කැළලි

සඳලි ඈත අහස දිහා බලාගෙන හිටියේ දෙගිඩියාවෙන්.රත්තරන් පාටට ඉර බැහැගෙන යන ලස්සන ඉස්සර ඕන තරම් වෙලා බලාගෙන ඉන්න පුලුවන්කම තිබුණත් දැන් ඒක හරිම වෙහෙසකර දෙයක් කියලා සඳලිට හිතුණා. වෙලාව හයයි තිහ කියලා ජංගම දුරකථනය සටහන් වෙලා තිබුණත් හයයි තිහට තමන්ව මුණගැහෙන්න එනවා කියලා කියපු රන්දික තාම නැති නිසා සඳලි මුහුදු වෙරළේ එහා මෙහා ඇවිදින පෙම්වතුන් දිහාත්, මුහුද අද්දර අවන්හල අවට ඉන්න අය දිහාත් සිතිවිල්ලේ බලාගෙන හිටියා.

සඳලිට රන්දිකව මුණගැහෙන්නේ දෙවෙනි වතාවට.

රන්දික කියන්නේ විවාහ යෝජනාවකින් මුණගැහුනු තරුණයෙක්.සඳලිගේ දෙමව්පියන්ට ඕන කරන හැම ගතිගුණයක් වගේම දෙමව්පියෝ බලාපොරොත්තු වුණ භෞතික දේවලුත් රන්දිකට තිබුනා. අවුරුදු ගානක ප්‍රේම සම්බන්ධය බිඳිලා ගිහින් මේ ගතවෙන්නේ පස්වෙනි මාසය උනත් සඳලිගේ හිත සම්පූර්ණයෙන්ම සුවපත් වෙලා තිබුණෙ නැහැ.ඒත් ඇගේ දෙමාපියන්ට ඕන වුණේ ඇයව ඉක්මනින් පිළිවෙලක් කරන්න.

හිතවතෙකුගේ මාර්ගයෙන් රන්දික දෙමව්පියන් එක්ක සඳලිව බලන්න ගිය සති අන්තයේ සඳලිගේ ගෙදරට ආවේ ඒ විදිහට.

හරිම ආකාරුණික විදිහට තමන්ව අත ඇරලා ගියපු පෙම්වතා නිසා හදවතේ ඇතිවෙච්ච තුවාල කැලලි සම්පූර්ණයෙන්ම සුවපත් වෙනකන් සඳලිට ඉන්න ඕන උනත් සඳලිගේ දෙමව්පියන්ට ඒ ඉවසීම තිබුනේ නැහැ. පවුලේ එකම දරුවා වෙච්ච සඳලිව හොඳ පවුලක තරුණයෙක්ට විවාහ කරලා දෙන්න සූදානම් කරගන්න ඔවුන් කටයුතු කළේ ඒ හින්දා.

රන්දිකගේ දෙමව්පියනුත් සඳලිව දැක්ක ගමන් ඇයට කැමැත්ත පළ කරා. ඇය පවුලේ එකම දරුවා වීමත්, ඉතා හොඳ රැකියාවක නියැලීම නිසාත් ඇයට අකමැති වෙන්න රන්දිකට හේතුවක් තිබුනෙත් නැහැ.

තමන්ගෙ දෙමාපියන් වගේම රන්දිකගේ දෙමව්පියනුත් බලපොරොත්තු වෙනවා වගේ ඉක්මන් වෙන්න තමන්ට බැරි වුණත් තමන්ගේ දෙමව්පියන්ගේ බල කිරීම අහක දාන්න බැරි තැන රන්දිකගේ විවාහ යෝජනාවට කැමති වෙන්න සඳලිට සිද්ධ වුණා.

සඳලි ගේ ගෙදරට ආව දවසෙම ඇයත් එක්ක කතා කරන්න ලැබුණු පොඩි වෙලාවෙදි ඇගේ දුරකථන අංකයත් ඉල්ලගත්ත රන්දික ඇයව තනියම මුණගැහෙන්න වෙලාවක් දාගත්තේ බලෙන්ම වගේ.ඒකට බෑ කියන්න බැරි හේතුවකුත් ඔහු සඳලිට හදලා දුන්නා.

” මං අපේ අම්මටයි තාත්තටත් කිව්වා ඔයාව හම්බවෙන්න යනවා කියලා. මං හිතන්නේ අපේ අම්මා ඔයාගේ අම්මටත් කියන්න ඇති.එයාලා හැමෝම කැමතියි මේ මැරේජ් එක ඉක්මනට වෙනවට. මටත් දැන් තිස් හයක් වෙනවනේ “

සඳලි රන්දිකව මුණගැහෙන්න මුහුද අද්දර පිහිටලා තිබුන ලස්සන අවන්හලට එන්න හිත හදා ගත්තේ එහෙම.

” අනේ සොරි මං ඔෆිස් එකෙන් එනකොට ටිකක් පරක්කු වුනා “

රන්දික ආවෙම එහෙම කියාගෙන. කවදාවත් කොතැනකවත් තමන්ව රස්තියාදු නොකරපු මාලකව සඳලිට මතක් උනේ ඉබේටම. එහෙම නොකලට මාලක තමන්ව අතරමග දාලා ගියා නේද කියලා හිතලා සඳලි රන්දිකට දිහා මද හිනාවකින් බැලුවා.

” ඉතින්? ” 

රන්දික දිග කතාවකට මුල පිරුවා. මේ හැම දෙයක්ම හරිම වෙහෙසකර උනත් දෙමව්පියන් වෙනුවෙන් හැම දේකටම නිශ්ශබ්දව මුහුණ දෙන්න සඳලි හිත හදාගත්තා.

ආ ගිය තොරතුරු කතා කරපු විනාඩි කිහිපයකට පස්සේ සඳලි මද අඳුරේ පේන මුහුද දිහා බලාගෙන ඉන්නකොට රන්දික ඇය දිහා බැලුවේ උනන්දුවෙන්.

” මේ.. මං අහන්න හිටියේ සඳලි. ඔයාට කලින් එෆෙයාර් එකක් එහෙම තිබුණද ? “

කොයි මොහොතේ හරි රන්දික තමන්ගෙන් අහයි කියලා සඳලි බලාපොරොත්තු වුණ ප්‍රශ්නය අන්තිමට රන්දික ඇහුවා. සඳලි ඒ වෙලාවේ රන්දික දිහා බැලුවේ හිස් බැල්මකින්.

” නෑ මං මේ ඇහුවේ දැනගන්න. මොකද මං ඒව දැනගන්න ඕනනේ.අනිත් එක ඔයා වගේ ලස්සන කෙල්ලෙකුට එහෙම එකක් තිබුනෙ නැති වෙන්න බෑ නේ “

මුන ගැහුණු පළවෙනි දවසේ වගේම මීට විනාඩි ගානකට කලිනුත් රන්දික තුළින් පේන්න තිබ්බ සෞම්‍ය ගතිය පහවෙලා ගිහින් තිබුණා.

” තිබුනා.මාස ගානකට කලින් ඒක බ්‍රේකප් උනා “

සඳලි දුන්නේ සෘජු උත්තරයක් උනත් රන්දික ඇය තවත් මොනවා හරි කියයි කියලා බලාගෙන හිටියා.ඒ නිසාම සඳලි ආපහු මුව විවර කළා.

” මට මේ තරම් ඉක්මනට සෙට්ල් වෙන්නවත් වෙන දෙයක් ගැන හිතන්නවත් කිසිම උවමනාවක් තිබුණේ නෑ. කොටින්ම රන්දික මං ඔයාට කැමති වුනෙත් නෑ.මේ අදත් මං ආවේ ඔයාගේ කීමට.හැබැයි ඒ ඔයාට කැමැත්තකින් නෙමෙයි. මේ හැමදේම අපේ අම්මලගේ උවමනාවට වෙච්ච දේවල්. පවුලේ එකම ළමයා නිසා ඔයත් දන්නවා ඇති අම්මලා අපි පිළිවෙලක් වෙනකන් කොච්චර බලන් ඉන්නවද කියලා ” 

රන්දික හිතට දැනුණු කෝපය පාලනය කරගෙන හිටියේ වෙන කරන්න දෙයක් නැති කමට. සඳලි තමන්ගේ හිතේ තිබුණු දේවල් අවංකවම කිව්වත් ඇය මේ ඇවිල්ලා තියෙන්නේ කැමැත්තකින් නෙමෙයි කියලා තේරුම් ගන්න රන්දිකට අපහසු වුණේ නැහැ.

රන්දිකගේ හිත රිදෙන්නෙ නැති විදිහට සඳලි ඒ හවස් වරුව ගෙවලා ගෙදර ආවත් සඳලි තමන්ට අකමැතියි කියන සත්‍යය පිළිගන්න රන්දිකට පුළුවන් වුණේ නැහැ.ඔහු ඒ ගැන හිටියේ නොසන්සිදුනු කෝපයකින්.

තමන් ඇසුරු කරපු හැම ගෑණු ළමයටම වඩා සඳළි රූමත් වගේම උගත් නිසා ඇයව අතහැරෙන්න දෙන්න රන්දිකට ඕන වුණේ නැහැ.ඒ නිසාම දවස් කීපයක් ඇයව මුණගැහෙන්න ඇයගේ කාර්යාලය ළඟට වගේම නිවසටත් යන්න රන්දික වගබලා ගත්තා.ඒ හැම වෙලාවකම සඳලිගෙන් දැක්ක හිස් බැල්ම ඇය තමන්ට අකමැතියි කියන එක රන්දිකට මතක් කරලා දුන්නත් පුළුවන් හැම විදිහකින්ම ඇයට ළං වෙන්න රන්දික උත්සහ කරා.

” අද ඔයා එන්න ඕනේ නෑ රන්දික මට බඩු වගයක් ගන්න යන්න තියෙනවා.මං ඒ ටික අරගෙන ගෙදර යන්නම් “

දවසක් හවස හවස රන්දික කාර්යාලය ළඟට එන්න අහනකොට සඳලි ඒ වගේ පිළිතුරක් දුන්නා. 

” ඉතින් මාත් එක්ක යං.මට පුළුවන්නේ ඔයාව ගෙදරට ඇරලවන්න ” 

රන්දික සඳලිගේ ගමනට එකතු වුණේ බලෙන්ම වගේ. කාර්යාලයේ උත්සවයකට අඳින්න අවශ්‍ය කරන ඇඳුමක් සඳලි තෝරගන්නකං රන්දික පැත්තකට වෙලා බලාගෙන හිටියා.

” ඔයාගේ එක්ස් බෝයිෆ්‍රෙන්ඩ් වෙනදට ඔයාට ඇඳුම් තෝරලා දෙනවද ? ” 

සෑහෙන වෙලාවක් තිස්සේ ඇඳුම් තෝරන සඳලි ළඟට ඇවිත් රන්දික එහෙම ඇහුවේ මහා නපුරු විදිහට. රන්දිකගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු නොවුන සඳලි ඔහු දිහා බැලුවේ තිගැස්සිලා. 

” නෑ මං එහෙම ඇහුවේ ඔයා සෑහෙන වෙලාවක් තිස්සේ ඇඳුම් තෝරන හින්දා. මටත් ඕන නම් පුළුවන් උදව් කරන්න “

සඳලි තවදුරටත් ගල් ගැහිලා රන්දික දිහා බලාගෙන හිටියේ අතීතයේ තුවාලයක් ආයෙමත් පෑරිලා යනවා දැනෙනකොට.ඊට වඩා හිත නොරිදෙන විදිහට රන්දිකට ඒ ප්‍රශ්නය තමන්ගෙන් අහන්න තිබුණ නේද කියලා ගෙදරට එන අතර සඳලි සිය දහස් වාරයක් හිතුවා.

දෙමව්පියන්ගේ කැමැත්තට හරි ජීවිත කාලයටම තෝරගන්න සහකාරයා අතීතයේ තුවාල කැළලි ආයෙමත් පාරනවා නම් තමන්ට එහෙම තැනක ජීවත් වෙන්න බැහැ නේද කියලා සඳලිට පළවෙනි පාරට හිතුණා.

රන්දික තමන්ට ළං වෙන්න මොනතරම් උත්සහ කරත් ඒ උත්සාහය ඇතුලේ තියෙන්නේ ආදරයක් නෙමෙයි අයිතිකර ගැනීමේ ලෝභකමක් කියලා සඳළිට කීප වතාවකදීම රන්දික විසින්ම ඔප්පු කරලා පෙන්නුවා.

තවත් සති අන්තයක රන්දික නොකියාම සඳලිගේ ගෙදරට ආවා. වාහනය මිදුලේ නතර කරන හඬට සඳලි නිවසේ ප්‍රධාන දොර ඇරගෙන එතනම නතර වෙලා හිටියේ ඒ වෙනකොට අම්මයි තාත්තයි දෙන්නම ගෙදර හිටියෙ නැති නිසා.

” කෝල් එකක් දෙන්න තිබ්බනෙ රන්දික. අම්මයි තාත්තයි දෙන්නම ගෙදර නැහැ ” 

” කොහේ ගිහින්ද ?” 

” මේ ළඟට ගියේ. දැන් එයි.ගිහිල්ලත් දැන් ගොඩක් වෙලා “

සඳළි පාර දිහා බලන ගමන් අපහසුවෙන් වගේ උත්තර දුන්නේ රන්දික පුරුදු කාරයෙක් වගේ නිවසට ඇතුළු වෙන්න හදන එක වලක්වන්න උත්සාහ කරන ගමන්.

” හරි ඉතින් එතකන් මං ගේ ඇතුලෙන් ඉන්නම් “

“එහෙම හරි නෑ නේද රන්දික ? ” 

” මොකද්ද හරි නැත්තේ ?”

” නෑ මං මේ කිව්වේ.. ” 

සඳළි කියන්න ගිය දේ කියන්න ඉඩ නොතියා රන්දික ඇයව තල්ලු කරගෙන නිවසට ඇතුළු වුණා.විවෘත කරලා තිබුණ ගේට්ටුවෙන් ඒ වෙලාවේ අම්මයි තාත්තයි ඇතුල් වෙනව සඳලි දැක්කා.

“තමුසෙට මේවා පුරුදු නැති දේවල් නෙවෙයි නේ? මගේ ඉස්සරහ බොරුවට බබා වෙන්න හදන්න එපා හැම වෙලේම “

රන්දික හිටියේ කෝපයෙන්. සඳලි හිටියේ ඊටත් වඩා කම්පාවෙන්. සඳලිගේ අම්මයි තාත්තයි දොර ගාව නතර වෙලා නිහඩව හිටියේ උවමනාවෙන්මයි.

” මං හැම වෙලාවෙම තමුසෙගේ පස්සෙන් එයි කියලා හිතන්න එපා සඳලි. මට එහෙම ගිහිල්ලා පුරුදුත් නෑ.මං කෙල්ලෝ ඕන තරම් දැකලා ආශ්‍රය කරලා තියෙනවා.ඒ එකෙක්වත් මගේ ඉස්සරහ මෙහෙම බබා වෙලා නෑ.තමුසේ නිකන් ඉන්නේ කලින් එකා තමුසෙගේ අතින් වත් අල්ලලා නෑ වගේනේ “

සඳලිගේ වගේම එලියේ හිටපු ඇගේ තාත්තාගේ ත් ඉවසීමේ සීමාව අවසන් උනේ එතනදි.තමන්ගෙ දියණියගේ හදවත සුවපත් වෙන්නත් කලින් ඇයව විවාහ කරලා දෙන්න හිතපු වැරැද්ද තේරුම් ගත්ත ඔහු ඉතා වේගයෙන් නිවසට ඇතුළු වුණා. රන්දික වාඩි වෙච්ච තැනින් ඉබේටම නැගී සිටියේ ඊට පස්සේ.

” මහත්තයෝ, මෙහෙම කයි කතන්දර අහගෙන දීග දෙන්න අපි දරුවෝ හදලා නැහැ. එහෙම දීග දෙන්න තරම් මගේ දරුවට අඩුපාඩුවකුත් නෑ. මහත්තයා බොහොම වැදගත් කියලා හිතාගෙන තමයි දරුවාගේ අකමැත්ත පිට හරි අපි මේකට කැමති වුණේ.එහෙම කළේ මේ ළමයට හොඳක් වෙයි කියලා හිතලා. මහත්තයා මේ ගෙදරට ආපු නම්බුව තියාගෙන දැම්ම ගියොත් හොඳයි “

පෑරිච්ච තුවාලවල වේදනාව දරාගන්න බැරුව හිටපු සඳලි , රන්දික පරාජිත විදිහට නිවසින් පිටවෙලා යනවා දැක්කේ බොඳ වෙච්ච දෑස් වලින්.

More Stories

Don't Miss


Latest Articles