වඩා වෙනස් ප්‍රශ්න එන්න ඉඩ තියෙනවා දෙවනියගෙන් කියන එකත් අපි මතක තියාගන්න ඕන”
“ඔයා නිකන් කතාකරන්නෙ හරියට මාව අතාරින්න වගෙනේ” කියා ජාන්වි අඬන්නට මෙන් අහද්දිත් තුරුණු කලේ මද සිනාවක් දෙතොලතර මවාගෙන ජාන්විට දෙන්නට පිළිතුරක් ගොතන එකය.
“අතාරින එක තමයි හොඳම ඔප්ශන් එක කියලා හිතුනොත් ඒක කරන්නෝන නෑ කියලද ඔයා මට කියන්නේ?” කියා තුරුණූ අහද්දී ජාන්වි ඇත්තටම උන්නේ ඒකට දෙන්නෝන පිළිතුර කුමක් විය යුතුද කියා හිතමින් නොවේ.
තමන්ව කිසිදිනක අතැර නොයන තැනකට තුරුණුව අරගෙන එනු පිණිස තමන් ආදරයත්, ගෑනුකමත් මෙහෙයවන්නෙ කෙසේද කියා හිතන ගමන් ය.