ලාලසාගේ කතාව
——————————–
“හැන්දෑ කොරේ නා කියා ගන්නෙ මොකෝ අද කවදාවත් නැතුව” කියලා ලොකු නංගි ඔච්චමට වගේ අහද්දි ලාලසා නං අනේ ගණන් ගත්තෙ නෑ. පොඩි කාලෙ ඉඳන් නංගි ඉතින් කොහොමත් කතා කරේ ඔය සැම්පලේටනෙ. අයියලා දෙන්නෙක්ට පස්සෙ තමන් ඉපදිලා, ඉන්පස්සෙ තව නංගිලා දෙන්නෙක් ඉපදිලා තමන් පවුලෙ මද්දුමයා වුණයින් එහෙට්ටවත් මෙහෙට්ටවත් නැති ජීවිතයක් තමා ලාලසාට හම්බුණේ. අයියලා දෙන්න ඉන්න කං “මයෙ කොල්ලො දෙන්නා, මයෙ රාජ කුමාරයො දෙන්නා” කිය කිය අත ගගා හුරතල් කරන්න ඕන තරං කාණ්ඩෙ ගෙදරයි, ගමෙයි, නෑයොයි අස්සෙ උන්නා.
ඉන්පස්සෙ නංගිලා දෙන්නා ආවයින් පස්සේ “අම්මේ හිච්චි දෙන්නාව බලාගන්න මේ අපූරු අක්කෙක් ඉන්නෙ” කියනවා ඇරෙන්නයි “අක්කා හැදෙන තාලෙට තමයි නංගිලාත් හැදෙන්නෙ” කියලා අවවාදයක් උපදේසයක් දෙන තැනකදි ඇරෙන්නයි තමන්ගෙ නමට පිටිපස්සෙන්වත් ඉස්සරහින්වත් එහෙම ආදරයක්, කරුණාවක් ගෑවිච්ච තැනක් ලාලසාට මතක තිබ්බෙ නෑ.
ලාලසා ඉතින් කොහොමත් ඔය එන එන හැටියට ජීවත් වෙන්න පුරුදු වුණේ හිච්චි කාලෙ ඉඳලමයි. ගෙදර ඈයො තමන්ව ගණන් ගන්නෙ නැතෙයි කියලා තේරෙන්න පටන් ගත්ත කාලෙම ඉබ්බා කට්ට අස්සට රිංග ගත්තා වගේ ලාලසා ඔය ගෙයි වැඩක් පලක් කරගෙන, මැහුමක් ගෙතුමක් කරගෙන උන්නා මිසක්කා ඕනවට වඩා බජනෙට ගියේ නෑ. ගියයි කියලත් වැඩක් නෑ. තමන් කියන දෙයක් නිකන් නෑහුනා වගේ තමයි මේ ගෙදර මිනිස්සු ඉතින් කවදත් කොහොමත් හැසිරුණේ.
“හැන්දෑ කොරේ නෑවා කියලා මක් වෙනවද?” කියලා ලාලසා කියාගෙනම කොණ්ඩෙ තුවායෙන් පිහ පිහ ගේ ඇතුළට යන්න පිළිකන්නෙ කකුල් දෙක ගැසුවා. ලොකු නංගි පස්සෙන් එයි කියලා නොහිතුවට මොකෝ ලොකු නංගි පස්සෙන් එන්න ගත්තයින් තමා ලාලසාට තේරුණේ “මේක නම් මේ මොකක් හරි මගඩියක්” විත්තිය.
“මක්කටෙයි උඹ කවදාවත් නැතුව බැල්ලි පැටව් කිරි සුවඳට පස්සෙන් එනවා හේ මයෙ පස්සෙන් ගාටන්නේ?” කියලා ලාලසා ඇහුවෙ ආන් ඒ හන්දමයි.
“ඇත්ත කියපං අක්කෙ. උඹ මක්කටෙයි මේ දවස් ටිකේම කවදාවත් නැතුව හැන්දෑකොරේ නා කියා ගත්තෙ?” කියලා ලොකු නංගි ආය පාරක් අහද්දි නම් අම්මපා ඔන්න ලාලසාට කේන්ති ගියා. ඇයි වගේ උදේ පාන්දර ඇහැරිලා උදේට උදේ කෑමයි දවල්ට දවල් කෑමයි හැන්දෑවට ආය රෑ කෑමයි පිහලා, ඒ අතරවාරෙ ළිඳ ළඟ රෙදි පෙරෙදි හෝදන්න දවල් තිස්සෙ මහන්සිවෙලා, ගෙවල් අතුපතු ගාලා, හාල් කොටලා, වී මිරිස් ජාති වේලලා මෙයාකාර ඔක්කොම වැඩපල ඉවර වෙනකම් පස්ස පැත්ත උඩ දාන් බුදියගන්නයි, ඉන්පස්සෙ මෙතන මේ නවකතා පොත් කියෝ කියෝ ඉන්නයි පුළුවන්කමක් තියෙන උන්ට තේරෙනවද තමන්ට නාන්නවත් වෙලාවක් තියෙන්නෙ හැන්දෑවෙ විතරයි කියලා.
ඒ උනාට ඉතින් හිත දැනගෙන උන්නා නෙව ඇත්ත මොකද්ද කියලා. ඒ හන්දා ලාලසා ඔය හිතිච්ච ඒවා මක්කවත් වචන කොරන්න ගියේ නෑ. මොකෝ මොක උනත් හිත ඇත්ත දන්න එකේ හිතට බොරුවක් කරන්න ඕනකමක් ලාලසාට තිබ්බෙ නෑ.
ගඟ අද්දර ඉස්කෝලේ වත්තෙ රූකඩ කණ්ඩායම දැන් දවස් කීපයක් වෙනෝ නතර වෙලා ගමේ රූකඩ නැටුම් පෙන්නන්න පටං අරන්. මුලින් නම් ඔය රූකඩ බලන්න යන්න ලාලසාගෙ එහෙම ලොකු කැමැත්තක් තිබුණෙ නැති උනාට මොකෝ අල්ලපු ගෙදර පද්මක්කා “යං යං නංගියෙ, මුළු දවසෙම උඹ මේ ගේ අස්සට වෙලා ඉන්න එකේ මෙහෙම දෙයක් ගමට ආ වෙලාවක ඒකවත් බලන්න යන්” කිව්වම ලාලසට ඇත්තටම නොගිහින් ඉන්න පුළුවන් වුණේ නෑ.
බැහැයි බැහැයි කියලා ගියාට මොකෝ ගිය එක කොච්චර හොඳද කියලා ලාලසාට තේරුණේත් ගියයින් පස්සෙ.
“තව පොඩ්ඩෙන් නොගියා නම් එයැයිව මුලිච්චි වෙන්නෙ නෑනෙ කියලා” රෑට රෑට එයැයිව මතක් වෙන වාරයක් පාසා දෙතොල් මෑත් කරගෙන එන හිනාව කොට්ටෙ අස්සෙ හිරකරගෙන ලාලසා ඒ විදියට කල්පනා කරා.
එයැයිගෙ නම ඉන්ද්‍රනීල්. නම නිකන් ඉන්දියන් වගේ උනාට මොකො පුදුමාකාර සිංහල ලස්සනක් තිබිච්ච මනුස්සයෙක්. එයැයිගෙ තාත්තගෙන් ආව පරංපරා රස්සාවලු මේ රූකඩ සංදර්ශන කරන එක. අම්බලන්ගොඩ දිහාවෙ ගෙවල් කිව්ව ඉන්ද්‍රනීල්ගෙ ලස්සන කියන්න ඇත්තටම ලාලසාට වචන තිබ්බෙ නෑ. අඩි හයක් විතර උස, කැරලි ගැහිච්ච කොණ්ඩෙ බෙල්ල පිටිපස්සෙන් ගැටගහලා තිබුණයින් ඉන්ද්‍රනීල්ට නිකන් ලැබිලා තිබුණෙ නවකතාවක උන්න ජාතියෙ පිරිමියෙක්ගෙ ලස්සන කියලමයි ලාලසාට නම් හිතුණේ. ගමේ කෙල්ලො ඔය රූකඩ සංදර්ශනේ බලන්න ගිහින් ඉන්ද්‍රනීල්ට පිස්සු වැටිලා උන්නෙ මනුස්සයගෙ ලස්සන හන්දම. ඒ උනාට ඉන්ද්‍රනීල් නෙවෙයි ඔය එක කෙල්ලෙක් දිහාවත් බැලුවෙ. කෙල්ලො කොච්චර නම් ඉන්ද්‍රනීල් දිහා බලලා ඇස් ගැහුවද, හිනා උනාද? ඒ උනාට ඒ මූණෙ නෙවෙයි එක හිනා රැල්ලක් ඇඳුණෙ.
“ඒ පිරිමි ළමයගෙලු නේද මේ රූකඩ බිස්නොස් එක. හොඳයි නේද? ඔය වෙන වෙන පිරිමි ළමයි අරයල මෙයාලා රස්සාවල් හොයලා දෙනකම් බලාගෙන ඉන්න එකේ මේ පිරිමි ළමයා මෙහෙව් රස්සාවක් කරන එක හොඳයි නේද?”
කියලා කවුදෝ මන්දා බවලත් ඇත්තෙ තව වයසක මනුස්සයෙක් එක්කලා කියනවා ලාලසාට ඇහුණෙ ඕන් ඔය ඉන්ද්‍රනීල් කියන හාදයා දිහාව බලාගෙන ඉද්දි. ලාලසාට නම් අනේ ඔය කියන හාදයාව එවෙලෙ එහෙමකට ලස්සනට පෙනුනෙත් නෑ, ලාලසා එච්චර උනන්දුවෙන් ඒ මනුස්සයා දිහා බැලුවෙත් නෑ. ගෑනි කොහොමත් ඔය පිරිමි කාණ්ඩෙ දිහාවට එහෙමකට කියලා ඇහැ කණ යවන කාන්තාවක් නෙවෙයිනෙ. මේ ගෙවිච්ච අවුරුදු විසි අටට ලාලසා පිරිමියෙක් දිහා ඇහැක් ඇරලා බැලුවෙ නෑ. ඒ නිසාම තමන් දිහා බලන පිරිමි ඉන්නවද කියලත් ලාලසා ඇත්තටම දැනගෙන උන්නෙ නෑ.
“ගෑනුන්ව ගණන් ගන්නෙ නැති පිරිමියෙක්” කියලා ගමේ ගෑනු කිව්ව මනුස්සයගෙ ඇස් හැබැයි තමන්ගෙ ඇස් එක්ක සංදර්ශනේ අතරින් පතර පැටලෙද්දි ඒ ඇස් මග ඇරලා ඉන්න පුළුවන්කමක් ලාලසාට තිබ්බෙ නෑ. අනික මොකක් හරි හේතුවකට “සංසාරෙ කොහෙදි හරි අපි හම්බෙලා තියෙනවාය” කියලමයි ඒ ඇස් තමන්ගෙ ඇස්වල ඇවිත් හැප්පෙද්දි ලාලසාට හිතුණෙ.
දෙවනිදා ඇස් වලින් කතා කරන්න ගත්ත ගමන අන්තිමේ නතර වුනේ හිතුවෙ නැති දවසක පොළේදි එයැයි ඇවිල්ලා වටපිට බලලා කට්ටිය ඉන්නවද කියලා බලලා කතා කරන්න ගත්තයින්.
“මොකද්ද නම?” කියලා ඉන්ද්‍රනීල් ඇහුවෙ තමන්ගෙන්මද කියලා ලාලසාට ඇත්තටම හිතාගන්න පුළුවන් වුණේ නෑ. අනික් අතට ඉන්ද්‍රනීල් කොච්චර ලස්සනද කියලා ලාලසාට ඇත්තටම තේරුණෙත් එවෙලෙ. අඩි හයකට වඩා උස, කැරළි ගැහිච්ච කොණ්ඩෙන් මූණට වැටිච්ච රොද දෙක තුනක් එක්ක, මී පැණි දුඹුරු පාට හමක් තිබිච්ච, ඒ හමේ පාටටම ගැලපෙන ගැඹුරු ඇස් දෙකක් තිබිච්ච ඉන්ද්‍රනීල්ව ලාලසාට එවෙලෙ පෙනුනෙ පන්සලේ අඹලා තියෙන දේව ප්‍රතිමාවක් වගේ ලස්සනට. අනෙක් අතට පොළේ ඉඳන් එන වෙලේ, ලන්ද හරියෙදි මෙහෙව් ලස්සන පිරිමි පරාණයක් තමන් එක්ක කතා කරාවි කියලා කවුද හිතන්නෙ? ලාලසා ගැස්සුණෙයි. උත්තරයක් දීගන්න බැරිවුණෙයි අන්න ඒ හන්දා.
“මගෙන්ද ඇහැව්වෙ?” කියලා ලාලසා ඇහැව්වෙ අන්න ඒ හන්දා.
“ඔව් ඉතින් මෙතන වෙන කවුරුත් නෑනෙ. ඔයැයිගෙන් තමා ඇහැව්වෙ”
“හීනටිගල ලියනගේ ලාලසා කුමාරි” කියලා තමන් අහවල් එහෙකටද සම්පුර්ණ නමම කිව්වෙ කියලා ලාලසා හැබැයි හිතුවෙ නම කිව්වයින් පස්සෙ.
“උප්පැන්න සහතිකේ තියෙන මුළු නමම ඇහුවෙ නෑ. නිකන් කතා කරන නම ඇහුවෙ. ඒකෙන් කාරි නෑ. අදත් එනවද?”
“කොහෙද?”
“රූකඩ බලන්න”
“ඊයෙත් බැලුවනෙ ඉතින්”
“ඉතින් අදත් බලන්න එන්න”
“ඊයෙ බලපුවමද අදත් පෙන්නන්නෙ?”
“අපෝ කවුද එහෙම සංදර්ශන කරන්නෙ. දවස් පහට සංදර්ශන පහක් කොරන්නෙ. ඒ හන්දා එන්න”
“බලමුකො”
“බල බල ඉන්නෝන මං නෙ. ඔයැයි එන්න”
“මක්කටද ඔයැයි බල බල ඉන්නෙ?”
“ඔයැයි එනකං. එහෙනං එන්නෝන හොඳේ” කියාගෙන ඉන්ද්‍රනීල් අඩිය ඉස්මන් කොරලා යද්දිත් ලාලසා නම් උන්නෙ උන්නු තැනම නිකන් ගල් ගැහිලා වගේ. දෙවනි දවසෙත් රූකඩ සංදර්ශනේ බලන්න යන්න කිසිමාකාර අදහසක් තිබ්බෙ නැති ලාලසා ඉන්පස්සෙ හැම දවසකම වගේ රූකඩ සංදර්ශනේ බලන්න ගියේ ආන් ඒ විදිහට.
ඉන්ද්‍රනීල් ඇත්තටම තමන් එනකම් බලාන උන්න විත්තිය ලාලසා තේරුම් ගත්තෙ ඒ ඇස් බැල්ම හීනි හිනාවක් එක්ක ඇවිල්ලා තමන්ගෙ ඇස්වල හැප්පෙද්දි. හිත කිතිකැවිච්ච හැටි දන්නෙ ඉතින් තමන් නෙ.ලාලසාට හිතාගන්න බැරුව උන්නෙ “ඉන්ද්‍රනීල් හැබෑටම මක්කටද මං එක්ක අර වගේ දෙඩුවෙ කරේ?” කියලා. ඒකට උත්තර හොයාගන්න නං ඉතින් ඉන්ද්‍රනීල් එක්ක දොඩන්න වෙන විත්තියත් ලාලසා දැනගෙන උන්නා. ඒ උනාට ඉතින් මෙච්චරක් මේ ගමේ කාණ්ඩෙ එක්කහු වෙලා ඉන්න තැනක, ඒ මිනිස්සුන්ගෙ ඇස්වලට වහංගුවෙලා මේ ගමට පිටින් ආව පිරිමියෙක් එක්ක දොඩන්න තමන්ට පුළුහන්කමක් නැති විත්තිය ලාලසා දැනගෙන උන්නා.
ඒ වුණාට තමන්ටත් වඩා තමන් එක්කලා දොඩන්න ඉන්ද්‍රනීල්ට උවමනාව තිබිලා විත්තිය ලාලසාට තේරුණේ ඉන්පස්සෙ දවසක පන්සලේ ඉඳලා හැන්දෑවෙ එද්දි ඉන්ද්‍රනීල් එකපාර ලන්ද අද්දරින් මතුවෙද්දි.
“දොඩන්න බලාගෙනමයි උන්නෙ මං” කියලා ඉන්ද්‍රනීල් තමන්ගෙ අර අඩි හයක් විතර උස ශරීරෙ හීන් සැරේ තමන් ඉන්න දිහාවට නම්මල මූණට බරවෙලා කියද්දි ලාලසාගෙ ඇස් කවදාවත් නැතුව ලැජ්ජාවෙන් බිමට බරවුණා. දෙයියනේ එහෙම ලැජ්ජාවක් කවදාවත් හිතට දැනිලා තිබ්බෙ නෑ ගෑනිගෙ.අනික් එක අවුරුදු විසි අටක් ජීවත් වෙච්ච එකේ මේ අවුරුදු විසි අටටම තමන් දිහා පිරිමි පරාණයක් බැලුවද නැද්ද කියලා ගාණක් නැතුව උන්න තමන් එකපාරටම මේ කොහෙන්ද මන්දා කඩං පාත්වෙච්ච ඉන්ද්‍රනීලෙකට වහ වැටුණෙ කොහොමද කියන එක ඇත්තටම ලාලසාටත් හිතාගන්න පුළුවන් වුණේ නෑ.
“අර මක්කටෙයි මං එක්ක දොඩන්නෙ? අනික මොනා දොඩන්නද?”
“දොඩන්න කොච්චර දේවල් තියේවිද කියලා තේරේවි දොඩන්න පටන් ගත්තම” කියලා ඉන්ද්‍රනීල ආය වතාවක් තමන්ගෙ මූණ දිහාවට පාත් වෙද්දි ලාලසාගෙ ඇස් ඉබේම වගේ පාත් උනා බිමට. ඒ උනාට ඉන්ද්‍රනීලගෙ උස සරීරෙන් විසික් වෙලා ඇවිත් තමන්ගෙ නාහෙ අස්සෙ තැවරිච්ච මොකක් හරි සුවඳක් පපුව අස්සෙ තැවරෙන එක නතර කරගන්න නම් ලාලසාට පුළුහන්කමක් තිබ්බෙ නෑ.
“මක්කද ඉතින් ඔච්චර දොඩන්න තියෙන්නෙ?”
“මෙතන දොඩන්න බෑනෙ. ගමේ මොකෙක් හරි දැක්කොත් ඔයාට හොඳ නෑනෙ. නැද්ද අපිට නිස්කාංසුවෙ කතා කරන්න තැනක්?” කියලා ඉන්ද්‍රනීල අහද්දි හිත ඩිග් ඩිග් ගාලා වෙනදට වඩා හයියෙන් ගැහෙනවත් ලාලසාට ඇහුණා.
“ආය ඉතින් එහෙම ඔය කොල්ලො කෙල්ලො දොඩන තැන් මං දන්න මං එහෙව් තැන්වලට ගිහින් තියෙන එකක් කියලය” කියලා ලාලසා කිව්වෙ ඇත්ත උනාට මොකෝ ඒ ඇත්ත අස්සෙ තමන් මේ අවුරුදු විසි අටටම කොච්චර ගුණවන්තකමට ගමේ ජීවත් උනාද කියන එකත් ඔය වචන අස්සෙම තවරල ඉන්ද්‍රනීලගෙ කන් අස්සට වක්කරන්න තමයි ලාලසාට ලොකුවටම උවමනාව තිබ්බෙ.
“අපි එහෙනම් අර ගඟ අද්දර මී ගස් හෙවනට යන්ද? මං දැක්කා මල් එහෙමත් පිපිලා තියෙනවා ඒ හරියෙ. මේ පැත්තෙ මිනිස්සු මල් කඩන්නෙ නැද්ද අප්පා ඔය හැටි මල් වකාරෙට ඉතුරු වෙලා තියෙන්නෙ ගඟේ” කියලා ඉන්ද්‍රනීලා ඇහැව්වෙ ලාලසා එනවද කියලා පස්ස බලන ගමන් ඒ දිහාවට හක්කලං කරන අතරෙමයි. අනේ මන්දා නිකන් තමන් රූකඩයක් ය, තමන් නටවන නූල තියෙන්නෙ ඉන්ද්‍රනීලගේ අතේය කියන්න වගේ තමයි ලාලසා ඉන්ද්‍රනීලගෙ අඩි පාරවල් පස්සෙ ඒ දිහාවට ගියේ.
“මිනිස්සු වැඩිය ඒ දිහාවට යන්නෙ නෑ ඉතින් කැලේනෙ. මල් නං කඩාගන්නවා ඔය පූජ කරන්නෝන එහෙම ඕන උනාම ඒ ඇරෙන්න මෙහේ ඉතින් මල් විකුණන කරුමාන්තයක් නෑනෙ. මල් ඉතුරුවෙලා ඇත්තෙ ඒ හන්දා. ඒ උනාට ගෙවල් තියෙන ඉසව්වෙ නම් මිනිස්සු මල් කඩාගන්නව.ඔයැයි ඔය එහාට යන්න අඩිය ඉස්සුවට මොකෝ මෙච්චර දවසක් මෙහෙ ජීවත් වෙච්ච අපිවත් ඔය පැත්තට යන්නෙ නෑ”
“එහෙනම් තව හොඳ නෙව?”
“අර මක්කටද හොඳ?”
“අපි දෙන්නට කාගෙවත් බාධාවක් නැතුව නිස්කාංසුවෙ කතා කරන්න ඇහැක් නෙව” කියලා ඉන්ද්‍රනීල ආය වතාවක් මූණට එබිකං කරලා අර සුවඳ පපුව අස්සෙ තව හොඳට තවරද්දි ලාලසා කට වහගත්තා.
කතාව ඉතින් ඕන් ඔය විදියට දුර දිග ගියා. මෙච්චර දවසක් උදේ පාන්දර නාන්න තියාගත්ත ලාලසා ගෙයි වැඩ ඔක්කොම අහවර කරලා හැන්දෑකොරේ නාන්න තියාගත්තෙ ඕන් ඔය ඉන්ද්‍රනීලෙ හම්බෙන්න යන හන්දා. එයැයි අච්චර සුවඳට ඉන්දැද්දි තමන් ඉතින් මල මෝහිනී වගේ ගිහින් හරියන්නෙ නැනෙ කියලා හිතලමයි ගෑනි කොන්ඩෙ සුදු වෙන ඒවයි, තට්ටෙ පෑදෙන ඒවයි, පීනස එන ඒවයි හිතන්නෙ නැතුව හැන්දෑවෙ නාන්න තියාගත්තෙ.
අප්පේ ඉන්ද්‍රනීල කොච්චර නම් දේවල් කිව්වද ඔය ගමේ උන්න සතියට.
තමන් මෙච්චර දවසක් පිරිමියෙක් දිහා ඇහැක් ඇරලා නොබැලුවට පිරිමි කියන්නෙ හරි අපූරු ජාතියක් ය කියන එක ලාලසාට තේරුණෙත් ඉන්ද්‍රනීල කිව්ව මී පැණි තැවරිච්ච කතන්දර වලින්. හැමදාම හැන්දෑවෙ රූකඩ සන්දර්ශනේට කලින් ගඟ අද්දර මී ගහ යට හම්බෙද්දි ඉන්ද්‍රනීලා මූණෙ අතොරක් නැතුව තිව්ව හාදු වලින්. තව දුර යන්න තිබ්බා ඉතින් බැද්දට ඔය හරකුන්ට තණ කවන්න අරුං මුං ආවෙ නැත්තං. ලාලසත් මොකෝ මේ අවුරුදු විසි අටට පිරිමියෙක් දිහා ඇහැක් ඇරලා නොබලපු ගෑනි උන්නෙ මෙදා පාර නම් ඉන්ද්‍රනීලෙට පිස්සු වැටිලා, ඇස්දෙක ගිනිකන වැටිලා වගේ. මේ ලෝකෙ දෙයක් කරේ සිහියකින් නෙවෙයි. පරිප්පුවටම දෙපාරක් ලුණු වක්කරලා අම්මාගෙන්ම කී පාරක් බැණුම් ඇහුවද?
එච්චරට පිස්සු වැටුණා ගෑනි.
“ඔයා හරියට හඳ එළියට දිලිහෙන පිනි බිංදුවක් වගේ” කියලා ඉන්ද්‍රනීල කියද්දි ලාලසාට ඇත්තටම මතක් වුණේ නෑ ඔය රෑට ලස්සනට පේන පිණි බිංදුව උදේට ඉර පෑව්ව ගමන් චොහ් ගාලා නැතිවෙලා යන් විත්තිය. ගෑනි හිතන් උන්නෙ පිනි බිංදුව දිගටම තියේවි කියලා.
“අප්පේ මගෙ මොන ලස්සනක්ද?” කියලා ඉන්ද්‍රනීලෙ කිව්ව කතාවට විරුද්ධෙන් වගේ කිව්වට මොකෝ හිත තිබ්බෙ ජීවිතේ පලවෙනි වතාවට පිරිමි කටකින් එහෙම අහන්න ලැබිච්ච එක ගැන සන්තෝසෙන් පිරිලා ඉතිරිලා.
“තමන්ගෙ ලස්සන ඉතින් තමන්ට පේන්නෙ නෑනෙ. ඔයා කොච්චර ලස්සන මැණික? මේ ලස්සන මූණ බලන්න හිතාගෙනම තමයි මං හැමදාම මේ ගඟ අද්දරට එන්නෙ”
“මක්කටෙයි ඉතින් මගේ මූණ බැලුවයි කියලා ඔයැයිට ලැබෙන්නෙ?” කියලා ලාලසා ඇහුවම නම් ඉන්ද්‍රනීලේ මොකද්දෝ මන්ද දිගම දිග කල්පනාවලට ගියා. එයැයි ඒ කල්පනාවෙ ඉන්න අතරවාරෙම ලාලසා නම් කරේ ඉන්ද්‍රනීලගෙ ලස්සන දුඹුරු පාට මූණ දිහා බලන් උන්න එක.
“ලලී අහලා තියෙද මනුස්සයෙක් මැරුණයින් පස්සෙ එයැයිගෙ මනසට මතක් වෙන විනාඩි හත ගැන කතාව?”
“නෑ. මං අහලා තියෙන්නෙ ඒ වෙලාවට පින් කරපු මිනිස්සුන්ට තමන් කරපු පිනුයි පව් කරපු ඈයන්ට තමන් කරපු පවුයි මතක් වෙනවා කියල”
“ඒ මැරෙන්න කලින් නෙ.එතකොට තමයි ඔය පින් පව් දෙකම මතක් වෙන්නෙ. මං කියන්නෙ මැරුණයින් පස්සෙ මනුස්සයෙක්ගෙ මොලේ විනාඩි හතක් ජීවත් වෙනවලු එයැයිගෙ ජීවිතේ වෙච්ච හොඳම දේවල් ඒ විනාඩි හතේ මතක් වෙනවලු”
“බුදු අම්මේ කොහෙන්ද ඔයැයි ඔය අරුම පුදුම කතා ඉගෙන ගත්තෙ. මං බුදු බණේවත් අහලා නැති ජාතියෙ කතාවක් ඒක”
“බුදු බණේ එන කතාවක් නෙවි. මිනිස්සු කියන කතාවක් මේක. මමත් පත්තරේක තිබිලා කියෙව්ව එකක්. කෝමහරි මං මේ ලස්සන මූණ බලන්න එන්නෙත් ඒ හන්දමයි මැණික”
“ඒ කිව්වෙ?”
“ඒ අන්තිම විනාඩි හතේ මට එක තප්පරේකට හරි මේ ලස්සන මූණයි, ඔයැයි එක්ක ගෙවිච්ච මේ කාලෙයි මතක් වෙන්න”
ඉන්ද්‍රනීල ඒක කොච්චර ලස්සනට කිව්වත් ඉන්ද්‍රනීල ඒක කිව්වෙ මහා කියාගන්න බැරි තිත්ත ඇත්තක් ඒ වචන අස්සෙ තවරලා නේද කියන එක නොතේරුංගන්න ලාලසාට පුළුවන් වුණේ නෑ. ආන් ඒ හන්දයි ගෑනි ඇහැව්වෙ,
“ඔයැයි හරියට කතා කරන්නෙ මාව නිකන් ආය කවදාවත් මුලිච්චි වෙන්නෙ නැති වෙන්න දාලා යන්න හදනවා වගේනෙ මහත්තයො?” කියලා ලාලසා අඬ අඬ කිව්වට මොකෝ ඉන්ද්‍රනීල ඒකට උත්තරයක් දුන්නෙ නෑ.
ඉන්පස්සෙ ආවෙ සංදර්සනේ අන්තිම දවස. එදා වෙනදට කළින් සංදර්සනේ පටන් ගත්ත හන්දා ලාලසාට ගඟ අද්දරදි ඉන්ද්‍රනීලව මුලිච්චි වෙන්න බැරිවෙච්ච එක ඇත්ත. හැබැයි පස්සෙන්ද ආය එයැයිලයි ගම යන්න කළියෙන් ඉන්ද්‍රනීල තමන්ගෙයි එයැයිගෙයි සම්බන්ධෙ ගැන, සම්බන්ධෙ ඉස්සරහා ගැන කතාකරන්න තමන් මුලිච්චි වෙච්ච ඒවි කියලමයි ලාලසා හිතාගෙන උන්නෙ.
ඒ උනාට පිණි බිංදුව උදේ වෙද්දි චොහ් ගාලා ඉර එළියට නැතිවෙන විත්තිය ලාලසාට තේරුණා ලොක්කයියා වෙලට ගොහින් එන ගමන් අරන් ආව පණිවිඩේ එක්ක.
“රූකඩ කණ්ඩායමත් එහෙනම් ගියා නේද?” කියාගෙන ලොක්කයියා පිළිකන්නෙ ඉඳලා ගෙට ගොඩවෙන මැටි පඩියෙ කකුලෙ තිබිච්ච වැලි ගසා දාද්දි හාල් ගර ගර උන්න ලාලසාගෙ අත් දෙක වෙව්ළුවා.
“එහෙමෙයි?”
“ඔව් මං වෙල දිහා ඉඳන් එද්දි උන්දැලා ලොරියෙ ඔක්කෝම පටවං ගියේ”
“ආය එහෙනං සංදර්සනයක් හරි, නාට්ටි කණ්ඩායමක් හරි එනකං උඩ බලන් ඉන්නයි තියෙන්නෙ” කියලා කිව්වෙ අම්මා.
ඇස්වලින් වැක්කිරිච්ච කඳුළු බිංදුවක් හාල් නෑඹිලියට වැටෙද්දිත් ලාලසාට කල්පනා උනේ එකමෙක දෙයයි.
“ඉන්ද්‍රනීල් ආයෙ ඉක්මනට ඒවි නේද?” කියලා.
ඉන්පස්සෙ අවුරුදුම කීයක් නං ගියාද? ඉන්ද්‍රනීල් අද ඒය හෙට ඒය කියලා ලාලසා මග බලාගෙන උන්නට ඒ හෙට නම් කවදාවත් ආවෙ නෑ. පත්තරේ රූකඩ සංදර්සන වල පණිවිඩ යන හැම වෙලේකම ඒ පණිවිඩ අස්සෙ ඉන්ද්‍රනීලගෙ නමක් ගමක් තියෙද කියලා හොයන්න ලාලසා ඇස් මහන්සි කරපු තරං ඇස්වලට කතාකරන්න පුළුවන්කමක් තිබ්බා නම් කියාවි.
ගෙවිච්ච අවුරුදු ගාණෙ කොච්චර නම් දේවල් වෙනස් වුණාද?
අයියලා දෙන්නම කසාද බැඳලා නෑනලා දෙන්නෙක් ගෙදෙට්ට එක්කරගෙන ආව. උන්දැලට ළමයි බමයි හම්බුණා. නංගිලා දෙන්නා කසාද බැඳලා ගෙයින් පිටමං උනා. අම්මයි අප්පච්චියි පරලොව ගියා. ලාලසා අයියලාගෙ ළමයි බලාගන්න ගෙට වුණා. ගෙයි ඔක්කොම වැඩපල කෙරුණේ ලාලසාගෙ අතෙන්. අවුරුදු හතලිස් පහක් උනාට මොකෝ කල්පනා කිරිල්ලෙ හැටියට අවුරුදු හැටක විතර පෙනුම තිබිච්ච ලාලසාට අයියගෙ පොඩි එවුන් කතා කොරෙත් නැන්දා කියලා නෙවි ආච්චි කියලා. කසාදෙකුත් නොබැඳ, ගෙයි අස්සෙම හිරවෙලා, කවදාවත් තමන්ව බලන්න නාව ඉන්ද්‍රනීලයක් ගැන හිත හිත තැවිච්ච ලාලසා පිණි බිංදුව උදේ පාන්දර ඉර එළිය දැක්කෙ ආන් ඒ විදියට.
ඉන්ද්‍රනීල ආවෙ නැති එකට හේතු කීයක් නම් ලාලසාම හිතෙන් හිතුවද?
“එච්චර ආදරයක් පෙන්නලා මාව එහෙම අමතක උනාය කියල කියන්න පුළුවන්ද? එයැයිට අතුරු ආන්තරාවක් උනාද දන්නෙ නෑ. අනෙ මගෙ දෙයියො මං බලන්න නාවට කාරි නෑ ඉන්න තැනක සැපෙන් සන්තෝසෙන් ඉන්නවනං මට ඒ ඇති” කියලා හැමදාම හැන්දෑවෙ චාලිත්තරේට බුදු පාන තියන ගමන් බුදු හාංදුරුවන්ගෙන් ලාලසා ඉල්ලුවා.
“”තණ්හාය ජායතී සොකො තණ්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස නත්‍ථි සොකො කුතො භයං.
තෘෂ්ණාව නිසා ම ශෝකය උපදනේ ය. තෘෂ්ණාව නිසා ම භය උපදනේ ය. තෘෂ්ණායෙන් මිදුනහුට ශෝකයෙක් නැත. බියෙක් කොයින් ද?” කියලා බණ පොතේ කොච්චරවාත් කියෙව්වට හා හා පුරා කියලා ආලෙන් බැඳිච්ච දුඹුරු පාට ඉන්ද්‍රනීලෙ අමතක කරන්න හැටියක් කෙල්ලට තිබ්බෙ නෑ.
“එයැයි කොහෙන් හරි හොඳින් ඉන්නව නම් එච්චරයි” කියලා හිත හදාගන්න හිතට කිව්වට, ඒ උනාට ගෙවිච්ච කාලෙ පුරාවටම ගෑනි බරපතලෙන් විස්වාස කරපු දෙයක් තිබ්බා.
“මැරුණයින් පස්සෙ අන්තිම විනාඩි හතෙන් එක තප්පරේකට හරි ඔයැයිව මාව මතක් උනොත් මට ඒ ඇති දෙයියො. මේ සංසාර ගමන කෙළවර උපදින හැම ආත්මෙකම ඉත සැනසිල්ලෙ මියැදෙන්න මට ඒ හොඳටම ඇති” කියලා,
අවුරුදු පණස් අටක් වෙනකම් ගෙට කැඹුරුව, ඉන්ද්‍රනීලෙගෙ පිණි බිංදුව අන්තිමට හුස්ම ගන්න එක නතර කරේ හැන්දෑ වරුවක. බාගදා ලාලසාට හිතෙන්න ඇති ජීවත් වුණා ඇතිය කියලා. හදිසියේ ආව හුරුදයාබාදයක් ය කියලා ධර්මවිජය දොස්තර මහත්තයා කිව්වට මොකෝ ඒ පපුවෙ තිබිච්ච වේදනාවෙ හැටියට මීට කළින් පපුව පැලිච්ච නැති එකයි පුදුම.
කෝමහරි ඉන්ද්‍රනීල කිව්ව කතාව කොච්චර ඇත්තද කියලා ලාලසාට තේරුණේ මැරුණයින් පස්සෙ.
එයැයිගෙ අර මරණෙන් පස්සෙ අන්තිම විනාඩි හත පුරාම ඉන්ද්‍රනීලගෙ ලස්සන, දුඹුරු පාට රූපෙ හිනාවෙලා තමන් දිහාව බලාගෙන ඉන්නවා ඇඳෙද්දි.











