ළතෙත් ආදර හැඟුම් ගංගා – 67

*තාරානාත් දහම් වංශනායක*

“එක වචනයක්වත් කියන්න එපා නාධ්‍යා.මට ඔයා කියන කිසිම දෙයක් අහන්න උවමනාවක් නෑ. කිසිම දෙයක් අහන්න මට උවමනාවක් නෑ. ඔයා මොන වගේ මනුස්සයෙක්ද කියන එක මම හොඳටම පහුගිය කාලෙ දැනගත්තා නාධ්‍යා. මං කොච්චර ඔයාටයි මේ දරුවටයි ආදරේද කියලා දැනගෙන ඉද්දිත් ඔයා මේ තරම් කැත විදියට මාව රවට්ටපු එක, දාලා ආපු එකෙන්ම මං ඔයා ගැන හොඳට තේරුං අරගෙන ඉන්නෙ. මං කොච්චර නම් ඔයාව විශ්වාස කරාද නාධ්‍යා? එහෙමෙකේ ඔයාට මාව විශ්වාස කරන්න බැරිවෙච්ච හේතුව මොකද්ද කියලා මට කියන්නකො. මං මෙච්චර ඔයා වෙනුවෙන් හැමදේම ලෑස්ති කරලා තිබිච්ච එකේ ඔයාට ඇයි නාධ්‍යා බැරිවුණේ මාව විශ්වාස කරලා මේ හැමදේම බෙදාගන්න?

මෙහෙම ප්‍රශ්නයක් ආව වෙලේ පැනලා යන්න තරම් ඔයාට මාව අවිශ්වාස උනේ කොහොමද? අනික මේ මගෙ දරුවත් අරගෙන. ඔයාට නිකමටවත් හිතුනෙ නැද්ද නාධ්‍යා මේ වයසෙදි මගෙන් මේ දරුවව වෙන් කරාම මේ දරුවට මාව අමතක වෙන්න තිබ්බා කියන එක? ආයෙ කවදාවත් හදන්න බැරි විදියට ඒ දරුවට අමතක වෙන්න තිබ්බා කියන එක මම නෙවෙයි තාත්තා කියන එක? 

එච්චර දෙයක් කරපු ගෑනිට මම මේ දරුවා හන්දාවත් සමාවක් දෙන්නෙ කොහොමද කියලා මට කියනවකො?”

අහස් ගැස්සිලා මගේ පපුවට තවත් තද වුණේ මගෙ කටහඬේ තිබ්බ ඒ ආවේගට කියන එක තේරුණත් හෙමීට අහස්ගේ ඔළුව අතගානවා ඇරෙන්න මට එයාව සනසන්න මගේ කටහඬ වෙනස් කරන්න පුලුවන් උනේ නෑ. මෙච්චර කාලයක් තිස්සෙ හිත අස්සෙ හිරකරගෙන උන්න ඒ ආවේගේ තවදුරටත් හිත අස්සෙ හිරකරගෙන බොරුවක් කරන්න ඇත්තටම මට පුළුවන්කමක් තිබ්බෙ නෑ. එච්චර පිරිමිකමක් මට තිබ්බෙ නෑ. “බය වෙන්න එපා පුතේ. තාත්තා ඉන්නවා.” කියන්න වගේ අහස්ගෙ පිට හීන් සැරේ අතගාන ගමන් එයාව නළවන්න හදන ගමන්ම ඊට පස්සේ ආයෙත් මම නාධ්‍යා දිහාට හැරුණා. මගේ ඇස්වලින් කඳුළු ආවේ නෑ. ඒත් මගේ හිත ඒ වෙද්දිත් මැරිලා ගිහින් තිබුණා.

නාධ්‍යාගේ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටෙනවා මම දැක්කා. එයාගේ තොල් වෙව්ලනවා. එයා කතා කරන්න හදනවා. ඒත් මං උන්නෙ ඒව අහන්න පුළුවන් මානසිකත්වෙක නෙවෙයි

“ඔයාගේ ඔය කඳුළුත් මට විහිළුවක් නාධ්‍යා. ඔයා හිතන්නෙ මම වෙනදා වගේ ඔයාව සනසන්න නළවන්න හදයි කියලා නම් ඔයාට සහමුලින්ම වැරදිලා. ඔයාගේ හැම කඳුලක් පිටිපස්සේම තියෙන්නේ බොරුවක් කියන එක මම දන්නවා. මට දැන් ඔයාගේ සමාව ඕන නෑ. මට ඔයාව අවශ්‍යත් නෑ.

ඔයාට මාව හොඳ මදිවෙච්ච හන්දා වෙන්නැති නෙ ඔයා යන්න ඇත්තෙ නේද? කිසි ප්‍රශ්නයක් නෑ ආයෙ මම ඔයාව ගෙන්න ගන්න හදන්නෙ නෑ. මාව එකපාරක් උවමනා නොවිච්ච මනුස්සයෙක්ව ආයෙ මට බලෙන් ගෙන්න ගන්න උවමනාවක් නෑ. ඔයා ඔය කියන්න හදන්නෙ මට ගයාන්ගෙන් කරදරයක් වෙයි කියලානම් කියන්න හදන්න එපා. අනේ වඳින්නම්. ඔයාට ඒ මිනිහගෙන් එහෙම කරදරයක් උනා නම් ඔයාට තිබ්බා ඒක මට කියන්න. ඔව් මං ලංකාවෙ ඉඳියෙ නැති බව ඇත්ත. හැබැයි ඒකෙන් කියන්නෙ නෑනෙ නාධ්‍යා මේ මට බෑ කියලා ඔයාවයි දරුවවයි පරිස්සම් ඇති තැනක නතර කරන්න නේද?

එහෙම නෙවෙයි ඕන නම් මට ඔයාව එංගලන්තෙට හරි ගෙන්න ගන්න පුලුවන් කමක් තිබ්බා කියන එක ඔයා දැනගෙන ඉද්දි නේද මේ වගේ දෙයක් කරේ? ඔයාට මේ මගේ ආදරේ වටින්න නැති බව දැන් මට පැහැදිලියි. මම හිතුවෙ අඩුම මට පුලුවන් වෙයි මගෙ ආදරේට පුලුවන් වෙයි කියලා ඔයාට හොඳ ජීවිතයක් හදලා දෙන්න. හැබැයි මගේ ඒ විශ්වාසයත් ඔයා කඩලා දැම්මා.”

“මං කියන දේ අහන්න දහම්. මං කියන්නෙ නෑ මං වැරදි නෑ කියලා. මං දන්නවා මං වැරදි. මං මේ කරේ සහගහන වරදක් බව මං නොදන්නවා නෙවෙයි දහම්. ඇයි ඒත් ඔයාට හිතන්න බැරිවුනේ මම එහෙම කරේ අපි හැමෝගෙම හොඳට කියන එක?”

“අපි හැමෝගෙම හොඳට? අපි හැමෝගෙම හොඳට නෙවෙයි ඔයා ඒ හැමදේම කරේ ඔයාට ජිවීතේ එන ප්‍රශ්නවලට මූණ දෙන්න කොණ්ද පණ නැති හන්දා. අනේ කරුණාකරලා අඩුම දැන්වත් ඒක තේරුම්ගන්න. ඔයා මුලින් ඔයාගෙ ගෙදර මිනිස්සුට කොච්චර ගින්දරක් දුන්නද? අන්තිමේ ඒ වගේම ගින්දරක් මට දුන්නා.

ඔයා තාම මට කියන්නෙ අපිට ඒ ගින්දර උහුලන්න ඕන උනේ ඔයා අපි ගැන හිතුව හන්දා කියලද?

හොඳක් කරන්න? අනේ මේ මට උවමනා නෑ ඔයාගෙ හොඳෙන්? අන්තිමේ මොකද්ද වෙච්ච හොඳේ ඔයා කරපු දේවල් වලින්.

ඔයා හිතනවා ද මේ ඔයා තනියම දුක් විඳලා වීරවරියක් වුණා කියලා. ඔයා කරේ මේ දරුවගෙ අයිතිය මගෙන් උදුරගත්ත එක. ඒක වීරකමක්ද? ඔයා එහෙම හිතනවද?. මගේ හිතේ තිබ්බ සතුට, විශ්වාසය ඔක්කොම විනාස කරපු එක ඔයා හිතන්නෙ ඔයා මේ මහ වීරකමක් කරා කියලද?”

“දහම්! එහෙම කියන්න එපා!”

මම පිටිපස්ස හැරිලා බැලුවා. මට එහෙම නොකර ඉන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ.         කාන්ති අක්කා ගෙදර යන්නම් කියලා ගියාට මට පුලුවන් කමක් තිබ්බෙ නෑ ඒ එක්කම අහස්වයි නාධ්‍යාවයිත් යවන්න. ඒ නිසාම තමයි අපි උන්න ගෙස්ට් හවුස් එකට මම ඒ දෙන්නව එක්කරගෙන ගියේ. කාන්ති අක්කා යන්න කලින් මම කිව්වා “හෙට අපි එක්ක ආය යන්න ලෑස්තිවෙලා ඉන්න අක්කෙ” කියලා. මොකෝ ආයෙ වතාවක් මේ තුන්දෙනාව එක තප්පරේකටවත් මගෙ ජීවිතෙත් ඈත් කරගන්න මට උවමනාවක් පුලුවන්කමක් තිබ්බෙ නැති හන්දා.

ඔව්, මම වැරැද්දක් කළා! මම දන්නවා මම කැත විදියට හැසිරුණා කියලා! මම දන්නවා මම පැනලා ආවා කියලා! ඒත් විශ්වාස කරන්න, දහම්, මම එහෙම කළේ ඔයාගේ ජීවිතේට ආයෙත් ඒ කරදරේ ගේන්න බැරි නිසා. ගයාන්ගෙන් ඔයාව බේරගන්න මට වෙන විදියක් තිබ්බේ නෑ!”

“බේරගන්න? ඔයා බේරගත්තා? ඔයා මාව බේරගත්තේ මගේ දරුවාව මගෙන් හොරෙන් අරගෙන ගිහින්ද? මම ඇහුවා ඔයාට ඇයි මාව විශ්වාස කරන්න බැරි වුණේ කියලා. මට කියන්න. ඔයා හිතන් උන්නෙ මම මේ ගයාන් වගේ මිනිහෙක් එක්ක සෙල්ලං කරන්න බැරි තරම් දුර්වලයි කියලා? ඔයාට හිතුණාද මට පුළුවන්කමක් නෑ කියලා ඔයා දෙන්නවම පරිස්සම් කරන්න?”

“නෑ, දහම් නෑ එහෙම නෙවෙයි! ඒත් මට ඕන වුණේ මේ ප්‍රශ්නෙ ඉවර කරගන්න. මම හිතුවේ මම නැති වුණාම ඒ ප්‍රශ්න ඔක්කොම නැති වෙලා යයි කියලා!”

“ප්‍රශ්න නැති වුණා? අනේ මේ මොකද්ද කියන්නකො නැතිවෙච්ච ප්‍රශ්නෙ ප්‍රශ්න නැතිඋනා. බයිලා ගහන්න එපා නාධ්‍යා”

“මම ඔයාට ආදරේ කරපු නිසා මට ඔයාව නැති කරගන්න බැරිවෙච්ච හන්දායි දහම් මම මේ ගමන ආවෙ. ඔයාටයි අහස්ටයි කරදරයක් වෙනවට මම බය වෙච්ච හන්දයි මම මේ ගමන ආවේ”

“දැන්වත් ඔයා ඇත්ත කියන්න. අඩුම කාට බොරු කරත් කමක් නෑ ඔයා තමන්ටවත් ඇත්ත කියාගන්න” කියලා මම නාධ්‍යා දිහා බලලා කියද්දිත් නාධ්‍යා උන්නෙ කඳුළු පිරිච්ච ඇස් වලින් මං දිහාවම බලාගෙන. අපි දෙන්නා උන්නෙ මං මං වෙනුවෙන් ගත්ත කාමරේ ඇතුලෙ. අපි දෙන්නා අතරෙ අපි දෙන්නට විසඳගන්න කොච්චර ප්‍රශ්න තිබ්බත් ඒවා තාත්තලා අමරසූරියලා ඉස්සරහා විසඳගන්න උවමනාවක් තිබ්බෙ නැති හන්දම අපි දෙන්නා උන්නේ පුලුවන් තරම් සද්දෙ අඩු කරලා කතා කරන ගමන්.

“මොකද්ද ඇත්ත?” කියලා නාධ්‍යා ඇහුවෙ තව අඩියක් දෙකක් ඉස්සරහට තියලා මං දිහාවට කිට්ටු වෙන ගමන්.

“ඔයා මාව දැක්කෙත් ප්‍රශ්නයක් විදියට. ඔයාට ඕන උනේ අන්න ඒ ප්‍රශ්නෙනුත් මගෑරලා පැනලා යන්න කියන එක”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles