අහිංසක චැට් එකකින් පටන් ගත්තු නපුරු සිහිනය

“පැය හතරක විතර දීර්ඝ ගමනකින් පස්සේ, රෑ 12ත් පහුවෙලා තියෙද්දී ඒ සාමාන්‍ය පෙනුමක් තියෙන ගෙදර ඉස්සරහ වාහනය නතර කළා. 

වටපිටාවම ගන කළුවරයි, මළානික නිශ්ශබ්දතාවයක් විතරයි එතන තිබුණේ.

 වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඇලීෂියා හිටියේ හොඳටම බයවෙලා. එයා සහජයෙන්ම කළුවරට පුදුම විදිහට බය දරුවෙක්. ඒත් කිසිම අනුකම්පාවක් නැති ඒ මිනිහා ඇලීෂියාව වාහනයෙන් එළියට ඇදලා අරගෙන, ලොකු ඉබ්බෙක් දාලා තිබුණු රහසිගත දොරක් ගාවට අරන් ගියා.

ඒ දොර ඇරපු ගමන් දැකපු දර්ශනයෙන් ඇලීෂියා ගොළු වුණා. ඒක මනුස්සයෙක්ට වධ දෙන්නම හදපු අඳුරු අපායක්. ඇලීෂියා මරහඬ දීලා කෑගහද්දීම එයාගෙ ඇඳුම් සේරම ගලවලා දාපු ඒ නරුමයා, බල්ලන්ට දානවා වගේ බෙල්ලට දන්වැලක් හයි කරපු කරපටියක් දැම්මා. ඊට පස්සේ එයාව ඒ අඳුරු කාමරේ තිබුණු යකඩ කූඩුවක් ඇතුළට දාලා ලොක් කළා. 

“දැන් ඇති තරම් අඬන්න, කොහොමත් ඔයාට මේක දරාගන්න අමාරු වෙයි” කියලා දොර වහලා දැම්මා”

ඇලීෂියාට එතකොට වයස අවුරුදු 13යි.

චැට් එකකින් පටන් ගත්ත නපුරු හීනය

මේ හැමදේම පටන් ගත්තෙ 2002 අවුරුද්දේ ජනවාරි පළවෙනිදා. හරිම සාමාන්‍ය විදිහට, සැකයක් නොහිතෙන Screen Name එකකින් සහ හරිම අහිංසකයි කියලා හිතුණු චැට් එකකින්.

 අලුත් අවුරුදු දවසේ රෑ ඇලීෂියලාගේ ගෙදර ලොකු පාටියක් තිබුණා. හැමෝම සතුටින් හිටපු ඒ වෙලාවේ, ඇලීෂියා “බඩ ටිකක් රිදෙනවා” කියලා අම්මට බොරුවක් කියලා තමන්ගේ කාමරයට ගියා. ඇත්තටම එයා ගියේ ඇය මාස ගණනාවක් තිස්සේ ඉන්ටර්නෙට් එකෙන් අඳුරගත්ත තමන්ගේම වයසේ යාළුවෙක් වෙන ස්කොට්ව හොරෙන් හම්බවෙන්න. ඇලීෂියා කෝසෙකීට එතකොට වයස අවුරුදු 13යි. 

එයා ඉන්ටර්නෙට් එකෙන් චැට් කරන්න පටන් ගත්තේ “ක්‍රිස්ටීන්” කියලා තමන්ගේම වයසේ ගෑණු ළමයෙක් එක්ක කියලා හිතාගෙන. මේ චැට් එක සිද්ධ වුණේ සාලේ තිබුණු පරිගණකයෙන්. ඇලීෂියාගේ දෙමව්පියෝ හිතුවේ හැමෝටම පේන තැනක දුව ඉන්න නිසා එයා ආරක්ෂිතයි කියලා. මුලදී කාටවත්ම කිසිම අමුත්තක් හිතුණේ නැහැ.

හැබැයි ටික කාලෙකට පස්සේ ඇලීෂියා ඇත්ත දැනගත්තා.

“ක්‍රිස්ටීන්” කියන්නේ ඇත්තටම ගෑණු ළමයෙක් නෙමෙයි, අවුරුදු 31ක පිරිමි මිනිහෙක්!

 පුදුම දේ තමයි, ඒ ඇත්ත දැනගත්තට පස්සෙත් මේ මැසේජ් නතර වුණේ නැහැ.

ඒ මිනිහා ටික දවසකින් ඇලීෂියාව Yahoo Chat Room එකක හිටපු තවත් කෙනෙක්ට හඳුන්වලා දුන්නා. ඒ තමයි ස්කොට් ටයිරී. එයා වර්ජිනියාවේ පදිංචි වෙලා හිටපු අවුරුදු 38ක මිනිහෙක්. 

හරිම නිශ්ශබ්දව, පුදුම ඉවසීමකින් කාලය අරගෙන ස්කොට් ඇලීෂියාගේ විශ්වාසය දිනාගත්තා.

මේ අනතුරේ දරුණුකම සම්පූර්ණයෙන්ම එළිවෙන්න අවුරුද්දකට ආසන්න කාලයක් ගතවුණා.

ස්කොට් ඇලීෂියාට කියලා තිබුණේ තමාත් අවුරුදු 13ක පිරිමි ළමයෙක් කියලා.

 “මම ඔයාව බලලා යන්න එන්නම්, කාටවත් නොකියා එළියට එන්න” කියන වචන වලට රැවටුණු ඇලීෂියා, රෑ 12ට විතර සපත්තු දෙකවත් දාන්නේ නැතුව හොරෙන් දොර ඇරගෙන එළියට දිව්වා. හැබැයි එතන හිටියේ එයා බලාපොරොත්තු වුණු 13 හැවිරිදි පිරිමි ළමයා නෙමෙයි, අඩි හයකට වඩා උස, රජයේ ආයතනයක පරිගණක විශ්ලේෂකයෙක් විදිහට වැඩ කරන ස්කොට් ටයිරී කියන 38 හැවිරිදි රාක්ෂයා.

කූඩුව ඇතුළේ ගතවුණු මාරාන්තික දින හතර

ඇලීෂියා අතුරුදන් වුණාම මුළු නගරයම කලබල වුණා. එයාගේ කෝට් එකයි, පර්ස් එකයි ගෙදර තිබුණු නිසා FBI එක දැනගත්තා මේක පැහැරගැනීමක් කියලා. මේ අතරේ ස්කොට් ඇලීෂියාව තමන්ගේ වධකාගාරයේ හිර කරගෙන දරුණු විදිහට අපයෝජනය කළා. එයාව කූඩුවක දාලා, බල්ලන්ට දෙන භාජනයකින් වතුර දීලා, විදුලි සැර වද්දලා මහා වධයක් දුන්නා. පුදුම සහගත දේ තමයි, එයා මේ කරන හැම දේම වෙබ් කැමරාවකින් ඉන්ටර්නෙට් එක හරහා ලෝකෙටම “Live Stream” කරපු එක.

ඇලීෂියා බයේ ගැහි ගැහි ඉද්දී මේ මනුස්සයා එයාට පහර දීලා එයාගේ නහය පවා කැඩුවා. ඒ වධහිංසා වල දරුණුකම කොච්චරද කියනවා නම්, අවසානයේ ඇලීෂියාට හිතුණේ තමන්ගේ පණ බේරගන්න නම් මේ මනුස්සයා කියන ඕනෑම පිළිකුල් සහගත දෙයක් කරන්න සිද්ධ වෙනවා කියලයි.

ආශ්චර්යමත් බේරාගැනීම

ජනවාරි 4 වෙනිදා FBI එකට නිර්ණාමික ඇමතුමක් ලැබෙන්නෙ ඒ අනුව.

 ඒ මේ වීඩියෝව දැකපු කෙනෙක්ගෙන්. කොහේ හරි ෆ්ලොරිඩාවේ ඉඳපු එක ප්‍රේක්ෂකයෙක්ට මේ වීඩියෝ එකේ ඉන්න ඇලීෂියාගේ මූණ හඳුනාගන්න පුළුවන් වුණා. එයා මීට කලින් ප්‍රවෘත්ති වලින් සහ අතුරුදන් වුණු ළමයින්ගේ දැන්වීම් පත්‍රිකාවක ඇලීෂියාගේ රූපය දැකලා තිබුණා. මේ වීඩියෝ එක බැලුවා කියලා තමන්ටත් පොලිසියෙන් ප්‍රශ්නයක් වෙයි කියලා බයේ, ඒ මනුස්සයා පාරේ තිබුණු පේ-ෆෝන්  එකකින් FBI එකට නිර්ණාමික ඇමතුමක් දුන්නා.

අන්න ඒ ඇමතුම තමයි ඇලීෂියාගේ මුළු ජීවිතයම වෙනස් කළේ.

Yahoo සමාගමේ උදව්වෙන් IP ඇඩ්‍රස් එක හොයාගත්ත නිලධාරීන් වහාම ස්කොට්ගේ නිවස වට කළා. පොලිසිය දොරවල් කඩාගෙන ඇතුළට එද්දී ඇලීෂියා හිටියේ දෙවැනි තට්ටුවේ ඇඳක් යට, පොළොවට දන්වැලකින් ගැටගහලා. පොලිසිය එද්දී එයා හිතුවේ තමන්ව මරන්න කවුරුහරි ඇවිත් කියලා. ඒ නිසා එයා බයේ ගුලිවෙලා සද්ද නැතුව හිටියා. පොලිස් නිලධාරියෙක් ඇඳ යටින් මතුවෙලා තිබුණු දන්වැල දැකලා එයාව බේරගත්තේ මරණයට තත්පර කිහිපයක් තියෙද්දියි. ස්කොට් ටයිරීව අත්අඩංගුවට ගත්තේ ඇලීෂියාව බේරගෙන පැයකටත් අඩු කාලයක් ඇතුළතදී, එයා වැඩ කරපු තැනදීමයි.

ස්කොට් විලියම් ටයිරී ඉපදුණේ 1963 අවුරුද්දේ. ඇලීෂියාව පැහැරගන්න කලින් එයාට විරුද්ධව කිසිම පොලිස් වාර්තාවක් හෝ අපරාධ චෝදනාවක් තිබුණේ නැහැ.

එයා දෙපාරක් කසාද බැඳලා හිටපු කෙනෙක්. එයාට අවුරුදු 12ක දුවෙක් හිටියා. ඒ දුව නිවාඩුවට ස්කොට් එක්ක ඉඳලා ආපහු එයාගේ අම්මා ගාවට ගියේ ස්කොට් ඇලීෂියාව පැහැරගත්ත දවසෙමයි. ඒ කියන්නේ තමන්ගේ දුවව පිටත් කරලා ඇරපු ගමන්මයි එයා මේ අපරාධයට ලෑස්ති වුණේ.

ස්කොට්ගේ පළමු බිරිඳ පස්සේ කාලෙක එයා ගැන විස්තර කළේ “කොණ්ඩය වවාගත්තු, විද්‍යා ප්‍රබන්ධ සහ පරිගණක ක්‍රීඩා වලට මාරම උනන්දුවක් දක්වපු සාමාන්‍ය කම්පියුටර් වැඩ්ඩෙක්” විදිහටයි. එයා අවට හිටපු මිනිස්සුන්ට එයා කවදාවත් භයානක කෙනෙක් කියලා පෙනුණේ නැහැ.

හැබැයි කීබෝඩ් එකක් ඉස්සරහ එයා පෙනුණු කෙනාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්, අතිශය භයානක මිනිහෙක් වෙලා තිබ්බා.

මොකද්ද දඬුවම?

2003 සැප්තැම්බර් මාසයේදී උසාවියෙන් ස්කොට් ටයිරීට අවුරුදු 19කුයි මාස 7ක හිර දඬුවමක් නියම කළා.

ඊට පස්සේ 2019 පෙබරවාරි මාසයේදී එයා හිරෙන් නිදහස් වෙලා ආවා. හැබැයි පුදුම වැඩේ කියන්නේ, එයාව නතර කළේ පිට්ස්බර්ග් වල තියෙන පුනරුත්ථාපන මධ්‍යස්ථානයක. ඒක තිබුණේ ඇලීෂියා සහ එයාගේ පවුලේ අය ජීවත් වෙන නගරයේමයි! මේක දැනගත්ත ගමන් ඇලීෂියා, එයාගේ පවුලේ අය සහ කොන්ග්‍රස් මණ්ඩලයේ සාමාජිකයෝ දැඩි විරෝධයක් එල්ල කළා. ඒ නිසා විනිසුරුවරයෙක් නියෝග කළා වහාම ස්කොට්ව ඒ ප්‍රදේශයෙන් වෙනත් තැනකට ගෙනයන්න කියලා.

ඒ අවුරුද්දෙම පස්සේ කාලෙක, ස්කොට් ආයෙත් හිරේට නියම වුණා. ඒකට හේතුව වුණේ එයාගේ නිදහස් වීමේ කොන්දේසි උල්ලංඝනය කරලා අසභ්‍ය වෙබ් අඩවි වලට පිවිසීමයි. පස්සේ 2021 සැප්තැම්බර් මාසයේදී එයා ආපහු නිදහස් වුණා.

හැබැයි මේ නරුමයා හැදුණේ නැහැ. 2025 ඔක්තෝබර් මාසයේදී එයාව ආයෙත් සැරයක් අත්අඩංගුවට ගත්තා. මේ පාර එයාට චෝදනා එල්ල වුණේ කාන්තාවන් ලුහුබැඳ යාම සහ ළමා අසභ්‍ය දර්ශන ළඟ තබා ගැනීම කියන බරපතල වැරදි වලටයි.

 නිදහස් වුණා කියලා කිව්වට හැබැයි ඇලීෂියාට වුණේ දරුණු විනාශයක්.

 එයාට වැළඳුණු “PTSD” මානසික තත්ත්වය නිසා, එයාට එයාගේ ළමා කාලයේ සුන්දර මතකයන් ඔක්කොම අමතක වෙලා ගියා. තමන්ව පැහැරගන්න කලින් ජීවිතේ කරපු කිසිම දෙයක් එයාට මතක නැති වුණා.

ඒත් ඇලීෂියා එතනින් පැරදුණේ නැහැ. අද එයා “The Alicia Project” හරහා ලොව පුරා දරුවන්ට අන්තර්ජාලයේ සැඟවුණු මාරයෝ ගැන කියා දෙනවා. එයා දැන් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රබල කථිකාවියක්. එයා තමන්ගේ අඳුරු අතීතය පාවිච්චි කරලා දහස් ගණනක් දරුවන්ගේ අනාගතය බේරගන්න කැපවෙලා ඉන්නවා.

Related Articles

Don't Miss


Latest Articles