ඉඩෝරයක මල් වැස්සක් – 32

පාරින්ද සිය යතුරු පැදියට නැඟුනාට පසුව සංවර වූ රියදුරෙකු නොවේ. ජීවිතයේ අන් සියල්ලට සේම ඔහු මහ පාරේදීත් කලබලය. වේගයෙන් ධාවනය වෙමින් තිබූ යතුරු පැදියට ඉස්සර කල කාරය නිසා ඔහුට සිදුවූයේ වේගය බාල කරන්නටය. එය ඉවසුම් නොවූ පාරින්ද දෙතුන් වරක්ම වෙට්ටු දමමින් මෝටර් රථය පසු කරන්නට උත්සාහ කළේය. එනිසාම මෝටර් රථයෙහි උන් තරුණයන් දෙදෙනා එය ඉදිරියට පදවාගෙන ගියේ අසීරුවෙන්ය. 

අවසන පාරින්ද මදක් ඉදිරියට ගොස් සිය යතුරුපැදිය නවතා යමක් පවසද්දී මෝටර් රථයෙහි උන් තරුණයා පැති වීදුරුව මඳක් පහතට හෙළුවේය. පරුෂ වචනයෙන් යමක් පැවසූ පාරින්ද සිය යතුරුපැදිය එතනින් ඉවත් නොකළේ මෝටර් රථයට ඉදිරියට යාමට ඇති ඉඩ කඩ අහුරාලමින්ය. 

පසුව පසෙකට ගත් මෝටර් රථය ආපසු හරවා අතුරු මාර්ගයට දැමුවේ පාරින්දගේ මුවෙහි ජයග්‍රාහී සිනහවක් සටහන් කරමින්ය. විනාඩි කිහිපයක සිට ඔවුන් පසු පසින් පැමිණ මේ සිදුවීම් මාලාව දෙස බලා උන් මැදි වයසේ උන් ත්‍රීවිල් රියදුරෙකු පාරින්ද අසලට සමීපව සිය ත්‍රී රෝද  රථය නවතා ගත්තේය.

“මල්ලි ඔය වේගෙ එච්චර ඇඟට ගුණ දෙයක් නෙමෙයි. අපෙත් තරුණ කාලේ පහු උනේ මේ රෝද තුනත් එක්ක මහ පාරේ. ඔය විදිහට පාරේ ගියා නං මෙලහට අපි මැරිච්ච තැන්වල ගසුත් පැල වෙලා මල්ලි. කඩාගෙන යන එකාට කඩාගෙන යන්න දීලා අපි පොඩ්ඩක් පස්සට වෙන එක තමයි ඇඟට ගුණ.”

ඔහු එසේ පැවසූයේ සැබවින්ම තරුණයා ගැන උපන් අනුකම්පාවෙන්ය. මේ වයසට බොහෝ තරුණයන් සිතන්නේ සියල්ල දන්නේ තමන් බවය. කිසිවෙකුට යටත් නොවිය යුතු බවය. එහෙත් අඩියක් පිටිපස්සට ගෙන නිවී සැනසිල්ලේ සිටිය යුතු සමහර තැන් ඇති බව ඔවුනට අමතකය. අතපය දිගු කරමින් ත්‍රීවිල් රියදුරාටත් යමක් පැවසූ පාරින්ද යතුරු පැදිය වේගයෙන් ඉදිරියට ධාවනය කළේ සිත තුළ උපන් කෝපයත් ගතෙහි ජවයක් එකට එක් කරගෙනය. එහෙත් ඔහුට බොහෝ දුර යාමට අවකාශ වූයේ නැත. අතුරු පාරකින් යළිත් මහ පාරට හැර වූ මෝටර් රථය මඟ හරස් කර නතර කලේ  ඔහුට ඉදිරියට යාමට නොහැකි පරිද්දෙන්ය. ඉන්පසුව තරුණයන් දෙදෙනෙකු මෝටර් රථයෙන් බැසගත්තේ බැට් එකක්ද  අතැතිවය.

“ආ..චණ්ඩියා මොකද නිකං බය වෙලා වගේ. මතක තියාගනින් මහ පාර අයිති උඹට විතරක් නෙමෙයි..”

තරුණයෙකු අත තිබූ බැට් එකෙන් ඔහුගේ පිට හරහා පහරක් වැදුනේ පාරින්ද බලාපොරොත්තු නොවූ මොහොතකය. පළමු පහරින්ම ඔහු යතුරුපැදියෙන් බිමට ඇදගෙන වැටුණේ සමබරතාවය ගිලිහී ගිය නිසාය.

“පාරවල් වලදී සද්දෙ දාන්නේ මහ පාර උඹේ කියලා හිතාගෙනද..වරෙන් නැගිටලා චණ්ඩියා..”

තවත් පහර දෙක තුනක් ඔහුගේ දෙකකුල් වලටත් බඳ හරහාත් වැදෙනු  මතකය. වේදනාවෙන් මුත් නැගී සිටින්නට තැත් දැරූ පාරින්ද යළි එතනම ඇදගෙන වැටුනේ අනෙක් තරුණයා එල්ල කල පා පහරට පසුවය. 

“උඹලයි චන්ඩිකං තියා ගනින් ගෙවල් වලට. මහ පාරෙ මිනිස්සුන්ට චණ්ඩිකං දාන්න එන්න එපා. නැගිටලා වරෙන් පුළුවන්නම්.”

තෙවන වරටත් දණහිස් වලට වැදුනු බැට් පහර නිසා පාරින්දගේ දෑස් වලින් කඳුළු විසි වන්නට විය. මේ ඔහු කොහොමටවත් බලාපොරොත්තු නොවූ අයුරේ අනතුරකි.

තත්පරයක්වත් පමා නොවූ තරුණයන් දෙදෙනා මෝටර් රථයට නැගී නික්ම ගියේ ඔහු එතැනම බිම දිගා වී සිටියදීය. අනතුරුව අපහසුවෙන් සිය කලිසම් සාක්කුවට දකුණත යැවූ පාරින්ද ජංගම දුරකථනය අතට ගෙන මිතුරෙකු ඇමතුවේය. 

“යකෝ මොනවද උනේ කියලා අහන්නේ නැතුව ඇවිල්ල මාව ඉස්පිරිතාලෙකට ගිහින් දාපන්. මං හිතන්නේ මගේ දණිස් දෙක උන් කඩල දැම්මා..”

අවසන ඔහු මිතුරාටත් කෑ ගැසුවේ කිසිවක් කරකියා ගන්නට නොහැකි වූ කෝපය ඉස්සර කරගෙනය. ඒ වන විටත් පාරේ ගිය යතුරු පැදියකුත් ත්‍රීරෝද රථයකුත් නවතා එහි සිටි තරුණයන් කිහිප දෙනෙකු ඔහු අසලට ලංව සිටියේය. 

                                     **************

හෝරාවකට ආසන්න කාලයක් සුලක්ෂා සමඟ කතා කරමින් සිටි ඉසුරි ඇගේ සායන කාමරයෙන් පිටතට පැමිණියේ සම්පූර්ණයෙන්ම නොවූමුත් යම් තරමකට හෝ සැහැල්ලුව ගිය මනසකින්ය. 

“හැම කෙනෙක්ම මුලින්ම ආදරේ කරන්න ඕනේ තමන්ට, තමන්ගේ ජීවිතේට එහෙම කෙනෙක්ට විතරයි ඉසුරි අනිත් අයගේ ජීවිත වලටත් ආදරේ කරන්න පුළුවන් වෙන්නේ. ඔයා මේ කාරණයේදී ලෝකේ ඉන්න අනිත් හැමෝම ගැන හිතුවත් ඔයා ගැන පොඩ්ඩක්වත් හිතලා නෑ. මෙන්න මේ කොලේ අරගෙන දෙපැත්තකට බෙදන්න. එක පැත්තක ලියන්න ඉසුරි ඔයාට පාරින්දව මැරි කලොත් ලැබෙන දේවල්, අනිත් පැත්තේ ලියන්න ඉසුරි ඔයාට නොලැබෙන දේවල්. ඊට පස්සෙ අපි කතා කරමු.”

විනාඩි කිහිපයක් ඇගේ කතාව අසා සිටියාට පසු සුලක්ෂි පැවසූයේ ඇය වෙත සුදු පැහැ හිස් පිටුවකුත් කාබන් පෑනකුත් දිගු කරමින්ය. ඉන්පසු ඇය පිළිවෙළකට හිස් පිටුව දෙකට බෙදා වටකුරු අකුරින් සිතා මතා යමක් සටහන් කරන අයුරු සුලක්ෂා ඉවසීමෙන් බලා සිටියාය. අවසන ඇයට ලැබුණේ ලැබීම් තීරුවෙහි සැමියෙක් යනුවෙනුත් නොලැබීම් තීරුවෙහි කාරණා රැසකුත් සටහන් වූ කොළයකි. 

එහි අම්මා, නංගි, මල්ලිගෙන් පටන්ගෙන තවත් බොහෝ දේ ලියැවී තිබිණ. 

“සැමියෙක් කියන්නේ පිරිමියෙක්. ඉසුරි මේ රටේ ඕන තරම් පිරිමි ඉන්නවා. ඒ හැම පිරිමි කෙනෙක්ම පාරින්ද වගේ වෙන්නෙ නැහැ. ඔයාගේ තාත්තා වගේ වෙන්නෙත් නැහැ. බිනර වගේ වෙන්නෙත් නැහැ. මෙන්න මේ එකිනෙකාට වෙනස් පිරිමි අතරින් සැමියෙක්ගේ තනතුරට ඔයාට කවද හරි කවුරු හරි හොයා ගන්න පුළුවන් වෙයි. ඒක ප්‍රේම සම්බන්ධතාවයකින්, විවාහ යෝජනාවකින් එහෙමත් නැත්නම් අහම්බයෙන් සිදුවන මුණ ගැහීමකින් වෙන්නත් පුළුවන්. වැදගත් වෙන්නේ ඔයාට මම දීපු මේ හිස් කොලේ සම්පූර්ණයෙන්ම පිරිච්ච මෙන්න මේ පැත්තෙ තියෙන දේවල්. මේ දේවල් අහිමි වෙනවා කියන්නේ ඔයාට ජීවිතයක් නෑ ඉසුරි. ඒ සතුට අහිමි කරගන්නේ ඔයා විතරක් නෙමෙයි. ඔයා ඒ ගත කරන ජීවිතේ ගැන විඳවන පිරිසක් ඔයාගේ වටේ ඇති වෙන එක අපිට නවත්තන්න බෑ. ඒ ඔයාගේ අම්මා වෙන්නත් පුළුවන් මල්ලි වෙන්නත් පුළුවන් නංගි වෙන්නත් පුළුවන් බිනර එහෙම නැත්නම් ඔයාට ඉන්න වෙන හොඳ යාළුවෙක් වෙන්නත් පුළුවන්. ඒ අයට විතරක් නෙමෙයි. යම් දවසක ඔයාගේ කුසෙන් උපදින දරුවන්ටත් ජීවත් වෙන්න සුදුසු පරිසරයක් හදලා දෙන්න ඔයාට බැරි වෙනවා. කවද හරි දවසක ඔයා මේ මුළු ලෝකෙටම වෛර කර කර ජීවත් වෙන්න චරිතයක් වෙන්න පුළුවන්. මානසික පීඩනය කියල කියන්නෙ ඉසුරි මනුස්සයෙකුට හැමදාම එකම විදිහට දරාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ පීඩනයෙහි කෙළවරක ඉන්න පුළුවන් සිය දිවි හානි කර ගන්න උත්සාහ කරන කෙනෙක්. එහෙම නැත්තං මිනීමරුවෙක්, එහෙමත් නැත්තං උන්මත්තක ගැහැනියක්. අන්න ඒකයි ඉසුරි  මං ඔයාට මුලින්ම කිව්වේ තමන් තමන්ට ආදරේ කරන්න පටන් ගන්න. ඊට පස්සේ ඔයාට හිතෙයි තමන්ගේ ජීවිතය තමන්ට තරම් වෙන කාටවත් වටින්නේ නෑ කියලා. එතනදි ඔයා සුදුසුම තීරණ ගන්න පටන් ගනියි කාගේවත් බලපෑමක් නැතුව. ඔයා මට කිව්වා අම්මා තමන්ට අහිමි වෙච්ච දේවල් ගැන මේ වෙද්දි පසුතැවෙනවා කියලා. ඇයි ඉසුරි අම්මා පසු තැවෙන්නේ. සුදුසු කාලයේදී සුදුසු තීරණ නොගතපු නිසා. ඒ නිසා අනාගතයේදී එයාට අහිමි වෙන දේවල් දිහා බලලා..මං කියන්නේ නැහැ  ලොකු අයියා ඔයාගේ ජීවිතේට අවශ්‍ය නොවන කෙනෙක් කියලා. ඒක හරියටම තීරණය කරන්න ඕනේ ඔයා. ඔයා කාලය ඉල්ලන්න ඉසුරි. ඒ කාලය තුළ ඔයා මීට වඩා ටිකක් වැඩිපුර ඔයා ගැන හිතන්න. ලස්සනට අඳින්න, ලස්සනට කතා කරන්න, ඔයාගේ ජොබ් එකේ ඉහළට යන්න බලන්න, පුළුවන් නම් අලුත් දෙයක් ඉගෙන ගන්න, පොතක් කියවන්න, මල් පැළයක් හිටවන්න, පූජනීය ස්ථානෙකට යන්න  ඒ විතරක් නෙමෙයි. ඔයා අලුත් යහළුවන් පිරිසක් ඇති කරගන්න. ගොඩක් නෙමෙයි තමන්ට ආදරේ කරන තමන්ට සමීප වෙලා  තමන් එක්ක හැමදාම ඉන්නවා කියලා හිතෙන එක්කෙනෙක් දෙන්නෙක් උනත් කමක් නෑ. දවසක පොඩි ට්‍රිප් එකක් යන්න, ෆිල්ම් එකක් බලන්න, ස්ට්‍රේජ් ඩ්‍රාමා එකක් බලන්න, පුංචි කෑමක් කාලා සතුටු වෙන්න, පොඩි පාර්ටි එකක් දාන්න…ඉසුරි අපේ නමටවත් අපේ ජීවිතයටවත් කැළලක් හානියක් නොකරගෙන සතුටු වෙන්න පුංචි පුංචි ක්‍රම ඕන තරම් අපි වටේ තියෙනවා. ඔයා ජීවත් වෙන්නේ ඔයාටම සීමා වෙච්ච හරි පුංචි ලෝකෙක. මුලින්ම ඔයා ඒ හැංගිලා ඉන්න තැනින් එළියට එන්න. ඔයාගේ අම්මගේ තාත්තාගේ ප්‍රශ්නෙ මිනිස්සුන්ට මාතෘකාවක් උනේ එයාලට කතා කරන්න තවත් අලුත් මාතෘකාවක් ලැබෙනකල් විතරයි. අනිත් එක ඒක හරිම සරල සාමාන්‍ය සිදුවීමක්. මිනිස්සු ඔයා ගැන කතා කරන්නේ අම්මයි තාත්තයි විතරක් ඉස්සර කරගෙන නෙමෙයි. ඔයාගේ ලස්සන ගැන,  ඔයාගේ රූපෙ ගැන ඔයාගේ ලස්සන කොන්ඩෙ ගැන ඔයා අඳින ලස්සන ඇඳුම් ගැන ඔයා ජොබ් එකෙන් ඉහලට යද්දි ඔයාගේ වාසනාව ගැන..මෙන්න මේ දේවල් ගැනත් මිනිස්සු කතා කරයි ඉසුරි. ඉතින් එයාලට අලුත් මාතෘකාවක් දෙන්න ඕනේ ඔයා. හැබැයි ඔයාගේ ජීවිතේ යම් දවසක අසාර්ථක වුණොත් එයාලා අර නවත්තපු තැනින් ඒ අසාර්ථකත්වය ගැන කතා කරන්න පටන් ගනීවි. තමන්ට ආදරය කරන ගැහැණියක් කවදාවත් නිවට විය යුතු නැහැ ඉසුරි.

මේ තියෙන්නේ මගේ නම්බර් එක. ඔයාට ඕනෙම වෙලාවක මට කතා කරන්න. සමහරවිට විට හදිසිම පේෂන්ට් කෙනෙක් ළඟ හිටියොත් මට ඔයාට කතා කරන්නබැරි වෙයි. ඒත් අනිවාර්යෙන්ම නිදහස් වුණු ගමන් ඔයාට මම කෝල් බැක් කරනවා. බිනර කියන්නේ ඔයාගේ ජීවිතයට නියමම කාලේ ආපු හොඳම හොඳ යාළුවෙක්. ඒ යාළුකම ඔයාගේ ජීවිතේට හරි වටිනවා ඉසුරි. සැහැල්ලුවෙන් ජීවත් වෙන කොල්ලෙක් වගේ පෙනුනට එයා දන්නවා යාළුකම් පවත්වන්නත් ඒක ආරක්ෂා කරන්නත්. බය නැතුව ඔයාට හිතෙන ඕනම දෙයක් බිනර එක්ක කතා කරන්න.”

අවසන සුලක්ෂා පැවසූයේ සිනහ මුසුව යුවතියට සමු දෙමින්ය.

ඉසුරි කොරිඩෝව දිගේ ඉදිරියට ඇවිද එද්දී බිනර සුවපහසු අසුනකට බර වී ජංගම දුරකථනයේ වීඩියෝ ක්‍රීඩාවක නිරත වී සිටියේය. තත්පර කිහිපයක් මේ අපූරු තරුණයා දෙස බලා උන් යුවතිය ඔහු අසලින්ම අසුන් ගත්තේ ඔයාට ගොඩක් පින් යනුවෙන් පවසමින්ය. 

“මෙච්චර වෙලා….”

“මැඩම් එක්ක මං ගොඩක් වෙලා කතා කර කර හිටියා. මැඩම්ගේ වටිනම කාලයක් වෙන්නැති මට දෙන්න ඇත්තේ.”

“ඔයාට වෙනසක් දැනෙනවද….?”

“ඔව්….”

“ඒ මොකක්ද…..”

“ලොකු බඩගින්නක්…මේ දවස් ටිකේම මං හරියට කෑවේ නෑ බිනර. මට මොනවා හරි කන්න ඕනේ. දැවිල්ලට සැරට කන් දෙකෙන් දුම් පිටවෙලා ඇස් දෙකේ කඳුළු පිරෙන තරම් සැරට.”

“පිස්සු කෝච්චියක්..පොළකට තමයි යන්න වෙන්නේ. අර අමු මිරිස් මාළු මිරිස් තව මොනවද තියෙන්නේ බෝල නයිමිරිස් කියලා ඒව කෑවොත් හරියනවද ආ….අර තව කොච්චි මිරිස්…”

“බිනර නැගී සිටියේ එසේ පවසමින්ය. ඉන්පසු සිය දකුණත පා හිනැ⁣හෙමින් උන් යුවතියට ඉස්සර වන්නයැයි පැවසුවේය. දුරකතනයෙන් ඇනවුම්කර ගෙන්වාගත් කුලීරිය විනාඩි කිහිපයකට පසුව නතර වූයේ සුපිරි වෙළඳ සංකීර්ණයක් පාමුල වූ අවන්හලක් අසලය. වටපිට බැලූ යුවතියගේ දෑස් වලට හසු වූයේ “දයියා සැරට..” යනුවෙන් අවන්හලෙහි බිත්තියක ගසා තිබූ නාම පුවරුවයි. 

“ජීවිතේ කවදාවත් ඔයා වගේ යාළුවෙක් මට නැති වෙන්න එපා….”

දිගු සුසුමක් මුදාහල යුවතිය අවසන තමාටම පවසා ගත්තේ බිනරට ඇසෙන නෑසෙන තරම් මද හඬකින්ය.

(යළිත් හමුවෙමු ආදරයෙන්) 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles