ළතෙත් ආදර හැඟුම් ගංගා – 15

0
330

ලන්ච් ක්ලබ් එක පටන් ගන්න වැඩේ අපිට මුළින්ම කරන්න තිබ්බෙ හරියන මාකටින් ප්ලෑන් එකක් හදන එක. කොහොමත් මාකටින් පැත්ත ස්ටඩි කරගෙන ආව මට මාකටින් ප්ලෑන් එකක හදලා, මිනිමල්ම කොස්ට් එකකින් හොඳ ප්‍රිමියම් පෙනුමක් එක ලෝගෝ එකක්, කෑම දාන පෙට්ටි එහෙම හදාගන්න අමාරු උනේ නෑ. ෆේස් බුක් එකේ ගෘප්ස් කීපෙක දාපු ඇනොනිමස් පෝස්ට් වලින් හරිම අඩු ගාණට ලෝගෝ හදන වගේම, ප්ලාස්ටික් කෑම පෙට්ටි හදන මිනිස්සුන්ත් හොයාගත්ත මම ඒ ඕඩර් එක දෙන්න මගේ අකවුන්ට් එකේ තිබ්බ සල්ලි වලින් කොටසක් එලියට ඇදලා ගත්තා.

“එක්කෙනෙක්ට අපි අක්කෙ කෑම පෙට්ටි දෙකක් දෙන්නෝන. ඒ කිව්වේ මෙහෙම හිතන්නකො අපි එයාට උදේ කෑම එක යවලා ආය දවල් කෑම එක දෙන්න යද්දි උදේ කෑම දුන්න බොක්ස් එක හොඳට හෝදලා ක්ලීන් කරලා අරන් තියන්න කියලා අපි කියනවා. එතකොට ඒක අරගෙන ඇවිල්ලා ආය රෑ කෑම එක දෙන්න අපිට ලේසියි. ඒ රෑ කෑම එක දීලා ආය එද්දි දවල් කෑම පෙට්ටිය අරගෙන එනවා. ඒකට ආපහු පස්සෙන්දා උදේ කෑම එක ගෙනියලා දෙනවා. ඒ විදියට තමයි අපිට වැඩේ කරන්න වෙන්නෙ”

“දැන් ඒක ඒ විදියට කරා කියන්නකො. අපි කොහොමද ඔය කෑම ගෙනිහිල්ලා දෙන්නේ. ඔය කියන විදියට දවසට තුන් පාරක් අපිට යන්න වෙනවනේ” කියලා කාන්ති අක්කා අහද්දි ඒ කතාව ඇත්ත විත්තියත්, හැබැයි මේ ඔක්කොම අස්සෙ මං ඒක ගැනත් හෙව්වා කියන එක කාන්ති අක්කට කියන්න මං පොඩි වෙලාවක් ගත්තේ ඒ වෙලාවෙත් මම කට අස්සෙ පොල් සම්බෝලයි, පරිප්පුයි, සැමනුයි එක්ක ඇනිච්ච බත් කටන් පුරවන් උන්න හන්දා. 

ඒ සැමන් ටින් එක ගෙනැල්ලා දොරකඩ තියලා තිබ්බෙත් මංජු හන්දා මගේ හිත එක කෙළවරකින් “ඔය වැඩේ මංජුට භාරදෙන්න බැරිද?” කියලා ඇහුවට මම ඒ කතාව කාන්ති අක්කට කිව්වෙ මංජු කියන වචනෙ හලලා. මොකෝ මං කෙලින්ම ඒක අහලා, කාන්ති අක්කා ඕක මංජුගෙ කනේ තිබ්බොත් කෑම වෙනුවට මිනිහත් පස්සෙන්දා දොරකඩ ඉඳීවි කියන බය මට තිබ්බා.

“කාට හරි වැඩේ පංගාර්තු කරන්න පුළුවන් උනා නම් ලේසි අක්කෙ. මං අක්කාගෙන් දැනට බත් පැකට් දහය ගන්න අය ඉන්න තැන් ටික බැලුවම මට තේරිච්ච දේ තමයි ඒ දහ දෙනා ඉන්නේ එක ළඟ කියලා. ඒ කිව්වෙ අපි නුගේගොඩ නාලන්දාරාම පාර අද්දරට ගියා නම් ඔය සෙට් එකකටම වගේ එකපාර කෑම දීලා එන්න පුළුවන්කමක් තියෙනවා. දහ දෙනාට කෑම දෙන්න අපිට දහ පලකට යන්න වෙනවා නම් වියදම ඇත්තටම වැඩි සහ එහෙම දේකින් දැන්ම පටන් ගන්න එක අපිට පට්ටම පාඩුයි අක්කේ. අපි දැනට විස්සකට වගේ කෑම දෙන විදියට හදාගමු. අක්කා මේ මිනිස්සුව ටික කාලයක් තිස්සෙ දන්න හන්දා අක්කා අහලා බලන්න අක්කා මෙන්න මේ වගේ වැඩක් පටන් ගත්තා තව දහ පාලොස් දෙනෙක් එයාලා ඉන්න ළඟපාතින්ම හොයාගන්න පුළුවන්කමක් තියෙනවද කියෙන එක. 

එහෙම උනොත් අපිට වැඩේ ලේසි අක්කේ. එහෙම බැරි උනොත් වෙනම තැනකින් උනත් කමක් නෑ ඔය කලුබෝවිල, දෙහිවල අවට ඉස්පිරිතාල ඔෆිස් එහෙම තියන හන්දා එහෙම තැනකින් හොයාගත්ත නම් අපිට ලේසිනෙ එකපාර ගිහින් බෙදලා එන්න” කියලා මං කිව්ව නම් කාන්ති අක්කා ඔලුව හෙල්ලුවෙ “ඔව් ඒක නම් එහෙම තමයි” කියලා කියන්න උනාට දැන් එහෙම හරි කෑම අරන් යන්නෙ කවුද කියන ප්‍රශ්නෙ තාම ඉතුරුවෙලා තියෙනවා කියන එක මට මතක් උනා. ඒකම කාන්ති අක්කටත් මතක් උනා කියන එක මට තේරුණේ ගෑනි ඊටපස්සෙ අහපු ප්‍රශ්නෙත් එක්ක.

“හරි දැන් මිනිස්සුන්ව හොයාගත්තා කියන්නකො. අපි කාටද නංගි කෑම භාරදෙන වැඩේ භාරදෙන්නේ?” කියලා කියද්දිත් කාන්ති අක්කගෙ ඒ වචන අස්සේ “මේ වැඩේ මංජුට භාරදෙන්න බැරිද?” කියන කතාව හැංගිලා තියෙනවා කියල තේරුම්ගන්න තරම් මම ඒ වෙද්දි ගෑනුන්ව අඳුරගෙන උන්නා.

“අපිට බැරිවෙයිද නංගි ඕක මේ මංජුගෙන් පොඩ්ඩක් අහන්න?” කියලා කාන්ති අක්කා එයාගෙ මල්ලෙන්ම බළලා එලියට දාද්දිත් මං කරේ ඒ කතාව මාත් හිතුව විත්තිය මගෙ ඇස්වලින් පෙනේවි කියන එක මගාරින්න වගේ බත් එක දිහා බලාගෙන ඕනවට වඩා වෙලාවක් බත් එක අනපු එක.

ඒ බත් එක දිහා බලාගෙන ඉද්දි මට මතක් උනේ අපි ගෙදරදි කාපු බතුයි, රැග් සීසන් එක කාලෙ හැමදාම කැන්ටිමෙන් මිසක් එලියෙන් කන්න තහනම් කරලා තිබිච්ච හන්දා කැන්ටිමේ කාපු බත් එකෙයි තිබ්බ වෙනස. ගෙදරදි හොඳට ඕන කරන ජාති ඇති පදම් බෙදාගෙන, බත් අඩුවෙන්, එලවලු වැඩියෙන් දාගෙන කාපු මට කැන්ටිමේදි සෙට් උනේ ඊට ත්‍රී සික්ස්ටි වෙනස් එක්ස්පීරියන්ස් එකක්.

“කැන්ටිමේ බත් දෙන්නෙ බත් වැඩියෙන් එලෝලු අඩුවෙන්. මස් මාලු උනත් හෙනම ඇබිත්තං කෑල්ලක් එක්ක හොදි ගොඩක් දෙනවා. ඒකට ඉතින් පරිප්පු, කොල මැල්ලුමක් වගේ තමා හම්බෙන්නෙ. බත් අඩුවෙන් හොදි වැඩියෙන් ලැබෙන හන්දා අපි කරන්නෙ ඔක්කොම හොදි වෑංජන එකට දාලා බත් එක ඉස්සෙල්ලා හොඳට අනන එක. එතකොට හැම බත් ඇටේකටම හොදි වලින් ටිකක් හරි ගෑවෙනවනෙ. ඊට පස්සෙ තමයි කට කට කන්නේ” කියලා මං ගෙදර ගිහින් අම්මා එක්ක කියද්දි අම්මා මට ඉඳන් කිව්වා අම්මා විද්‍යාපීඨෙදි කෑම කාපු විදිය එහෙමත්. කැම්පස් එකේදි බත් වැඩියෙන් එලෝලු අඩුවෙන් හම්බුනාට කාන්ති අක්කලගෙ ගෙදරදි බතුත් එලෝලුයි දෙකම හම්බුනේ අඩුවෙන්. දුප්පත්කම මුලින්ම ගහන්නෙ මිනිස්සුන්ගෙ ඉහට නෙවෙයි බඩට කියන එක මට තේරුණේ තැන් තුනකින් කන්න ලැබිච්ච වෙලාවක.

බඩගින්න නිසා හිතන්න හරි අමාරු වෙනවා. හීන දකින්න, බලාපොරොත්තු තියාගන්න පවා අමතක වෙලා යනවා. එතකොට ජීවත් වෙන්නෙ කන්න කියන එකම සිතුවිල්ල විතරයි ඔළුවේ තියෙන්නේ. ජීවත් වෙන එක විතරක් වැදගත් වුණාම, අර අපේ ආසාවල්, කැමැත්ත, මොළේට එන අලුත් අදහස්, ආදරේ පවා ඔක්කොම ටික ටික පස්සට ගිහිල්ලා නැති වෙලා යනවා.

එහෙමයි මට තේරුණේ, දුප්පත්කම කියන්නේ  සල්ලි හරි තරාතිරම ගැන හරි විතරක් කතාකරන එක නෙවෙයි. ඒක කියන්නේ හෙට ගැන බයක් නැතුව කෙනෙකුට බඩ පුරවාගන්න පුළුවන්ද කියන එක. බඩගින්න හැම තීරණයක්ම තීරණය කරන්නෙ නැති විදිහට ගෞරවෙන් ජීවත් වෙන්න ලැබීම ගැනයි ඒකෙන් කියන්නෙ.

ඒ නිසා තමයි අපි දුප්පත්කම ගහන්නෙ ඉහට නෙවෙයි බඩට කියලා මං කිව්වේ. මොකද බඩ පිරුණොත් විතරයි අපේ ඔළුවට ඇත්තටම හීන දකින්න හයියක් ලැබෙන්නෙ.

“මංජුට දෙන එක අවුලක් නෑ අක්කේ මංජු ඒක වැරදි විදියට තේරුම් ගන්නෙ නැත්තම්. එහෙම නැතුව ඒක නිකන් මම මිනිහා එක්ක සෙට් වෙන්න ගහපු ප්ලෑනක් විදියට දැකලා බිත්තර, සැමන් දොරකඩ තියෙනවා වගේ මිනිහත් දොරකඩ ඉන්න ගනීවිද කියලා බයයි මට” කියලා කිව්වම කාන්ති අක්කත් ඔලුව වැනුවෙ ඒකට ඔව් කියන්න වගේ.

“අපි මංජුට මේ විස්තරේ කියද්දි තව දෙයක් කියමුද අක්කේ?” කියලා මං අහද්දි කාන්ති අක්කා බලාගෙන උන්නේ හරියට මම මංජුට මැරේජ් ප්‍රපෝසල් එකක් අරගෙන යනව කිව්ව ගාණට.

මැරේජ් ප්‍රපෝසල් එකක් නොවුනට මේකත් එක්තරා විදියක ප්‍රපෝසල් එකක් හන්දා, ඒ ප්‍රපෝසල් එකට මංජුගෙ කැමැත්තටත් වඩා මට වටින්නෙ කාන්ති අක්කගෙ කැමැත්ත හන්දා කියන්නෝන දේ සරලව කියන්න බලාගෙන මම වචන ටික හීන් සැරේ ගැලපුවා.


“අක්කා අකමැති නම් මට කියන්න හොඳේ” කියලා මං කියද්දි කාන්ති අක්කාගෙ ඇස් දෙක ඔම්ලට් එකක් වගේ ලොකු උනේ හරියට මම එයාට මංජු එක්ක සෙට් වෙන්න කිව්වද කියලා හිතාගෙන වගේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here