ගේට්ටුව අසල නතර කළ යතුරුපැදියේ නලා හඬ ඇසුණේ යුවතිය සූදානම් වී ආලින්දයේ බලා සිටියදීය. ඇය අසලට වී උන් රාජිණි නිවස තුළට ඇවිද ගියේ ඒ නලා හඬ ඇසෙද්දීමය. වෙනදා බලෙන් මෙන් ලොකු අයියා සමග කතා කරන්නට උත්සාහ කරන අම්මාගේ ඒ විලාසය ඇගේ දෑස් වලට පුදුමය උපද්දවන්නට විය.
පාරින්ද යුවතිය වෙත හිස් වැසුම දිගු කළේ යතුරුපැදියෙන් නොබැසමය.
මද දුරක් ඇදී ගිය යතුරු පැදිය නතර වූයේ ව්‍යායාම සඳහා වෙන්කර තිබූ මං තීරුවක් අසලය. ඉන් ඔබ්බෙහි කුඩා වැවක් සමග වූයේ මිනිසුන් නිදහසේ කාලය ගත කරනා උයන් තීරයකි. උදෑසන නිසාවෙන්දෝ ව්‍යායාම කරනා කිහිප දෙනෙකු හැරෙන්නට කිසිවෙකු එහි වූයේ නැත. හිස් වැසුම සිමෙන්ති බංකුවක් මත තැබූ පාරින්ද එහි එක් කෙළවරක අසුන් ගත්තේ යුවතියට ආරාධනා නොකරමින්ය.
“දන්නවනේ එන්ගේජ්මන්ට් එකට දවස් දාගෙන කියලා.”
“ඔව් ලොකු අයියේ. අම්මා මට ඊයේ කිව්වා.”
“ඒ ගෑණි රට යන්නලු හදන්නේ නේ..”
උදෑසනම ඉසුරිගේ සිත රිදිණ. ඔහු අම්මාට කතා කරන්නේම ඒකි, ගෑනි යන වදන් වලින්ය. දිගු සුසුමක් මුදාහළ ඕ මඳක් විසල් ගස් වලින් හෙබි උයනේ ඈත කෙළවර දෙස බැලුවේ දෑස් වල කඳුළු පුරවාගෙනය.
“මගේ පැත්තෙන් දහ දෙනෙකුයි ඔයාගේ පැත්තෙන් දහ දෙනෙකුයි හිටියහම ඇති. මාමා උනත් ඕනවට වඩා මේ දේවල් වලට වියදම් කරන්න ඕනේ නෑ. එහෙම ඔයා වෙනුවෙන් දෙන්න දෙයක් තියෙනවනම් ඒක එකවුන්ට් එකකට දාන්න කියලා කියන්න. අපේ අම්මට ඉන්දියාවෙ ගිහිල්ලා ආපු කෙනෙක් දීපු සාරියක් තිබුණා. අම්ම නං කියනවා ඒක හොඳයි කියලා. ආයේ සාරි වලට තුන් හාරදාහක් වියදම් කරන්න ඕන නෑ.”
පාරින්ද යුවතිය දෙස බැලුවේ අතරමග කතාව නවතමින්ය. ඈ හිස වැනුවේ ඔහුට එකඟ වෙමින්ය.
ඊයේ පෙරේදා නැන්දාගේ නිවසට ගිය වේලාවේ ඇය තමාට තෑගි ලැබුණ ඒ සාරිය වර්ණනා කරමින් පෙන් වූ අයුරු යුවතියට සිහිවූයේ එවේලෙහිය. පච්ච පැහැය ගත් ප්ලේන් සාරියෙහි එක් පසෙක පමණක් තැඹිලි පැහැ බෝඩරයක් විය. එය ගැලපෙන්නේ නැන්දා වැනි අයෙකුට මිස තමාවන් යුවතියකට නොවේ. මේ වනතුරුත් ඇය තමාගේ විවාහ ලියාපදිංචියට ඇඳිය යුතු යැයි විශේෂයෙන් කිසිදු ඇඳුමක් ගැන සිතා සිටියේ නැත. හිතේ සතුටකින් නොකෙරෙන මේ විවාහයට කුමක් ඇන්දත් එකය.
යාබද නිවසෙහි සිටි සමාධි අක්කා විවාහ වූයේ මින් වසර දෙකකට පමණ ඉහතදීය. ඇගේ දෙවෙනි මනමාලිය ලෙස ඉසුරිට ඇරයුම් ලැබුණත් ඇයට ඊට සහභාගී විය නොහැකි වූයේ පාරින්දගේ අකමැත්ත නිසාය. එහෙත් රැකියාවක් නොකළ නිසාම ඈ එදවස තමාට හැකි අයුරින් සමාධිට සහාය දැක්වූවාය.
එදවස ඇය සිටියේ අලුත් ජීවයක් ලද්දා සේ ප්රබෝධමත්වය. ඒ මුහුණෙහි වූ සිනහව දෑස් වල වූ කාන්තිය ඉසුරිට අද මෙන් මතකය. විවාහයට දින ලං වද්දී සිටියේ ඉසුරි පෙරදා සමාධි නොවේ. ඒ මුහුණ පැහැපත් වී තිබිණ. ඒ දෑස් වල අමුතුම දිස්නයක් විය. ඕ සිටියේ සිනහසුණ ගමන්ය. ඒ රූපලාවන්‍ය ශිල්පිනිය විසින් මුහුණට, හමට කළ සත්කාර නිසා නොවන බව විශ්වාසය.
ඒ දිනවල සමාධි බොහෝ දේ ඉසුරි හා කතා කළාය. තම පෙම්වතා සමග අරඹන්නට යන ජීවිතය ගැන ඕ උන්නේ දහසක් පැතුම් පතාගෙනය. ඊට පේවී ගෙනය.
“ඒ දවස එනකල් මට ඉවසිල්ලක් නෑ ඉසුරි…”
ඇය බොහෝවර පැවසුවා යුවතියට මතකය.
ඒ කිසිවක් තමාට නොදැනෙන්නේ මන්දැයි ඉසුරි පෙරදා මුළු රාත්‍රිය පුරාම නිදි වර්ජිතව කල්පනා කළාය. ඇයට දැන් උවමනා වී ඇත්තේ කාලය නතර කරන්නටය.
“මොනවද හිතන්නේ…හිතන්න ඕනෙ ඔයා නෙමෙයි මම.”
“ඇයි…”
“නෑ නිකං.. ඒවා ඕනේ නෑ…ඉසුරි අපේ පැත්තෙන් එන්ගේජ්මන්ට් එකට සයින් කරන්න මන්ත්‍රීතුමාට කියනවා. ඔයාලගේ පැත්තෙනුත් කවුරු හරි වැදගත් කෙනෙකුට කියන්න. එහෙම කවුරුත් නැත්නම් කියන්න මම කෙනෙක් කතා කරල දෙන්නම්. හැබැයි…අරයා එන්ගේජ්මන්ට් එකට එනවට මං කැමති නෑ. අපේ අම්මයි තාත්තයි කැමතිත් නෑ. අකමැත්තෙන් උනත් මට ඔයාට ඒක කියන්න සිද්ධ වෙනව ඉසුරි…”
යුවතිය ඔහු වෙත හැරුනේ සිත තිගැස්සුන වේගයෙන්මය.
“අරයා කිව්වේ….”
“රාජිනී…”
“මොකක්ද ලොකු අයියේ ඔයා අපේ අම්මත් එක්ක ඔය තරමටම තියෙන තරහා.”
“ඒක මම දන්නෙ නෑ. හැබැයි මම එයාට කැමති නෑ.”
“ඇයි ලොකු අයියේ කැමති නැත්තේ.. ඒ මගේ අම්මා. අම්මගේ අතින් වැරදි සිද්ධ වුණානම් තාත්තගේ අතිනුත් ඒ වගේම වැරදි සිද්ධ වුණා.”
“ඒක මම දන්නෙ නෑ. පොඩි කාලේ ඉඳලම මං එයා ගැන හොඳක් ඇහුවෙ නෑ. මං අදත් කියන්නේ ඔය ගෙදරින් මට වැදගත් ඔයා විතරයි. වෙන එක්කෙනෙක්ගෙන්වත් මට වැඩක් නෑ. ඒක අපේ අම්මත් හැමදාම කියන දෙයක්. ගෙදරක හැම දෙයක්ම තීරණය වෙන්නේ ගෑනියෙක්ගෙ හැසිරීම මත. එයා ඕගොල්ලන්ටත් ගමට මුහුණ දෙන්න විදිහක් නැති කරලා තියෙන්නේ. එයා උදේට ලෑස්ති වෙලා වැඩට ගිහිල්ලා නටන නාඬගං ගැන මුළු ගමම දන්නවා. එයා මාමව පන්න ගත්තෙත් ඔය නිදහස ඔය විදිහට විඳින්න ඕන නිසා.”
“කනට ඇහෙන දේවත් ඇහැට දකින දේවත් විශ්වාස කරන්න බැරි වෙච්ච කාලෙක මගේ අම්මට ගමේ මිනිස්සු කියන කතා ගැන ඔයා කොහොමද සීයට සීයක් විශ්වාස කරන්නෙ.”
“මිනිහ දාලා ගියා නං එයා දැනගන්න ඕනේ ගේ ඇතුලට වෙලා පාඩුවේ ළමයි හදාගෙන ඉන්න. අපේ අම්මා කියන්නෙත් එයා මාමව පන්නගත්තේ ඔය විදිහට නිදහසේ දඟලන්න කියලා.”
“ඔයා ඇහැට දැකපු දේවල් ගැනද ලොකු අයියේ ඔය කතා කරන්නේ වගකීමෙන්ද ඔය කතා කරන්නේ..”
“මං ඇහැට දකින්න ඕන නෑ. මං කියන්නේ මිනිස්සු කියන දේවල් ගැන.”
“තාත්තා අපිව දාල ගියපු වෙලාවේ අම්ම ගේ ඇතුලට වෙලා හිටියනම් අද කොහොමද අයියේ අපි මෙහෙම ජීවත් වෙන්නේ. මනුස්සයා තමන්ව දාල ගියාට පස්සේ ගෑනියෙක් ලස්සනට අඳින්න ඕනෙ නැද්ද? යාළුවෙක් ඇසුරු කරන්න, ගමනක් බිමනක් යන්න තහනමක් තියෙනවද? ලිප්ස්ටික් ටිකක් ගාන්න කියුටෙක්ස් ටිකක් ගාන්න තහනමක් තියෙනවද?”
වෙනදා නොමැති ජවයක් ඇයට ලැබී තිබිණ. එනිසාම වෙන දා සේ කරබාගෙන සිටින්නට ඇයට සිතුනේ නැත.
“කට වැඩියි. මාත් එක්ක කට ගහන්න තියාගන්න එපා.”
“මගේ අම්මා පව් අයියේ..අපි හැමෝටම වඩා අපේ මැරේජ් එක ගැන හීනයක් තිබුනේ අම්මට. එයා තමයි තාත්තට සැරින් සැරේ කතා කරලා අපේ මැරේජ් එක ඉක්මන් කරන්න කියලා කිව්වේ. එයා තමයි මගේ ඇඳුම් පැළඳුම් ගැන කතා කලේ. ඔයා මාව පරිස්සම් කරයි කියලා, මාව බලා ගනියි කියලා, මට ආදරේ කරයි කියලා එයා හරි සතුටින් ඉන්නේ. ඒ විතරක් නෙමෙයි ලොකු අයියේ කවද හරි අපේ පවුලේ හයිය ඔයා වෙයි කියලා එයා මහ මෙරක් තරමට බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. මගේ අම්මට කොතනක හරි වැරදුනාද කියන්න මම දන්නේ නෑ. හැබැයි මොන තරාතිරමක මොන තත්වෙක හිටියත් ඒ මගේ අම්මා. එයා පඩි ගත්ත දවසට අපිට කන්න දුන්නේ රාජ බෝජන. එයාට අපිව අතෑරුනානම් අතෑරුනේ අපි ලොකු මහත් වෙද්දි අපේ වියදම් වැඩි වෙච්ච තැනකදි වෙන්න ඇති. ලොකු අයියේ ගමේ මිනිස්සු ඔයාට මොනවා කියනවද කියලා ඔයා දන්නවද..මගේ අම්මා ගැන කතා කරනවා වගේම තමයි ඔයාගේ අම්මා ගැනත් මිනිස්සු කතා කරන්නේ, ඔයා ගැනත් මිනිස්සු කතා කරන්නේ..මං ගැනත් මිනිස්සු කතා කරන්නේ..”
“අපි ගැන මොනව කතා කරන්නද..ඔයාටත් එයාගේ ගති පිහිටලා නැතුවම නෙමෙයි. ඔය විදිහට තමයිලු ඕගොල්ලන්ගේ අම්මත් ඉස්සර වෙලාම තාත්තට කට ගහන්න පටන් ගත්තේ. අපේ අම්මා කියන්නේ මාමා ඕගොල්ලන්ගේ අම්මා කසාද බඳිනවට කිසි කෙනෙක් කැමති වුණේ නැහැලු. ඒ කාලෙත් ඔයාගේ අම්මා එච්චර හොඳ කෙනෙක් නෙමෙයි.”
“ඔයා මගේ අම්ම දිහා බලන්නේ ඔයාගේ අම්මගේ ඇස් වලින්. මොකක්දෝ අහේතුවකට ලොකු අයියේ ඔයාගේ අම්මා කවදාවත් මගේ අම්මට කැමති වුණේ නෑ. සමහරවිට මගේ අම්මත් එහෙම වෙන්න ඇති. හැබැයි කවදාවත් ඔයාගේ අම්මා නරක නපුරු කෙනෙක් කියලා මගේ අම්මා අපේ ඔළුවට දුන්නේ නෑ…”
“තමුසේ ඒ පාර මගේ අම්මටත් එක එක ඒවා කියවගෙන එනවද?”
“අනේ නෑ අයියේ ඇයි ඔයා මං කියන දේවල් තේරුම් ගන්නේ නැත්තේ. චුට්ටක් හිතන්න…මං කතා කරන්නේ වැරදි දෙයක්ද කියලා. අපි කොහොමද අයියේ මෙහෙම එක පාරක යන්නේ. මං කතා කරන හැමදේකම ඔයා දකින්නේ වැරැද්දක් විතරයි. චුට්ටක් මං කියන දේටත් ඇහුම්කන් දෙන්න අයියේ. ඇයි අපිට සතුටින් හිනා වෙලා ඉන්න බැරි. මගේ අම්මා ඔයාගේ අම්ම විදිහට හිතන්න බැරි. මගේ නංගි මල්ලි ඔයාගේ නංගි මල්ලි විදිහට හිතන්න බැරි.”
“ඒකනම් මේ කපේදි වෙන්නේ නෑ. මේ අනුන්ගේ මඟුල් වැඩක් නෑ. හවසට යන ගමන් අපේ ගෙවල් පැත්තෙ ගිහිල්ලා අම්මගෙන් සාරිය ඉල්ලගෙන යනවා. ඕවට ජැකට් මහන්නත් කාලයක් යනවනේ. ඔෆිස් එකේ උන්ට ඉන්විටේෂන් දෙන්න ඕනෙ නෑනේ.”
“ඕනේ නෑ ලොකු අයියේ…”
“මුස්පේන්තුකමට මූණ දෙක කරගෙන ඉන්නෙ නැතුව හිනා වෙලා ඉන්නවා. මං තමුසෙව බඳින්නේ බලෙන් නෙමෙයිනේ. ගෑනියෙක් විදිහට තමන්ගේ වැදගත්කම ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න තමන් දැනගන්න ඕනේ. ඔයාව ලං කරගෙන පෙම්බස් කියන්නයි, හුරතල් කරන්නයි… ඕව මට තේරෙන්නේ නෑ. එහෙම මිනිහෙක් මගෙන් බලාපොරොත්තු වෙන්නත් එපා. ගෑනියෙක්ට ඕනේ ලෝකෙට පේන්න හුරතල් කරන මිනිහෙක් නෙමෙයි. තමන්ට ආදරයක්, ආරක්ෂාවක්, රැකවරණයක් දෙන මිනිහෙක්ව. එහෙම මිනිස්සු හැමදාම එකම විදිහයි. තමුසේට මගේ ජීවිතේ ඒ තැන දෙනවා ඒ විශ්වාසේ කඩන්න එපා.”
ඉන්පසු දෙදෙනා අතර ඇති වූයේ විනාඩි ගණනක නිහැඬියාවකි. ඔහුගෙන් එවන් ආදරනීය මිනිසෙකු අපේක්ෂා නොකල යුවතියට දුකක් දැනුනේ නැත.
“යමු….”
“ලොකු අයියේ එතකොට අම්මා අපේ එන්ගේජ්මන්ට් එකට නැද්ද?”
“හවසට අපේ අම්මගෙන් අහනවකෝ…අම්මා කැමති උනොත් මට ප්‍රශ්නයක් නෑ. ඔයාගේ අම්මා මොකටද තාත්තා දම්මලා අපි දෙන්න ගැන කතා කරවන්නෙ. වැඩිමල් මගේ අම්මා. ඔයාගේ අම්මට පුළුවන්කම තියෙන්න ඕනෙ මගේ අම්ම ලඟට ඇවිල්ලා වරදක් වෙලා තියෙනවනං ඒකට සමාව අරගෙන අපි ගැන කතා කරන්න. මගේ අම්ම උනත් ඒ ගෑනි ගාව සකන්ඩ් වෙනවට මං කැමති නෑ…”
බංකුවේ කෙළවරක තිබූ හිස් වැසුම යුවතිය අත තැබූ පාරින්ද මුලින්ම නැගී සිටියේය. සිය මහපට ඇඟිලි තුඩින් දෑස් වල වූ කඳුලක් පිසදාගත් යුවතිය නැගී සිටියේ ඉන් පසුවය. අන් කවරදාකවත් නොවූ පිළිකුලක් තම ශරීරය පුරාම පැතිර යද්දී යුවතිය යතුරු පැදියට නැගුණේ වැරදීමකින් හෝ පාරින්දව ස්පර්ෂ් නොවන්නට තරම් ප්රවේශමෙන්ය.
(හෙටත් හමු වෙමු ආදරයෙන්)