” අපිට ආදරය අමතක කරන්න පුළුවන්,ඒත් ආදරය කරන අයගේ පාවාදීම අමතක කරන්න බැහැ”
මේක ලෝකයේ සැබවින්ම පවතින සත්‍යයක්. මේ සත්‍යය එක එක ආකාර වලින් එක එක ස්වරූප වලින් ජීවිතයේ කොයි මොහොතකදි හරි අපි ඉදිරියට එනවා. මේකට හොඳම උදාහරණයක් වෙන චිත්‍රපටයක් ගැනයි අද අපි ඔබට කියන්නේ.
මේ 2023 වර්ෂයේදී නිකුත් වුනු Butta Bomma චිත්‍රපටය. 2020 වර්ෂයේදී මලයාලම් චිත්‍රපටයක් ලෙස නිකුත් වුන කප්පෙලා චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් ලෙස සැලකෙන මේ චිත්‍රපටය ෂෝරි චන්ද්‍රශේඛර් ටී. රමේෂ් විසින් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඒ වගේම මේ අපූරු චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ නාග වම්සි සහ සායි සෞජන්‍යා විසින්.
සත්‍යා කියන්නේ ගම්බද පරිසරයක සරල හා සුන්දර ජීවිතයක් ගෙවන ජීවිතය පිළිබඳව ඒ තරම් අත්දැකීම් නැති ලාබාල යුවතියක්. ගමේ තරමක් පොහොසත් පවුලක තරුණයෙක් වන චින්නි , සත්‍යාව විවාහ කරගන්න බලාපොරොත්තුවෙන් හිටියත් සත්‍යා ගේ පියා සහල් මෝලක සේවය කිරීමත්, මව ඇඳුම් මැසීමත් නිසා චින්නි ගේ මව මෙයට කැමැත්තක් දක්වන්නේ නැහැ.
සත්‍යා ගේ හොඳම මිතුරිය වෙන්නේ ලක්ෂ්මි. ඒ වෙනකොට ලක්ෂ්මිට පෙම්වතෙක් හිටියත් කවදාවත් පෙම්වතෙක් නොහිටපු සත්‍යා තමන්ට හොඳ ආදරවන්තයෙක් මුණගස්වලා දෙන්න කියලා දෙවියන් ගෙන් පවා ඉල්ලනවා.
මේ අතරතුර කාලයේ දී සත්‍යා වැරදීමකින් ලබා ගන්න දුරකථන ඇමතුමක් නිසා ඇයට නෙල්ලිමාර්ලා හි ත්‍රී රෝද රථ රියදුරෙක් වන මුරලිව හඳුනා ගන්න ලැබෙනවා. තමන් ඇමතුම ලබා ගත්තේ වැරදීමකින් කියලා සත්‍යා මුරලිට කීප වතාවක්ම කිව්වත් ලස්සන කටහඬක් හිමි යුවතියගේ පසුපස හඹා ඒම මුරලි නතර කරන්නේ නැහැ.
ජීවිතයේ කවදාවත් පෙම්වතෙක් ඉඳලා අත්දැකීමක් නැති සත්‍යා මුරලිත් එක්ක ආදරයෙන් බැඳෙන්නෙ ඊට පස්සේ.
විවිධ හැල හැප්පීම් එක්ක මේ ආදරය ගලා ගෙන යන්නේ දුරකථන සංවාද වලින්. එක අවස්ථාවක දී සත්‍යා ට මුරලිව මුණ ගැහෙන්න වුවමනාවක් ඇති වෙනවා. ඊට පස්සේ සත්‍යා මුරලිව මුණ ගැහීමේ අරමුණෙන් නගරයට එනවා.
විවිධාකාරයේ මිනිසුන්ගෙන් පිරුණු නගරයට සත්‍යා පා තබන්නේ බොහොම බියෙන්. කීප වතාවක්ම දුරකථනයෙන් මුරලිව සම්බන්ධ කරගන්න උත්සාහ කරත් සත්‍යා ට ඒ වෙලාවේදී සත්‍යා ට ඔහුව සම්බන්ධ කරගන්න ලැබෙන්නෙ නැහැ. ඒ සුවිශාල බස් නැවතුමේදී නාදුනන මිනිසුන් දෙදෙනෙක් සත්‍යා ගේ පසු පසින් ලුහුබැඳ එනකොට ඇය පොදු වැසිකිලියකට ඇතුල් වෙලා දිගින් දිගටම මුරලිව දුරකථනයෙන් සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා.එක වෙලාවකදී ක්‍රියා විරහිත වෙලා තියෙන මුරලිගේ දුරකථනය නාද වෙලා මුරලි දුරකථන ඇමතුමට සම්බන්ධ වෙනවා. ඒ වෙලාවේදී සත්‍යා තමන් ඇඳගෙන ඉන්න ඇඳුමේ පාට කියලා මුරලිව හොයාගෙන පොදු වැසිකිලියෙන් පිටතට එනවා.
ඇයව ලුහුබැඳ එන නාඳුනන මිනිසුන් දෙදෙනා ඇයව නැවතත් ලුහු බඳින්න පටන් ගන්නකොට පිටුපසින් එන කෙනෙක් සත්‍යාව නතර කර ගන්නවා.
ඔහු ඉන්නෙත් දුරකථන ඇමතුමක.
සත්‍යා සැනසුම් සුසුම් හෙලන්නේ එතකොට. තමන් ඉන්නෙ අධික පිපාසයකින් කියලා සත්‍යා තමන් ඉදිරියේ ඉන්න කඩවසම් තරුණයාත් එක්ක අසල තියෙන වෙළඳ සැලකට යනවා.
මේ අතරතුරේදී, ඊට සුළු වේලාවකට කලින් බස් නැවතුමේ ඇතිවුණු ගැටුමකදී දුරකථනය අහිමිවෙන මුරලි සත්‍යාව හොයාගෙන බස් නැවතුම පුරාම ඇවිදිනවා. ඒ මොහොතේදී නගරයට ආපු බස් රථයේ කොන්දොස්තරව හොයා ගන්න මුරලි ගමේ ඉඳන් නගරයට ආපු තරුණියව හොයාගන්න දැඩි උත්සාහයක් දරනවා. අවසානයේදී මුරලි , කොන්දොස්තරගේ සහයෝගයෙන් වෙළඳසැලක් අසල තරුණයෙක් එක්ක ඉන්න සත්‍යාව හොයා ගන්නවා.
මුරලි සත්‍යාව හොයාගෙන ඒ වෙළඳසැල අසලට එනකොට මුරලිගේ දුරකථනය හොයා ගත්ත රාම ක්‍රිෂ්ණන් කියන තරුණයා, මුදල් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට පෙළඹෙන තරුණයා, තමන්ගේ ගම්පළාතේදී ඕනෑම ගැටුමකදී පෙරමුණ ගන්න තරුණයා හෙවත් RK , මුරලිට දුරකථනය භාර දීලා එතනින් පිටත් වෙලා යනවා.
කවදාවත්ම හැබැහින් නොදැකපු තමන්ගේ පෙම්වතාව සත්‍යා හරියටම හඳුනා ගන්නේ ඊට පස්සේ. මෙතෙක් වෙලාවක් නොසන්සුන් වෙලා හිටපු සත්‍යා තරමක් සන්සුන් වෙනවා.ඒ වගේම ඇයට ඕන වෙනවා කලබලකාරී බස් නැවතුමෙන් පිටත් වෙලා තමන්ගේ පෙම්වතා එක්ක නිදහසේ කතා කරන්න.

ඔවුන් ඒ බස් නැවතුමෙන් පිටත් වෙලා නිදහස් තැනකට ඇවිල්ලා එකිනෙකාව හඳුනා ගන්නවා. මේ අතරතුරේදී මුරලිගේ දුරකථනය හොයාගත්ත නන්නාදුනන තරුණයාව සත්‍යා අහම්බෙන් වගේ දකිනවා. තරමක් කලබල වෙන සත්‍යා ඒ ගැන මුරලිට කිව්වට පස්සේ, මුරලි කෙලින්ම ඒ රාම ක්‍රිෂ්ණන් කියන තරුණයා ළඟට ගිහින් කතා කරනවා.
ඒ කතාව ගැටුමක් බවට පත්වෙන්න ගතවෙන්නේ තප්පර කීපයයි. හැමදේම උඩු යටිකුරු වෙන්නේ ඊට පස්සේ.
විනාඩි 135ක් පුරාවටම කුතුහලයත් එක්ක ගලාගෙන යන මේ චිත්‍රපටය අවසාන වෙන්නේ ප්‍රේක්ෂකයාට කිසිසේත්ම හිතාගන්න බැරි තැනකින්.
චිත්‍රපටයේ එක තැනකදී රාම ක්‍රිශ්නන් හෙවත් RK මෙහෙම කියනවා,
” මිනිස්සුයි ප්‍රශ්නයි ජීවිතයට එනවා යනවා.හරියට මුහුදු රළ වගේ.අපි පැකිලුනොත් රළ අපිව එයාලා එක්ක අරගෙන යනවා. ඒත් ශක්තිමත්ව ඉන්නවනම් එයාලා ඔයාව ස්පර්ශ කරලා ඉවත් වෙලා යනවා”
ඒක මොන තරම් දුරට සත්‍යයක්ද කියලා මේ චිත්‍රපටය අවසානයේදී ඔබට වැටහෙයි. විශේෂයෙන්ම තාරුණ්‍යයට පා තියන යුවතියන් නරඹන්නම ඕන චිත්‍රපටයක් විදිහට මේ චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. අපි ඔබට නැවත මතක් කරනවා,
” අපිට ආදරය අමතක කරන්න පුළුවන්,ඒත් ආදරය කරන අයගේ පාවාදීම අමතක කරන්න බැහැ”










