සම්බන්ධතාවයකදී ඔබ මේ කරුණු දහය ඉවසන්න එපා!

සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් ඔබේ ජීවිතයට ගෞරවය, සාමය, විශ්වාසය සහ මානසික ආරක්ෂාව ගෙන ආ යුතුයි. කිසිදු සම්බන්ධතාවයක් පරිපූර්ණ නොවන නමුත් සමහර හැසිරීම් කිසි විටෙකත් නොසලකා හැරිය යුතු හෝ සාමාන්‍යකරණය කළ යුතු වන්නේ නැහැ. හානිකර හැසිරීම් සහ තත්වයන් දිගු කාලයක් පවතින විට, ඒවා ඔබේ විශ්වාසයට , සතුටට සහ මානසික යහපැවැත්මට බාධා එල්ල කරනවා. එම නිසා  සම්බන්ධතාවයකදී කුමන තත්ත්වයක් යටතේ වුවත් ඔබ විසින් නොඉවසිය යුතු වැදගත් දේවල් කිහිපයක් ගැනයි මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ.

නිරන්තරයෙන් අගෞරව කිරීම 

ගෞරවය යනු සම්බන්ධතාවයක ශක්තිමත්ම අත්තිවාරමයි. යමෙකු ඔබට නිරන්තරයෙන් අපහාස කරන්නේ නම්, ඔබේ හැඟීම් සමච්චලයට ලක් කරන්නේ නම්, ඔබට නින්දා කරන්නේ නම් හෝ ඔබව පහත් කොට කතා කරන්නේ නම්, එය ගෞරවය මුසු වූ ආදරය නොවේ. තර්ක අතරතුරදී පවා, දෙදෙනාම දෙදෙනා අතර පෙර පැවැති කරුණාවෙන් හා පරිණතභාවයෙන් සන්නිවේදනය කළ යුතුය. ඒ වෙනුවට ඔබේ සහකරු නිරන්තරයෙන්ම ඔබට අගෞරව කිරීම තෝරා ගන්නවා නම් එය ඔබ දිගින් දිගටම ඉවසා සිටිය යුතු තත්ත්වයක් නොවේ. 

චිත්තවේගීය හැසිරවීම

හැසිරවීම නිහඬව හා සෙමින් සිදුවිය හැකියි. එයට වරදකාරි හැඟීම, ඔබේ තීරණ පාලනය කිරීම, සෑම දෙයකටම ඔබට දොස් පැවරීම හෝ ඔබේම හැඟීම් සහ මතකයන් ප්‍රශ්න කිරීමට සැලැස්වීම ඇතුළත් වනවා. කාලයත් සමඟ, චිත්තවේගීය හැසිරවීම ඔබේ ආත්ම විශ්වාසය විනාශ කර චිත්තවේගීයව ඔබට වෙහෙසක් ඇති කළ හැකිය.  සෞඛ්‍ය සම්පන්න ආදරයක් තුළදී සෑම විටම අනෙකාට සහයෝගය දැක්විය යුතු අතර අනෙකාව මානසිකව වෙහෙසට පත් කිරීම නොකළ යුතුය. 

ශාරීරික හිංසනය

සම්බන්ධතාවයක් තුළදී ඕනෑම ආකාරයක ශාරීරික හිංසනයක් හෝ හානි කිරීමක් කිසි විටෙකත් ඉවසිය යුතු නැත. තල්ලු කිරීම, පහර දීම, ආක්‍රමණශීලී ලෙස අල්ලා ගැනීම  ශාරීරික හිංසනය හෝ තර්ජනය කිරීම බරපතල අනතුරු ඇඟවීමේ සංඥා ලෙස හඳුන්වන්නට පුළුවන් .සම්බන්ධතාවයකදී කිසි විටෙකත් කෙනෙකු තම ආරක්ෂාව ගැන බිය විය යුතු නැති අතර සම්බන්ධතාවයක් සැමවිටම චිත්තවේගීයව සහ ශාරීරිකව ආරක්ෂිත බවක් දැනෙන අවකාශයක් විය යුතුය.

නිරන්තරයෙන් බොරු පැවසීම සහ බිඳුණු විශ්වාසය

විශ්වාසය ගොඩනැගීමට කාලය ගත වන නමුත් එය බිඳීමට ගතවන්නේ මොහොතක් පමණි. සෑම කෙනෙකුම අතින්ම වැරදි සිදුවනවා. නමුත් නැවත නැවත බොරු කීම, වැදගත් දේවල් සැඟවීම හෝ විශ්වාසය පාවා දීම මගින් අනෙකා තුළ අනාරක්ෂිත බව සහ චිත්තවේගීය වේදනාව ඇති කරනවා. සම්බන්ධතාවයක් අවංක නොවන විට ස්ථාවරත්වය ගිලිහී යන අතර ශක්තිමත් සම්බන්ධතාවයක් සෑම විටම විනිවිදභාවය සහ විශ්වසනීයත්වය මත රඳා පවතිනවා.

හැසිරීම පාලනය කිරීම

සැලකිලිමත් සහකරුවෙකු සෑම විටම ඔබ පිළිබඳව කරදර වීම රැකවරණය සැලසීම ලෙස හැඳින්විය හැකි නමුත් එය කිසිවිටෙකත් ඔබව පාලනය කිරීමක් නොවිය යුතුය.ඔබ ඇසුරු කළ යුතු මිතුරන් , ඔබට කතා කළ හැක්කේ කාටද, ඔබ අඳින පළඳින දේ, ඔබ යන ස්ථානය හෝ ඔබ ඔබේ කාලය ගත කරන ආකාරය තීරණය කිරීම රැකවරණය නොව පාලනය කිරීමයි. සැබෑ ආදරය නිදහස, පෞද්ගලිකත්වය සහ පෞද්ගලික වර්ධනයට ඉඩ සලසන අතර සම්බන්ධතාවයක් කිසි විටෙකත් ඔබට සිරවීමක් ලෙස දැනිය යුතු නැත.

උත්සාහය නොමැතිකම

සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම සඳහා දෙදෙනාගෙම උත්සාහය අවශ්‍ය වනවා .  එක් පුද්ගලයෙකු පමණක් සැමවිටම සම්බන්ධතාවය පවත්වාගෙන යාම සඳහා උත්සාහ කරන්නේ නම්, ගැටළු නිරාකරණය කරන්නේ නම්, සන්නිවේදනය කරන්නේ නම්, කැප කරන්නේ නම් සහ ඒ අතර අනෙක් පුද්ගලයා නොසැලකිලිමත් ලෙස සිටින්නේ නම්, එය පුද්ගලයා තුළ චිත්තවේගීයව  අසමතුලිතතාවයක් සහ අනාරක්ෂිත බවක් ඇති කරනවා. එක් පුද්ගලයෙකු පමණක් සියලු චිත්තවේගීය වගකීම් දරන විට ආදරයට දිගු කාලීනව පැවතිය හැකිවන්නේ නැහැ.

වංචා කිරීම සහ නැවත නැවත පාවාදීම

ද්‍රෝහිකම , වංචා කිරීම සහ විශ්වාසය බිඳ දැමීම සම්බන්ධතාවයක් තුළදී කෙනෙකුගේ  චිත්තවේගීය ආරක්ෂාවට ගැඹුරින් හානි කරනවා . සම්බන්ධතාවයකදී අනෙකාට නැවත නැවත වංචා කිරීම බොහෝ විට ගෞරවය සහ වගවීම නොමැතිකම පෙන්නුම් කරන අතර සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් ඔබව අගය කරන සහ චිත්තවේගීය වශයෙන් සුරක්ෂිත බවක් ඇති කළ යුතු වනවා.

“ප්‍රමාණවත් නොවේ” යන හැඟීම ඇති කිරීමට සැලැස්වීම

ආදරණීය සම්බන්ධතාවයක් පුද්ගලයකුගේේ වර්ධනයට හේතු විය යුතු අතර පුද්ගලයකු තුළ පවතින ස්වයං-වටිනාකම විනාශ නොකළ යුතුය. ඔබේ සහකරු හෝ සහකාරිය  නිරන්තරයෙන් ඔබව අන් අය සමඟ සංසන්දනය කරන්නේ නම්, ඔබ පිළිබඳ සියල්ල විවේචනය කරන්නේ නම්, නැතහොත් ඔබට ආදරයට නුසුදුසු යැයි හැඟෙන්නේ නම්, එය සෘජු වශයෙන් බලපෑම් එල්ල කරන්නේ ඔබේ විශ්වාසයටයි. හොඳ සහකරුවෙකු ඔබට දියුණු වීමට උපකාර කරන අතර ඔවුන් කිසි විටෙකත් ඔබව වැදගත් නොවන බව ඔබට දැනෙන්නට සලස්වන්නේ නැහැ.

ඔබේ හැඟීම් නොසලකා හැරීම

සම්බන්ධතාවයකදී ඔබේ සහකරු හෝ සහකාරිය ඔබේ හැඟීම්වලට සවන් දීමට සහ ගරු කිරීමට බැඳී සිටිනවා.අනෙකා විසින්  නිරන්තරයෙන් ඔබේ වේදනාව නොසලකා හරින්නේ නම්, ඔබේ ගැටළු වලට සිනාසෙන්නේ නම් හෝ ඔබ “ඕනෑවට වඩා සංවේදී” බව ඔබට පවසන්නේ නම්, එහිදී සිදුවන්නේ ඔබේ සැබෑ හැඟීම් නොසලකා හැරීමයි. එය ඔබ විසින් දිගින් දිගටම ඉවසා සිටිය යුතු තත්ත්වයක් නොවේ.

අවංකව කතා කිරීමට ඇති බිය

සම්බන්ධතාවයකදී ඔබ ඔබේ සැබෑ හැඟීම් ප්‍රකාශ කිරීමට කිසි විටෙකත් බිය නොවිය යුතුය. කෝපය, නිහඬව සිටීම හෝ චිත්තවේගීය දඬුවම් වළක්වා ගැනීම සඳහා ඔබ නිරන්තරයෙන් වේදනාව දරා සිටීම සිදු කළහොත් ඔබේ සම්බන්ධතාවය තුළ තවදුරටත් ඔබට චිත්තවේගීය වශයෙන් ආරක්ෂිත බවක් දැනෙන්නේ නැහැ . සෞඛ්‍ය සම්පන්න සබඳතාවයක් තුළදී ඔබට බියකින්  තොරව අවංක සංවාද වල නියැලීමට හැකියාව තිබිය යුතු අතර එසේ නොවන විටදී යටපත් වී යන්නේ ඔබට ඔබ වී සිටීමට ඇති හැකියාවයි.

ආදරය නිරන්තරයෙන් ඔබව රිදවීම, ව්‍යාකූල කිරීම හෝ ඔබේ සාමය බිඳ දැමීම නොකළ යුතුය. සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයකට  එකඟ නොවීම් සහ දුෂ්කර අවස්ථාවන් ඇති නමුත් එහි ගෞරවය, විශ්වාසය, සන්නිවේදනය, සහයෝගය සහ චිත්තවේගීය ආරක්ෂාව ද ඇතුලත් විය යුතුය. සම්බන්ධතාවයක් තුළදී මේ සියල්ල ඔබට අහිමි වනවා නම් ඉන් අදහස් වන්නේ ඔබ ඔබේ සම්බන්ධතාවය තුළ ඔබව අහිමි කරගෙන ජීවත් වන බවයි. ඉහත සඳහන් කළ කාරණා ඔබ ඔබේ සම්බන්ධතාවය තුළදී නිරන්තරයෙන් අත්දකිනවා නම් ඔබ එම සම්බන්ධතාවයේ අනාගතය පිළිබඳව විශේෂයෙන් සලකා බැලිය යුතුයි. කුමන ආකාරයේ සම්බන්ධතාවයක් තුළ වුවද ඔබ තෝරා ගත යුතු වන්නේ ඔබේ මානසික සාමය සහ ආත්ම ගෞරවයයි.

Related Articles

Don't Miss


Latest Articles