*නාද්යා සොනාලි සල්වතුර*
“හිත නිස්කාංසු වෙන්නත් එක්ක කිරි වෙහෙර ඇත්තෙ ගිහින් එමුද නංගියෙ?” කියලා කාන්ති අක්කා අහද්දි ඔලුව වනලා ඒ ගමන ගියාට මම කීයටවත් හිතුවෙ නෑ ඒ ගමන අවසානයෙදි මට ඇත්තටම මේ ජීවිතේ මට ලබන්න පුළුවන් එකම නිවන, නිස්කාංසුව ඒ ගමන අවසානයේ මට ලැබේවිය කියලා.
මගේ අතේ එල්ලිලා හීන් සැරේ අඩි තිබ්බ අහස් පය පැකිලිලා වැටුනේ මම එයාව අත ඇරපු එක තප්පරේට. බිම වැටිලා මහ හයියෙන් මුලු කිරි වෙහෙරම දෙවනත් කරගෙන අඬ අඬ උන්න අහස් දිහාවට මම දුවගෙන යද්දිම වගේ තමයි කොහෙන්ද ආව අත් දෙකක් මට කලින් ඉස්සරවෙලා අහස්ව වඩාගත්තෙ.
සමහර මිනිස්සු අපේ ජීවිත වලට එන්නෙත් යන්නෙත් ආයෙ හම්බවෙන්නෙත් නොහිතන විදියට. අහඹුවක් විදියට. තාරානාත් සහ මම කියන්නෙ හරිම අහම්බෙකින් හම්බෙලා හරිම අහම්බෙකින් වෙන් වෙන්න ඕන විදියට දෛවය ලියවිලා තිබිච්ච මිනිස්සු දෙන්නෙක් උනාට මම කවදාවත් හිතුවෙ නැති විදියට ඒ දෛවයම ආයෙ වතාවක් අපිව මුණගස්සන්න කටයුතු සලස්සලා තිබ්බා.
ඒ වෙලාවේ එතන කිරි වෙහෙරේ තිබුණු නිස්කාංසුව නැති වෙලා ගිහින් තිබුණේ. මගේ කන් අස්සෙ දෝංකාර දෙනවා මට ඇහුණෙ අහස්ගේ අඬන සද්දෙයි, මගේ හද ගැස්මයි විතරයි. තාරානාත්ගේ ඇස්වලින් මගේ ඇස් අස්සට හුවමාරු වෙච්ච පුදුම වෙච්ච ගතිය, දුක, ඒ වගේම වේදනාව තැවරිච්ච තරහව ඇත්තටම මගේ ඇස් තාරානාත්ගෙ ඇස් වලින් මුදවලා බිම බලාගන්න ලෙවල් එකකට මාව අපහසුතාවයකට පත් කරා. ඒත් තාරානාත් උන්නෙ එක තප්පරේකටවත් ඒ ඇස් මගෙ මූණෙන් මුදවගන්න අදහසක නෙවෙයි කියන එක මම දැනගෙන උන්නා. එයා අහස්ව තදින් බදාගෙන හිටියේ. හරියට එයාට ආයෙත් එයාව නැති කරගන්න බෑ කියලා මට කියන්න වගේ. මුළින්ම වතාවෙ අහස් අඬ අඬ ඉද්දි තාරානාත් එයාව වඩාගත්ත වෙලේ වගේම මේ වතාවෙත් අහස් උන්නෙ එයාගෙ ඇඬිල්ල තාරානාත්ගෙ උණුහුම අස්සෙ හංග ගන්න ගමන්.
“මෙහෙම දෙයක් කවදාවත් වෙන එකක් නෑ” කියලා මම හිතාගෙන හිටියට මගෙ හිත දැනගෙන උන්නා මම තාරානාත්ව දකින්න, ආයෙ එයාට ළංවෙන්න බලාපොරොත්තු වෙනවා නේද කියන එක. අපි දෙන්නා කොච්චර වෙන් වෙන්න හැදුවත්, අපේ කතාව දෛවයේ අතේ තමයි තියෙන්නේ කියන එක. මගේ හිත ඇතුළේ වොයිසස් දාහක් කතා කරනවා මට ඇහුණත් මගේ කටින් එක වචනයක්වත් පිට වුණේ නෑ. මම උන්නෙ පුදුම වෙලා, මගේ ඇස්වල කඳුළු පුරවාගෙන, එයා දිහා බලාගෙන. තාරානාත්ගේ ඇස්වල තිබුණේ ප්රශ්න ගොඩක්. ඒ ප්රශ්න වචනවලට වඩා තදින් මගේ පපුවට වැදිච්ච බව ඇත්ත.
කිසිම වචනයක් කියන්නෙ නැතුව උන්න තාරානාත්ගෙ කඳුළු පිරිච්ච හන්දා දිළිසි දිළිසි තිබිච්ච ඇස් අස්සෙ ලියවිලා තිබ්බෙ “ඇයි ඔයා මට මෙහෙම කළේ?” කියන ප්රශ්නෙ විත්තිය මම අඳුරගත්තා.
අහස් තාම උන්නෙ හිමීට කෙඳිරිගාන ගමන්. වැටිච්ච පාරට ගල්වලට එහෙම කකුල් සීරිලාද කියලා බලන්න වගේ තාරානාත් අහස්ව අතෙ තියාගෙනම අහස්ගෙ පුංචි දණහිස් එහෙම හිමීට අතගාලා බැලුවා. සනීපෙටද මන්දා අහස් උන්නෙ එයා තාත්තා කියලා හිතාගෙන උන්න තාරානාත් ගෙ උරහිසේ මූණ හංගගෙන. පුංචි අතින් තාරානාත්ව තද කරගෙන. ඒ දකිද්දි තමා මට තේරුණේ, තාත්තෙක් නැතුව අහස්ව හදන්න ගිය එක, මට එහෙම කරන්න පුළුවන් කියලා හිතුව එක කොච්චර වැරදිද කියලා.
දෛවය අපිට ආයෙත් එකතු වෙන්න දුන්නත්, මේ මොහොත ලේසි වෙන්නේ නෑ කියලා මම දැනගෙන හිටියා. අපේ වෙන්වීම පිටිපස්සේ තිබුණු කාරණා, අපි දෙන්නා අරගෙන ගිය ප්රශ්නවල බර, දැන් ආයෙත් අපේ ඉස්සරහට එනවා. හැබැයි අහස් අපේ මැද ඉන්නවා. අහස්ට ආයෙ වතාවක් අපි දෙන්නවම ඉන්නවා. ඒක තමයි වැදගත්ම දේ. මේ වෙච්ච දේවල් වලින් අන්තිමේ වෙච්ච හොඳම දේ අහස්ට අපි දෙන්නවම ලැබිච්ච එක කියන එක.
“දැන් දුවන්න එපා, නාධ්යා” කියලා කිව්වෙ මගෙ හිත.
“උඹ ගත්තු තීරණ නිසා වෙච්ච හැමදේටම දැන් උඹට මුහුණ දෙන්න වෙනවා. උඹ ආදරේ කරපු ඒ මනුස්සයා දැන් උඹේ ඉස්සරහා හිටගෙන ඉන්නවා. මේක තමයි ඇත්ත මොහොත. බොරු මායාවන් නැති, ඇත්ත ජීවිතේ මේක තමයි. නාධ්යා උඹ දැන්වත් ඒක තේරුම්ගනින්. ආයෙ වතාවක් ප්රශ්නවලට මූණ දෙන්න හිතේ හයියක් නැති හන්දා පැනලා යන්න ලෑස්තිවෙන්න එපා. උඹ දැන් ජීවිතේට මූණ දෙන්නෝන කෙල්ලෙක් විදියට නෙවෙයි දරුවෙක් ඉන්න අම්මෙක්, ගෑනියෙක් විදියට” කියලා මට කිව්වෙ මගෙ හිත.
ඒ වෙලාවේ එතන ඉන්න මිනිස්සු අපේ දිහා බලනවා කියලා මට දැණුනේ නෑ. මට දැණුනේ අපි දෙන්නයි, අහසුයි විතරයි එතන ඉන්නෙ කියලා. අපි වටේට මුළු ලෝකෙම නිශ්ශබ්ද වෙලා තිබුණා. දෛවය හැමදේම සලස්සලා තිබ්බෙ අපිට කතා කරලා මේ ප්රශ්න විසඳගන්න.
ඒත් මුලින්ම කතා කරන්න ඕනේ කවුද?
අන්න ඒක තමයි අපිට තිබ්බ ලොකුම ප්රශ්නෙ.
කියන්න දේවල් දාහක් වගේම, සමාවගන්න, වෙච්ච දේවල් මෙහෙම උනේ ඇයි කියලා පහදන්න හේතු කාරණා දාහක් තිබ්බ නිසාම තමයි තාරානාත්ට කලින් මම කට අරින්න හිතුවෙ.
මම හෙමීට මගේ උගුර පාදාගෙන, තාරානාත් දිහා බැලුවෙ ඒ වචන කියන්න අවසර ගන්න වගේ. කඳුළුත් එක්ක දිලිසෙන එයාගේ ඇස්වලට කෙළින්ම මුහුණ දීලා, මම හිතේ හයිය අරගෙන, කතා කරන්න හදනකොටම තමයි තාරානාත් කට ඇරියෙ. එයාගේ වචන කටෙන් එළියට ආවෙ හරිම හිමීට උනත් ඒ වචනවල තැවරිලා තිබිච්ච හීතල ගතිය මගෙ හිතට දැනුනෙ හරියට මහ හිම කුණාටුවක් වගේ. සීතලම සීතල, ඉඳිකටු වගේ හිම කූරු වචන විදියට හැරිලා ඇවිත් මහෙ පපුව වදිද්දිත් තාරනාත් උන්නෙ මගෙ ඇස් දිහා කෙළින්ම බලාගෙන තාමත් අහස්ව තදින් බදාගෙන.
“එක වචනයක්වත් කියන්න එපා, නාධ්යා. එක වචනයක්වත් මට අහන්න ඕන නෑ,” කියලා තාරානාත් කියද්දි මම ගැස්සිච්ච බව ඇත්ත.
ඒක ඉල්ලීමක් නෙවෙයි. ඒක නියෝගයක්. ඒ කටහඬේ තිබුණු වේදනාවයි, තරහවයි නිසා මගේ ඇස්වල පිරිලා තිබිච්ච කඳුළු කැට ඔක්කොම හිර කූඩුව බිඳගෙන එකපාරටම කඩාගෙන වැටිච්ච බව ඇත්ත. ඒත් මගේ හිත අස්සෙ පිරිලා තිබ්බ වේදනාව වගේ දහස් ගුණයක වේදනාවක් තාරානාත් එයාගෙ පපුව අස්සෙ හිරකරගෙන උන්නද කියලා දැනගෙන උන්න නිසාම මම තාරානාත්ගෙ කිසිම වචනෙකට විරුද්ධ වුණේ නෑ.
එහෙම කරන්න ඇත්තටම මට හයියක්වත්, අයිතියක්වත් තිබ්බෙ නෑ.
ඒනිසාම මම මගේ කට වහගත්තා. කතා කරන්න තිබුණු හැම හේතුවක්ම, හැම සමාවක්ම, ඒ හිම කැට සීතල තරහ අස්සට වෙලා හැංගිලා ගියා. මට එයා දිහා බලන්න පුළුවන් වුණා විතරයි. මුකුත් කියන්න පුළුවන් වුනේ නෑ. තාරානාත් උන්නෙ මා එක්ක කිසිමාකාරෙක බජනෙකට එන්න කැමැත්තෙන් නෙවෙයි කියලා තේරිච්ච හන්දම අපි දෙන්නා අතරෙ තිබිච්ච කිරි වෙහෙරට වඩා ලොකු නිස්සද්දෙ බිඳින්න මං මහන්සි උනේ නෑ.
එයා අහස්ව එයාගේ පපුවට තවත් තද කරගෙන, හෙමීට එතනින් එහාට වෙන්න කකුල් ඉස්සුවා. මගේ හිත කෑ ගහ ගහ ඒ පස්සෙ යන්න හැදුවත්, වළි කෑවත් මගේ කකුල් දෙක තිබ්බ තැනින් අඟලක්වත් හෙල්ලුනේ නෑ.
ඒ වුණත්, අහස් තාරානාත්ගෙ උරහිසට අත තියාගෙන, මගේ දිහා පුංචි මූණ හරවලා බැලුවා. පුංචි ඇස්වලින් එයා ඇහුවේ, “අම්මිව දාලා යන්න බෑ?” කියන්න වගේ.
හිත රිදුණෙ ඒ බැල්මට.
තාරානාත් ආයෙත් හැරිලා බැලුවේ නෑ. එයා හිමින් හිමින් අහස්ව වඩාගෙන, කිරි වෙහෙරේ මිනිස්සු අස්සෙන් අයින් වෙලා යන්න ගියා. මම හිටියේ ගල් ගැහිලා වගේ. මම ආයෙත් තනි වුණා.
මේ වතාවේ වෙනසකට තිබුණේ, මගේ නිස්කාංසුව ආයෙත් නැති වුණ එක නෙවෙයි.
“මුණ ගැහුණට පස්සෙත් අපි දෙන්නා අපි දෙන්නව අඳුරගත්තෙ නැති එක. නාඳුනන දෙන්නෙක් වගේ හොඳට අඳුරන සම්බන්ධයක් අස්සෙ හිරවෙන්න වෙච්ච එක”
මුණිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා කිව්වට මේ වතාවෙ මං උන්නෙ දෙබසෙන් හිත රිදෙන එක මුණිවතෙන් ලැබෙන සැනසීමට වඩා නිස්කලංකයි කියල හිතන ගමන්.












