දෑත දරා – 76

මනුජ ඉල්ලා සිටියේ නිර්ධා සහ තමා යලි එක්වන්නට තීරණය කර බව සින්දූපාට ඇඟවීම සඳහා යම් සේයාරුවන් කිහිපයක් ය. එවෙලෙහි එකඟව සේයාරුවන් කිහිපයක් සඳහා ඉඩ ලබා දුන්නා වුවද නිර්ධාට ඉන් පසුව ඒ පිළිබඳව වූයේ යම් වරදකාරි  හැඟීමකි.

“ මම එක දවසකට නිර්ධා එක්ක සින්ධූපාගේ තාත්තාගේ හොස්පිට්ල් එකට ගිහින් එන්නද මචං …?. කොහොමටත් ඉන් පස්සේ උඹලා ආයේ ට්‍රීට්මන්ට්ස් වලට එහෙ නොයන නිසා උඹ එක්ක නිර්ධාව දකින්න ඉඩක් නැනේ….”

මනුජ කෙතරම් අපහසු සැලැස්මක් වුවද, පහසු බව පෙන්වන්නට උත්සාහ කරමින් පැවසූ බව නිර්ධාට එවෙලෙහිම සිතුන බව ඕ සිහිපත් කලාය.

එහෙත්, මෙවෙලෙහි තමාගෙන් අවශ්‍ය උපකාරය නොලැබුනා වුවද, මනුජ ඒ වෙනුවෙන්  කුමක්ම හෝ මාවතක් සොයා ගන්නා බව නිර්ධා දනී. කල හැකි වන්නේ සින්ධූපා මුණ ගැසී මේ පිළිබඳව පැවසීමය. එහෙත්, ඉන් සිදුවන්නේ සින්ධූපා තව තවත් අසරණවීමක් නොවේදැයි ඕ තනිවම කල්පනා කලාය.

“ මොනවාද කල්පනා කරන්නේ බබා ?…”

ජනිඳු නිර්ධා අතින් කෝපි අඩුවෙන් දැමූ කිරි කෝප්පයක් තබමින් විමසමින්, ඇය අසලින්ම හිඳ ගත්තේය.

“ මනුජ කිව්වට කලාට, හෙට එයා එක්ක හොස්පිට්ල් යන්න ඇග්‍රී වුනාට, මට හරිම ගිල්ටි වගේ … කොච්චරක් වුනත්, ආදරේ කරන්න ගන්න හිතක් බිඳෙන එක මහ වේදනාවක්…”

“ ඒ ගැණ මට අමුතුවට කියන්න ඕනි නෑ බබා .. ඒත් මෙවෙලේ ඌ කරන දේ තමා මේ ප්‍රශ්න අඩුම ගැටුම් එක්ක විසඳගන්න තියෙන ක්‍රමේ… හිතන්න, ඌ සින්ධූපාව හොරාට උස්සන් ආවා කියලා.., ඔයා හිතනවද  එහෙ වැඩිහිටියෝ නිකන් අතාරිවි කියලා…. මනුජ කොච්චරක් කොහොම පෝස්ට් එකක උන්නත්, උන් මනුජට ඇටෑට් කරනවම තමා…. ඒකෙන් වෙන්නේ දෝණිටත් කලබල ජීවිතයක් ලැබෙන එක ….”

“ මට තේරෙන්නේ නෑ …”

“ අපරාදේ කියලා හිතෙන්න බලාගෙන දේවල් කරන්න ඕනි නෑ .. කල්පනා කරලා බලන්න …. “

නිර්ධා හිස සැළුවාය.

සින්දූපා මනුජගේ වට්සැප් ස්ටේටස් දමා තිබූ රුව දෙස යළි බැළුවාය.

“ ජීවිතය ඇහින්දෙමි..”

ඔහු එලෙස ලියාද ඇත. ඔහු පසුගිය දින කිහිපයේම තමා මඟ හැරියේ ඇයිදැයි සින්දූපාට වටහා ගන්නට ඒ සේයාරුව ප්‍රමාණවත් වුවද, ඕ එය පිළිගන්නට සුදානම් නැතිව මෙන් , යළි යළිත් ඒ සේයාරුවම බැළුවාය. පැය කිහිපයම් තිස්සේම මනුජ අමතන්නට උත්සාහ කලාය. අවසානයේ පිළිතුරු ලැබුණි.

“ මම ඩියුටි ඉන්නේ සින්දූපා … ප්ලීස් .. එක දිගට කෝල් සීයක් විතර ගන්න එක මට ඩිස්ටර්බ් …”

ඇමතුම තුළින් ඇසුණු දැඩි හඬ කීවේ එලෙසිනි. සින්දූපා මොහොතකට ගල් ගැසුණාය. ඒ හඬ මනුජ සහ තමාගේ පලමු හමුවේ තරමටම දැඩි නොවේද ?….

“ හෙලෝ ..”
සින්දූපා නිහඬවම සිටියදී, යළී මනුජගේ හඬ ඇසුණි.

“ මනුජ …. අනේ…”
සින්දූපාට හැඬුණි.

“ මම ඩියුටි ඉන්නේ .. කියන්න තියෙන දෙයක් , ඉක්මනට කියන්න ….”

“ ඔයා … කොහොමද මෙහෙම ?….අර .. ස්ටේටස් දාලා තියෙන්නේ ඇයි නිර්ධා එක්ක ෆොටෝ එකක් … ජීවිතය ඇහින්දෙමි කියලා දාලා ඇයි ?…. ඔයා මට කිව්වානේ, එයාව දැන් ඔයාට වටින කෙනෙක් නෙවෙයි කියලා…. ආහ් .. එයා එක්ක කිසිම සම්බන්ධයක් නෑ කිව්වානේ…. ඔයා .. ඔයා . මට කිව්වානේ මොන දේ වුනත් ඔයා මට ඉන්නවා කියලා…. මනුජ.., ඔයා කොළඹ ඇවිල්ලා මාව හම්බවෙන්නේ නැතුව, එයාව මුන ගැහිලා ගියාද ?…. ඔයා ..ඔයා කොහොමද මට එහෙම කරන්නේ ?…. කතා කරන්නකෝ.. අනේ…”

“අනේ..ඕයි …. නාහෙන් අඬ අඬා එකම කියවන්නෙපා.. කතා කරන්නකෝ කියන්නේ, මට කතා කරන්න ඉඩක් දුන්නාද ?…. කතා කරන්න කිය කියා හූල්ලන්නේ… අහනවා..පින්සිද්දවෙයි, මගේ ඔලුව කන්න එපා.. මට ලෙක්චර්ස් ඉන්නේ…”

“ මම .?.. මම ඔයාගේ ඔලුව කනවද මනුජ ?….”

“ අනේ ඕයි මේ .. මට ගෑණු නලවන්න වෙලා නෑ … අහන්න තියෙන දෙයක් අහලා, ෆෝන් එක තියලා. පුලුවන් නම් මගේ නම්බර් එක ඩිලීට් කරලාම දානවා… මට සැනසීමෙන් ඉන්න ඕනි …”

“ ඔයා… මටද කියන්නේ මනුජ ඔහොම ?… එතකොට ඔයා මාව අතාරිනවාද ?..”

“ මං මේ කියන එක හොඳට ඔලුවට දාගන්න සින්දූපා… ඔව් … මම තමුසේ එක්ක කතා බහ කලා… ආශ්‍රය කලා.. යම් කාලයක් උන්නා .. හැබැයි  ඒකෙන් කියවෙන්නේ නෑ, මම හැමදාම ඒ විදියට ඉන්නවා කියලා… මම ඒ ජාතියේ මිනිහෙක් නොවන බව නොදැන නෙවෙයිනේ  ඔයා මා එක්ක උන්නේ … නේද ?.. විශ්ව ඔයාට කිව්වානේ මගේ කාන්තා සම්බන්ධතා කොහොමද කියලා… ඔයා මුලදිම ඒවා දැනගෙන නේ මගේ පස්සෙන් ආවේ?.. ඔයා කියලා වෙනසක් නෑ.. මට ඇති හිතුනම මූව් වෙන නිදහස තියාගෙන තමයි මම ඕනි කෙනෙක්ව ආශ්‍රය කරන්නේ ?..”

සින්දුපාගේ ගතම වෙවුලන්නට ගෙන තිබුණි. ඕ උන්නේ සිහිනයක් තුල තමා යමකට ඇහුම්කන් දෙනවාදැයි විශ්වාස කරගන්නට බැරිවාක් මෙනි. ඕ ඊළඟ වචනය විමසා ගත්තේ සෑහෙන්න වෙහෙසක් එක්කය.

“ එතකොට ?… නිර්ධා ?.. එයා.. එයා ඔයා දාලා ගියා .. ඒ ගිහිල්ලත් ආයේ ආවම, ඔයාට එයාව වටිනවාද ?…”

“ අනේ ඕයි මේ.. ඩූ නොට් ක්‍රොස් යුවර් ලිමිට්ස් … ඒක කොහොමද කියනවකෝ තමුසේට අදාල වෙන්නේ ?…. මට නිකමට කියනවාකෝ ….”

“මනුජ … ප්ලීස් .. අනේ විහිලු කරන්න එපා… මාව මැරෙයි .. අනේ මම ඔයාට ආදරෙයි .. ඔයා දන්නවා…කොච්චරක්ද කියලා…පින්සිද්දවෙයි …..මාව දාලා යන්න නම් එපා …”

ඉන් පසුව  සින්දුපාට ඇසුණේ මනුජ වියරුවෙන් මෙන් තත්පර කිහිපයක් දිග් ගැස්සූ සිනහවකි. ඉන් පසුව සින්දූපා මරා දමන වචන ඇසුණි.

“ ආදරේ… ආදරේ කියලා දෙයක් මට දැණුනා නම් ඒ නිර්ධාගෙන් විතරයි .. ඒ නිසයි මං ඒකිව කසාද බැන්දේ… මේ ආත්මෙට මගේ ජීවිතේට එන්න , යන්න අවසර තියෙන එකම ආදරේ ඒකි විතරයි .. එච්චරයි … තමුසේත් බෝරින් ගෑණියෙක් නෙවෙයි සින්දුපා.. ඒත් වැඩි කල් අල්ලන් ඉන්න හිතෙන්නේ නෑ … මගෙන් හානියක් වුනේ නෑනේ…සෝ ප්ලීස් …ලීව් ….”

සින්දූපා ජංගම දුරකතනය විසන්ධි කලාය. ඇය දුරකතනය විසන්ධි කල බව මනුජ දැනගත්තේ තවත්  තත්පර කිහිපයකට පසුවය.
 ඔහු ඇගේ සේයාරුව දෙස බලා උන්නේය. අනතුරුව ජංගම දුරකතනය් කැබින් බිත්තියේ වැඩී කැඹලි කිහිපයකට කැඩී ගියේය.

සින්දූපා මහ හඬින් හඬා වැටුනාය. ඇගේ දෙමාපියන් කාමරයට එන විටත් ඕ උන්නේ සිහිසුන්වය. ඕ වහා රෝහල් ගත කෙරුණි.

“ පැනික් ඇටෑක් එකක් … ටික වෙලාවකින් සෙට්ල් වෙයි … “

වෛද්‍යවරයා සින්දූපාගේ පියා අස්වැසුවේය.

“කවුරු කවුරුත් තම තමන්ට ඕනි විදියට දේවල් කරගනී… අන්තිමේදී, මගේ දරුවා පිස්සෙක් වෙයි…”

සින්දූපාගේ අම්මා ගේ වචන වටහා ගන්නට නොහැකිව මෙන් සින්දූපාගේ පියා ඇය දෙස බැලුවේය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles