දෑත දරා – 22

0
939

සින්දූපා මනුජගේ ගුවන් හමුදා නිළ ඇඳුම සම්පුර්ණෙන්ම ඉවත් කලේය. ඔහුගේ ගත හා ගැටීම පහසු නොවූ නිසාම  විනාඩි දහය ඉක්මවන විට ඕ උන්නේ හති ලමිනි. මනුජගේ යටි කය වැසෙන්නට සාරතී ගෙන් ඉල්ලාගත් සරම දැවටූ සින්දූපා ඕර්ඩිකොලෝන් පෙඟවූ රෙදි කැබැල්ලකින් ඔහුගේ උඩු කය  තෙමා දැමුවාය.

දියණිය  නින්දේ  තැබූ සාරතී ද විත් සින්දූපා ට උපකාර කලාය.

” කෑම්ප් එකෙන් කවුරු හරි එනකල්, මෙහෙම ඇඟ තෙමන්න ආන්ටි … මොකක් හරි වෙනසක්, අපහසුවක් පෙනුනොත් මට කෝල් එකක් දෙන්න …. බෙහෙත් දීලා තියෙන නිසා පැයක් හමාරක් යනකොට උණ බහීවි… මේ නින්ද යන්න එක්කම බෙහෙත් දීලා තියෙන්නේ.. ඇහැරුනම සුප් චුට්ටක් හරි , පාන් පෙත්තක් හරි දෙන්න …”

“හරි නෝනේ.. එහෙනම් තව ඇඳිරි වැටෙන්න කලින් නෝනේ පිටත් වෙන්න ….”

සින්දූපා වෛද්‍යවරියක වීම යම් තරමකින් අයතා භාවිතයකට පෙරලුවාය.

ඕ මනුජගේ දකුණු අත මැණික් කටුව අසලින් අල්ලාගත්තාය. නාඩි පරික්ෂා කරන සෙයක් පෙන්වමින් මොහොතක් එලෙසම උන්නාය. ඔහුට සුවපත් වන්නට ප්‍රාර්ථනාවක් නැඟුණි.
ඒවාට හේතු ඇය සිතන්නට හෝ උත්සාහ කලේ නැත. ඇතැම් අවිනිශ්චිත මොහොතකට පසු , ජීවිතය මෙලෙසින් කණපිට ගැසිය හැක.

එදින රාත්‍රියේ මනුජ උමතුවෙන් මෙන් හැසිරෙද්දී සිතෙහි වූයේ අප්‍රමාණ කෝපයකි. එහෙත් ඕ වගකීම් මඟ නොහැරෙන්නට වග බලා ගත්තාය. ඉන් පසුව රෝහල් අධිකාරිවරයාගේ උපදෙස් දීම් වලට  නතු වෙන්නට වෙද්දී මනුජ ගැන වූ කෝපය තවත් නැඟුණි

ඒ කෝපයෙන් දැවෙමින් තිබූ බව සින්දූපා ට මතකය. එහෙත් මේ දැනෙන උත්කර්ශවත් හා ප්‍රහර්ෂණීය උණුසුම මනුජගේ රූපය හා සමගාමී වූ තැන පිළිබඳව  ඇයට ඉරි ඇඳ වෙන් කර පැවසිය නොහැක. එහෙත් දැන් ඔහු නිසාවෙන් හද කිති කැවේ. ඔහුගේ වෛවාහික බන්ධනයේ බිඳී යෑම ගැන හිස් හැඟීමකට පසුව වන යම් සැනසීමක්ද ඇයට දැනෙයි.  ඔහුගේ කුඩා දියණිය පිළිබඳව වඩා වැඩි වගකීමක් සහ දයාර්ද්‍ර මවුවට් කමක් දැනෙයි. ළමා වාට්ටුවේ සේවය කිරීම නිසා කොහොමටත් දරුවන් ගැන ඇගේ සිත තෙත්‍ ය. එහෙත්, මේ දැනෙන හැඟීමට ඉන් එහා අගයක් ඇත.

සින්දූපා නිවසින් පිටත්ව නවාතැනට ගොස් යළි සේවයට වාර්තා කලාය.

” කෑම්ප් එකෙන් මහත්තුරු දෙන්නෙක් ආවා නෝනේ… කවලා බෙහෙත් එහෙම් දුන්නා… ඇඟ දැන් නම් සීතල වෙලා කිව්වා..එක මහත්තයෙක් එහෙමම නැවතුණා… අපේ මහත්තයා කතා බතා නෑ නිදි…”

සින්දූපා රාත්‍රියේ ගත් ඇමතුමට සාරතී කැමැත්තෙන්ම විස්තර කීවාය. දියණියද ආහාර ගෙන නිදාගත්බව විමසීමට පෙරම කීවාය.

සින්දූපා උන්නේ යම් සැහැල්ලුවකය. ඇය හා රාත්‍රී සේවයේ උන් හෙද නිළධාරිනියද ඒ පිළිබඳව විමසමින්  සින්දූපා ට විහිලු කලාය.

” ඩොක්ටර් අද නම් ඉන්නේ වෙනම ලෝකෙක …”

” ඒ පාර  නිමාෂා මිස් අංජනම් බලන්නත් අරගෙනද ?”

“නෑ නෑ ..ඇත්තටම මම කිව්වේ .. අද හරි සතුටින් ඉන්නවා කියල පේනවා…”

“ම්ං කවදත් සතුටින් ඉන්නේ … හරිද? …”

“හරි හරි.. ඒක ඇත්ත …. මම මේ කියන්නේ, අද වෙනදාටත් වඩා සතුටක් පේනවා කියලා… සතුටකුත් නෙවෙයි .. ඒක නිකන් … මාර රිලැක්ස් එකක් පේනවා …. පහුගිය දවස් ටිකේ සර් හින්දත් ස්ට්‍රෙස් වෙලා ඉඳලා, ඩොක්ටර් මධාරාත් ඉතින් … පුදුම වදයක් නේ දුන්නේ….ඒ වුනාට ..එච්චරට අවුල් මැදත් ඩොක්ටර් අමුතු මොකක්දෝ මන්දා එකක ඉන්න බව පේනවා ….”

“මං කියන්නද නිමාෂා …. වඩා හොඳයි ඔයා  පාර්ට් ටයිම් අංජනම් එලි බලන ජොබ් එකක් කරනවා නම් …”

“අන්න ඒකනේ.. අන්න ඒකනේ …. ඒ කියන්නේ, මම හරි … ඩොක්ටර්ට මොකක්ම හරි වෙලා… ඉන්නකෝ මං ඩොක්ටර් විශ්ව ආවම මේකේ රහස අල්ලගන්නම් …”

“අනේ මේ…”

සින්දූපා හෙදිය පසෙකට වන තෙක්ම උන්නේ කිසිඳු හැඟීම් වෙනසක් නැතිවය. ඇය පිටව ගියාට පසු ඕ ජංගම දුරකතනයෙන් සෙල්ෆි සේයාරුවක් ගත්තාය. තම වත මත වන තමාටද කියවාගන්නට නොහැකි සිනහව වින්දාය.

මේ සිනහ රැළි ඔහු නමින්ද …?

මනුජ ඇහැරුනේ මධ්‍යම රැයේය. අඩ අඳුර නිසා එක්වරම සිහි එලවා ගන්නට හැකි වූයේද නැත. ඔහු යහනේ අත පත ගාමින් ජංගම දුරකතනය සෙව්වේය. එහෙත් එය සොයාගන්නට හැකි වූයේද නැත. මනුජ ඉන් පසුව යහනේ කෙලින් වී හිඳවත්තේය. උදෑසන කඳවුරේ සේවයට වාර්තා කලා මතකය. දරගත නොහැකි තරමේ ගත රිදුම් දීම සමඟ වෛද්‍ය උපදෙස් පැතූ බවද මතකය. සහායක නිළධාරියෙකු තමා නිවසට ඇරලූ බවද මතකය.

මනුජ දෑත් යහන මතට තබා අතීතාවර්ජනය පහසු වන සේ හිඳගත්තේය.

තමා නිවෙසට ඇතුලු වන විට ඇය නිවසේ උන් මතකය ඉන් පසුව ඇඳුණි. එය මතකයක්ද, සිහිනයක්ද කියා ඔහුට පැහැදිළි නිරවුල් භාවයකින් වෙන් කරවා ගන්නට හැකි වූයේ නැත

” ඩොක්ටර්ට මොකටද මෙහෙ එන්නේ ?”

ඔහුට  එක්වරම එලෙසින් සිහියට නැඟුනේය.

එත් ඒ හා සමඟම සිහි වූයේ, ඇය බලෙන් තමා වත්තම් කරගෙන  කාමරයට රැගෙන ආ අයුරුය. බැණ වදිමින් තමා පාලනය කර ගත අයුරුය.

මනුජ හිස දෙපසට සොලවමින්, දකින්නේ සිහිනයක මතක  නම් ඉන් මිදෙන්නට උත්සාහ කලේය. එහෙත් එක් දිගට දිග හැරුණේ ඇයමය. තම ගත ලූ ඇඳුම් ඇය ඉවත් කිරීම…, මනුජ වහා කාමරයෙන් පිටතට ආවේය. සාලයේ  සෙටියේ ඔහුගේ සමීප සගයන් දෙදෙනා තද නින්දකය

ඔවුන් මෙහි පැමිණියේ කුමකටද ?

” චරියා …. චරියා …”


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here