ළතෙත් ආදර හැඟුම් ගංගා – 13

0
865

“ලියුමක් යවල උත්තරයක් බලාපොරොත්තු වෙනවා නම් නංගියෙ ඔයා ඒ ලියුමෙ කෙලවරක තමන් දැන් ඉන්න ඇඩ්‍රස් එක ලියලා යවන්නෝන නේද?” කියලා කාන්ති අක්කා කිව්වට මං හිතුවෙ මං ඇඩ්‍රස් එක ලියලා නොයැව්වත් අම්මලා මොන විදියකින් හරි මාව හොයාගෙන ඒවි කියලා.

“හින්දි ෆිල්ම් වල වගේ ඔයා ඇඩ්‍රස් එකක් නැති ලියුමක් යවලා ඒ ලියුම ලැබෙන මනුස්සයා ඒකට උත්තරයක් එවාවි කියලා හරි, අහම්බෙන් දවසක ගේ ඉස්සරහ දොරකඩ හිනාවෙවී බලාගෙන ඉඳිවී කියලා බලාපොරොත්තු වෙන්න එපා නංගි. ඔයාගෙ වයසෙ හැටියට මේ වෙච්ච දේවල් ඕනවටත් වඩා වැඩි බව ඇත්තක් උනත් දැන් ඔයාට වයසට වඩා වැඩියෙන් හිතන්න කාරණා සිද්ද වෙලා තියෙනවනෙ. එහෙම එකේ දකින හීන හැම එකක්ම එයාකාරයෙන්ම එලිවේවි කියලා හිතන්න එපා. දැන් නංගි කරන්නෝන ඇත්ත ජිවීතේ මෙන්න මෙයාකාරයි කියලා ඒ ජීවිතේ පිළිගන්න එක, භාරගන්න එක, ඒකට හැඩගැහෙන එක” 

“මං හිතන්නෙ මට ඒ වගේ දේවල් හිතෙන්නෙ දරුවා ලැබෙන්න ඉද්දි වෙන හෝමෝන වෙනස්කම් හන්දා වෙන්නැති” කියලා මං කාන්ති අක්කට කිව්වේ මං මහජන පුස්තකාලෙන් ගත්ත දරුවො ගැන ලියවිලා තිබිච්ච පොතක දරුවෙක් ලැබෙන්න ඉද්දි ගෑනියෙක් ශාරීරිකව විතරක් නෙවෙයි මානසිකවත් වෙනස් වෙනවා කියලා ලියලා තිබිච්ච එක මතක් කරගෙන. 

ශාරීරිකවයි මානසිකවයි මං හොඳටම වෙනස් වෙලා මෙච්චර දවසක් ගිය කැට් වෝක් එක තාරාවෙක් යන ගමනකට වෙනස් වෙද්දි මංජු උන්නෙ තමන්ගෙ පළවෙනි ඇම අසාර්ථක උනාට දෙවනි ඇම හරියට දාගන්න බලන් කියන එක මට නොතේරුණා නෙවෙයි. ඒත් “අනං මනං කියන්න යන්නෙ නැතුව සද්ද නැතුව ඉන්න නංගි. අපිට මිනිස්සුන්ව හදන්න බෑනෙ. අපි ඕවට උත්තර නොදී උන්නා නම් හරි.මොකෝ අන්තිමේ වචනයක් වැරදුනොත් ඔය මිනිස්සු ඕවට මොන විදියකට උත්තර බඳින්න යාවිද කියලා අපි දන්නෙ නෑනෙ. නංගි ඉන්න එපාය දිගටම මෙහේ” කියලා කාන්ති අක්කා කිව්වෙ දෙවනි ඇම විදියට ගේ ඉස්සරහින් මංජු මමයි දරුවයි වෙනුවෙන් ගෙනැල්ල තියන්න කටයුතු කරපු පුංචි පුංචි බඩු මලු වල තිබ්බ එක එක ජාති කුස්සියෙ මේසෙ උඩින් තියන ගමන්. 

“මිනිහා බිත්තර තුනක් ගෙනැල්ලා තියෙන්නෙ මට එකයි නංගිට දෙකයි කන්න වෙන්නැති නේද? බලහල්ලකො ඒක. ළමයා තාම ඉපදිලත් නැතුව ළමයට කන්නත් බිත්තර ගෙනැල්ලා” කියලා මංජු එහෙම ගෙනත් තිබිච්ච රතු පාට බිත්තර ගෙඩියක් මං දිහාවට කරකවලා කාන්ති අක්කා හිනාවෙද්දි මාත් හිනා උනා. මොකෝ අපේ මේ ජීවිත අස්සෙ එහෙම දේකට හිනාවෙනවා ඇරෙන්න අපිට වෙන හිනාවෙන්න එහෙමකට කාරණා නිතර දෙවෙලේ ආවෙ නැති හන්දා. කාන්ති අක්කා කොහොමත් බත් පැකට් හදන්න ගන්න අමුද්‍රව්‍ය වලට අමතරව මංජු ඔය සතියකට වතාවක් විතර ගෙනල්ලා තියෙන පරිප්පු පන්සීයක්, සීනි පන්සීයක්, බිත්තර ගෙඩි, පිටි පැකට් එකක් එහෙම අපිව බඩගින්දරේ තිබ්බේ නෑ. මොක උනත් අන්න මංජුගෙ ඒ උදව්ව හන්දම වෙනදා වගේ මම ත්‍රීවිල් පාක් එක ළඟින් යද්දි ඔරවන් ගියේ නෑ. හිනා උනෙත් නෑ. ඒ වෙනුවට කිසිම හැඟීමක් දැනීමක් නැති රොබෝ ගෑනියෙක් වගේ එතනින් ගියා. හැබැයි ඒඅක මංජු පොසිටිව් දෙයක් විදියට භාරගන්නැති කියලා මං හිතුවෙ දරුවා හම්බෙන කම්ම මංජු ගේ දොරකඩ තියලා ගියපු හින්නික්කිතර බඩු මලු අඩු වුනේ නැති හන්දා.

දරුවව හම්බෙන්න මාසයක් තියලා තමයි උත්තරා අක්කා මට කිව්වේ “නංගි මං මෙහෙම කිව්වට අමනාප වෙන්න එපා. නංගිටම තේරෙනවා ඇතිනෙ නංගි ඉන්න තත්ත්වෙයි මං ඉන්න තත්ත්වෙයි දෙකම. දරුවෙක් එක්ක මේ වගේ තැනක උදේ ඉඳන් හවස් වෙනකම් හිටං ඉන්න නංගිට අමාරුයි කියන අපි දෙන්නම තේරුම් ගන්නෝන වගේම මට නංගිට ආය වැඩට එන්න පුළුවන් දවසක් එනකම් කමියුනිකේශන් එක වහලා දාන්න බැරිබවත් දන්නවා ඇතිනෙ.

මං හිතුවා ඉතින් වෙන කවුරුහරි ළමේක්ව අරගන්න” කියලා. 

“රස්සාවක් නැතිවෙනවා කියන්නෙ මට ආය හොඳටම ඩවුන්ද පල්ලම්” වෙනවා කියලා දැනුනත් උත්තරා අක්කා කිව්ව කිසිම වචනයක් බොරු නොවෙන හන්දා ඒ කතාවට එකඟ වෙලා රස්සාවෙන් අස්වෙලා ආය ගෙදර එනවා මිසක්කා මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. 

“උත්තරාට ඒ උනාට තව ඩිංගක් හිතන්න තිබ්බා නේද?” කියලා කියන ගමන් කාන්ති අක්කා එදා රෑ බත් එකට කන්න මට බිත්තර දෙකක් තම්බලා ගෙනත් කෑම පිඟානෙන් තිබ්බා. ඒ බිත්තර මංජු ගෙනාපු බිත්තර බව මං දැනගත්තෙ කැම මේසෙ දකුණු පැත්තෙ තිබිච්ච පුංචි කුස්සියෙ ඉඳුල් දාන ඩස්ට්බින් එකේ තිබ්බ රතු බිත්තර කටු ටික දැක්කම. මංජු හැමදාම ගෙනාවෙ රතු බිත්තර. කාන්ති අක්කා නම් ගෙදර කෑමට බිත්තර ගත්තෙ නැති තරං. ඒ ගත්තත් ගෑනි ගත්තෙ සුදු බිත්තර. ඒ හන්දා අපි මෙහෙදි වැඩිය කෑවෙ කරෝල, හාල්මැස්සො, සෝයා තමයි. ඒ හන්දා බිත්තරයක් කන එකෙත් ආතල් එකක් අපිට තිබ්බා.

“හිතුවත් ඉතින් අපි දෙන්නටම මීට වඩා වෙනස් උත්තරයක් දෙන්න විදිහක් නෑනෙ අක්කෙ. මොකෝ මං ළමයව ඩේ කෙයා දාලා වැඩට යන්නද? එහෙම නැත්තම් උත්තරක්කා මට ආය වැඩට එන්න විදියක් ලැබෙනකම් එයා කමියුනිකේශන් එක බලන්න කියලද?” කියද්දිත් ඇත්තටම මගෙ ඔලුවෙ වැඩ කරේ මං දැන් මොකද්ද කරන්නෙ කියන එක. බිත්තරේ කද්දි “මංජු කිව්ව දේට කැමති උනා නම් මීට වඩා සෙතක් වෙන්න තිබ්බා, අඩුම දවස ගානෙ බිත්තර හරි කන්න තිබ්බා නේද?” කියලා හිතුනට මොකෝ “බිත්තරයක් වෙනුවෙන් මිනිහෙක්ට පදිරි වෙන්නෝනද?” කියලත් හිතිච්ච හන්දා මට ටික වෙලාවකට බිත්තරේ කන එකත් එපා වුණා.

“මොකක් හරි කරන්න දෙයක් හොයාගන්නෝන අක්කේ. ගෙදර ඉඳන්ම කරන්න පුළුවන් දෙයක් උනා නම් ලේසියි. ඒත් ඉතින් ගෙවල්වල ඉඳලා මිනිස්සු කරන්නෙ ඔය සපත්තු මහන, ඇඳුම් මහන, ලියුම් කවර අලවන,කාඩ් හදන වැඩනෙ. මට ඒවා පුරුදු නෑනෙ අක්කෙ. ඉන්ටර්නෙට් එකේවත් බලන්නෝන කරන්න පුළුවන් දේවල් මොනවද කියලා මනුස්සයෙක්ට” කියලා මං කියද්දි කාන්ති අක්කා උන්නෙ කල්පනා කරන ගමන්.

සමහරවිට මට කල්පනා නොවිච්ච දෙයක් එයාට කල්පනා වේවි කියලා හිත අස්සෙ බලාපොරොත්තු තියාගෙන තමයි මම ටික වෙලාවකට කන්න නතර කරපු මංජුගෙ බිත්තරේ කෑවේ. හරිනම් මේ වෙලාවෙ මම මගේ දරුවා ගැන හිතලා හරි කන්නෝන දරුවාගෙ තාත්තාගෙ බිත්තර උනත්, අන්තිමේ කන්න වෙලා තියෙන්නෙ දරුවා එක්කම මාව භාරගන්න කැමති කැපකරු පියෙක්ගෙ බිත්තර නේද කියලා හිතෙද්දි මගෙ හිත චුට්ටක් විතර රිදුනා වගේම ගයාන්ව ඉන්න තැනකට හොයාගෙන ගිහින් “තමුසෙ දෙන්නෝන බිත්තර දෙන්නෙ වෙන මිනිස්සු ඕයි” කියලා අඬලා ගයාන්ගෙ බෙල්ල විකලා එන්න පවා මට හිතුනා. අම්මපා.

ඒත් ඒ හැමදේම “හෝමෝනල් ඉන්බැලන්ස්” නිසා ඇතිවෙන තත්ත්වයන් කියලා දැනගෙන උන්න හන්දා මං කරේ සද්ද නැතුව බිත්තර එක්ක බත් කාපු එක.

මෙහෙම හරි යමක් කමක් ගෙනත් දෙන්න මනුස්සකමක් තියෙන මනුස්සයෙක් මේ වත්තෙ උන්න එක ගැන සන්තෝස වෙන ගමන් මං හිත අස්සෙන් හිතුවා දරුවා ඉපදිලා ලොකු උන දවසක “මේ ඉන්නෙ ඔයා බඩේ ඉද්දි බිත්තර ගෙනත් දුන්න මාමා” කියලා මංජුව අඳුන්නලා දෙන්න.

මං ඒක කිව්වම කාන්ති අක්කා නම් කිව්වේ “කුකුල්ලු බිත්තර දානවද කියලා දරුවා ඇහුවම දෙන්න උත්තරයක් නංගි ඒ එක්කම හොයලා තියාගන්න” කියලා.

“මං නංගිට පොඩි වැඩක් සෙට් කරන්න අමනාප වෙන්නෙපා” කියලා කාන්ති අක්කා කියද්දි මේ ගෑනි මට මිනිස්සුන්ට ඇඟ විකුණන වැඩක්වත් සෙට් කරන්න යනවද කියලා මට හිතුනා.

මොකෝ කාන්ති අක්කා ඒක කිව්ව තාලෙ, ඒක කියද්දි මං දිහාව බලපු විදිය මට එච්චර හිතට ඇල්ලුවෙ නැති හන්දා.

මෙච්චර කල් මම හොඳටම දන්නවා කියලා හිතාගෙන උන්න උදවිය පවා මාව රවට්ටද්දි බෝඩිමේ අක්කව විශ්වාස කරන්නම ඕනද කියලා හිත ඇහුවෙ පළවෙනි වතාවට.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here