“මං කසාද බැන්ද ගෑනියෙක් කියලා දැනගෙනත් එයා මගෙ පස්සෙන් එන්නෙ එයා මට ඇත්තටම ආදරේ හන්දා නෙවෙයිද?” කියලා මං ප්රාර්ථනාගෙන් ඇහුවෙ ඇත්තටම ප්රාර්ථනා ඔච්චර මට නේවින්දව මග අරින්න මග අරින්න කියන්නෙ ඇයි කියලා හිතාගන්න බැරිවෙච්ච හන්දා.
මං එහෙම ඇහුවම නම් ප්රාර්ථනා කරේ හිකිස් ගාලා හිනාවෙච්ච එක. කොච්චර හොඳ යාලුවා උනත් මට ඕකිගෙ පෙන්නන්නම බැරි දේ තමයි ඔන්න ඔය කිණ්ඩි හිනාව. මං ගොං කං කරන එක ඇත්ත. කරපු තැන් අනන්තවත් තිබිච්ච එකත් ඇත්ත. ඒ උනාට හරිහමං යාලුවෙක් නම් තමන්ගෙ යාලුවෙක් ඔලමොට්ටලකමක් කරද්දි කරන්නෝන හිනාවෙන එක නෙවෙයිනෙ, හරි පාර පෙන්නන එකනෙ.
“අනේ ගොං ගෑනි.
උඹ හිතන්නෙ ඔය ප්රේම කුරුල්ලා උඹේ පස්සෙන් එන්නෙ උඹට තියෙන සැබෑ ආදරේ හන්දා කියලාද?”
“නැත්තං වෙන මොකක් හන්දද? එයා හොඳටම දන්නවනෙ එයාට කවදාවත් මාව අයිතිකරගන්න බැරි විත්තිය. අයිතිකරගන්න බැරි විත්තිය දැන දැනම ආදරේ කරනවා කියන්නෙ ඒක මාර දෙයක්. උඹලා වගේ ආදරේ දිහා මටීරියලිස්ටික් විදියට බලන උන්ට ඒවා තේරෙන්නෙ නෑ. නේවින්ද මට සිරාවටම ආදරෙයි. එයා හොඳටම දන්නවා මේ සම්බන්ධෙන් එයාට කවදාවත් මාව අයිතිකරගන්න වෙන්නෙ නෑ කියලා. කවදහරි මාව නැතිවෙනවා කියලා. එහෙම දැන දැනම මට ආදරෙ කරනවා කියන්නෙ…” කියලා මං කතාව කන්ටිනිව් කරන්න ගියාට මොකෝ ප්රාර්ථනා මැදින් පැන්නා.
“ඌ දන්නවා උඹ ගොං ගහක් විත්තිය. යකෝ අපි මැටීරියලිස්ටික් විදියට හරි ආදරේ කරලා ගොංකං කරන්නෙ නැතුව ඉන්නවා. උඹ මෙතන මේ පොල් බූරු වැඩ කරන්න යන්නෙ. උඹ හිතන්නෙ ඔය නේවින්ද කාරයා පස්සෙන් එන්නෙ උඹ කියවන පොත්වල ඉන්නවා වගේ සිරා ලව් එකක් නිසා කියලද?
නෑ නෑ නෑ. ඌ දන්නවා කසාද බැන්ද ගැනියෙල්ව ලේසියෙන් අතාරින්න ලේසි විත්තිය. උඹේ හිත හොඳ විත්තිය. උඹව අල්ලගන්න ලේසි වගේම උඹව අතාරින්නත් ලේසි විත්තිය. ඔය මිනිහා මුලින්ම කතා කරාය කිව්ව වෙලාවෙත් මං කිව්වනෙ දිගටම ඔය කතාව කරගෙන යන්න එපාය කියලා. අච්චර රත්තරං මිනිහෙක් ඉද්දි අහවල් රෙද්දකටද කියපංකො ඔය වෙන මිනිහෙක් එක්ක කතා කරන්න යන්නෙ?” කියලා ප්රාර්ථනා කියද්දි මට ඒක එක තප්පරේකට “ඇත්ත වෙන්න බැරිද?” කියලා නොහිතුනා නෙවෙයි. ඒ උනාට මට ඕන උනේ නෑ ඒ සිතුවිල්ල දිගේ ඉස්සරහට යන්න. මොකෝ බොරු කියන්න ඕන නෑනෙ “කාමයෙහි වරදවා හැසිරෙන්නෙ අපේ” කියලා අපේ ආගමේ බුදු බණේ කියලා තිබ්බට මොකෝ මං එහෙම ලොකුවට ආගමට දහමට ලැදි ඩයල් එකක් නොවෙන හන්දා මං හිතුවෙ “මං කසාද බැඳලා ඉද්දි නේවින්ද වගේ ඇත්තටම පිස්සු හැදෙන ලස්සනක්, ලුක් එකක් තියෙන මිනිහෙක්ට වහ වැටෙන එකේ වරදක් නෑ” කියලා.
අනික වරදක් වෙන්නෝන ඉතින් කාමයේ වරදවා හැසිරුණොත් නෙ. මං එහෙම දේකට යන්නෙ නෑනෙ. අපි දෙන්නා නිකන් චැට් කරනවා විතරයිනෙ කියලා මං මාරම උනන්දුවෙන් මාව සාධාරණීකරණය කරන්න උත්සහ කරන ගමන් උන්නෙ.
ඒ දවස්වල මං හිතුවෙ සීමාව කියන්නෙ ශරීර දෙකක් අතර තියෙන ඉරකට කියලා. පස්සෙ තමයි මටත් තේරුණේ සීමා බිඳෙන්නෙ මුලින්ම ශරීරෙන් නෙවෙයි හිතෙන් කියන එක.
හැබැයි ඔය දැනුම මට එවෙලෙ හම්බෙච්ච එකක් නෙවෙයි. ඒ දැනුම මට හම්බුනේ පස්සෙ. ඒ වෙලාවෙ මං කරේ ප්රාර්ථනා කිව්ව හැම දෙයක්ම එක කනකින් අහලා අනිත් කනෙන් එළියට දාපු එක. මං හිතුවෙ “ඒකි මොනාද දන්නෙ?” කියලා. “ඒකිගෙ පස්සෙනුත් නේවින්ද වගේ සුපිරි කොල්ලෙක් ආව නං ඔය බණ වැදි බණ වෙන්න තිබ්බා” කියලමයි මං හිතුවෙ.
ඒකටත් මට හොඳ justification එකක් තිබ්බා.
නේවින්දයි මායි අතරෙ තිබ්බෙ මොකක්ද?
Message එකක් දාන එක. ඉඳහිටක Call එකක් ගන්න එක. ඉඳලා හිටලා “කෑවද?” කියලා අහන එක.
“ඕව ඉතින් affair එකක් කියලා categorize කරන්න පුළුවන්ද?” කියලා මං මගෙන්ම ඇහුවා.
නෑනෙ. බෑනෙ.
එහෙනම් මොකක්ද මේ හැමෝටම තියෙන අමාරුව? ඇත්තටම කිව්වොත් ඒ දවස්වල නේවින්ද එක්ක කතා කරන එක මගේ දවසේ ලස්සනම කොටසක් වෙලා තිබ්බා කියන එක මංවත් පිළිගන්න කැමති උනේ නෑ.
උදේ ඇහැරුණ ගමන් phone එක අතට ගන්නවා. Notification එකක් තියෙනවද බලනවා. නේවින්දගෙන් message එකක් නැත්තං පොඩි හිස්කමක් වගේ දෙයක් මට ඒ වෙද්දි දැනෙන්න පටන් අරගෙන තිබුණා. මොනාහරි Message එකක් ඇවිත් තියෙනවා නම් මටත් නොදැනිම කට කොනකින් හිනාවක් යන්න පටන් අරගෙන තිබ්බා.
“Good morning” වගේ Message එකක් දැක්කත් ඇති. දවසම නිකන් Full Happening වගේ මට දැනෙන්නෙ. ඒක තමයි මට මුලින්ම තේරුංගන්න බැරිවෙච්ච දේ. අපි කෙනෙක් එක්ක මොනවා කරනවද කියන එකට වඩා, ඒ කෙනා අපේ හිත ඇතුළෙ කොච්චර ඉඩක් අරගෙනද කියලා තේරුංගන්න එක සමහර වෙලාවට වඩා වැදගත් වෙනවා.
හැබැයි මට ඒවා හිතන්න වෙලාවක් තිබ්බෙ නෑ. මට වෙලාව වැඩිපුර වෙන් කරන්න ඕන උනේ නේවින්ද එක්ක කතා කරන්න.
“අද මොකද silent?”
දවසක් එයා මගෙන් ඇහුවා. මං ඒ වෙලාවෙ kitchen එකේ හිටියෙ. උදිත් මගෙ හස්බන්ඩ් හිටියෙ dining table එකේ laptop එකක් ඉස්සරහ තියාගෙන වැඩ.
මං phone එක බැලුවා. නේවින්ද. මං reply කරන්න ගිහින් එකපාරටම නතර උනා.
මොකද දන්නවද? Notificatin එක එන සද්දෙට උදිත් ඔලුව උස්සලා මගේ පැත්ත බැලුව හන්දා. උදිත් කියන්නෙ කවදාවත් මං දිහා වැරදි විදිහට සැකෙන් බලපු මනුස්සයෙක් නෙවි. ඒ උනාට ඉතින් වරද කරන මනුස්සයා ඕනම දෙයක් දිහා බලන්නෙ සැකෙන් නෙ. අන්න ඒ හන්දා මට බය හිතුනා උදිත් එතන ඉද්දි නේවින්දට Message කරන්න.
“කවුද?” උදිත් ඇහුවෙ නිකන් බව මට විශ්වාසයි.
“කවුරුත් අනේ” ඔය වචන දෙක මගේ කටින් පිටවුණේ ඇත්තටම මම හිතන්නත් කලින්. ඇත්තටම කවුරුත් නැත්තං මං එහෙම ඉක්මනට phone එක lock කරේ ඇයි කියලා ඒ වෙලාවෙ මං මගෙන් ඇහුවෙ නෑ. ඒ වෙනුවට මං kitchen counter එකට හේත්තු වෙලා ඉඳගෙන නේවින්දට reply කරා.
“ගෙදර වැඩ අනේ”
එයා typing…
“Missed me?”
මං හිනාවුණා. ඒත් reply එක type කරේ නෑ. Erase කරා. ආයෙ type කරා.
“අනේ මේ” කියලා මං යවපු Message එකට එයා heart එකක් එව්වා. මං ඒ heart එක දිහා බලන් හිටියා. ඔය වගේ දේවල් තමයි පස්සෙ මතක් කරද්දි හරිම ගොං විදියට පේන්නෙ.
එක emoji එකක්. එක message එකක්. එක joke එකක්. ඒවා එකක්වත් තනියම ගත්තම ලොකු දේවල් නෙවෙයි. හැබැයි ඒ පුංචි පුංචි දේවල් එකතු වෙලා කෙනෙක්ට අපේ ජීවිතේ අයිති නැති තැනක ඉන්න ඉඩක් හදලා දෙන්න පුළුවන්. නේවින්ද ඒ තැනට ආවෙ මං බලෙන් ගෙනත් නෙවෙයි. එයා එතනට ආවෙ ටිකෙන් ටික. මාත් එයාට එතනට එන්න ටික ටික ඉඩ දුන්නා.
වැරැද්ද ඒක. එහෙම නැත්තං අඩුම ගානේ වැරැද්දේ පටන්ගැන්ම ඒක.
“උඹ දැන් එයාට දවසෙ වෙන හැම දේම කියනවද?”
ප්රාර්ථනා දවසක් මගෙන් ඇහුවෙ මම නේවින්දට ඇත්තටම දවසෙ වෙන හැමදේම කියන්න පටන් ගත්තම.
“හැම දේම කිව්වෙ?”
“උඹ කාත් එක්කද කෑවෙ බිව්වෙ, office එකේ මොකද උනේ, ගෙදර රණ්ඩුවක් උනාද ඕවා.”
“ඔව් ඉතින් අපි යාලුවො එක්ක ඔය වගේ දේවල් කතා කරනවනෙ”
“හරි. උඹේ මිනිහට කියන්න කලින් ඌට කියනවද?” ඒකට නම් මට දෙන්න උත්තරයක් තිබ්බෙ නෑ. ප්රාර්ථනා මගේ මූණ දිහා බලලා ටිකක් වෙලා හිටියෙ මගේ silence එක දරාගන්න බැරුව වගේ.
“අන්න ඔතන තමයි මං උඹට කියන්නෙ පරිස්සම් වෙන්න කියලා”
“අනේ බං”
“නෑ, අහපං. මිනිහෙක් එක්ක නිදාගත්තොත් විතරක් cheating වෙන්නෙ නෑ. උඹේ relationship එකේ තියෙන්න ඕන emotional space එක වෙන කෙනෙක් එක්ක share කරගන්න එකත් ලේසි දෙයක් නෙවෙයි. ඒකත් cheating තමයි”
“දැන් නිකං මේ හෙන psychologist වගේ කතා කරන්න එපා”
“මට psychologist වෙන්න ඕන නෑ. උඹේ මූණ දැක්කම තේරෙනවා”
“මොකක්ද?”
“උඹම දන්නවා කියලා උඹ කරන්නෙ වැරැද්දක් කියන එක. හැබැයි උඹම දැන දැන ඒ වැරැද්ද කරන එකෙන් සුපිරි ආතල් එකක් ගන්නවා කියන එක”
“පලයන් යන්න” කියලා මං හිනා උනාට ප්රාර්ථනා හිනා උනේ නෑ. ඒකට තමයි මට ටිකක් අවුල් ගියේ.මොකද ඕකිට සාමාන්යයෙන් හැම ගොං කතාවකටම හිනා යනවා. ඒත් මේකට ඒකි හිනා උනේ නෑ.
“මං එක දෙයක් කියන්නම්,” ප්රාර්ථනා කිව්වා. “උඹ දැන්ම ඕන නවත්තන්න ඕන කියලා මං කියන්නෙ නෑ. උඹට හිතන්න පුළුවන් මං overreact කරනවා කියලා. හැබැයි එකක් කරපං”
“මොකක්ද?”
“උඹ හිතනවා නං උඹ වැරැද්දක් කරන්නෙ නෑ කියලා නේවින්ද එක්ක කරපු chat එක උදිත්ට phone එක දීලා බලන්න කියලා දෙන්න පුළුවන්ද කියලා හිතපං. උඹ නේවින්ද එක කතා කරන්නෙ යාලුවෙක් විදියට විතරක් නං එහෙම කරන්න බැරිකමක් නෑනෙ නේද? දැන් උඹට මගේ චැට් එක උදිත්ට පෙන්නන්න බැරිකමක් නෑනෙ” කියලා ප්රාර්ථනා කියද්දි මං කට වහගෙන හිටියා.
“පුළුවන් නම් අවුලක් නෑ” ඒකි නැගිටලා bag එක අතට ගත්තා.
“බැරි නම් උඹම දන්නවා නේද උත්තරේ” කියාගෙන ඒකි ගියා. මං ඒකි ගියාට පස්සෙත් ඔය කතාව ගැන ටික වෙලාවක් හිතුවා.
නේවින්ද එක්ක chat එක ඇත්තටම මට උදිත්ට පෙන්නන්න පුළුවන්ද? Technically බැරි නෑ. අපි Nudes share කරගත්තෙ නෑ. Sex chat තිබ්බෙ නෑ. “මං ඔයාට ආදරෙයි, මිනිහව දාලා එන්න” වගේ කතා තිබ්බෙත් නෑ.
ඒත් පෙන්නන්න මට ඕන උනේ නෑ. ඒකෙ තිබ්බ සමහර දේවල්, සමහර emojis වල, සමහර silent moments වල meaning එක එයාට explain කරන්න මට ඕන උනේ නෑ. සමහර “miss you” jokes explain කරන්න මට ඕන උනේ නෑ. රෑ දොළහට “නිදිද?” කියලා ආපු message explain කරන්න මට ඕන උනේ නෑ. ඒ හැම එකටම explanation එකක් තිබ්බා. හැබැයි explanations වැඩි වෙනකොට, ඇත්ත අඩු වෙනවා කියලා මං ඒ වෙලාවෙ දැනගෙන හිටියෙ නෑ.
මං phone එක අරගෙන නේවින්දගෙ chat එක open කරේ අන්න ඒ සිතුවිල්ල උඩ.
ටිකක් උඩට scroll කරා. ආයෙ පහළට ආවා. Delete කරන්න කියලා දෙයක් ඒකෙ තිබ්බෙ නෑ. මට ඇත්තටම Delete කරන්න උවමනාවක් තිබ්බෙත් නෑ.
ඒත් මං chat එක archive කරා.
ඇයි කියලා මට අදටත් හරියටම කියන්න බෑ. ඒ මං හිතන්නෙ ඒක දකින්න ඕන නැති කෙනෙක්ගෙන් හංගන්න මං පටන් ගත්ත හන්දා. සීමාව බිඳුණු පළවෙනි තැන සමහරවිට නේවින්ද “miss you” කියපු දවසවත්, මං එයාට කැමති වෙච්ච දවසවත් නෙවෙයි.
සමහරවිට ඒ chat එක archive කරපු තප්පරේ වෙන්න ඇති. මොකද එදා ඉඳන් මං නේවින්දව මගේ ජීවිතේ ඇතුළට ගත්ත විතරක් නෙවෙයි.එයාව හංගන්නත් පටන් අරගෙන තිබ්බා.Chat එක Archive කරන අතරවාරෙ මට ඇත්තටම ප්රාර්ථනා කිව්ව කතාව ආයෙ ආයෙ මතක් වුණා.
“ගෑනු අපිට වරදින්නෙ හැම වෙලාවෙම මිනිහෙක්ට වහ වැටෙන එකෙන් නෙවෙයි බං. ඒ වහ වැටීම අරගෙන ලස්සන love story එකක් හදාගෙන, ඊට පස්සෙ ඒ කතාව ඇත්ත කියලා අපිම විශ්වාස කරන්න පටන් ගන්න තැනදි. අන්තිමට වෙන්නෙ මොකද්ද දන්නවද? ඇත්ත මොකද්ද, අපි අපිටම කියාගත්ත බොරුව මොකද්ද කියලා අපිටම වෙන් කරගන්න බැරි වෙන එක”











