Toxic

හවස පහමාරට රැකියාව අවසන් කරලා බස් එකට නැග්ග වරුණි ගෙදරට ආසන්නයේ තියෙන බස් නැවතුමෙන් බහිනකොට රාත්‍රී අටට කිට්ටු වෙලා තිබුණා. වාහන තදබදය නිසා හැමදාම මේ ප්‍රමාදය සිද්ධ වෙන නිසා වරුණි එයින් අධික ලෙස වෙහෙසට පත් උනා. පත්තරේක කතෘ කෙනෙක් විදිහට රැකියාව කරපු වරුණි ලියන්න තියෙන හැකියාවක්, දේවල් ගැන හොයන්න තියෙන කුතුහලයත් නිසාම ඒ පත්තරේටම ලිපි ලියන්නියක් විදියටත් වැඩ කළා.ඒ නිසා වරුණිගේ හිස මත රැකියාව සම්බන්ධයෙන් තිබුණේ වගකීම් කන්දරාවක්.

බස් නැවතුමේ ඉඳලා ගෙදරට යන්න තවත් විනාඩි හත අටක් ගතවෙන නිසා වරුණි ඒ ටික දුර අඩිය තිබ්බේ බොහොම හෙමින්. තව ටික වෙලාවකින් ගෙදරට ගොඩ වුණාට පස්සේ තමන්ගේ මනසේ තියෙන සාමය එහෙම පිටින්ම නැතිවෙලා යනවා කියලා වරුණි අත්දැකීමෙන්ම දැනගෙන හිටියා.

පවුලේ එකම ළමයා වෙච්ච වරුණි ඇගේ අම්මත් එක්ක ගත කෙරුවේ බොහොම පීඩාකාරී ජීවිතයක්. වරුණිගේ දෙමව්පියන් දික්කසාද වුණේ වරුණි සාමාන්‍ය පෙළ ලියන කාලයේ.බොහොම නිහඬ මනුස්සයෙක් වෙච්ච වරුණි ගේ තාත්තා ඒ තරම් කාලයක් හරි අම්මගේ නපුරුකම්, නොහොඳ නෝක්කාඩුකම් ඉවසුවේ වරුණි නිසා. 

පෞද්ගලික ආයතනයක හොඳ රැකියාවක නිරත වුනු නිසා දික්කසාදයෙන් පස්සේ වරුණිගේ තාත්තා නගරයෙන් ඈත පළාතක සේවයට ගියා. එක වහලක් යට ජීවත් නොවුනත් වරුනිට කිසිම අඩුපාඩුවක් වෙන්න තාත්තා ඉඩ තිබ්බේ නැහැ. 

හැම පුංචි දේකම අඩුපාඩුවක් දකින, කිසිම දෙයකින් සෑහීමකට පත් නොවෙන වරුණි ගේ අම්මගේ නපුරු ගතිගුණ වල ඊලඟ ගොදුර වුණේ වරුණි. ඒත් ගෑණු ළමයෙක් වෙච්ච වරුණිට අම්මා එක ජීවත් වෙනවා ඇරෙන්න වෙන විකල්පයක් ඒ මොහොතේ තිබුනේ නැහැ.

උසස් පෙළ කරලා ඉවර වුණාට පස්සේ ඩිප්ලෝමා කිහිපයකුත් හදාරපු වරුණි ලියන්න තියෙන ආසාව නිසාම පත්තරේක රැකියාවකට යන්න පටන් ගත්තා.ඒ සාමාන්‍ය ලිපි ලියන්නියක් විදිහට.ඇගේ දක්ෂකම සහ කැපවීම නිසාම අවුරුදු එකහමාරක් වගේ කාලයක් ඇතුළත ඇයට රැකියාවේ උසස් වීම් ලැබෙන්න පටන් ගත්තා.

” බැංකුවකවත් රස්සාවකට යන්නෙ නැතුව පත්තරේකට වැඩට ගියානේ. කාටවත් කතා කරලා මට කියන්නවත් පුළුවන්ද ළමයා වැඩ කරන්නේ පත්තරේක කියලා ” 

උසස් වීමක් ලැබුණු සතුටුදායක ආරංචිය ගෙදරට අරගෙන ආව දවසේ වරුණිට ඇගේ අම්මාගෙන් ලැබුණේ ඒ වගේ ප්‍රතිචාරයක්. තමන්ගේ තාත්තා ඇතුළු හැමෝගෙම සුභපැතුම් මධ්‍යයේ සතුටින් ඉපිලෙමින් තිබුණු හිත දෙපා මුලට කඩා වැටුණේ ඒ වෙලාවේ.

” ඕක එච්චර හිතන්න එපා පුතේ. අම්මගේ හැටි ඔයා නොදන්නවා නෙමෙයිනේ. ඒ නිසා ඔයා අම්මට වෛර කරන්න එපා.මොන දේ උනත් අම්මට ඉන්නේ ඔයා විතරයි.ඔයාට ඉන්නෙත් අම්මා විතරයි ” 

කාමරයට වැදිලා දොර වහගත්ත වරුණි සිද්ධ වෙච්ච දේ අඬ අඬා තාත්තාට කියනකොට තාත්තා බොහොම සන්සුන් විදිහට පිළිතුරු දුන්නා. ඒත් මතක ඇති කාලෙක ඉඳලම අම්මගේ නපුරුකම් ඉවසපු, ඒ නිසාම තාත්තගෙ උණුහුමත් අහිමි වෙච්ච වරුණි හිත හදාගන්න ලෑස්ති වුණේ නැහැ.

තමන්ගේ සතුටුදායකම මොහොතක හිත කෑලි දහසකට කඩල බිඳල දාපු අම්මගෙන් වරුණි දුරස් වෙන්න පටන් ගත්තෙ ඊට පස්සේ. බොරුවට හිත හදාගෙන හරි අම්මා එක්ක කතා හිනාවෙලා හිටපු වරුණි එතනින් එහාට ගේ ඇතුළෙ හරිම නිහඬ චරිතයක් වුණා. මොකක් හරි හේතුවක් නිසා අම්මා බැන්නත් කෑ ගැහුවත් නෑහුනා වගේ ඉන්න වරුණි පුරුදු වුණා.

තාත්තා නොනවත්වාම ගෙවපු නඩත්තු මුදල් වලින් ජීවත් වුන නිසා රැකියාවක තියෙන බැරෑරුම්කම කවදාවත් රැකියාවක් නොකරපු වරුණිගේ අම්ම දැනගෙන හිටියේ නැහැ. ඒ වගේම රැකියාවක් කියන්නේ වෙලාවකට මොනතරම් මානසික පීඩාවක්ද කියලත්, රැකියාවක තියෙන වගකීම් මොන වගේද කියලවත් ඇය දැනගෙන නොහිටපු නිසා තත්ත්වය එන්න එන්නම බැරෑරුම් උනා මිසක් ගෙදර ඇතුළෙ වරුණි ට කිසිම සැනසීමක් නම් දැනුනේ නැහැ.

” එක්කෝ ඔයා ඉන්න තැනකට මාව ගන්න තාත්තේ. මං මේ විදිහට මගේ රස්සාව වත් කරගන්නේ කොහොමද ” 

සමහර දවස්වලදී පීඩනය දරාගන්න බැරුවව වරුණි තාත්තාට තමන්ගේ දුක කිව්වා.

” ඔයා එහෙම ආවොත් අම්ම තනිවෙනව නේදද පුතේ ? මං එයාගෙන් අයින් වුනෙත් මට වෙන කරන්න දෙයක් නැතිම තැන. එහෙම උනාම වත් අඩුම ගානේ එයා ඔයාටවත් හොදින් සලකයි කියලා මම හිතුවා ” 

” ඉතින් තාත්තට පේනවද එහෙම වෙනවා? අම්මට මම හැරුනත් වැරදියි. කිසිම දෙයක් එයත් එක්ක හොඳින් කතා කරන්න බෑ ඇඟට ගොඩ වෙනව. එයා මට කෑ ගහන සද්දේ අහල පහළ ගෙවල් වලටත් ඇහෙනවා ඇති. කොහොමද ඒ මිනිස්සුන්ට මුහුණ දෙන්නේ මං ? ” 

තමන්ගේ එකම දියණිය කියන්නේ බොහොම සාධාරණ කතාවක් කියලා සරත් හිතුවේ කටුක අතීතය මතක් කරන ගමන්. හැම මොහොතකදීම තමන්ව පවා සැක කරපු, තමන් මොන සැප සම්පත් ලබා දුන්නත් ඒ කිසි දෙයකින් සෑහීමකට පත් නොවුණු ගීතා ඒ කටුක ජීවිතය තමන්ගේ එකම දියණියටත් ලබා දීලා කියලා ඇහෙන කොට ඒක දරාගෙන ඉන්න සරත්ට පුළුවන් වුණේ නැහැ.

” ඔයා ටිකක් මේ ළමයත් එක්කවත් හොඳින් ඉන්න බලන්න ගීතා. හෙට අනිද්දට මේ ළමයව පිළිවෙලක් කරන්නත් ඕනේ. ඔයාට අපේ ළමයත් එක්කවත් හොඳින් ඉන්න බැරුව ඔයා කොහොමද ඒ ළමයා කසාද බඳින ළමයෙක් එක්කවත් හොඳින් ඉන්නේ ? ” 

එක දවසක් හවසක ගෙදරට ආපු සරත් මේ කාරණාවේ තියෙන බැරෑරුම් කම ගැන ගීතා එක්ක කතා කරන්න උත්සාහ කරා.

” දැන් එතකොට මමද හැම එකටම වැරදි? හැන්දෑවේ පහමාරට වැඩ ඉවර වෙන ළමයා ගෙදර එනකොට අට පහු වෙනවා. කොහේ ගිහින් මොනව කරන් එනවද කියලා කවුද දන්නේ? “

” ඒ වෙලාවට පාරේ තියෙන ට්‍රැෆික් එක ගැන ඔයා මොනවද දන්නේ ගීතා ? අවුරුදු ගානක් ගාලු පාරේ එහාටයි මෙහාටයි ගියපු මම දන්නවා හවසට ඉක්මනට ගෙදර එන්න තියෙන අමාරුව” 

සරත් එහෙම කියනකොට ගීතා පුරුදු රකුසු ඇස් වලින් සරත් දිහා බැලුවා.

” ඔයා කියන්නේ මං රටේ ලෝකෙ සිද්ධ වෙන කිසිම දෙයක් දන්නෙ නෑ කියලද ? තාත්තයි දුවයි ඕන එකක් කරගන්න එකයි ඇත්තේ ” 

” එහෙම දෙයක් නෙමෙයි ගීතා.අපේ ළමයා වැරදි කරන කෙනෙක් නෙමෙයි කියලා ඔයා දන්නවනේ.අනිත් එක එයා දැන් පොඩි ළමයෙක් නෙමෙයි. හරි වැරැද්ද මොකද්ද කියලා එයාට තේරෙනවා. අනිත් එක මහන්සි වෙලා මහන්සි වෙලා ගෙට ගොඩ වෙන ළමයගේ මහන්සිය වැඩි කරන්න හොඳ නෑ නේද ?” 

සරත් මොන දේ කිව්වත් ගීතා තමන් වැරදි බව තේරුම් ගන්න උත්සාහ කළේ නැහැ. ඒ නිසාම නිහඬව ගෙදරින් පිට වෙනවා ඇරෙන්න සරත්ට ඒ මොහොතේ කරන්න දෙයක් තිබුණෙත් නැහැ.

විනාඩි ගානක් ඇතුළත අතීතය ඇතුලේ අතරමං වෙච්ච වරුණි ගේට්ටුව ඇරගෙන මිදුලට ඇතුළු වුණා.ගේට්ටුවත් ගෙදර ඉස්තෝප්පුවත් අතර තිබුනෙ අඩි ගණනාවක පරතරයක්. ඉස්තෝප්පුවේ හිටගෙන හිටපු වරුණිගේ අම්මා වරුණි ගේට්ටුව වහලා අනිත් පැත්තට හැරෙන කොටම කෑගහන්න පටන් ගත්තා.

” හරිම ලස්සනයි ගෑනු ළමිස්සියෙක් රවුම් ගහලා ගෙදර එන වෙලාව ” 

තමන් එන්නේ මොනතරම් වෙහෙසකින් උනත් මේ වගේ ඇනුම් පදයකින් හැමදාම තමන්ව පිළිගන්න අම්මා ගැන වරුණිට දැනුනේ විශාල කලකිරීමක්.  ඒ නිසාම වෙහෙසකර දෑස් බිමට බර කරගෙන වරුණි අම්මාව පහු කරගෙන ගේ ඇතුලට යන්න සූදානම් වුණේ පුරුදු නිහඬ බවින්.

” ඔහොම ඉන්නවා ” 

ගීතා පෙරටත් වඩා උස් හඬින් කෑ ගහනකොට වරුණි තිගැස්සුනා.

” බලපන් වෙලාව කීයද කියලා? කොහෙද උඹ ගියේ ? ” 

” අනේ මං හැමදාම ඔෆිස් ගිහිල්ලා තමයි අම්මා එන්නේ , වෙන කොහෙවත් යන්නේ නැහැ. මං ගේ ඇතුලට යන්නද ?මට බඩගිනියි. අද දවල්ටවත් හරියට කන්න හම්බුනේ නැහැ වැඩ තිබුන හින්දා ” 

වරුණි ආයෙමත් ගේ ඇතුලට අඩිය තියන්න හැදුවා. ඇය එනකම් කෝපයෙන් මග බලාගෙන හිටපු ගීතා ඉදිරියට පැනලා පුළුවන් තරම් වෙර යොදලා වරුණිට කම්මුල් පහරක් ගැහුවා. 

අධික මහන්සියකින් වගේම පීඩනයකින් හිටපු වරුණි ඒ පහරට විසිවෙලා ගිහින් බිත්තියක වැදුනා. ඇය සිහිසුන් වුනේ තප්පර ගණනාවක් ඇතුළතදී.

සරත් කඩිමුඩියේ රෝහලට දුවගෙන එනකොට හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිරිපිට වාඩිවෙලා හිටපු ගීතා හිටියේ හැඬූ කඳුළින්. ඒ වෙනකොට පියවි සිහියට එළඹිලා හිටපු වරුණි හිටියේ වෛද්‍ය ප්‍රතිකාර යටතේ නිසා ඇයව බලන්න කිසි කෙනෙකුට අවසර ලැබුනේ නැහැ.

” අනේ සරත්.. මං හිතලා කළේ නෑ ” 

ගීතා හඬමින්ම සරත්ගෙ ඇඟේ එල්ලුණා. හදිසි ප්‍රතිකාර ඒකකයේ වීදුරු දොරෙන් යන්තමින් පෙනෙන තමන්ගේ දියණිය දිහා බලලා සරත් සුසුමක් හෙලුවා.

” ඔයා හිතුවේ නැති නිසා තමයි ගීතා අපේ පවුලට මෙහෙම වුණේ ” 

සරත් දෑස් කොණකට නැගුනු කඳුළු පිහිද ගෙන පුටුවකට බර වුණා.

More Stories

Don't Miss


Latest Articles