දෑත දරා – 30

0
3493

” චුට්ටක් නවත්තන්නකෝ ….”

සින්දූපා කංකෙඳිරියක් සේ දෙවන වතාවටද කීවාය. මනුජ ඒ බවක් නෑසුනා මෙන් මෝටර් රිය ධාවනය කලේය.

සින්දූපා එවර මනුජ දෙස බැලුවාය. සුදු පැහැ ගුවන් හමුදා නිළ ඇඳුමට ඔහු අසීමාන්තික කඩවසම් ය. කෝපයෙන් පිම්බී ඇති කොපුල් ඔහුගේ මුහුණට යහමින්ම ගැලපෙන බව සින්දූපා සිතුවාය. ඔහු මෝටර් රිය ධාවනය කරන්නේ අධික වේගයෙනි.

” මෙහෙම හයි ස්පීඩ් රෝඩ් රන් එකක් යමු කියන්නෝනා දාක .. නෑ එක්කෝ ෆෝ වීල් එකක් …”

සින්දූපා එලෙසද සිතුවාය. ක්‍රමයෙන් ඇගේ පාලනය ගිලිහෙමින් තිබුණි. ඕ මනුජගේ වැලමිටට මදක් පහලින් අතින් අල්ලා ගත්තාය. මනුජ තිගැස්සුණේ නැතැයි කීම මුසාවකි. එහෙත් , තිගැස්සීම නොපෙන්වා සිටීමට තරම් ඔහු දක්ෂ විය.

” චුට්ටකට නවත්තල යමුද ?”

” දෙන්නාම ඩියුටි නේ ඉන්නේ ? බිහේව් ..ඩෝන්ට් ට්‍රයි ටු ක්රොස් යුවර් ලිමිට්ස් …..”

සින්දූපා විදුලියක් වැදුනාක් මෙන් අත පසෙකට ගත්තාය. දිනයේ දෙවන වතාවටද කුඩුපට්ටම්ව ගිය බව දැණුණි. ඕ කෙල පිඬක් ගිල්ලාය. ගැඹුරු හුස්ම දෙකක් දෙවරක බැගින් හෙලුවාය. උකුල මත වූ දෑත් ළය මත වන සේ තදින් බැඳගත්තාය. දෑස් වල ගිණියම තමා තුළම සඟවා ගත යුතු බව සිතුවාය. තමාට කෙලෙසින් වුවද, මේ පිරිමියාට තමා පිටස්තර ගැහැණියක බව සැක නැත. නොඑසේනම්, තමා සිටින්නේ කිනම් මානසිකත්වයකදැයි නොදැනම මෙලෙසින් රිදවන්නේ නැත. මෙලෙසින් අසරණ කරන්නේද නැත.

සින්දූපා දෑස් පියා ගත්තාය. කඳුලු නොනැවතෙන බව ඇයට දැනෙයි. ඒ කඳුලු පිසගන්නට දෑස් ඉදිරියට ගැනීමද කල නොහැකි බව දැනෙයි. එතරමට අභ්‍යන්තරයම ගල් වී, එහි ප්‍රතිඵලය ලෙස බාහිරයද ගල් ගැසී ඇත.

මනුජට සින්දූපා දෙස බැලුණේ ඉබේටමටය. ඕ නිහඬ වූවාට පසු වූ චලනයන් ඉබේම ක්ෂය වී නිසොල්මන්ව ගිය බව මනුජට පෙනුනේය.

ඇගේ ඇස් අග්ගිස්සෙන් කඳුළු බිඳු එකතුවක් වෑහෙයි. ඕ එය පිසදන්නේ හෝ නැතිවම ඔහේ සිටියි.

තමා තුළ උන් ආදරණීය මිනිසා මිය ගොස් බව මනුජ යලි අවධාරණය කර ගත්තේය. මෙවෙලෙහි ඇයට අවශ්‍ය වන්නේ තම කෝපය නොවේය.

මනුජ මෝටර් රිය නැවතුවේ රෝහලට කිලෝමීටර් දෙකක් පමණ මෙපිටිනි. සින්දූපා දෑස් විවර කලාය. වහා මනුජ දෙස හැරී බැලුවාය. කඳුලු පිස දා ගත්තාය.  ඔහු  වාහනය නතර කර ඇති බව පෙනේ. ඔහු එලෙසින් සිදු කලේ කිනම්  උවමනාවකින්දැයි වටහා ගන්නට නොහැකිව මෙන් සින්දූපා බලා උන්නාය.

“මොකක්ද වුණේ ?”

මනුජ සුක්කානමෙන් එක් අතක් පමනක් තබා ගනිමින් විමසුවේ සන්සුන් හඬිනි. සින්දූපා ඉන් මදක් තිගැස්සි යනු දුටුවද මනුජ නොවෙනස්ව බලා උන්නේය. සින්දූපා ඉවතක් බලන්නට උත්සාහ කලද එය සාර්ථක වූයේ නැත.  මනුජ දෑසින්ම ඇයව අල්ලාගෙන උන්නාය.

” ඔක්කොම දමලා ගහලා ඩියුටි වෙලාවේ මෙච්චරක් දුර ඩ්‍රයිව් කරන්න මොකක්ද වුණේ  ?”

මනුජ යළි විමසුවේය. සින්දූපා කෙළ පිඬක් ගිල දැම්මාය. තමා මුහුණ දෙන අපහසුතා පිළිබඳව මොහුට පැවසීම පලක් නැත. ඉන් සිදුවන්නේ තමා නිරපරාදේ කුණු ගොඩකට ඇද වැටීමය. අනෙක් අතට තමා ජීවිතයේ රාජකාරීමය තත්වයන් පිළිබඳව තිරණයක් ගෙන අවසන් ය.

” කතා කරන්නේ නැද්ද ?…”

” මට එහෙම කියන්න දෙයක් නෑ …”

“එහෙනම් විශ්ව මොකටද එච්චරට කලබල වෙලා මට කිව්වේ ඔයාව හොයාගන්න කියලා…”

“ඒක එයාගෙන් අහගන්න ඉතින් .. මම දන්නේ නෑනේ…..”

මනුජගේ ඉවසීම යළි ඉක්මවා යමින් තිබුණි. එහෙත්,  මනුජ තමා පාලනය කරගන්නට උත්සාහ කලේය.

” සින්දූපා …”

“ප්ලීස්… අපි යමූ …”

“නවත්තන්න කිව්වේ මමද ?”

“සොරි….  යමු…”

“සින්දූපා … ප්ලීස් …. මොකක්ද ඔයාගේ ප්‍රශ්නේ කියලා මට කියන්න….  මෙවෙලේ මට පුලුවන් ඔයාට උදව් කරන්න ….. ඔයාට පුලුවන් මාව විස්වාස කරන්න….”

” මෙච්චර සති ගානකට පස්සේද ඔයා මට කියන්නේ ඔයාව විශ්වාස කරන්න කියලා ? ආහ්…. “

සින්දූපා සරදම් සිනහවක් මවා ගත්තාය. මනුජට ඇගේ ඇණුම්පදය නොවැටහුණා නොවේ. එහි ඇති සාධාරණත්වය වටහා ගන්නට නොහැක්කේද නොවේ

ඇගේ සිතුවිලි අවුස්සා හැරෙන්නට හැර තමා පසෙකට වන්නට තීරණය කලේය. ඇගේ ඇස් වල වූ වෛවර්ණ පැහැය නොදැක්කා සේ සිතා පසෙකට වූයේය. ඇය සැක කරන්නට, ඇයට දරාගන්නට හෝ නොහැකි වන මුසාවක්ද ගලපා ගත්තේය.

ඉතින්., ඇගේ ඇණුම්පද සියල්ල ඉවසා සිටීමට සිදුවේ.

“අයිම් සොරි …. “

“ඉට්ස් ඕකේ …. යමු…..”

මනුජ සින්දූපා දෙස තරවටු බැල්මක් හෙලුවේය. ඇතැම් විට දියණිය නවා ගැනීමවත් මෙතරම් අපහසු නැත.

” කතා කරනකල්  .. කවුරුත් කොහෙවත් යන්නේ නෑ… එච්චරයි…….”

මනුජ එවර මදක් දැඩි හඬක් ආඩ්‍ය කරගත්තේය .

සින්දූපා ඔහු දෙස වඩා විමසිලිමත්ව බැලුවාය. ඔහු වෙත ඇස් ඇලවුනු පසු පසෙකට වීම පහසු නැත.

” ඒක ඔයා දැනගත්තා කියලා වැඩක් නෑ… මගේ පර්සනල් ස්පේස් එකේ ප්‍රශ්නයක්… ඒ නිසා ඒ ගැන මම කතා කරන්න කැමතිත් නෑ… ප්ලීස්…”

මනුජ ඉවසීම තවත් ප්‍රගුණ කරමින් උන්නේය. ඇයද සාමාන්‍ය තරමක හිතුවක්කාරියක් නොවේය. අනෙක මෙලෙස කුඩා කෙල්ලක ලෙසින් හිතුවක්කාරකම් පාන්නේ, අවම වශයෙන් තිහේ දශකයේ මැද භාගයේ සිටින්නියකි.

”  ඔය පණ්ඩිත බහුභූත කතා වලින් මට වැඩක්ම නෑ සින්දූපා …. වුනේ මොකක්ද කියන්න …”

” ප්ලීස් ඩෝන්ට් ක්‍රොස් යුවර් ලිමිට්ස් කමාන්ඩර් …”

සින්දූපා පසෙකට මුහුණ හරවාගෙන එලෙසින් කීවාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here