“උගුර ටිකක් රිදෙනවා.”
“කෙල ගිලින්න බෑ.”
“කෑම කන්නත් අමාරුයි.”
“උගුර ඇතුළෙ කසනවා වගේ.”
මේ වගේ ලක්ෂණයක් ආවම අපි ගොඩක් වෙලාවට කියන්නේ “සෙම්ගෙඩි අමාරුවක් වෙන්න ඇති” කියලා.
ඇත්තටම අපි සෙම්ගෙඩි අමාරුව කියලා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ Tonsillitis කියන තත්ත්වය. මේකෙදි වෙන්නේ උගුරේ දෙපැත්තේ තියෙන tonsils කියන වසා ගැටිති ආසාදනයට ලක්වෙලා ඉදිමීම.
සාමාන්‍යයෙන් උගුරේ අමාරුවක්, උණක්, හෙම්බිරිස්සාවක් ආවම අපි මුලින්ම ගෙදර තියෙන දෙයක් කරලා බලනවනෙ.
පැරසිටමෝල් එකක් බොනවා. උණු වතුර බොනවා. කොත්තමල්ලි ටිකක් බොනවා. වෙනිවැල්ගැට ටිකක් දාලා බොනවා. එහෙම කරලා “හෙට වෙද්දි අඩුවෙයි” කියලා බලනවා.
සමහර වෙලාවට ඒකෙන් අඩු වෙනවා.
හැබැයි හැම උගුරේ අමාරුවක්ම එහෙම නිකම්ම අතහරින්න පුළුවන් දෙයක් නෙවෙයි.
සෙම්ගෙඩි අමාරුව ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන ඇයි?
Tonsillitis බොහෝ අවස්ථාවලදී වෛරස් ආසාදනයක් නිසා ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා හැම Tonsillitis එකකටම antibiotics අවශ්‍ය වෙන්නේ නැහැ.
හැබැයි සමහර අවස්ථාවලදී බැක්ටීරියා ආසාදනයක්, විශේෂයෙන් Streptococcus වැනි බැක්ටීරියා නිසා මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්.
ඒ වගේ වෙලාවක නිසි ප්‍රතිකාර නොලැබුණොත්, සරල උගුරේ අමාරුවකට වඩා බරපතළ සංකූලතා ඇතිවෙන්න පුළුවන්.
ඒ අතරින් අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන තත්ත්වයක් තමයි Rheumatic Fever.
ඒ නිසා “උගුරේ අමාරුවක් විතරයිනෙ” කියලා හැම වෙලාවෙම නොසලකා හරින්න එපා.
උගුර ඇතුළ බලලා මොනවාද දැනගන්න පුළුවන්?
මේක තමයි වෛද්‍යවරයෙක් හමුවීම වැදගත් වෙන්න හේතුවක් වෙන්නෙ.
වෛද්‍යවරයා උගුර පරීක්ෂා කරද්දි tonsils ඉදිමිලාද, රතු වෙලාද, ඒවා උඩ සුදු පාට පැල්ලම් හෝ සැරව වගේ දේවල් තියෙනවාද කියලා බලන්න පුළුවන්.
ඇතැම් අවස්ථාවලදී අවශ්‍ය නම් උගුරෙන් සාම්පලයක් අරගෙන බැක්ටීරියා ආසාදනයක් තියෙනවද කියලා පරීක්ෂා කරන්නත් පුළුවන්.
ඒ නිසා උගුරේ අමාරුවක් එක්ක වෛද්‍යවරයෙක් ළඟට යනවා නම්, “ටොන්සිල් ටිකත් බලන්න” කියලා කියන්න අමතක කරන්න එපා.
ගෙදරදිම බලන්න පුළුවන්ද?
කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් හොඳ ආලෝකයක් යටතේ කට ඇරලා උගුර බලද්දි tonsils රතු වෙලාද, ඉදිමිලාද, සුදු පැහැති පැල්ලම් තියෙනවද වගේ දේවල් පෙනෙන්න පුළුවන්.
හැබැයි ඒකෙන් ඔයාටම “මේක බැක්ටීරියා ආසාදනයක්” කියලා තීරණය කරන්න බැහැ.
ඒ නිසා කණ්ණාඩියෙන් බලන එක හොඳ අවබෝධයක් ගන්න උදව් වුණත්, අවශ්‍ය වෙලාවක වෛද්‍ය පරීක්ෂාව වෙනුවට ඒක භාවිතා කරන්න එපා.
දරුවන්ට රෝග ලක්ෂණ තියෙනවා නම් මේ ගැන තවත් අවධානයෙන් ඉන්න
Tonsillitis දරුවන් අතර නිතර දකින්න ලැබෙන තත්ත්වයක්.
ඒ නිසා දරුවෙක්,
“අම්මේ උගුර රිදෙනවා.”
“තාත්තේ කෙල ගිලින්න බෑ.”
“කෑම කන්න බෑ.” වගේ දෙයක් කියනවා නම් ඒක නොසලකා හරින්න එපා.
විශේෂයෙන් මේ තත්ත්වය නිතර නිතර ඇතිවෙනවා නම්, tonsils විශාල වෙලා හුස්ම ගැනීමට බාධා ඇතිවෙන්නත් පුළුවන්.
රාත්‍රියේදී හයියෙන් ගෙරවීම, නිදාගෙන ඉද්දි හුස්ම නතර වෙනවා වගේ පෙනීම හෝ නින්දට බාධා ඇතිවීම වැනි ලක්ෂණ තිබුණොත් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්. විශාල tonsils සහ adenoids නිසා සමහර දරුවන්ට Sleep Apnea වැනි තත්ත්ව ඇතිවිය හැකියි.
එහෙනම් උගුරේ අමාරුවක් ආවම මොනවාද කරන්න ඕන?
මුලින්ම හොඳට විවේක ගන්න.
වතුර සහ අනෙකුත් දියර වර්ග ප්‍රමාණවත් ලෙස බොන්න. ශරීරය විජලනය වෙන්න දෙන්න එපා.
මද උණුසුම් දියර සහ පහසුවෙන් ගිලිය හැකි ආහාර ගන්න.
ඒ වගේම ලුණු දියෙන් උගුර gargle කිරීම සමහර අයට උගුරේ වේදනාව සහ අපහසුතාවය අඩු කරගන්න උදව් වෙන්න පුළුවන්.
හැබැයි antibiotics අවශ්‍යද නැද්ද කියන එක වෛද්‍යවරයෙක් තීරණය කරන දෙයක්.
විශේෂයෙන් antibiotics පටන්ගත්තොත්, වෛද්‍යවරයා ලබාදුන් උපදෙස් අනුවම ඒවා භාවිතා කරන්න. තමන්ට හිතෙන විදිහට පටන්ගෙන, අඩු වුණාම මැදින් නවත්වන එක සුදුසු නැහැ.
මේ ලක්ෂණ තියෙනවා නම් වෛද්‍යවරයෙක් හමුවෙන්න
උගුරේ අමාරුවත් එක්ක උණ දිගටම තියෙනවා නම්, වේදනාව ගොඩක් වැඩි නම්, වෙව්ලීමක් තියෙනවා නම් හෝ කෑම/දියර ගිලගන්න අපහසු නම් වෛද්‍යවරයෙක් හමුවීම වැදගත්.
හුස්ම ගැනීමට අපහසු නම්, කෙලවත් ගිලගන්න බැරි නම්, කට අරින්න අපහසු නම් හෝ උගුරේ එක පැත්තක් විශේෂයෙන් ඉදිමිලා වේදනාව වැඩි නම් තවත් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.
මොකද Tonsillitis සමහර අවස්ථාවලදී tonsil එක වටා සැරව එකතුවෙන Peritonsillar Abscess වැනි සංකූලතාවලටත් යන්න පුළුවන්.
එහෙම වුණාම සාමාන්‍ය උගුරේ අමාරුවකට වඩා වැඩි ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්.
ඒ නිසා සෙම්ගෙඩි අමාරුවක් හැදුණාම බය වෙන්න ඕනත් නැහැ. හැබැයි “ඕක නිකම්ම හරියයි” කියලා හැම වෙලාවෙම අතහරින්නත් එපා.
ලක්ෂණ Serious නම්, දිගටම තියෙනවා නම්, නැවත නැවත හැදෙනවා නම් හෝ පොඩි දරුවෙක් නම් විශේෂයෙන් වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගන්න.
ලෙඩේ මුලදීම හඳුනාගෙන නිසි ප්‍රතිකාර ගන්න එක තමයි පස්සේ ඇතිවෙන්න පුළුවන් ගැටලු ගොඩක් වළක්වාගන්න තියෙන හොඳම ක්‍රමය.











