ආදරයත්, ගෑනුකමත් පිරිමියෙක්ව ලඟ තබාගන්නට ඕනවටත් වඩා හේතුවෙන බව ජාන්වි මුළු හදවතින්ම විශ්වාස කර දෙයකි.
ඒ නිසාම ජාන්වි උන්නේ තුරුණුව තමන් විසින් අසන්නට යෙදුන කාරණාව සම්බන්ධයෙන් පොළඹවා ගන්නට උත්සහ කරමිනි. ඒ පෙලඹවීම තුරුණු විසින් තවත් මාස ගණනාවක් පස්සට දමන්නට හේතු වුණේ තුරුණුගේ වචනයෙන් කිවහොත් “ජාන්විගේම හොඳටය”.
“තුරුණු මගේ හොඳට කිය කිය මේක පස්සට දාන්නෙ ඇයි කියන්න මට ඇත්තටම තේරෙන්නෙ නෑ නංගි. මගෙ ඔලුව අවුල් ඔක්කොටම වඩා තුරුණු මේ කරන දේට” කියා අක්කා කියද්දී ආන්යා උන්නේ දවල් වරුවේ නින්දකින් පසු අවදි වී අම්මා විසින් හදා දුන් තේ කෝප්පය රස විඳින ගමන් ය. දරු ප්‍රසූතියට දින ලඟ නිසාවෙන් නිසල් ආන්‍යාව මහ ගෙදර විත් නතර කරේ මොනවා උනත් කෙල්ලෙක්ට දරුවෙක් ලැබෙන්න ඉද්දී තමන්ගේ අම්මා ළඟ ඉන්න හොඳ හින්දාත් නිසල්ට පවා අම්මා තාත්තා කියන්නට ඉන්නේ ආන්යාගේ මව් දෙමව්පියන් දෙන්නාත් පමණක් නිසාවෙනි.
“ඇයි අක්කට හිතන්න බැරි තුරුණු අයියා එහෙම කියන්නෙ ඇත්තටම කියලා. අක්කෙ සාමාන්‍යයෙන් ආදරේ කරලා කසාද බැඳපු දෙන්නෙක් මොන හේතුව මත හරි තමන්ගෙ හස්බන්ඩ් ගෙන් වෙන්වෙලා ආය කසාදෙකට යන්නෙ ටික කාලයක් ගියාට පස්සෙනෙ. අනික මෙතන අක්කයි මලිත් අයියයි ඩිවෝස් වෙන්න උන්නට ඩිවෝස් උනේ නෑනේ. මලිත් අයියා මැරුණ කෙනෙක් සහ අක්කා වැන්දඹුවක් විදියටනෙ සමාජෙ දකින්නෙ. ඉතින් තමන්ගෙ කළින් හස්බන්ඩ් මැරිලා අවුරුද්දක් දෙකක් යන්න කලින් අක්කා ආය කසාදෙකට යන එක මිනිස්සුන්ට උනත් මලිත් අයියගෙ මරණෙ පිටිපස්සෙ අක්කා ඉන්නවා කියලා ආය කතන්දරයක් කියන්න හේතුවෙන්න පුළුවන් නේද?” කියා නංගී කිව්වාට ජාන්වි උන්නේ ඒ කතන්දර අහන නිරවුල් මනසක නොවේ.
ජාන්විට ඕන උනේ ඉක්මනට කසාද බඳින්නය. ඔෆිස් එකේත්, යාලු මිතුරන්ගේත් සියල්ලන්ටම ආරාධනා කර ලොකුවට වෙඩින් එකක් අරගෙන “මං සන්තෝසෙන් ඉන්නවා” යැයි පෙන්වන්නටය. ජාන්වි උන්නේ මලිත් නිසා නැතිවුණ සියලුම හීන තුරුණු මත්තෙන් ඉටු කරගන්නටය. ඒ සිතුවිලි ආන්යාට රහසක් උනේ නැත්තේ අක්කාගෙ ඇඟේ දුවන්නේත් ඇගේ ඇඟේ දුවන ලේ හන්දාමය.
“තුරුණු අයියා නරකයි කියන්නෙ නෑ මං ඒත් ඒ මනුස්සයා කියන කතාව ඇත්ත අක්කෙ. අක්කා ඊලඟට මැරි කරන එක කිසි ඉශූ එකක් නෑ. ඒක එහෙම වෙන්නෝන. හස්බන්ඩ් දාලා ගියා හෝ මැරුණා කියන එක තරුණ කෙල්ලෙක්ට සදහටම තනියෙන් ඉන්න රීසන් එකක් වෙන්නෝන නෑනෙ. ඒ උනාට ආය වතාවක් හදිසි වෙලා තීරණ අරන් අක්කට දුක් විඳින්න වෙයි කියලා තමයි මට බය”
“තුරුණු එහෙම නෑ නංගි. එයා මාරම මාරම මාරම අහිංසකයි. මට මුලින්ම ඉස්කෝලෙ යන කාලෙ එයාව සෙට් උනේ නැත්තෙත් ඒකයි. ඒ කාලෙ ඉතින් ඕන කෙල්ලෙක් ආස ටිකක් දඟලන කරන කොල්ලෙක්ටනෙ. ඒ උනාට තුරුණු එහෙම නෑ. අනික එයා ඒ කාලෙ පවා මාව ආස්‍රය කරේ ඇත්තටම මිසක් ටයිම් පාස් කරන්න නෙවෙයි. මං මේ ළඟදි තමයි දැනගත්තෙ තුරුණු ඒ කාලෙ එයාගෙ අම්මලට පවා මම ගැන කියලා තියෙන විත්තිය. සාමාන්‍යයෙන් ඉස්කෝලෙ යන කොල්ලෙක් අනෙ එහෙම දෙයක් කරන්නෙ නෑනෙ. අනික තුරුණු ඔන්ලි චයිල්ඩ් නෙ”
“ඉතින් එච්චර හොඳ නම් අක්කා මොකටද ඒ මනුස්සයව ඒ කාලෙ අතෑරියෙ? එහෙම අතාරින්නෙ නැතුව අෆෙයාර් එක දිගටම කන්ටිනිව් කරා නම් බාගදා අක්කට මේ වගේ ප්‍රශ්න වලට මූණ දෙන්න වෙන්නෙ නෑනෙ”
“මං ඕකම එයාටත් කිව්වා, මට ඒ කාලෙ ඕවා තේරුණේ නෑ නංගි. ඒ කාලෙ මෝඩකමද, බක පණ්ඩිතකමද මන්දා මං තුරුණුගෙ තිබිච්ච ඒ නිවිච්ච ගති දැක්කෙ මහ නෝන්ජල් වගේ. දැන් තමයි තේරෙන්නෙ තුරුණු තමයි මැරේජ් මටීරියල් කියලා” කියද්දිත් අක්කා ඒක කිව්වේ හරිම සැහැල්ලුවෙන්, ජීවිතේ පලවෙනි වතාවට ප්‍රේමයක පැටළුණ කෙල්ලෙක් මෙන් සමනල තාලයෙන් බව ආන්යාට නොවැටහුණා නොවේ. ආන්‍යාව ජාන්වි සම්බන්ධයෙන් බියට පත් කරන්නට හේතු වූයේද සියල්ල සිදු වූ පසුවත් ඒ හැමදේ දිහාම ජාන්වි සැහැල්ලුවෙන් බැලූ ආකාරයයි. දේවල් සැහැල්ලුවෙන් බලන තරමට ජීවිතේ සරල බව මිනිස්සු කොපමණ කීවද ජීවිතයේ එන සමහර ප්‍රශ්නද, තමන් ගන්නා තීරණ සමහර ඒවාද එසේ සැහැල්ලුවෙන් ගන්නට බැරි බව ආන්යා දැන උන්නාය.
එහෙත් තමන් එබව දැන උන්නද අක්කා කවදාවත් එබව දැන උන්නේ නැති බවත්, ඇයට ජීවිතයේ ඒ යථාර්තය තේරුම් කර දෙන්නටද බැරිබව දන්න හන්දාම ආන්යා කරේ නිහඬවම හිස් තේ කෝප්පය අතට ගෙන පල්ලෙහට පල්ලම් බැසීමය.
අනිල් ධර්මවර්ධනත් මනෝරමාත් උන්නේද එසේ මෙසේ හිතේ බරකින් නොවේ. දරුවන් තමන්ගෙ ජිවීතයට දාගන්නා ප්රශ්නවල කුණු කන්දරාවල් ගොඩක් දරන්න වෙන්නේ දෙමව්පියන්ට බව අනිලුත් මනෝරමාත් තේරුම් ගත්තේ ජාන්වි හන්දාමය. ජාන්වි පාසල් වියේදිත්, අනතුරුව තුරුණු වයසේදිත් කොල්ලන් සමග දාගත් හුටපට නිසා ගමේ බොහොමයක් අය ඇය දෙස බැලුව එක්තරා විදියට කලු පැල්ලමක් රැඳුන දෙනෙතකින් බව දැන උන්නද කිසිවෙකුත් කිසි දෙයක් මූණට කියන්නට නොආවේ අතට හසුවන අන්දමේ කිසි වරදක් ජාන්වි නොකල නිසාය. අනෙක් අතට හැමදේම මැද්දේත් ජාන්වි හොඳින් ඉගෙනීම කල නිසාය.
එහෙත් මලිත් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යද, ප්රවෘත්තිද කලඹවමින් ජාන්විගේ නමට එක්වුණ කලු පැල්ලම ආය කිසිදිනක මැකිය නොහැකි අන්දමින් මිනිසුන්ගේ සිත් අස්සේ පැලපදියම් වීමත්, “දූ දැන් මොකද කරන්නේ? තාම ගෙදරද? වෙච්ච දේවල්වල හැටියට ඒ ළමයා ඔහොම ඉන්න එකම මදෑ” වැනි ප්‍රශ්න වලට දෙන්න උත්තර නැතිවීමද අනිල් සහ මනෝරමා ධර්මවර්ධනව උන්නා මෙන් වසර කිහිපයකින් වයසට යවන්නට හේතු වී තිබුණි.
ජාන්වි තුරුණුගේ හැසිරීමේ වෙනස්කම් දිහා බලාගෙන උන්නද ඒ වෙනස්කම් දැක්කේද, තුරුණුගෙන් අහන්නට ප්‍රශ්න තිබුණේද ජාන්විට පමණක්ම නොවේ. තුරුණු මේ දික්කසාද නඩුව සම්බන්ධයෙන් මෙපමණක් මහන්සි වී වැඩ කරන්නට යාම පිටිපස්සේ අතීතයේ පටන් අද දක්වා නොමැකී පැවතගෙන ආ ආදර කතාව තිබෙන බව දුටුවද, මලිත්ගේ මරණයෙන් පසුව, ජාන්විගේ ඉල්ලීම් මැද ඇයව බලාපොරොත්තු වූ අයුරෙන්ම තමන්ගේ කරගන්නට හැකියාව තිබෙද්දී තුරුණු එසේ නොකර එය පස්සට දමන්නේ ඇයි කියන ගැටළුව මධුරට තිබුණේය.
“උඹ වෙනස් වෙලා, ඉස්සරට වඩා සෑහෙන වෙනස් වෙලා” යැයි මධුර විසින් කියන්නට යෙදුණේ එහෙම දවසකය.
තුරුණු ඒ කතන්දරය භාරගත්තේ හිනාවක් එක්කය.
“ඉතින් හොඳයිනෙ. උඹමනෙ ඉස්සර මට කිය කිය උන්නෙ වෙනස් වෙයං, බොන්න එපා අරකද මේකද කියලා. දැන් මොකද ඒක ගැන උඹ අවුලෙන් වගේ කතාකරන්නේ” කියා තුරුණු අහද්දි මධුර වීදුරුවේ පිරී තිබුන බියර් වලින් උගුරක් ගෙන තොල කට තෙමාගත්තේය.
“අවුලක් නෑ බං, මට තියෙන්නෙ බයක්” කියා වචන බර කර කියන ගමන්ම මධුර තමන්ගේ තියුණු බැල්ම තුරුණුගේ දෙනෙත් මත රැඳෙව්වේය.
“බයක්? කවුරු ගැනද? මං ගැනද?”
“උඹ ගැන නෙවෙයි උඹේ ඉන්ටෙන්ශන්ස් ගැන”
“මගේ ඉන්ටෙන්ශන්ස් ගැන?” කියා තුරුණු ඒ ප්‍රශ්නෙට පිළිතුරු දුන්නේ ප්‍රශ්නයකින්මය.
“ඔව්, උඹ ඇත්තටම ජාන්වි එක්ක කරන්න හදන්නෙ මොන වගේ සෙල්ලමක්ද කියලා මට තේරෙන්නෙ නෑ බං”
“උඹට නොතේරෙන්න විදියක් නෑ බං. ජාන්වි ඒ සෙල්ලම නොදන්නෙත් නෑ. මං මේ එයා එක්ක සෙල්ලම් කරන්නෙ එයා මාත් එක්ක මීට අවුරුදු ගාණකට කලින් කරපු සෙල්ලමම තමයි”