සාමාන්‍යයෙන් අපිට කුමරියක් කිව්වම මතක් වෙන්නේ දිලිසෙන ඔටුන්නක් දාගෙන, ලස්සන ගවුම් ඇඳලා, මාලිගාව ඇතුළේ සැපට ඉන්න කෙනෙක් නේද?
හැබැයි ස්පාඤ්ඤයේ ලියනෝර් කුමරිය නම් ඒ හැම සම්ප්‍රදායක්ම කණපිට ගහලා ඉවරයි.
එයා රජකම ලැබෙනකම් මාලිගාවට වෙලා ඒසී එකේ සැප විඳින කෙනෙක් නෙවෙයි. එයා තමන්ගේ අනාගතය දිනාගන්න හදන්නේ දැඩි විනයක්, දූවිලි ගෑවුණ ඇඳුම් සහ කටුක හමුදා පුහුණුවීම් ඇතුළේ. ඇත්තටම එයාගේ කතාව ගොඩක් අය හිතනවාට වඩා හරිම සුවිශේෂී එකක්.
ලියනෝර් ඉපදුණේ 2005 අවුරුද්දේ ඔක්තෝබර් 31 වෙනිදා මැඩ්රිඩ් නුවරදී. හැබැයි එයා එන්න හිටපු වෙලාවටත් වඩා සති තුනක් විතර කලින් තමයි ලෝකෙට ආවේ. ඒ කාලේ රජ වෙලා හිටියේ එයාගේ සීයා, ඒ කියන්නේ පළමුවන හුවාන් කාලෝස් රජ්ජුරුවෝ.
ඒ කාලේ මේක ස්පාඤ්ඤයට කොයි තරම් ලොකු නිවුස් එකක් වුණාද කිව්වොත්, රජ පවුල මේ ආරංචිය ලෝකෙට කිව්වේ හරිම සරල විදියට එක SMS එකකින්! අද වගේ නෙවෙයිනේ ඒ කාලේ, ඉතින් ඒකත් ඒ දවස්වල මාර මොඩර්න් විදියක්.
එයා ඉපදුණු දවසේ ඉඳන්ම නිකම්ම නිකම් බබෙක් නෙවෙයි. එයා එදා ඉඳන්ම ස්පාඤ්ඤ රජකමට උරුමකම් කියන ලැයිස්තුවේ දෙවැනියා වුණා. ඉතින් එයා පොඩි කාලේ ඉඳන්ම රටේ හැමෝම එයා දිහා බලන් හිටියේ තමන්ගේ අනාගත රැජින දිහා බලන ඇහැකින්.
2006 ජනවාරි මාසයේදී ශර්ෂුවේලා මාලිගාවේදී තමයි ලියනෝර්ගේ බෞතිස්ම කිරීමේ උත්සවය පැවැත්වුණේ. ඒක අවුරුදු සිය ගණනක් පැරණි චාරිත්‍රයක්. ඒකට පාවිච්චි කළේ ජෝර්දාන් නදියේ වතුර. ඒ විතරක් නෙවෙයි, 17 වැනි සියවසේ ඉඳන් රාජකීය උරුමකරුවන් වෙනුවෙන්ම පාවිච්චි කරපු පැරණි පෝරුවක් තමයි මේකටත් ගත්තේ. එයාගේ ගෝඩ් පේරන්ට්ස් ලා වුණේ එයාගේම සීයා සහ ආච්චි. ඒ කියන්නේ හුවාන් කාලෝස් රජ්ජුරුවෝ සහ සෝෆියා රැජිනයි.
ලියනෝර් පොඩි කාලේ ඉඳන්ම මිනිස්සු හරිම උනන්දුවෙන් එයා දිහා බලාගෙන හිටියා. යා ඉපදුණු කාලේ එයාගේ නහයේ පොඩි රතු පාට ලපයක් තිබුණා. ඒක ගැනත් ඒ දවස්වල මාධ්‍ය පුදුම විදියට කතා වුණා. හැබැයි ඉතින් මාස කිහිපයකින් ඒක ඉබේම නැති වෙලා ගියා. ඔය විදියට රාජකීය ගාම්භීරත්වයයි, සාමාන්‍ය දරුවෙක් විදියට වැඩෙන එකයි අතර මැද තමයි එයාගේ ළමා කාලය ගෙවුණේ.
ලියනෝර් ඉස්කෝලේ යන්න පටන් ගත්තේ ස්පාඤ්ඤ රාජකීය ආරක්ෂක බළකායේ ඩේ කෙයාර් එකකින්. එයා ඉගෙන ගන්න හරිම දක්ෂයි කියලා තමයි හැමෝම කියන්නේ. හැබැයි එයාගේ අධ්‍යාපනයේ තියෙන විශේෂත්වය තමයි එයා ලෝකයේ ඕනෑම තැනකට ගැළපෙන විදියට හැඩගැසුණු කෙනෙක් වීම.
2021 ඉඳන් අවුරුදු දෙකක් එයා වේල්ස්වල UWC Atlantic College එකේ ඉගෙන ගත්තා. ඒ විතරක් නෙවෙයි, එයා ඇමරිකාවේ සමර් කැම්ප් වලට පවා සහභාගී වෙලා තියෙනවා.
ස්පාඤ්ඤ, ඉංග්‍රීසි සහ කැටලන් භාෂා එයාට වතුර වගේ පුළුවන්.
ඒ මදිවට ප්‍රංශ, ගැලීසියානු, බාස්ක්, අරාබි සහ මැන්ඩරින් (චීන) භාෂාවන් ගැනත් එයා ඉගෙන ගෙන තියෙනවා. ඉතින් එහෙම බැලුවම ස්පාඤ්ඤයේ අනාගත රැජින කියන්නේ නිකම්ම පරණ සම්ප්‍රදායන් අල්ලගෙන ඉන්න කෙනෙක් නෙවෙයි, නූතන ලෝකයත් එක්ක කරට කර ඉන්න පුළුවන් මාර අප්ඩේට් කෙල්ලෙක්.
ලියනෝර්ගේ මේ ගමන ඇත්තටම ඓතිහාසිකයි. මොකද දන්නවාද? පහුගිය අවුරුදු 150 තිස්සේම ස්පාඤ්ඤය පාලනය කළේ රජවරු විතරයි. අන්තිමට ඒ රටේ රැජිනක් පාලනය කළේ 1868 අවුරුද්දේ!
ඉතින් මේ ශතවර්ෂ එකහමාරකට පස්සේ ස්පාඤ්ඤය ආයෙමත් සූදානම් වෙන්නේ කාන්තාවකට ඔටුන්න පලඳවන්න. ලියනෝර් කියන්නේ ඒ අනාගත රැජින. හැබැයි එයා කරන්නේ නිකම්ම නිකම් තනතුරක් උරුම කරගන්න එක නෙවෙයි; එයා ලෑස්ති වෙන්නේ මුළු රටකම Command එක තමන්ගේ අතට ගන්නයි.
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අනාගත රැජිනකට මොකටද මේ හමුදා පුහුණුව? කියන එක. ඒකට උත්තරය තියෙන්නේ ස්පාඤ්ඤ නීතියේ. ස්පාඤ්ඤයේ රජු හෝ රැජින තමයි එරටේ මුළු සන්නද්ධ හමුදාවලම සේනාධිනායකයා වෙන්නේ.
ලියනෝර් දන්නවා නායකත්වයක් කියන්නේ නිකම්ම පෙනුමට තියෙන දෙයක් නෙවෙයි කියලා. සොල්දාදුවන්ට නායකත්වය දෙන්න නම්, ඔවුන් කරන කැපකිරීම් ගැන තමන්ටත් අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ නිසයි එයා මාලිගාවේ සැප සම්පත් පැත්තකට දාලා, එයාගේ තාත්තා ගිය පාරේම යමින් අවුරුදු තුනක සම්පූර්ණ හමුදා පුහුණුවකට එකඟ වුණේ.
2023 දී රජයේ නිල අනුමැතිය ලැබුණාට පස්සේ එයා හමුදාවට බැඳුණේ රාජකීය කුමරියක් විදියට නෙවෙයි. නිකම්ම නිකම් කැඩෙට් නිලධාරිනියක් විදියටයි.
හමුදා ඇකඩමිය ඇතුළේ කවුරුත් එයාව රාජකීය කුමරිය කියලා අමතන්නේ නැහැ. එයා පාවිච්චි කරන්නේ එයාගේ අම්මයි තාත්තායි දෙන්නගෙම වාසගම් එකතු වුණු කැඩෙට් බෝබෝන් ඔර්ටිස් කියන නම.
එයා එතනදී ජීවත් වෙන්නේ අනිත් හැමෝම එක්ක පොදුවේ.
එයා අනිත් කැඩෙට් නිලධාරීන් එක්ක එකම කාමරේ නිදාගන්නවා. හැමෝටම කලින් පාන්දරින්ම ඇහැරෙනවා. තමන්ගේ ඇඳ තමන්ම හදාගන්නවා. තමන්ගේ බූට් සපත්තු තමන්ම පොලිෂ් කරගන්නවා.හැමෝම එක්ක එකට පෙළපාලි යනවා.
හිතාගන්න බැරිම දේ තමයි, කැඩෙට් නිලධාරීන්ට ලැබෙන වැටුප පවා එයා ප්‍රතික්ෂේප කරපු එක. එයාට ඕන වුණේ මමත් තවත් එක සොල්දාදුවෙක් විතරයි කියලා ලෝකෙට පෙන්නන්න.
ඇත්තටම කිව්වොත් ලියනෝර් කුමරිය කියන්නේ රජකම ලැබෙනකම් අතපය බැඳගෙන බලන් ඉන්න කෙනෙක් නෙවෙයි. එයා ඒ සිහසුන කරා යන්නේ හරිම කටුක, විනයගරුක වගේම ලොකු සූදානමකින් පිරුණු ගමනක් හරහා. අද කාලේ ගොඩක් අය රජ පවුල් කියන්නේ වැඩකට නැති පරණ සම්ප්‍රදායක් කියලා විවේචනය කළත්, ලියනෝර් ඒ මතය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා.
එයා නූතන ලෝකයට පෙන්නලා දෙනවා නියම නායකයෙක් වෙන්න ඕනේ මාලිගාවක සැප විඳිමින් නෙවෙයි, බිම් මට්ටමේ ඉඳන් දේවල් ඉගෙනගෙනයි කියලා. එයාගේ නායකත්වය පටන් ගන්නේ: සැප සම්පත්වලින් නෙවෙයි සේවයෙන්. නිකම්ම තනතුරුවලින් නෙවෙයි කටුක හමුදා පුහුණුවෙන්.
අවුරුදු 150කට පස්සේ ස්පාඤ්ඤය පාලනය කරන්න ආයෙමත් රැජිනක් එනවා.
හැබැයි ඒ එන්නේ මාලිගාවට කොටුවුණු කුමරියක් නෙවෙයි.
තමන්ගේ ඔටුන්න වෙනුවෙන් දූවිලි නාගෙන, දුක් විඳලා, ඒ ගෞරවය තමන්ගේම දක්ෂතාවයෙන් දිනාගත්තු සැබෑ සොල්දාදුවෙක්!










