ආදරයේ කටු සටහන්

ෂෙහාරා මව් බිමට පා තැබුවේ වසර හතරකට පසුවය. දෙමව්පියන් සමග ගෙවූ පසුගිය වසර හතර සුව පහසු සහ සැනසිලිදායක එකක් වුවත් කොයි මොහොතේ හෝ මව්බිමට පැමිණීමේ උවමනාව ෂෙහාරා තුළ ඇතිවූයේ මාස ගණනාවක සිටය.

” ඔයා හදන්නේ පරණ තුවාල පාර ගන්න පුතේ”

තාත්තා කීවේ තමාව ගුවන් තොටුපළට ඇරලීමට සූදානම් වන අතරේය. තමාගේ ව්‍යාපාරය පිළිබඳව දුටු සිහිනය අතහැර දමා ෂෙහාරා විදෙස්ගත වූයේ අසීමාන්තික වේදනාවක් හදවතේ දරාගෙනය. එය තවමත් වරින් වර හදවතට දැනුනද එවැන්නක් නිසා තම සිහින අතහැර නොදැමිය යුතු බව සිතාගත් ෂෙහාරා අවසානයේදී නැවත මව්බිමට පැමිණීමට තීරණය කළාය.

” හැමදේම උනේ මම ගත්ත තීරණ නිසා වෙච්ච කොට, ඒවා ගැන හිතලා මං ඒක තැන නතර වෙලා ඉන්න එකේ තේරුමක් නෑ තාත්තේ “

ෂෙහාරා කුඩා කල හැදී වැඩුණු, ඒ වන විට සේවකයන් පමණක් ජීවත් වන මහ ගෙදර ෂෙහාරා පැමිණෙනතුරු බලා උන්නේ නොඉවසිල්ලෙනි.

” පුංචි නෝනා “

ෂෙහාරාගේ පැමිණීම නිසාම නැවත සේවයට පැමිණ සිටි අයරින් ෂෙහාරාව පිළිගත්තේ සතුටින් ඉපිල යමිනි.අනතුරුව වසර ගණනාවකට පසුව තම නිදන කාමරයට පා තැබූ ෂෙහාරා එය පුරා බැල්මක් හෙළුවේ හිස් හැඟීමකින් යුතුවය. 

” පුංචි නෝනා වෙච්ච දේවල් අමතක කරලා ඇති කියලා මං හිතනවා.මොනා උනත් ආපහු මෙහෙ එන්න හිතපු එක නං හොඳයි “

අයරින් තැඹිලි වතුර වීදුරුවක් ගෙන ෂෙහාරා අත තැබුවේ සෙනෙහසිනි. 

” වෙච්ච දේවල් මට අමතක නෑ අයරින් අම්මා. හැබැයි ඒවට ඉස්සර තරම් හිත රිදෙන්නෙ නැති එක තමයි තියෙන වෙනස “

උසස් අධ්‍යාපන කටයුතු අවසන් කළ පසුව ෂෙහාරාට වුවමනා වූයේ ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පිනියක් ලෙස තම වෘත්තීය ගමන් මග ආරම්භ කිරීමටය. කුඩා කල සිටම තාත්තා විදෙස්ගතව සිටීම නිසා ඇගේ අම්මාග්ව්ව් සැලසුම වූයේ ශෙහාරාගේ අධ්‍යයන කටයුතු වලින් පසුව ඇය සමග විදෙස්ගත වීමය. එහෙත් තවත් ටික කාලයකට මව්බිමේ රැඳෙමින් ඉගෙන ගත් විෂයයෙන් ප්‍රයෝජන ගැනීම ෂෙහාරා ගේ සැලසුම වූ නිසා අම්මාට විදෙස්ගත වන්නට හැර ෂෙහාරා මව්බිමේ නතර වූයේ ස්ව කැමැත්තෙනි.

” මේනක ” 

නිදන කාමරයේ ජනේලය අසල සිටගෙන ගෙමිදුල දෙස බලා සිටි ෂෙහාරාගේ මුවින් සුසුමක් පිටවුනේ ඉබේටමය. මේනක තම පෙම්වතා බවට පත් වූයේ උසස් පෙළ අවසන් කාලයේදීය. දෙමව්පියන් හට කිසිවක් නොසැඟවූ ෂෙහාරා දෙවරක් නොසිතාම තම පෙම්වතා පිළිබඳව අම්මාට පවසා සිටියේ මේනක යනු තමාගේ හොඳම තේරීම බව විශ්වාස කරමිනි. 

ඉතා හොඳ පවුල් පරිසරයක හැදී වැඩී තිබුණු මේනක උසස් පෙළ අවසානයේදී පවුලේ ව්‍යාපාර වලට සම්බන්ධ වූ බැවින් ඔහු තුළ විශ්ව විද්‍යාලයට යාමේ බලාපොරොත්තුවක් කිසිසේත්ම තිබුණේ නැත. ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පිණියක වීමේ සිහිනය දුටු ෂෙහාරා ද එයට අදාළ අධ්‍යාපන කටයුතු වල නිරත වූයේ අනාගතය ගැන බොහෝ සිහින දකිමිනි.

” ඔයාට පුළුවන්නේ අපේ බිස්නස් වලටම ජොයින් වෙන්න.ආයෙ මොනාටද අළුත් එකකට මහන්සි වෙන්නෙ. මං කොහොමත් ලඟදිම අම්මලට ඔයා ගැන කියනවනේ “

කිසිදු අපහසුවකින් තොරව පවුලේ ව්‍යාපාර වලට සම්බන්ධවී මුදල් ඉපයූ මේනකගේ අදහස එය වුවත් ෂෙහාරා ඔහු හා එකග නොවූ එකම කාරණාවද එයම විය.

” අපි කරන්න ඕනේ අපි ආස දේ මේනක. එතකොටයි සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ “

ඉගෙනීම් කටයුතු අවසාන වන තෙක් ෂෙහාරා සමග මව්බිමේ රැඳී සිටි ඇගේ අම්මා වූ සන්ධ්‍යා විදෙස්ගත වූයේ ශෙහාරාද ඉතා ඉක්මනින් විදෙස් ගතවේ යැයි බලාපොරොත්තුව හදවතේ රඳවා ගෙනය. එහෙත් ෂෙහාරා හට වුවමනා වූයේ මෝස්තර නිර්මාණ ශිල්පිණියක ලෙස තම වෘත්තිමය ගමන් මගේ බොහෝ දුර යාමටය. ඒ සමගම මේනක සමග විවාහ වී යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම ද ඇගේ අරමුණු අතර විය.

” අම්මා ගිහින් අවුරුද්දක් දෙකක් ඉඳලා තාත්තා එක්කම ආපහු එන්න.එතකොට අපිට පුළුවන්නේ මගේ වෙඩින් එක ගන්න “

සන්ධ්‍යා විදෙස් ගතවූයේ තම දියණිය පිළිබඳව බලාපොරොත්තු බොහොමයක් සිතේ රඳවා ගෙනය. ෂෙහාරා බලාපොරොත්තු වූ පරිදි ඇගේම ව්‍යාපාරයක් ආරම්භ කර මාස කිහිපයක් ඇතුළත එය දියුණු කර ගැනීමට ද  මග පාදා ගත්තේ ඇය තුළ තිබූ ඇයටම ආවේණික වූ නිර්මාණශීලීත්වය හේතුවෙනි. 

විවේකයක් ලැබෙන සෑම අවස්ථාවකදීම මේනකව මුණගැසීම සඳහා යාමට ෂෙහාරා කටයුතු කළත් මේනක තුළ එවන් උනන්දුවක් නැති බව ෂෙහාරා හට දැනෙන්නට පටන් ගත්තේ තවත් මාස කිහිපයක් ගත වීමෙන් අනතුරුවය.

” මොකද මේනක ඔයාට වෙලා තියෙන්නේ ? මං ඔයාව කන්ටැක් කරගන්න කීයේ ඉඳන් ද try කරන්නේ ? “

ඉරිදා දිනයක මේනකව මුණගැසීමට බලාපොරොත්තුවෙන් ෂෙහාරා උදෑසන සිටම ඔහුව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ඇයට ඔහුව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට හැකි වූයේ සවස හතරද ඉක්මවා ගිය පසුවය. 

” මම ටිකක් බිසී උනා “

මේනකගෙන් ලැබුණේ සරල පිළිතුරකි. එහෙත් වසර ගණනාවක සිට ඔහුව හඳුනනා ෂෙහාරා ඒ පිළිතුර භාර ගැනීමට සූදානම් වූයේ නැත.

” ඔයා කියන්නේ පැය ගානක් තිස්සේ ඔයා ෆෝන් එක අතටවත් ගත්තෙ නෑ කියලද ? “

මේනක විවිධාකාර හේතු දක්වමින් තමා කාර්ය බහුල වූ බව ශෙහාරා ඉදිරියේ ඔප්පු කරන්නට උත්සාහ ගත්තේය. කොහේ කොතැනක උන්නද ආදරය හදවත් වල පවතින බව විශ්වාස කළ ෂෙහාරා ඉන් එහාට මේනකගෙන් කිසිවක් විමසන්නට ගියේ නැත. එහෙත් ඇගේ හදවතට යමක් දැනෙමින් තිබිණි.

” අපි ඔයාගේ අම්මලාට අපි ගැන කියමු මේනක. අපි දැන් ඉන්නෙ හැංගි හැංගි ආදරය කරන්න ඕන වයසක නෙමෙයි නේ මේනක. මටත් බිස්නස් එකක් තියෙනවා. අපි දෙන්නටම පුළුවන්නේ අපේ බිස්නස් කරගෙන ඉස්සරහට සන්තෝසෙන් ජීවත් වෙන්න “

එවර ෂෙහාරා හට මේනකව මුණගැහුනේ සති තුනකටත් පසුවය. ඇය ඇගේ සිතේ තිබුණු සිතිවිල්ල ඔහුට පැවසුවේ බොහෝ බලාපොරොත්තු සහගතවය. 

” ඔයාගේ අම්මලා ලංකාවට ආවාමම අපි අපේ ගෙදරට කියමු. එතකන් මේ හිටියා වගේ ඉමු ෂෙහාරා ” 

” ඒකට ඉතිං අම්මලාා ලංකාවට වෙනකම්ම ඉන්න ඕනේ නෑනේ මේනක. එහෙනම් අපිට අම්මා යන්න කලින් කියන්න තිබුණනේ ” 

ෂෙහාරා කුමක් පැවසුවද මේනක ඒ කිසිවකට එකග වූයේ නැත. එයට හේතුව ෂෙහාරා හට දැන ගැනීමට ලැබුණේ නොසිතූ දිනයක යාමයේය. ඒ ෂෙහාරාගේම මිතුරියකගෙනි.

” මං අද Lakeside Hotel එකේදී මේනකව දැක්කා ෂෙහාරා ” 

විවාහයට සූදානම් වන ෂෙහාරාගේ ළඟම මිතුරියක වන මල්කි තම පෙම්වතා සමග Lakeside Hotel වෙත ගොස් තිබුණේ විවාහ දිනය සඳහා එය වෙන්කර ගැනීමටය. 

” මේක කේලමක් නෙමෙයි. මොකද ඔයා ඉන්නෙ රැවටි රැවටි ආදරය කරන්න ඕන වයසක නෙමෙයිනෙ ෂෙහාරා. අනිත් එක ඔයයි මේනකයි කියන්නේ අපි නොදන්න දෙන්නෙක් නෙමෙයි. ඒ කෙල්ල මේනකගේ අතේ එල්ලිලා හොටෙල් එකේ රෙස්ටූරන්ට් එකෙන් එලියට ආවේ. ඒ හින්දා ඒ දෙන්න කපල් එකක් නෙමෙයි කියන්න බෑනේ ” 

මේනක කිසිසේත්ම වරද පිළිගැනීමට සූදානම් වූයේ නැත. ෂෙහාරා තම ලෝකයම දෙපාමුල කඩා වැටී තිබියදීත් ඉතා ඉවසීමෙන් බලා උන්නේ වසර ගණනාවක ප්‍රේමයට තිත තැබීමට හිත හදාගත නොහැකිවය.

එහෙත් එලෙස දින කිහිපයක් ගෙවී යන්නට මත්තෙන්ම මේනක සබඳතාවය පවත්වාගෙන ගිය තරුණිය ෂෙහාරා ඇමතීමෙන් පසුව සියල්ල අවසන් කරන්නට ෂෙහාරා තීරණය කළාය.

හිස ඔසවාගෙන පැමිණි ව්‍යාපාරය අතරමග නතර කර දැමූ ශෙහාරා සියල්ල හැර දමා විදෙස් ගත වූයේ බිඳුනු හදවත පිළිසකර කර ගැනීමට දෙමව්පියන් සෙවණ හැර අන් යමක් නොමැති බව පසක් කර ගත් බැවිනි.

මාස කිහිපයකට පසුව මේනක විවාහ වූ බව ෂෙහාරාට දැනගන්නට ලැබුණු අතර ඒ වන විටත් හැඬූ කඳුළින් ජීවිතය ගෙවමින් සිටි ඇය ජීවිතය අලුතින් පටන් ගත යුතු බව තීරණය කළේ ඉන් අනතුරුවය.  මෝස්තර නිර්මාණ ශිල්පය පිළිබඳව විදෙස් පාඨමාලා කීපයක්ම හැදෑරූ ෂෙහාරා වසර හතරකට පෙර නැවත මව්බිමට පැමිණියේ  අතරමග නතර කර දැමූ තම ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමේ අධිෂ්ඨානය ඇතිවය. 

අතීතයේ කිසිවක් අමතක නොවුවද ඉන් ලැබූ වේදනාව බොහෝ දුරට සමනය වී ගොස් ඇති නිසා ෂෙහාරා හට ආදරයේ කටුසටහන් නැවත පිරික්සා බලන්නට උවමනා වූයේ නැත. 

විවාහයෙන් වසර දෙකකට පසුව මේනක දික්කසාද වී ඇති බවත්, අනතුරුව ඔහු ෂෙහාරාව නැවත සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන බවත් දැනගත් නමුත් ෂෙහාරා නැවත මේනකට තම ජීවිතයට පය තැබීමට කුඩා ඉඩක් හෝ තැබුවේ නැත.

” අතීතය අයිති අතීතයට. ඒ තුවාල අනාගතයට අරගෙන යන්න ඕනෙම නෑ ” 

More Stories

Don't Miss


Latest Articles