ප්‍රශ්න කිරීමේ මේසයට ඉහළින් තිබූ ෆ්ලොරසන්ට් බල්බය තත්පර කිහිපයකට වරක් නිවෙමින් දැල්වෙමින් තිබුණි. පිටතින්, ජනේල වීදුරු මත තදින් වදිමින් තිබූ වැස්සේ හඬ, සුළඟට මුසු වී ඇසුණේ ඈතින් ඇසෙන කෙඳිරිල්ලක් මෙනි.
ඉන්ස්පෙක්ටර් විජේසිංහ කිසිදු වචනයක් නොකියා කාමරයට ඇතුළු විය. ඔහු මේසය මත මහත ෆයිල් කවරයක් තබා, ඔහුට ඉදිරියෙන් සිටි මිනිසාට ප්‍රතිවිරුද්ධ අසුනෙන් වාඩි වී, දිගු වේලාවක් ඔහු දෙස බලා සිටියේය.
කමල් සිටියේ අතිශයින්ම විඩාවට පත්වය. තැනින් තැන වේලී තිබූ ඔහුගේ කලිසමේ මඩ පැල්ලම් ඉතිරි වී තිබුණි. ඔහුගේ ඇඟිලි එක තැනක තබා ගැනීමට ඔහුට නොහැකි බව තේරුණේ ඒ ඇඟිලි විටින් විට මේසය මත නොඉවසිල්ලෙන් ගැටෙන්නට වීම නිසාවෙනි.
අවසානයේදී ඉන්ස්පෙක්ටර් නිශ්ශබ්දතාවය බින්දේය.
“මොකද්ද තමුසෙගෙ සම්පූර්ණ නම?”
“කමල් සේනානායක.”
“රස්සාව මොකද්ද?”
“ත්‍රීවීල් එළවන එක”
“ත්‍රීවිල් එළවන එක?”
“ඔව් සර්”
“එළවන්නෙ මොකෝ හරක් කියලද හිතන් ඉන්නෙ?” කියලා ඉන්ස්පෙක්ටර් කිණ්ඩියට මෙන් හිනාවුණාට කමල් සේනානායක උන්නේ සිනාසෙන මානසිකත්වයක නොවේ.
“තමුසෙ දන්නවද ඇයි තමුසෙ මෙතන ඉන්නේ කියලා?”
කමල් කෙළ උගුරක් ගිලින ගමන් “අර මගේ ත්‍රීවීල් එකේ තිබිලා මිනියක් හම්බෙච්ච නිසානෙ” යැයි පැවසීය.
“ඉතින්, තමුසෙද එයාව මැරුවේ?” ඒ ප්රශ්නය මුළු කාමරය පුරාම දෝංකාර දුන්නේය.
“නෑ” පිළිතුර ඉතා ඉක්මනින් ආවේය. “දෙයියන් පල්ලා මම ඒක කරේ නෑ සර්. මම දන්නෙවත් නෑ කොහොමද ඒ මනුස්සයා මගෙ ත්‍රීවිල් එක අස්සෙ මැරුණෙ කියලා” කමල් කියද්දී ඉන්ස්පෙක්ටර් විජේසිංහ පුටුවට බර විය.
“තමුසෙ නෙවෙයි නම් මැරුවෙ බොඩිය කොහොමද ත්‍රීවිල් එක අස්සට ආවෙ?”
“අන්න ඒක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නෙ. සර්ලා හරිනං හොයන්න ඕන ගෑනි මැරිච්ච විදිය නෙවි මගෙ වීල් එක අස්සෙ ඒ ගෑනි මැරුණෙ කොහොමද කියලා”
“මෙච්චර දෙයක් උනාට පස්සෙත් තමුසෙගෙ කට නං වැඩ කරනවා නේද?”
“නැත්තං කොහොමද සර් කටපියං ඉඳියොත් මට කිසි වරදක් නොකර හිරේ ලගින්නනෙ වෙන්නෙ”
“හරි දැන් තමුසෙගෙ කතාව කියනවනකො. හැබැයි එක ඩීටේල් එකක් මිස් වෙන්න බෑ,බොරු කියන්නත් බෑ හරිද?” කියා ඉන්ස්පෙක්ටර් විජේසිංහ කියද්දී කමල් එක එල්ලේම ඔහුගේ දෙනෙත් දිහා බලාගෙනම සිටියේය.
“සර් වැස්ස පටන්ගත්තේ රෑ දහයට විතර” කමල් බිම බලාගෙන කියවන්නට විය.
“එදා එක හයර් එකක්වත් නැතුව මම වේලි වේලි හිටියේ. ඩීසල් ටිකටවත් සල්ලි නැතුව මම ගෙදර යන්න හදද්දීමයි පරණ තැපැල් කන්තෝරුව ළඟ වයසක අම්මා කෙනෙක් ඉන්නවා දැක්කේ.”
“මොන වගේද ඒකි? විස්තර කරපන්.”
“වයස හැත්තෑවකට කිට්ටු ඇති සර්. සුදු කොණ්ඩේ ගුලියක් කරලා බැඳලා තිබුණා. හෙන කෙට්ටුයි, හරියට අපේ පැත්තේ ඉන්න අර පිස්සු ගෑනි පිනා වගේ. ඒකිගේ අතේ පරණ නිල් පාට කුඩයක් තිබුණා, හැබැයි හුළඟට ඒක කණපිට හැරිලා තිබුණේ.”
“ඉතින් ඒකි තනියමද හිටියේ?”
“ඔව් සර් මුලින් එහෙම තමයි හිටියෙ.”
“මුලින්ම? උඹ මාව මොකෙක් කියලද හිතං ඉන්නෙ?”
“නැහැ සර්, ඇත්තමයි. ඒ අම්මා ඇහුවා එයාගේ දුවව හොස්පිට්ල් එකට ගෙනියන්න පුළුවන්ද කියලා.”
“දුවව?”
“ඔව්, ඒ ළමයට ගොඩක් සනීප නෑ කිව්වා.” කමල් නළල තදින් පිරිමදින්න ගත්තේ ඒ සිදුවීම වඩා හොඳින් යළිත් මතක් කරගන්නට මෙනි. “හැබැයි සර්, එතන තිබුණු ලොකුම අමුත්ත කියන්නේ නාකි ගෑනි මට ඒ කෙල්ල දිහා බලන්න දුන්නෙම නැහැ.”
“ඒ මොකද? තමුසෙ උන්ව කළින් අඳුරනවද?”
“අනේ මන්දා සර් ඒ මනුස්සයා ඒ දූ කියලා කිව්ව කෙනාව වහගෙන හිටියෙ”
“ඒ කිව්වෙ?”
“ඒ මනුස්සයගෙ මූණ තිබ්බෙ රෙද්දකින් වටේ ඔතලා, නිකන් නාහෙ විතරක් හුස්ම ගන්න පුළුවන් වෙන්න එළියට පේන්න”
“තමුසෙට සැක හිතුණෙ නැද්ද ඉතින්?”
“අසනීපයි කිව්ව නිසා මං හිතුවෙ නෑ සර්. අනික තව දෙයක් මට මතක් වෙනවා. සාමාන්‍යයෙන් කෝමත් වහින වෙලාවට සර් අපි ත්‍රීවිල් එකේ රෙද්ද පල්ලෙහට දාගෙනනෙ යන්නෙ. ඒක ආය අමුතුවෙන් කියන්න උවමනාවක් නෑනෙ. ඒ උනාට මේ නාකි ගෑනි මට නිකන් කීප සැරයක්ම කිව්වා රෙද්ද පල්ලෙහට දාන්න කියලා දූට හෙම්බිරිස්සාව එක්ක පපුවෙ හතිය තියෙන හන්දා. අනික අසනීප වෙලා ඉන්න වෙලේ වැහි හිරිකඩ වැද්දොත් දූට මරණාසන්න වෙයි කියලා”
කාමරේ මොහොතකට නිශ්ශබ්ද විය. විජේසිංහ ලොකු හුස්මක් ගෙන සටහන් පොතේ යමක් ලිව්වේය.
“ඉතින් තමුසෙ ඒක එක පයින්ම පිළිගත්තා, එහෙමද?”
“ඒක අමුතුයි තමයි සර් හැබැයි ඒ වෙලාවේ ඒ වයසක අම්මා අසරණ වෙලා හිටපු විදිහට මට බෑ කියන්න හිතුණේ නෑ. අනික සර්, කවුද ඔහොම වෙලාවක මෙහෙම දෙයක් වෙයි කියලා හිතන්නෙ”
“හා ඊටපස්සේ මොකද වුණේ?”
“මම ඉතින් පිටිපස්සේ සීට් එක වැහෙන්න කර්ටන් එක දැම්මා”
“ඒ කියන්නේ තමුසෙ ඇස් දෙකට ඒ දුවව දැක්කෙම නෑ?”
“නැහැ සර්.”
“උඹ නිකම්ම ඒ නාකි ගෑණිව විශ්වාස කරා?”
“ඔව් සර්.”
“ඊටපස්සේ?”
“ඊටපස්සේ ඒකි කවුරුහරි කෙනෙක්ව ත්‍රීවීල් එක ඇතුළට නග්ගන්න උදව් කරනවා මට ඇහුණා.”
“කවුරුහරි කෙනෙක්ව?”
“මට අඩි සද්දයක් ඇහුණා සර්. ඊටපස්සේ කවුරුහරි හති දදා, අමාරුවෙන් හුස්ම ගන්න සද්දෙත් ඇහුණා.”
“ඉතින් තමුසෙ හැරිලා බැලුවෙම නැද්ද?”
විජේසිංහ මේසයට අතින් තට්ටු කරමින් ඇසුවේය.
“නැහැ සර්”
“ඇයි?”
විජේසිංහ ඇස් දෙක පටු කර කමල් දෙස බොහොම සෝදිසියෙන් බලා සිටියේය.
“මට හිතුණා ඒ වෙලාවේ එහෙම බලන එක වැරදියි කියලා ඒකයි.”
පළමු වතාවට ඉන්ස්පෙක්ටර් විජේසිංහගේ මුහුණේ ඉරියව් වෙනස් විය. ඒ වනාහී කුතුහලයෙනි!
“අර නාකි ගෑනි හරියට සර් මට පිටිපස්සෙන් වාඩිවෙලා උන්නේ. ඒ කියන්නෙ හරියටම නිකන් පිටිපස්සෙ සීට් එකේ මැද වගේ” කමල් ඔහුගේ කතාව ඉදිරියට ගෙන ගියේය.
“ඒකි පිටිපස්සෙ ඉඳන් මොනවා හරි කියනවා මට ඇහුණා”
“මොනවාද ඒකි කිව්වේ?”
“මට හරියට ඇහුණේ නැහැ සර්.”
“මතක් කරලා කියපන්!”
කමල් ඔහුගේ ඇස් පියාගත්තේය.
“මට මතක එකම එක වාක්‍යයයි සර්.”
“මොකක්ද ඒ?”
“‘තව පොඩ්ඩයි මගේ පැටියෝ, දැන් අපි කිට්ටුයි” කියලා විතරයි.”
කාමරය පුරා දැඩි සීතලක් පැතිර ගියේය. ඉන්පසු කමල් නැවතත් කතා කරන්නට විය.
“ඊටපස්සේ”
“පොලිස් චෙක්පොයින්ට් එක ලඟට ආවා. එයාලා මට නවතින්න කිව්වා. ළඟ පාතක මිනීමැරුමක් වෙලා තියෙනවා කිව්වා.මම කිව්වා පිටිපස්සේ ලෙඩෙක් ඉන්නෙ ටිකක් අසනීපයි කියලා.”
“ඊටපස්සේ?”
“එයාලට චෙක් කරන්න ඕන වුණා.”
“තෝ ඉඩ දුන්නා.”
“ඔව් සර් ඉතින් මට හංගන්න දෙයක් තිබ්බෙ නෑනෙ.”
ඉන්ස්පෙක්ටර්ගේ ඇඟිලි ෆයිල් එක ඇතුළේ තිබූ එක්තරා ඡායාරූපයක් මත නතර විය.
“පොලිසිය කවර් එක උස්සද්දී මොකද වුණේ?”
කමල්ගේ හුස්ම ගැනීම වේගවත් විය. ඔහුගේ තොල් වෙවුලන්නට විය.
“”මට තාමත් හිතාගන්න බෑ සර්. හරිනං එතන ඉන්නෝන ලෙඩවෙච්ච කෙල්ලෙකුයි නාකි ගෑනි නෙ” ඔහුගේ කටහඬ බිඳී ගියේය.
“හැබැයි”
ඔහු හිස් වූ, බියෙන් පිරුණු දෑසින් ඉන්ස්පෙක්ටර් දෙස බැලුවේය.
“එතන හිටියේ එක ගෑනු කෙනෙක් විතරයි. ඒකිගේ බෙල්ල කන ගාවටම වෙනකම් කපලා තිබුණා”
ජනේල වීදුරු මත වදින වැස්සේ ශබ්දය හැර මුළු කාමරයම නිශ්ශබ්ද විය. ඉන්ස්පෙක්ටර් විජේසිංහ ෆයිල් කවරය වසා කමල් දෙස බලමින්, තමා පවසන මේ අභිරහස් කතාව කිසිවෙකුත් විශ්වාස නොකරන බව ඔහුට වටහා දුන්නේය. කමල් තමා නිවැරදි බව පවසමින් අසරණව හිස වැනුවේය.
“තෝ කියන ඔය නාකි ගෑනිව අපි මුළු පළාතෙම හෙව්වා” විජේසිංහ රළු ස්වරයෙන් කීවේය.
කමල් බලාපොරොත්තු සහගතව ඇස් ලොකු කරගත්තේය. “හම්බවුණාද සර්?”
ඉන්ස්පෙක්ටර් ඔළුව දෙපසට වැනුවේය. “තැපැල් කන්තෝරුව ළඟ CCTV කැමරා එකකවත් ඔය කියන විදියේ ගෑනියෙක් නෑ. කවුරුවත් දැකලත් නෑ.”
“ඒක වෙන්න බෑ සර්” කමල් අන්දමන්ද විය.
“වෙන්න බැරිද?” ඉන්ස්පෙක්ටර් මේසය මතින් ලේ තැවරුණු පිහියක් දැමූ ඉටි බෑගයක් ඉදිරියට තල්ලු කළේය. “අඳුරනවාද මේක?”
“නැහැ සර් මම ඕක දැකලවත් නෑ.” කමල්ගේ මුහුණ සුදුමැලි විය.
“ඕක හම්බවුණේ තමුසෙගෙ ත්‍රීවිල් එකේ ඩ්‍රයිවින් සීට් එක යට තිබිලා. ඒකේ තියෙන්නේ මැරිච්ච මනුස්සයගෙ ලේ”
“අනේ බුදු සර් මම දන්නෙ නෑ සර්. මම කාවවත්ව මැරුවෙත් නෑ සර්. මං මේ කන්න කීයක් හරි හොයාගන්න වීල් පදින මිනිහා සර්. එහෙමෙකේ මං මොකටද මේ පාරෙ ඉන්න ගෑනු මර මර යන්නෙ” කමල් පළමු වතාවට කටහඬ අවදි කර කෑගැසුවේය.
ඉන්ස්පෙක්ටර් විජේසිංහ නොසැලී සිටියේය. ඔහු නැවතත් ෆයිල් එක ඇර ඡායාරූප තුනක් මේසය උඩින් තැබීය. ඒවා බොඳ වුණු CCTV දර්ශන වේ. කමල් ඉදිරියට නැඹුරු වී බැලුවේය. එහි තිබුණේ ඔහුගේම ත්‍රීවීල් එකය. එය විශාල මන්දිරයක් ඉදිරිපිට නතර කර තිබුණි.
“මම ඔය පළාතකටවත් ගියේ නෑ සර්. දෙයියම්පා සර්”
“තෝ චෙක්පොයින්ට් එකට එන්න විනාඩි විසිතුනකට කලින් තමයි මේක රෙකෝඩ් වෙලා තියෙන්නේ. තෝ දන්නවාද මැරිලා ඉන්නේ කවුද කියලා? රටේම පිළිගත්ත ප්‍රසිද්ධ සර්ජන් කෙනෙක්, ඩොක්ටර් නිර්මලා ජයසිංහ”
“මම ඔය කියන මනුස්සයව අඳුරන්නෙවත් නෑ සර්”
එසැණින් කොස්තාපල්වරයෙක් කාමරයට ඇතුළු වී සීල් තැබූ බෑගයක් ඉන්ස්පෙක්ටර් අතට දුන්නේය. එහි තිබුණේ කමල්ගේ බිඳුණු තිරය සහිත ජංගම දුරකථනයයි.
විජේසිංහ දුරකථනයේ ලොක් එක හැර ගැලරිය වෙත ගියේය. “මට එක දෙයක් තේරෙන්නේ නෑ. එදා රෑ මේ ෆෝන් එකෙන් එකම එක ෆොටෝ එකක් විතරක් අරන් තියෙනවා.”
කමල් නළල රැලි කරගත්තේය. “මම කිසිම ෆොටෝ එකක් ගත්තේ නෑ සර්.”
ඉන්ස්පෙක්ටර් දුරකථනයේ තිරය කමල් දෙසට හැරෙව්වේය. “එහෙනම් මේකට උත්තර දීපන්.”
කමල් දුරකථන තිරය දෙස බැලුවේය. ඔහුගේ හුස්ම නතර විය. මුහුණේ ලේ බිඳක් නැති විය. තොල්පට සැලුණත් වචන පිට නොවීය. ඔහු ඒ ඡායාරූපය දෙස බලා සිටියේ හරියට භූතයෙක් දැක්කාක් මෙන් බයකින්, පුදුමයකින් ය.
අවසානයේදී, ඉතා සියුම් කෙඳිරිලි හඬකින් කමල් මෙසේ ඇසුවේය.
“සර්, කවුද, කවුද මේ ෆොටෝ එක ගත්තේ?”
කමල් වෙවුලන දෑතින් දුරකථනය අතට ගත්තේය.
තිරයෙන් ඔහු දෙස බලා සිටියේ ඔහුගේම මුහුණයි. ඔහු සිටගෙන සිටියේ නුහුරු නුපුරුදු සාලයක් ඇතුළේය. ඔහුගේ කමිසය පුරාත් කම්මුලෙහිත් ලේ තැවරී තිබුණි. ඔහුට පිටුපසින්, බෙල්ල කපා දැමූ කාන්තාවකගේ දේහය බිම නිසලව වැතිර තිබුණි. ඔහුගේ මුහුණේ තිබූ ඉරියව්ව එම දර්ශනයේ වඩාත්ම බිහිසුණු කොටස විය. එහි බියක් හෝ තැතිගැනීමක් නොතිබූ අතර, තිබුණේ සියුම් උපහාසාත්මක සිනහවක් පමණි.
දුරකථනය ඔහුගේ දෑතින් ගිලිහී මේසය මතට වැටුණේය.
“නෑ ඔහු කෙඳිරුවේය. “මේක, මේක වෙන්න බෑ.”
ඉන්ස්පෙක්ටර් විජේසිංහ කිසිවක් නොකීවේය. ඔහු ඒ නිශ්ශබ්දතාවයට ඉඩ හැරියේය.
විනාඩියකට ආසන්න කාලයකට පසු, කමල් භීතියෙන් රතු වූ දෑසින් යුතුව හිස ඔසවා බැලුවේය.
“මම කවදාවත් ඔය ගෙදරට ගිහින් නැහැ.”
“එහෙනම් තමුසෙගෙ ෆොටෝ එකක් ඒ ගේ ඇතුළේ අරගෙන තියෙන්නෙ කොහොමද?”
“මම දන්නේ නැහැ.”
“බොරු කියන්න හදන්න එපා?”
“දෙයියම්පල්ලා මට මතක නැහැ”
ඉන්ස්පෙක්ටර් දෑත් බැඳගත්තේය.
“මතකෙ කියන්නෙ මහ පුදුම දෙයක්. සමහර වෙලාවට මිනිස්සුන්ට දේවල් අමතක වෙන්නේ බය වුණාම. තවත් සමහර වෙලාවට අමතක වෙන්නේ ඒ මතකය මතක් කරගන්න අකමැති නිසා.”
“මම කාවවත් මැරුවේ නැහැ”
“එහෙනම් ම තේරුම් කරලා දීපන් කොහොමද උඹ ඒ මිනිය ඉස්සරහා ඉඳන් මෙහෙම ෆොටෝ එකක් ගත්තෙ කියලා”
කමල් තදින් දෑස් පියාගත්තේය.
“මට මතක වැස්ස විතරයි. අර වයසක ගෑනිව. එච්චරයි.”
“එක CCTV කැමරාවකවත් නැති ඔය වයසක ගෑනිවද?”
“එයා ඇත්තටම හිටියා සර්.”
“ඇඟිලි සලකුණක්වත් නැති ඔය වයසක ගෑනිවද?”
“එයා මාත් එක්ක කතා කරා.”
“වෙන කවුරුවත් නොදැකපු වයසක ගෑනිවද?”
“මට ඒකිගේ කටහඬ ඇහුණා බුදු සර්”
ඔහුගේ වචන මුළු කාමරය පුරාම දෝංකාර දී, පසුව නිශ්ශබ්දතාවයේ ගිලී ගියේය.
ඉන්ස්පෙක්ටර් විජේසිංහ අසුනෙන් නැගිට ජනේලය දෙසට ඇවිද ගියේය.
“ෆොරන්සික් රිපෝට් එක අද උදේ ආවා” ඔහු නැවත හැරුණේය. “ඒ දොස්තර නෝනා මැරිලා තියෙන්නේ උඹෙ ත්‍රීවීල් එකට මිනිය දාන්නත් කලින්.”
කමල් ව්‍යාකූලත්වයෙන් යුතුව බැලුවේය. “එහෙනම් වෙන කවුරුහරි වෙන්න ඇති එයාව එතනින් තිබ්බේ.”
“වෙන්න ඇති.”
ඉන්ස්පෙක්ටර් මොහොතකට නැවතුණේය. “හැබැයි තව දෙයක් තියෙනවා.”
ඔහු තවත් ඡායාරූපයක් මේසය මත තැබීය. එය වින්දිතයාගේ සාලයේ සමීප දර්ශනයකි. අර සෙල්ෆි ඡායාරූපය ගෙන තිබූ ස්ථානයට පිටුපසින් වූ බිත්තියේ ඉරිතලා ගිය කන්නාඩියක් එල්ලෙමින් තිබුණි.
“හොඳට බලපන්.”
කමල් ඒ දෙස බලා සිටියේය. ඒ කන්නාඩි ප්‍රතිබිම්බයෙන් පෙනුණේ තමාම ෆෝන් එක අල්ලාගෙන සිටින අයුරු පමණි. වෙනත් කිසිවෙකු එහි නොවීය.
“නැහැ” කමල් මුමුණන්නට විය. “කවුරුහරි මේක ගන්න ඇති”
“ඒ කාමරේ වෙන කවුරුත් හිටිය කියන්න කිසිම සාක්ෂියක් නෑ” ඉන්ස්පෙක්ටර් මෘදු හඬින් පිළිතුරු දුන්නේය.
කොස්තාපල්වරු දෙදෙනා කමල්ගේ දෑතින් දැඩිව අල්ලාගෙන ඔහුව ප්‍රශ්න කිරීම් කාමරයෙන් ඉවතට කැඳවාගෙන ගියහ.
“මම එයාව මැරුවේ නැහැ. මම කාවවත්ව මැරුවෙ නෑ” ඔවුන්ගෙන් බේරීමට පොරබදමින් ඔහු කෑගැසුවේය.
“මාව විශ්වාස කරන්න. අර වයසක ගැනිව හොයන්න. එයා ඔයාලට කියයි. එයා එතන හිටියා. මං දන්නෙ නෑ. මං ඇත්ත කියන්නෙ බුදු සර්”
ඔහුගේ කටහඬ මුළු පොලිස් ස්ථානය පුරාම දෝංකාර දුන්නේය.
රිමාන්ඩ් කූඩුවේ බරැති යකඩ දොර ඩෝං ගා වැසී ගියේය. කමල් එහි යකඩ කූරු දැඩිව අල්ලාගත්තේය.
“මම කාවවත් මැරුවේ නැහැ!”
ඉන්ස්පෙක්ටර් විජේසිංහ නිශ්ශබ්දව ඔහු දෙස බලා සිට කොරිඩෝවෙන් ඉවතට හැරී නැවතත් ප්‍රශ්න කිරීම් කාමරයට පැමිණියේය.
මේසය මත ෆයිල් කවරය දිගහැර තිබුණි. ලේ තැවරුණු පිහිය, CCTV ඡායාරූප, සහ අර සෙල්ෆි ඡායාරූපය, හැමදේකින්ම ඇඟිල්ල දිගු වූයේ කමල් දෙසටමය. ඒ හැමදේම මැද අර වයසක කාන්තාව පමණක් අභිරහසක්ව පැවතුණි.
වෙහෙසකර සුසුමක් හෙළූ ඉන්ස්පෙක්ටර්, සාක්ෂි තැටියෙන් කමල්ගේ ජංගම දුරකථනය අතට ගෙන එය ෆයිල් කවරය අසලින් තැබුවේය. හෙට උදෑසනම එය ඩිජිටල් අංශය වෙත යැවීමට නියමිතව තිබුණි.
පොලිස් ස්ථානය අසාමාන්‍ය ලෙස නිශ්ශබ්ද වී තිබුණි. එළියේ වසිමින් තිබූ තද වැස්සද අවසානයේ නැවතී තිබුණි.
එවිටම දුරකථනය වයිබ්රේට් විය. ඒ එක් වරක් පමණි.
ඉන්ස්පෙක්ටර් විජේසිංහ නළල රැලි කරගත්තේය. ඇමතුමක් නැත. පණිවිඩයක්ද නැත. ඔහු මදක් පසුබට වී දුරකථනයේ ලොක් එක හැරියේය. ගැලරිය ඒ වන විටත් විවෘතව තිබුණි.
එහි අලුත් ඡායාරූපයක් තිබුණි.
වේලාව සටහන්ව තිබුණේ රාත්‍රී 11:47 ලෙසය. එය ගෙන තිබුණේ මීට විනාඩියකටත් වඩා අඩු කාලයකට පෙරය.
ඔහුගේ හෘද ස්පන්දනය වේගවත් විය. එය සෙල්ෆි ඡායාරූපයකි. එම ඡායාරූපය ගෙන තිබුණේ ඔහු දැනට සිටගෙන සිටින මේ ප්‍රශ්න කිරීම් කාමරය ඇතුළේදීමය.
ඡායාරූපයේ ඉදිරියෙන්ම පෙනෙන්නට සිටියේ ඉන්ස්පෙක්ටර්ය. ඔහු මේසයට බර වී ෆයිල් කවරය දෙස බලා සිටින අයුරු එහි පැහැදිලිව තිබුණි. ඔහු සෙමින් දුරකථන තිරයෙන් දෑස් ඉවතට ගෙන වටපිට බැලුවේය. ඔහු අවට තිබූ කාමරය සම්පූර්ණයෙන්ම හිස්ව පැවතුණි. ඔහුගේ දෑස් නැවතත් ඡායාරූපය වෙත යොමු විය. එහි ඔහුට අඩි කිහිපයක් පිටුපසින් වයසක කාන්තාවක් සිටගෙන සිටියාය. ඇගේ සුදු පැහැති කෙස් කළඹ පිළිවෙලකට ගුලියක් කර බැඳ තිබුණි. ඇගේ රැලි වැටුණු මුහුණේ තිබුණේ හරියටම කමල් විස්තර කළ ආකාරයේම මෘදු ඉරියව්වකි. ඇය නිකම්ම එහි සිටගෙන ඔහු දෙස බලා සිටියාය.
ඉන්ස්පෙක්ටර් විජේසිංහගේ හුස්ම උගුරේ හිරවිය. ඔහු වහා පිටුපස හැරී බැලුවේය. කාමරය හිස්ය.
ඔහු නැවතත් දුරකථනය දෙස බලන විට අර ඡායාරූපය මැකී ගොස් තිබුණි. ගැලරියේ තිබුණේ එකම එක පින්තූරයක් පමණි. ඒ කමල් දොස්තර නෝනාගේ නිවසේදී ගත් ලේ තැවරුණු සෙල්ෆි ඡායාරූපයයි.
ඉන්ස්පෙක්ටර්ගේ කොන්ද දිගේ දැඩි සීතලක් ගලා ගියේය.
පොලිස් ස්ථානයේ කොහේ හෝ ගැඹුරු තැනක සිට කමල්ගේ කටහඬ දෝංකාර දුන්නේය.
“මම මහත්තයට කිව්වනෙ එයා ඇත්තටම හිටියා කියලා.”











