ළතෙත් ආදර හැඟුම් ගංගා – 3

0
2308

හිතපු නැති විදියට ඇරිච්ච ඒ දොර අන්තිමට මගේ බඩට දරුවෙක් ගෙනැල්ලා දීලා නේද කියන එක මතක් වෙන පාරට මට හිතුනෙ ආපස්සට ගිහිල්ලා අතීතෙ වෙනස් කරලා එන්න. එහෙම කරන්න බෑ කියලා දැනගෙන උන්නා උනත් එහෙම හිතන එකම තප්පර ගාණකට හරි මගේ හිත සනසන්න මට උදව්වක් උනා.

ඒත් ගයාන් කිව්ව වචන එක්ක මට ආය ජිවීතේ කවදාවත් ගෙවුණ ජීවිතේ වගේ සන්තෝසෙන්, සැනසීමෙන්, කෙල්ලෙක් විදියට ලෝකෙට මුණ දෙන්න බැරි විත්තියත් මට තේරුම් ගන්න එච්චර අමාරු උනේ නෑ.

“ගයාන් මට ඔයාට කියන්න දෙයක් තියෙනවා” කියලා ගයාන් කිය කිය උන්න වචන මැදින් නතර කරලා මම කියද්දි ගයාන් හිතුවෙ වෙනදා වගේම මං එයාට “අපි මෙ සම්බන්ධෙ නතර කරමු” කියලා කියාවි කියලා.

“අනේ බබී, ඔන්න විහිලුවටවත් කියන්න එපා හොඳේ අෆෙයාර් එක නතර කරමු කියලා. ඔයා දන්නවනෙ මං ගැන. මට තේරෙනවා ඔයාගෙ හිතට කොච්චර අවුල්ද කියලා මම වගේ කසාද බැඳපු මනුස්සයෙක් එක්ක යාලුවෙලා ඉන්න එක. ඒ උනාට මම ඔයාට කියලා තියෙනවා ඒ ගෑනිව කසාද බැන්දට වඩා හොඳයි මම නිකන් හිටියා නම් කියලා. මං අපායක ජීවත් උනේ ඔයාව මට හම්බ වෙන කම්. මම සන්තෝසෙන් ඉන්නෙ, මට හුස්ම ගන්නවා කියලා දැනෙන්නෙ, මට මම ජීවත් වෙනවා කියලා දැනෙන්නෙ දැන්. ඒ හැමදේම මට ලං කරලා දුන්නෙ ඔයා. 

එහෙම එකේ ඔයාත් නැතිවෙච්ච දවසක මම තව දුරටත් ජීවත්වෙලා වැඩක් නෑ. මම ඉක්මනට හැමදේම ලෑස්ති කරන ගමන් ඉන්නේ තාරුකාව ඩිවෝස් කරන්න. ඒත් ඔයා දන්නවනෙ බබී අපේ රටේ කසාද බඳින තරම් ලේසි නෑ ඩිවෝස් වෙන එක. ඒකයි කල් යන්නෙ එහෙම නැතුව මේ මම ඔයාට බොරුවක් කරනවා නෙවෙයි. ඒ නිසා ඔන්න ප්ලීස් ආයෙ නම් කියන්නවත් එපා මට ඇහෙන්නවත් අෆෙයර් එක නවත්තමු” කියලා ගයාන් කිව්වට මට කොහොමටවත් උවමනා උනේ නෑ අද නම් විහිලුවටවත් එහෙම කතාවක් මිනිහට කියන්න. මොකෝ දැන් මට මිනිහගෙ ඇඟේම එල්ලිලා ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ කියන එක මම හොඳටම දැනගෙන උන්න හන්දා.

“නෑ ගයාන් මම කියන්න ආවෙ අෆෙයාර් එක නවත්තමු කියලා නෙවෙයි. අපි ඉක්මනට මැරි කරන්න ඕන කියලා” මම කිව්වෙ ඒකයි.

“මං දන්නවා පැටියො. මටත් ඔයාව ඉක්මනට මැරි කරන්න ඕන. මට ඔයාව තව දුරටත් ඔය බෝඩිම් කාමර අස්සෙ තියන්න උවමනාවක් නෑ. මං ආසයි මගෙ ගෙදර ඔයාව ගෙනිහින් තියන්න. ඒත් ඔයා දන්නවනෙ තාරුකා ඒ ගෙදර තාම ඉද්දි මට ඒක කරන්න බැරි විත්තිය. තාරුකාට අරහෙන් මෙහෙන් මං හිතන්නෙ ආරංචි වෙලා තියෙනවා අපි දෙන්නා ගැන. ඒත් මට ඒක හේතුව කරගෙන ඩිවෝස් එක ඉල්ලන්න විදියක් නෑ මොකද මගෙ නමට බ්ලැක් මාක් එකක් ආවොත් මට මේ ඉන්ඩස්ට්‍රි එකෙ තව දුරටත් ඉන්න ලේසි වෙන්නෙ නැති හන්දා. මම මේ ෆුල් ට්‍රයි එක දෙන්නෙ අපි දැන් අවුරුදු ගානක් ට්‍රයි කරත් එයාට බබාලා නෑනෙ කියන රීසන් එක ඉස්සරහට අරගෙන එයාව ඩිවෝස් කරන්න. ඒ උනාට ඒක මේ කියන තරම් කරන්න ලේසි නෑ බබී.” කියලා ගයාන් කියාගෙන කියාගෙන යද්දි වෙනදා පිළිගත්ත ඒ වචන තවදුරටත් ඉස්සර වගේ භාරගන්න බැරි විත්තිය මගෙ හිත කිව්වා. මොකද අද උන්නෙ වෙනදා උන්න මං නෙවෙයි. මං දැන් වෙනස් කෙනෙක්. මං දැන් තනි කෙනෙක් නෙවෙයි. මං දැන් දෙන්නෙක්. අන්න ඒ වෙලාවෙ තමයි මට පලවෙනි වතාවට තේරුනේ මිනිස්සු කියන තරම් එක්කෙනා දෙන්නා වෙන එක මාර ආතල් ෆීලින්ග් එකක් නෙවෙයි ඒක දරාගන්න අමාරු ලොකුම ලොකු බරක් කියලා. 

“ඔයාට දැන් ඒක කොහොමහරි කරන්න වෙනවා ගයාන්. එහෙම නොකරොත් කොහොමත් ඔයා ඔය ඔයාගෙ නමට ඉස්සරහින් ඇඳේවි කියන බ්ලැක් මාර්ක් එක ඇඳෙනවා”

“ඒ කිව්වෙ?”

“මම ප්‍රෙග්නන්ට්” කියලා මම කියලා දැම්මයින් පස්සෙ ගයාන්ගෙ පැත්තෙ ෆෝන් එකෙන් කිසි සද්දයක් ආවෙ නැත්තෙ ඇයි කියලා අහන්න වගේ තමයි මම ෆෝන් එක කණට ලං කරලා හයියෙන් “හෙලෝ හෙලෝ හෙලෝ” කියලා කිව්වේ.

“ඔයාට හොඳටම ශුවර්ද ඔයා ප්‍රෙග්නන්ට් කියලා?” ගයාන් අහද්දි මේ තමයි ගයාන් පලවෙනි වතාවට මට බබී. එහෙම නැත්තම් පැටියෝ, එහෙම නැත්තම් ඩාලින් කියල කතා නොකරපු පලවෙනි වතාව කියන එකත් මට මතක් උනා. ඒත් ඒ මතකෙ දරාගන්න එක එච්චර ලේසි උනේ නෑ. මොකෝ මිනිහෙක් කාලාන්තරයක් තිස්සෙ කිසි වෙනසක් නැතුව කරගෙන ආව දෙයක් එකපාර වෙනස් වෙන්න  මොකක් හරි ලොකුම ලොකු හේතුවක් තියෙන්න ඕන නේද කියන කාරණේ මට ඊගාවට මතක් වෙච්ච හන්දා.

“ඔව්, මම ප්‍රෙග්නන්සි කිට්ස් දෙකක්ම ට්‍රයි කරලා බැලුවා. අනික මම කෑම අජීර්ණයක් කියලා හිතුවට පහුගිය ටිකේ මට වමනෙ ගියෙයි පීරියඩ්ස් උනේ නැත්තෙයි ඒකට කියලා මට දැන් තමයි තේරෙන්නෙ” කියලා ගයාන්ට කියද්දිත් මම ඇත්තටම දැනගෙන උන්නේ නෑ මට තේරිච්ච නැති, එහෙම නැත්තම් මට තේරුම්ගන්න උවමනාවක් තිබ්බෙ නැති ගොඩක් දේවල් මමයි ගයානුයි අතර හොඳට පේන්න තිබිලා තියෙනවා කියන එක.

මට කසාද බඳින්නෙ නැතුව, කසාද බඳපු මිනිහෙක්ගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියන එකට වඩා ඒ වෙලාවෙ මගෙ හිත රිද්දුගෙ ගයාන්ගෙ පැත්තෙන් අහන්න ලැබිච්ච නිශ්ශබ්දෙ. ඒ නිහඬතාවෙ ඇතුලෙ කියාගන්න බැරි මහ ලොකු භයානක කතන්දරයක් හිරවෙලා තියෙන විත්තියට මට ඉඟි කෙරුවෙ මගෙ හිත. ඒත් මං උන්නේ “අනේ ගයාන් මාව බේරගන්න” කියලා හිතෙන් ඉල්ලන ගමන්.

එතනදිවත් මට ඕන උනේ නෑ කියන්න “අනේ ගයාන් මාවයි මේ දරුවවයි දෙන්නවම බේරගන්න” කියලා. 

“ඔයාට හොඳටම ශුවර් ද ඔයා ප්‍රෙග්නන්ට් කියලා?” ආය ගයාන් අහද්දි මට ඇත්තටම තරහා ගියා. මට ඕන උනා කියන්න මිනිහට තමුසෙට එච්චරටම ඕක අන්ශුවර් නම් මාස දහයක් ඉවසන් ඉන්නවා මම ළමයව අතටම ගෙනත් දෙන්නම් කියලා. ඒත් මගේ ගැලවීමට ඉන්න එකම මිනිහගෙ ඇඟට ඒ විදියට කඩං පනිනවට වඩා මම ඉවසන් ඉන්න එක ගැලවිජ්ජාවට හොඳයි කියලා තේරිච්ච හන්දම තමයි කිසිම දෙයක් නොකිය ආය වතාවක් “ඔව් ගයාන්” කියලා කිව්වෙ.

“මොකද්ද දැන් අපි කරන්නෙ ඕකට?” කියලා ගයාන් මගෙන් අහද්දි මට ඇත්තටම මිනිහගෙන් අහන්න හිතුණා “ඒක දන්නවනම් මම තමුසෙට කෝල් කරන්නෙ නෑනෙ” කියලා. ඒත් ඒ වෙලාවෙ කසාද නොබැඳ බඩේ දරුවෙක් තියාගෙන උන්න මට, ඒ දරුවගෙ තාත්තගෙන් එහෙම අහන්න හයියක් තිබ්බෙ නෑ.

මොකෝ වෙන ගැලවෙන්න පාරක් මට ඒ වෙලාවෙ පේන්න තිබ්බෙ නැති හන්දා.

“මං දන්නෙ නෑ ගයාන් මට පිස්සු වගේ. මොකද්ද මං කරන්නෝන කියල මට හිතාගන්න බැරි වෙච්ච හන්දමයි මං දිගට හරහට ඔයාට කෝල් කරේ. මං කොහොමද දරුවෙක් එක්ක ආය කැම්පස් යන්නෙ, මොඩ්ලින් කරන්නේ, අනික මං ගෙදර මිනිස්සුන්ට මොකද්ද කියන්නේ?” කියලා මං කිව්ව කතාවලට උත්තරයක් ගයාන් ලඟ තිබ්බා.

“ඔය ළමයව නැති කරානම් ප්‍රශ්නෙ ඉවරනෙ. ළමේක් කිව්වට ඔතන තාම ළමේක් නෑනෙ. ඕක අස් කරලා දාමු. මං දන්න තැනක් තියෙනවා. මං එතනට කතාකරන්නම්” කියලා ගයාන් කියද්දි මට ගයාන්ගෙන් දෙයක් අහන්න තිබ්බා.

“ඔයා දන්න තැනක් කියන්නේ ඔයා මීට කළිනුත් මේ වගේ දේවල් කරලා තියෙනවද?” කියලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here